අතීතයෙන් වර්තමානයට ආවර්ජනයක්


හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගමක් වූ ගැටමාන්නේ උපන් මගේ පියා, සෑම් විජේසිංහ ඔහුගේ දකුණේ උරුමය ගැන ආඩම්බර වූයේය. ඔහු, ඩී.එම්. රාජපක්‍ෂ, ඔහුගේ සොයුරු ඩී.ඒ. රාජපක්‍ෂ සහ ඔවුන්ගේ පවුලේ අය හොඳින් දැන හඳුනාගෙන සිටියේය. සෑම් 1981 දක්වා දශක 2 කට ආසන්න කාලයක් පාර්ලිමේන්තුවේ මහ ලේකම්වරයාව සිටියේය. ඉන්පසු ඔහු වසර දහයක් පරිපාලන කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කොමසාරිස්වරයාව (ඔම්බුඩ්ස්මන්) සිටියේය. ඒ කාලය තුළ ඔහු දේශපාලන නායකයන් කිහිපදෙනකුම සමග සමීපව කටයුතු කළේය. තමන් නියෝජනය කරනු ලබන මහජනයාගේ සුබසාධනය තකා වැඩ කළ මන්ත්‍රීවරුන් කෙරෙහි ඔහු නිතරම ගෞරවය දක්වමින්, ආචාර සම්පන්න ලෙස කටයුතු කළේය. 

සෑම් කී ආකාරයට රාජපක්‍ෂවරුනගෙන් පළමුව දේශපාලනයට පිවිසුණේ ඩී.එම්. ය. ඔහු කළ ඩී.ඒ. රාජපක්‍ෂ අනුස්මරණ දේශනයේ දී, 1944 ඔහු ඩී.එම්. රාජපක්‍ෂ සමග එකට හිඳගෙන රාජකීය සාන්ත තෝමස් මහ ක්‍රිකට් තරඟයේ, ඔහුගේ පුත්‍ර ජොර්ජ් පිති හරඹයේ යෙදෙන අයුරු බලා සිටි ආකාරය කියයි. 
‘‘ඩී.එම්. හිටියෙ හොඳට විස්තර කතාකරන මානසිකත්වයකයි. මම ඔහුගෙ පාසල් සමය ගැන විස්තර ඇහුවා. ඔහු පොන්නම්බලම් අරුනාචලම් තමන්ට නායකත්වය දුන්නු, වඩාත් උද්‍යෝගයෙන් කතා කළ කාලෙ ගැන විස්තර කියා සිටියා. ඔහුගෙ කතාවට ලොකු සෙනඟක් ඇදිලා ආවා. ‘‘අපේ මිනිස්සු එතුමව නොසලකා හැරියම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ සභාවෙ තැනක් නොදී එතුමා කනගාටුවට පත්වුණු හැටි, 1920 දී. අපේ වාර්ගික අර්බුද පටන් ගත්තෙ ඒ කාලෙ කියලයි එතුමා හිතුවේ. ඒ කාලෙ තමා එතුමා දේශපාලනයෙ කැපී පෙනෙන්න ගත්තේ. එතුමා ආපහු ගමට ගිහිල්ල තමාගෙ ප්‍රසිද්ධ ජීවිතේ ගත කළා. ජීවිත කාලෙම කැපවුණු සේවාවක් පටන් ගත්තා.’’ 
