අග්ගමහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහනායක හිමිපාණන්ගේ අසූ දෙවැනි ජන්ම දිනය අදට (20) යෙදී ඇත. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
ස්වකීය පූජනීය දිවිමගේ අසූ දෙවැනි විය සපුරන සමස්ත අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහනායක ධූරීණව වැඩ වසන දොඩම්පහල චන්දසිරි මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ජන්මලාභය ලබන්නේ ක්‍රිස්තු වර්ෂ 1939 දෙසැම්බර් 20 වැනිදාය. ඒ රුහුණු ලක මාතර දොඩම්පහල ගම්පියසේ දීය. මහනායක හිමියන් උපත ලබන්නේ මිසි නෝනා එදිරිසූරිය මාතාවගෙත් සරනේලිස් සිල්වා එදිරිවීර පියාණන්ගෙත් පුත්‍රයකු ලෙසිනි. මේ පින්වත් පුතුගේ ගිහි නම වූයේ සුගුණදාසය. සුගුණදාස ලෙස ගිහිකල හැදීවැඩුණු අප මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ පාසල් ගමන අරඹන්නේ දොඩම්පහල මධ්‍ය මහා විද්‍යාලයෙන්ය.
ගමේ පන්සල කුඩාවැල්ල වාළුකාරාමයයි. එහි විහාරාධිපතින් වහන්සේලා වූයේ කුඩාවැල්ලේ වංගීස නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේත්, මාතර සද්ධාරාම නායක හිමිපාණන් වහන්සේත් ය. වාළුකාරාම පන්සලත් එහි නායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේලාත් කුඩා සුගුණදාසගේ සිත තුළ ඇති කළේ සුපසන් හැඟීමකි. බෝ මළුව, වෙහෙර වගේම නායක හිමිවරුන් තුළින්ද ලද සංවරය හිත තුළ තිබූ සංසාර හැඟීම් අවදි කිරීමට හේතුවිය.
හරියටම තම එකොළොස් වැනි උපන් දිනය යෙදී දින පහක් ගෙවී ගිය දා සුගුණදාස ශිෂ්‍යයා බුද්ධ පුත්‍රයකු වන්නට මහණ පදවිය ලැබුවේ ය. ඒ ක්‍රිස්තු වර්ෂ 1950 දෙසැම්බර් 25 වැනිදාය. කුඩාවැල්ල වාළුකාරාම විහාරස්ථානයේදී ය. ‘‘දොඩම්පහල චන්දසිරි ” නමින් පැවිදි නම ලැබූ අප මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගේ ශාසනාවතරණය සිදු වූයේ එලෙසය.
ක්‍රිස්තු වර්ෂ 1950 දශකය උදා වූයේ බුදු දහම හා සසුන පිළිබඳව බලවත් හැඟීම් සමාජකරණය වෙමිනි. එයට හේතු වූයේ සම්බුද්ධත්වයට දෙදහස් පන්සිය වසරක් උදාවන සමය සමීපවීම නිසාය. එම උදාන යුගය ඇරඹෙන මුවවිටේදීම මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මහණ පදවිය ලැබීම ඓතිහාසික සිදුවීමකි. දොඩම්පහල චන්දසිරි සාමණේරයන් වහන්සේ ලෙස උන්වහන්සේ පැවිදි අධ්‍යාපනය මැනවින් හැදෑරුවේය. ඒ මාතර විජයබා පිරිවෙනෙන් සහ ගාල්ලේ විද්‍යාලෝක පිරිවෙනෙන්ය. ඉන්පසු විසි වස් එළඹ උපසම්පදා පදවි ලැබූහ. ඒ ක්‍රිස්තු වර්ෂ 1962 ජුනි 17 වැනිදා නිල්වලා උදකුක්ඛේප සීමාමාලකයේ දී ය. ඒ මාතර සද්ධාරාම නායක හිමිපාණන් වහන්සේ ආචාර්ය පාදයාණන් ද, මාතර මේධානන්ද මහනායක හිමිපාණන් වහන්සේ උපාධ්‍යායන් වහන්සේ ද වීමෙනි.
