අපි බොහෝ දුෂ්කර කාලයක් ගත කරමින් සිටිමු. පස් වසක් මුළුල්ලේ දැඩි ආර්ථික ප්‍රහාරයකින් අපි පීඩා විඳිමින් සිටිමු. මෙම බැරැරුම් පරිසරය තුළ තරාතිරම් බේදයකින් තොරව සාතිශය බහුතරයක් ජනයාට තමන්ගේ පෙර ගත කළ ඉසුරුමත් ජීවිතය අහිමි වී තිබේ. ඒ අනුව ඉතා දුක්ඛිත ජීවිත ගත කළ මිනිසුන්ගේ ඉරණම කොතෙක් කුරිරු ද යන්න වටහා ගැනීම අසීරු නැත. ඒ බව පසක් කෙරෙන පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.
හදවත් ඇත්තවුන් සසල කිරීමට හේතු වන එම ප්‍රවෘත්තියෙන් කියැවුණේ අගහිඟකම් නිසා පාසල් ගමන නතරවී ඉතා අසරණව සිටින දරුවන් පස්දෙනකු ඇතුළු පවුලක් මාතලේ දිස්ත්‍රික්කයේ වටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිවිල්ල වත්තෙගෙදර ප්‍රදේශයේ වාසය කරන බවය. වයස අවුරුදු 73ක් වූ ඩබ්ලිව්.ජි. ප්‍රේමාවතී නමැති මිත්තනිය ළඟ මෙම පාසල් වයසේ දරුවන් පස් දෙනා දිනකට එක වේලක් ආහාරගෙන ජීවත්වන බවත් එම ප්‍රවෘත්තියේ වැඩි දුරටත් සඳහන්ය.
ගමක් ආවරණය කිරීමට රජයේ නිලධාරීන් කොපමණ සංඛ්‍යාවක් සිටීදැයි රජය පවා දන්නේ දැයි අපි නොදනිමු. ග්‍රාම සේවකගේ සිට කෘෂිකර්ම නිලධාරියා ඇතුළු සංවර්ධන නිලධාරීන් දක්වා සෑහෙන පිරිසක් ගමකට අනුයුක්තව සිටිති. එම රාජ්‍ය නිලධාරීන්ගේ රාජකාරිය කුමක්දැයි ඔවුන් දන්නා බවක් බොහෝ සිදුවීම්වලින් පැහැදිලි වේ. දිවිල්ල වත්තෙ ගෙදර අසරණ පවුලෙන් ඔප්පු වන්නේ ද එම කාරණාවය. එම අසරණ මිනිස් පවුල සම්බන්ධයෙන් ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන් දැනුම්වත් කළ ද ඔවුන්ගෙන් සාධාරණ ප්‍රතිචාරයක් නොලැබුණු කල්හි ප්‍රදේශයේ පදිංචිකාරියක මෙම අසරණ පවුල සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් දැනුම්වත් කර තිබේ. අප ප්‍රවෘත්තිය ඒ වෙනුවෙනි. එම දරුවන්ට ඉගෙන ගන්න කාටහරි උදව්වක් කළ හැකි නම් ඒක ලොකු පින්කමකි.
වියපත් මිත්තනිය සෙවණේ වැඩෙන දරුවෝ වයස අවුරුදු පහේ සිට 15 දක්වා වයස්වල පසු වෙති. අම්මාවරුන් දෙදෙනකුගේ දරුවන් වන මොවුන්ට පියවරුන් නැත. එක් දරුවකුගේ උප්පැන්න සහතිකය හෝ සාදා නැත.
හිමිදිරියේම කුලී වැඩට යන මවුවරුන් දෙදෙනා රාත්‍රි අඳුර සමග යළි නිවෙස් කරා පැමිණිය ද දරු පැටවුන්ගේ වේලෙන් වේලට අලුත්වන බඩගින්දර නිවා දැමීමට හැකි යමක් උපයා සපයා ගැනීමට ඔවුන් අපොහොසත් බව ද ප්‍රවෘත්තියේ සඳහන්ය. එම නිසා එම දරු පැටවුන්ට එක වේලකින් දවස සරිකර ගැනීමට සිදුවී තිබේ. අප වාර්තාකරු එම නිවෙසට යනවිටත් කොස් ගෙඩියක් කඩාගෙන විත් දරුවන්ගේ කෑම වේලක් සූදානම් කිරීමට වියපත් මිත්තනිය කටයුතු කරමින් සිට ඇත.
එම පවුලේ 15 හැවිරිදි දියණිය අප පුවත්පතට ප්‍රකාශ කර තිබුණේ තමන් සියලු දෙනාම පාසල් යාමට කැමැත්තෙන් සිටින බවය. දිළිඳු බව කෙතරම් නපුරුදැයි දැනෙන්නේ එබඳු ප්‍රකාශ අසන දකින විටය. මල් වැනි සිත් ඇති දරුවන්ගේ සිත්වලට මෙම අත්දැකීම් බර වැඩිය. සඳුන් ගැටක් මිටින් අරන් නූපන් මෙම දිළිඳු දරුවන්ට පරම ධනය වන අධ්‍යාපනය අහිමිය. බඩ බැඳගත් අගහිඟකම් මැද කුස පිළිසිඳගත් දරු පැටවුන්ට ඉර හඳ අරන් දීමට නොව කුසගින්නට යමක් අරන් දීමට වත්කමක් නැත.
එම අසරණ මිනිස් පවුලේ 14 හැවිරිදි පිරිමි දරුවා විවිධ රැකියාවලට හුරුවෙමින් සිටින බවත් ප්‍රදේශයේ තරුණයන් සමග එක්ව මුදල් ඉපැයීම සඳහා අලිගැට පේර කැඩීමට ගස් නගින බවත් අප ප්‍රවෘත්තියේ සඳහන්ය.
‘ඔබ දිළින්දකු වී ඉපදීම ඔබේ වරදක් නොවේ. එහෙත් ඔබ මිය යන්නේ ද දිළින්දකු ලෙස නම් එය ඔබේ වරදකි’ මේ වූ කලී ඒකාන්ත සත්‍යයකි. එමෙන්ම ‘යාචකයා යනු අතේ සතේ නැති මිනිසා නොව අඩුම තරමින් සිහිනයක් හෝ නොමැති පුද්ගලයාය... යනුවෙන් ද කියමනකි. එහෙත් මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දිවිල්ල වත්තගෙදර අසරණ දරු පැටවුන් පස් දෙනාට සිහින දැකීමට හෝ අවසරයක් තිබේ ද යන්න වටහා ගැනීමට අසීරු නැත.
අප රටේ එකදු මිනිසකු හෝ බඩගින්නේ මිය යන්නේ නොමැත’ යන්න ද සත්‍යයට වඩාත් සමීප කියමනකි. ඒ භූමියේ සරු සාරත්වය මෙන්ම එකිනෙකාට පිහිට වීමේ කුළුණු ගුණයෙන් පිරිපුන් ජනතාවක් ජීවත් වන නිසාය. මෙම සම්පත් අප රට සතු සාඩම්බර පළඳනාය. එහෙයින් මනුෂ්‍යත්වයේ අසිරිමත් දෑත් මෙම අසරණ දරු පවුල වෙත දිගුවනු ඇතැයි අපි විශ්වාස කරමු.
(***)