1945 මැයි 18 වැනිදා ඩී.එම්. ගේ මරණය සිදුවන තුරුම 1936 මාර්තු 7 වැනිදා පටන් ඔහු හම්බන්තොට ජනයා නියෝජන කළේ, යයි ඔහු කීවේය. ‘‘රාජ්‍ය මන්ත්‍රණ සභාවේ නායක ඩී.එස්. සේනානායක ශෝකය පළ කිරීමේ යෝජනාවක් ගෙන එමින් මෙසේ කීවේය. ‘‘පළමු ලෝක යුද්ධය පැවති (1914 – 1918) කාලයේ ඩී.එම්. වෙස්ලි කොලීජියෙන් ඉවත්ව ආ කාලයේ පටන් ඔහු තමාගේ අරමුණ වෙනුවෙන් රුහුණේ ඈත ජනශූන්‍ය පෙදෙස්වල ජීවත් වූ ජනතාවගේ ජීවිත හැඩ ගැස්වූයේය. ඉතා දිරිමත්ව ස්වාධීන හා ඍජුව ඔහු තම දිවිය ඔවුන් උදෙසා කැප කළේය.’’ සෑම් පවසන ආකාරයට ඩී.එම්. මිය ගිය විට, ඔහුගේ සොයුරාගේ අඩි පාරේ යමින්, රුහුණේ ගොවීන්හට තම සොයුරාගෙන් හා ඔහුගේ පවුලේ උදවියගෙන් ඉටු කළ මෙහෙවර නොකඩවා කිරීම තමාගේ යුතුකම බැව්, ඒත්තු ගන්වා ඩී.ඒ. ඊට කැමති කරවා ගනු ලැබුවේය’’ පසු කලෙක ඩී.එම්. ගේ පුත්තු දේශපාලනයට පිවිසුණහ. 1960 දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාස 3 න්ම රාජපක්‍ෂවරු පාර්ලිමේන්තුව නියෝජනය කළහ. ඒ අනුව එහිදී ඩී.ඒ. (බෙලිඅත්තෙන්), ලක්‍ෂ්මන් (තිස්සමහාරාමයෙන්) සහ ජෝර්ජ් (මුල්කිරිගල) යන තිදෙනාම පාර්ලිමේන්තුවට පැමිණියහ. 
ඩී.ඒ. රාජපක්‍ෂ රාජ්‍ය මන්ත්‍රණ සභා සාමාජිකයකු වූ අලුතම තමාගේ බිරිඳ දෙවැනි දරුවා බලාපොරොත්තුවෙන් සිටින බව ඩී.ඒ. තමාට කීවේ යැයි සෑම් පවසයි. ඩී.ඒ. හට මහේන්ද්‍ර යන නම එම දරුවාට තබන ලෙස යෝජනා කර ඇත්තේ මගේ පියාය. එවකට මගේ පියා කියවමින් සිටි නේරු ලියූ ‘‘ඩිස්කවරි ඔෆ් ඉන්දියා’’ නම් පොතේ අශෝක අධිරාජ්‍යයාගේ ජීවිතයෙන් එම අදහස පැමිණියේය. කවුරු හෝ මහින්ද ගැන යමක් කියන විට මගේ පියා කියා සිටියේ ‘‘එයාගෙ නම මහේන්ද්‍ර, මහින්ද නෙවෙයි. ඒ නම යෝජනා කළේ මමයි’’ යනුවෙනි. ඩී.ඒ. ගේ පවුලේ දරුවන් නව දෙනෙක් සිටියේ, පුතුන් පස් දෙනෙක් හා දියණියන් සිව් දෙනකු වශයෙනි. අද වනවිට පුතුන් සිව් දෙනෙක් ක්‍රියාකාරී දේශපාලනයේ යෙදී සිටිති. 


1951 දී එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනයාක කලකිරීමට පත්ව නව යුගයක් උදා කිරීම සඳහා මැති සබයේ දී විරුද්ධ පක්‍ෂයේ අසුන් ගන්නට මාරු වූ මොහොත සෑම් විස්තර කරයි. අනෙක් සියලුම රජයේ මන්ත්‍රීවරුන් එම තීරණය අනුව යමින් අවදානම් දැරීමට පසුබට වෙද්දී බණ්ඩාරනායක සමග විරුද්ධ පක්‍ෂයට පැමිණියේ ඩී.ඒ. පමණක් බව ඔහු කීවේය. ඩී.ඒ. කිනම් ආකාරයකින් හෝ ධනවත් පුද්ගලයකු නොවූයේය. එහෙත් ඔහු තනිවම ගෞරවණීය ලෙස කැපවීමෙන් යුතුව තම ජනයා උදෙසා වැඩ කළේය. ලාබාල දරුවන්ගෙන් යුතු විශාල පවුලක් ඔහුට නඩත්තු කොට ගොඩනගන්නට සිදුවිය. ඔහු දේශපාලනයේ අපේක්‍ෂාසහගත තනතුරක් අතහැර දමමින් ක්‍රියා කළේය. කෙසේ වුවද ගම්බද ජනතාවගේ බලාපොරොත්තු සහගත බව රැඳී ඇත්තේ තමා ගන්නා එඩිතර තීරණය මත බව ඔහු අවංකව සිතුවේය.’’