දොඩම්පහල චන්දසිරි මහනායක හිමිපාණන්වහන්සේ අමරපුර කල්‍යාණිවංශික සංඝ සභාවේ උපසම්පදා භික්ෂුවක ලෙස සසුන් ගමන අරඹන්නේ මෙසේය. මහනායක හිමිපාණන් වහන්සේගේ සිත තරුණ වියේ සිටම විරාගී මග සොයන මාවතටම බලවත්ව නැමීගියේය. එබැවින් උන්වහන්සේ යෞවන සමයේ දී ම ඒ සඳහා සුදුසු මාර්ගය වනවාස මූලය බව වටහා ගත්හ. ඒ අනුව දොඩම්පහල චන්දසිරි මහනායක හිමිපාණන් වහන්සේ තම තරුණ වියේදීම භාවනායෝගී ධූතාංග වත් පිළිවෙත්වලින් සාරවත්ව ශික්ෂාකාමී වීමට තීරණය කළහ. ශීල තපෝ ඥාන මාර්ගයේම ගමන් කරවීමට උන්වහන්සේගේ සිත තුළ තදබල හැඟීම් බලවත් වූයේ කුඩාවැල්ලේ වංගීස හිමිපාණන්ගේ ඇසුරු බැඳීමත් සමගය.
දොඩම්පහල මහා නායක ස්වාමීන් වහන්සේගේ පුරෝගාමීන් වහන්සේ ලෙස කුඩාවැල්ලේ වංගීස හිමිපාණන් වහන්සේ යතිවර මගට පහන් ආලෝක වූයේය. වනවාස සම්ප්‍රදායට ගරු කරමින් විදර්ශනා භාවනාව පැවිදි ජීවිතේ ඵල නෙළීමට උචිත මග කර ගත්හ. වනවාස ජීවිතෙන් ශික්ෂිතව තම ගුරුදේවයාණන් වූ කුඩාවැල්ලේ වංගීස නායක හිමිපාණන් වහන්සේ සමග දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ තුරුණු වියේදීම කොළඹට වැඩියහ. ඒ ක්‍රිස්තු වර්ෂ 1982 දී ය. මෙහි විශේෂය වූයේ උන්වහන්සේ කොළඹ වඩිනුයේ නාගරීකරණය වීම සඳහා නොව. වන වාසය ප්‍රිය කොට එහිම රැඳී බවුන් වැඩීම සඳහාය.
රාජගිරිය, කලපළුවාව ගෝතම තපෝවනය බිහි වී එහි වනවාස සම්ප්‍රදාය තහවුරු වූයේ මේ සමඟය. විදර්ශනාවට අනුගතව සුසිල්වත් ශික්ෂාකාමී පැවිදි ජීවිතයම ප්‍රගුණ කිරීම ගෝතම තපෝවනය ආරම්භ කිරීමේ නිමිත්තය. ඒ උදෙසා පුරෝගාමීවීමට දොඩම්පහල චන්දසිරි මහනායක හිමිපාණන් වහන්සේට තරුණ වියේදීම හැකි විය. උන්වහන්සේගේ මහා ශාසනික සේවය ලෙස එය සුවිශේෂීය. වනවාස භාවනා යෝගීයත්වය ප්‍රායෝගිකව අත්විඳීමින් එහිම රැඳී නිර්වාණය සොයා යන පුණ්‍යභූමියක් ගොඩනැගීමට මහනායක හිමියන්ට හැකි විය. තපෝවන සම්ප්‍රදාය නූතන යුගයේ ආරණ්‍ය සම්ප්‍රදායේ ඇරඹුමක් වැනිය. කලපළුවාව ගෝතම තපෝවනය පසුව රට පුරා පැතිර ගියේය. එය ආධ්‍යාත්මික සිසිල සොයන ගිහි පැවිදි හැම සිත් නිවන පින් බිමක් වැනිය.
මහනුවර ශ්‍රී දළදා තපෝ වනය, කෑගල්ල අභයභූමි තපෝවනය, මිහින්තල කළුදිය පොකුණ තපෝවනය, පදවිය දෙවියන්කන්ද තපෝවනය ලෙස රට සතර දෙස මෙම වනවාස සම්ප්‍රදාය ගොඩනැගී ඇත. මේ සියල්ලේ අනුශාසකයන් වහන්සේ ලෙස දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ කැප වෙති. වනවාස භාවනායෝගීත්වය තුළින් උන්වහන්සේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ගෞරවයට පාත්‍ර වූ මහතෙර නමක් බවට පත්වූහ. දෙස් විදෙස් බෞද්ධ අබෞද්ධ සැමගේ සිත් නිවන විදර්ශනා වඩවන භික්ෂූත්වය සේ පූජනීය වේ. මනාකොට හික්මවා ගත් පැවිදි ජීවිත ආදර්ශයෙන් මහනායක හිමිපාණන් වහන්සේ නූතන සසුනේ පරමාදර්ශී චරිතයක් බවට පත් වූහ.