‘‘ජෝර්ජ් රාජපක්‍ෂ මෙරට ව්‍යවස්ථාදායක රාජ්‍ය සභාවේ කළ හොඳම කතාවක් පිළිබඳව සෑම් විස්තර කරයි. ජෝර්ජ්, ඩී.එම්. ගැන කළ සඳහනක්  ඔහු ගෙනහැර දක්වයි. ඔහු රාජ්‍ය මන්ත්‍රණ සභාවට එව්වේ රුහුණේ ජනතාවයි. ඔහුගේ මරණය දක්වාම, මා පැමිණි ජන ශූන්‍ය පෙදෙසේ ජනයා පිට වැඩවසම් බර පටවන්නන්ට එරෙහිව අතොරක් නැතිව සටන් වැදුණේය. ඔහුගේ මරණයෙන් පසු ඔහු මට උරුම කළ එකම උරුමය නම් රුහුණේ ගොවි ජනතාවගේ අරගලය සංකේතවත් කරන, මා මේ ගෙලේ දවටාගෙන ඉන්නා කුඩා දුඹුරු වර්ණ කුරහන් සාටකයයි. මේ සභාවේ සියලු සාමාජිකයන්ට, මේ රටේ ජනයා වෙනුවෙන් තමන්ට පැවරී ඇති මූලික යුතුකමක් ඉහළම වගකීමක් ඔහු මතක් කර දෙනවා.’’ 
මගේ පියා ඔහුගේ කතාව නිමා කරන්නේ මෙසේය. ‘‘කීර්තිමත් පුද්ගලයකු වූ ඩී.ඒ. ගේ අවංකභාවයත්, ධෛර්යයත්, උට්ඨාන වීර්යයෙන් යුතුවත් තම රාජකාරි ඉටු කළ ආකාරය බොහෝ අය සිහිපත් කරති. එහෙත් ඔහු වටා සිටි අයට ඔහු යහපත් කාරුණික පුද්ගලයෙකි. තමා සමග දේශපාලන වේදිකාවේ හෝ පාර්ලිමේන්තුවේ සිටි කිසිවකුට හෝ පෞද්ගලිකව සම්බන්ධතා පැවැත්වූ කිසි අයකුට ඔහු පෞද්ගලිකව පහර වදින කිසි දෙයක් කීවේ නැත.
මගේ පියා සහ අනෙක් අය එවකට රාජපක්‍ෂවරුන් ගැන විස්තර කළේ එසේය. ඉතා සදාචාර සම්පන්න මිනිසුන් වූ ඔවුහු ධනය, බලය, තනතුර හෝ මහේශාඛ්‍ය බව හඹා නොගියෝය. තමන් සේවය කරන්නවුන්, නියෝජනය කරන්නවුන්, ගම්බද ජනතාව මුහුණ දෙන කම්කටොලු ඔවුහු අවබෝධකරගෙන සිටියහ. ඔවුන්ගේ කුරක්කන් සාටකයෙන් සංකේතවත් වූයේ එයයි. අනෙක් අයට සේම මගේ පියා ඩී.ඒ. ගේ පවුලේ අයට ද නොයෙක් ආකාරයෙන් උදව් උපකාර කළේය. ජනතාවට සේවය කිරීමට ඔවුන් සතු හැකියාව වඩාත් වර්ධනය කිරීම සඳහා ඔහු දැරූ උත්සාහයත් අපතේ ගියේ ද? මුල් කාලයේ එසේ නොවූ බව මම සිතමි. 
හැට ගණන්වල මැද භාගයේ පාසල් දිවිය නිමා කිරීමෙන් පසුව මහින්ද විද්‍යෝදය පිරිවනේ පුස්තකාල සහකාර ලෙස සේවය කළේය. කම්කරුවන්ගේ අයිතීන් උදෙසා වූ හැඟීමෙන් මහින්ද වෘත්තීය සමිති ක්‍රියාකාරකම්වලට සම්බන්ධ වූයේය. ඔහු ලංකා වෙළඳ සංගමයේ ලේකම්වරයා වීය. ඔහුගේ පියා 1967දී මියගිය පසු ඔහු 1968 දේශපාලනයට පිවිසෙමින් බෙලිඅත්ත ශ්‍රීලනිප සංවිධායකවරයා බවට පත්විය. මහින්ද බොහෝ සෙයින් ජනතාවගේ මිනිසකු වූයේය. ගම්බද ජනතාව සමග කටයුතු කළ ඔහු ජනතාවගේ දැවෙන ප්‍රශ්න හඳුනාගෙන සිටියේය. 1970 විශාල බහුතර ඡන්ද සංඛ්‍යාවක් සහිතව ආසනය දිනාගත් ඔහු වයස අවුරුදු 24 දී පාර්ලිමේන්තුවේ ලාබාලම මන්ත්‍රීවරයා බවට පත්වූයේය. 1977 එජාපයේ විශිෂ්ට ජයග්‍රහණ සමග ඔහුට ආසනය අහිමි වුවද හඬක් නොමැති ජනතාවට සහයෝගය දෙමින් ඔහු නොකඩවා දේශපාලනයේ නියැලුණේය. 1989දී නැවත තම ආසනය දිනාගත් ඔහු, ජවිපෙ කැරැල්ල සමයේ අතුරුදන්වූ අයට යුක්තිය ඉටුකරන ලෙස ඉල්ලමින් මානව හිමිකම්, ක්‍රියාකාරකම්වල නිරත වූයේය. එජාප රජයේ හමුදා අතින් මරුමුවට පත්වූ රිචඩ් ද සොයිසා ගේ මව වන මව්වරුන්ගේ පෙරමුණේ ආචාර්ය මනෝරානි සරවනමුත්තු සමග එක්වී ඔහු එම කටයුතු කළේය. සිදුවී ඇති දේ පිළිබඳව සොයා බලන ලෙස එ.ජා.ප. රජයට බල කරමින් ඔහු මෙරටේත්, ජිනීවා හිත් ක්‍රියාකාරකම්වල නිරත වූයේය. ඔහුගේ පක්ෂය 1994 දී නැවත බලයට පැමිණි විට කම්කරු අමාත්‍ය තනතුරට පත්ව කම්කරු අයිතීන් වෙනුවෙන් හඬ නැගුවේය. පළමුව මා දැන සිටි මහින්ද රාජපක්‍ෂ නම් ඔහුය. ශ්‍රී ලංකාවේ ගම්බද බහුතරයගේ ගැටලු අවබෝධ කරගත්, ඔවුන්ගේ ප්‍රගතිය උදෙසා සටන් කළ මිනිසා ඔහුය. නිතරම ප්‍රියමනාපව, කිසිදු මවා පෑමකින් තොරව කටයුතු කළ ඔහු සෑමටම රුචිකර වූයේය. ගල්කිස්සේ ශාන්ත තෝමස් විදුහලේදී ඔහුගේ පුතුන් හොඳින් කටයුතු කළ බව පිළිගැනුණු අතර ඔවුහු රගර් ක්ෂේත්‍රයේ දක්ම් පෑහ. පුහු උදාර බවින් පිරි උත්සවවලින් තොරව අගමැති ධුරයේ සිටි මහින්ද සහ ඔහුගේ බිරිඳ ශිරන්ති තම පුතුන් රග්බි ක්‍රීඩාවේ නිතරවන අයුරු නරඹන්නට පැමිණි වග මා අසා තිබේ. අනෙකුත් සොයුරන් තිදෙනා ගැන මම වැඩි යමක් නොදන්නෙමි. දේශපාලනයට පිවිසෙන්නට පෙර චමල්, පොලිසියේ උප පොලිස් පරීක්‍ෂකවරයකු ලෙස සේවය ආරම්භ කළ බවත්, දැඩි විනයෙන් යුතු ගෞරවණීය හමුදා නිලධාරියකු වූ ගෝඨාභය ඉන් විශ්‍රාම ගෙන ඇමරිකවට ගිය බවත් දනිමි.
ශ්‍රී ලංකාවේ ගම්බද ජනතාව නියෝජනය කළ රාජපක්‍ෂවරුනට පසුගිය අවුරුදු 15 තුළ කුමක් සිදුවූයේ ද? 