ක්‍රිස්තු වර්ෂ 1983 කල්‍යාණි වංශික සංඝ සභාවේ කාරක සංඝ සභික පදවියට පත්වන මහනායක හිමිපාණන් වහන්සේ තත් නිකායේ අධිකරණ නායක පදවියට 1985 වර්ෂයේ දී පත් වූහ. 1989 වර්ෂයේදී කල්‍යාණි වංශික සංඝ සභාවේ අනුනායක පදවි ධුරන්ධර වූ අප මහනායක ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ මහනායක පදවියට 1996 වසරේ පත්වූහ.
එමෙන්ම කල්‍යාණිවංශකීර්ති ශ්‍රී වංගීසවංසාලංකාර, මහාවිහාරවංශාලංකාර, ශාසන විභූෂණ, අමරපුර ගණපාමොක්ඛචරීය යන ගෞරව සම්මාන යන්ගෙන් මහනායක හිමිපාණන් වහන්සේ පිදුම් ලැබූහ. මෙලෙස නිකායික මහාසංඝයා වහන්සේලාගේත් පොදු මහාසංඝයා වහන්සේලාගේත් නිබඳ ගෞරවයට පාත්‍ර වූහ. ජාතික, ශාසනික හා සාමාජීය කරුණු සම්බන්ධිතව ස්වකීය භික්ෂූත්වයේ නිකැළැල් බව ආරක්ෂා කරගනිමින් සක්‍රීයව කටයුතු කිරීම මහානායක හාමුදුරුවන් වහන්සේගේ ජීවිතයේ කැපී පෙනෙන ලක්ෂණයකි. නිසල මෘදු හා අකම්පිත ගුණයෙන් පිරුණු මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පිරිපුන්ය. උට්ඨානවීර්යය හා නොපසුබස්නා උත්සාහයේ මූර්තියක් බඳුය.
තම ශිෂ්‍ය පරපුර මනාකොට හික්මවා ලීමට කැප වූ අද්විතීය ගුරුදේවයාණන් වහන්සේ නමකි. එය මහනායක හිමිපාණන් වහන්සේගේ වෙසෙස් බවය. එමෙන්ම උන්වහන්සේගේ උදාර සංඝ සෝභන ගුණය ඉස්මතුව දැකිය හැකිය. ලාභ සත්කාරය පදවි තානාන්තර නොව තම භික්ෂු ජීවිතයේ අරුත නිරතුරුව සොයා ගිය ධර්මධරයාන් වහන්සේ නමක ලෙස දොඩම්පහල චන්දසිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ චරිතය ගෞරවපූර්වකව ඇත්තේ එබැවිනි.
මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මෙම සුවිසෙස් සීල තපෝ ගුණ මහිමය නිසා අමරපුර මහා නිකායේ සියලුම නිකායික පාර්ශ්ව ශාඛා සංඝ සභාවල සාමග්‍රීයෙන් උන්වහන්සේ සමස්ත අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතර මහා නායක පදවිය ලැබූහ. ඒ 2021 ජූලි මාසේ විසි වැනි දා ය.
මහනායක හාමුදුරුවන් වහන්සේ උත්තරීතර මහනායක පදවියට පාත්‍ර වන්නේ උදාර චරිතයක් සහ නිවුණු තපෝ ගුණ භික්ෂූන් වහන්සේ නමක් සේය. සිංහල භික්ෂු සංඝයා විසින් චිරාගතව රැකගත් ශාසන සම්ප්‍රදාය රැකගනිමින් ථෙරවාදී නිර්මල බුදු දහමේ චිර පැවැත්ම ආරක්ෂා කර ගැනීම උදෙසා මහනායක දොඩම්පහළ චන්දසිරි හාමුදුරුවන් වහන්සේ කැප වෙති.
ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහනායක වංගීස වංශාලංකාර විපස්සනා කම්මට්ඨානාචාර්ය හා මහා උපාධ්‍යාය අග්ග මහා පණ්ඩිත දොඩම්පහල චන්දසිරි මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් ශාසන මෙහෙවර සඳහා දීර්ඝායුෂ සම්පත්තියත් නිරෝගී සුවයත් බැතිබර පූර්වකව ප්‍රාර්ථනා කරමි.
රුවන් විජයවර්ධන