අද වන විට මහා ධනස්කත්ධයක් වැය කොට, රාජපක්‍ෂවරුන් තමන්ගේ ඡන්ද පදනම ඇති, සාපේක්‍ෂව අඩු ජනගහනයක් සහිත දැවැන්ත දිස්ත්‍රික්කයක් වන හම්බන්තොට ට, භාවිතයෙන් තොර අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවක්, නිකරුණේ පවතින මහා ක්‍රිකට් ක්‍රීඩාංගණයක්, රථවාහන නැති මං තීරු 6 කින් යුතු මහා මාර්ග, සුදු අලියකු වැනි අන්තර් ජාතික ගුවන් තොටුපොළ, ණයට හිලව්වට චීනයට දුන්න වරායක් ආදිය දී තිබේ. රුහුණේ ජනතාවගේ ස්ථිරසාර සංවර්ධනය උදෙසා අත්කර දී ඇති ප්‍රගතිය මෙය ද? 
මේ වනවිට රට අර්බුද රාශියකට මුහුණ දී සිටී. විදේශ ණය ගෙවාගත නොහැකිවීම, අත්‍යවශ්‍ය ආනයන බිල්පත් ගෙවාගත නොහැකි වීම, බොහෝ ජනතාවට තමන්ගේ පවුල් පෝෂණය උදෙසා උපයාගන්නට නොහැකිවීම තවමත් වසංගතය පාලනය කරන්නට නොහැකිවීම ආදිය ඉන් කීපයකි. 
ඉතින්, අද වන විට රාජපක්‍ෂලා නියෝජනය කරන්නේ කුමක්ද? කාවද? 
ඔවුන් නියෝජනය කරන්නේ
පොහොර නොමැතිව දැවැන්ත අස්වනු හානියකටත්, ආහාර හිඟයටත් මුහුණ දී සිටිනා ගම්බද ගොවි ජනතාව ද? නැතහොත්, කලකිරීමෙන් රට හැර යන උගත් නාගරික වෘත්තිකයන් සහ නිපුණ ශ්‍රමිකයන් ද? නැතහොත් අපගේ, විශ්මයජනක එහෙත් පහසුවෙන් බිඳී යා හැකි ජෛව විවිධත්වය ගැන අවබෝධයෙන් තොරව, වර්ෂා වනාන්තර, කඩොලාන, තෙත් බිම්, වෙරළ විනාශකර දමමින්, එකී විනාශය නිසා වන සත්වයන් වඳකර දමන්නා වූ, ඛාද්‍ය භෝද්‍යයෙන් පිරිපුන්ව, නවීන රථවලින් වේගයෙන් පියඹා යන සුඛෝපභෝගී ජීවිත ගත කරන ධනවත් ව්‍යාපාරිකයන් ද? නැතහොත් මහපොළොවේ යථාර්ථයෙන් රාජපක්‍ෂවරුන් ඈත්කොට තබන්නා වූ බටහිරට ආවඩන නැතහොත් තමන්ගේම ස්වාර්ථය උදෙසා උපදෙස් දෙන උපදේශකයන් ද? නැතහොත්, තමාම නිර්මාණය කළ රන් කූඩුව තුළ සිර වී සිටිනා පෘථුල රාජපක්‍ෂ පවුලම ද? 
මා මෙවදන් ලීවේ, චමල්, මහින්ද ගෝඨාභය සහ බැසිල්, ඩී.ඒ. ගේ පුතුන් ලෙස තමන්ට ඇති සීමා පිළිගෙන අපේ රට ස්ථීරසාර සංවර්ධනය කරා යන මාවතේ ගෙන යන්නට ප්‍රවීණ උපදේශකයන්ගේ උපදෙස්වලට යොමුවේදැයි කල්පනා කරමිනි.

සටහන – සියලු පැරණි ප්‍රකාශ උපුටා ගන්නා ලද්දේ සෑම් විජේසිංහ මහතා 2005 දී කළ ඩී.ඒ. රාපක්‍ෂ අනුස්මරණ දේශනයෙනි. 

පරිවර්තනය – සමන් පුෂ්ප ලියනගේ 

ආචාර්ය අනිලා ඩයස් බණ්ඩාරනායක විසිනි.