අද පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය රටේ ජනතාවට ඉතාමත් වැදගත් වන්නේ ජාතික ව්‍යවස්ථාදායකය වන ලංකාවේ පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 196 දෙනකු ජනතාවගේ ඡන්දයෙන් පත්කරගනු ලබන මැතිවරණයක් වීම නිසාය. මෙම මැතිවරණයෙන් ව්‍යවස්ථාදායකයට සභිකයන් පත් කර ගැනීමට අමතරව ආණ්ඩුවේ එක් කොටසක් සම්පූර්ණ කර ගැනීමද සිදු වේ.
අපේ රටේ පවත්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයාගෙන් පමණක් ආණ්ඩුව සම්පූර්ණ නොවේ. ජනාධිපතිවරයා පත් වීමෙන් සිදු වූයේ විධායකය වන එක් කොටසක් සම්පූර්ණ කර ගැනීම පමණි. මෙම මැතිවරණය මගින් ව්‍යවස්ථාදායකයේ බහුතර සහාය ලබන පක්ෂයේ සාමාජිකයන්ගෙන් ආණ්ඩුවේ ඉතිරි කොටස වන අගමැතිවරයා සහ ඇමති මණ්ඩලය පත් කර ගැනීම සිදු වේ. ආණ්ඩුව සම්පූර්ණ වන්නේ ඒ අනුවය.
එසේම මෙම මැතිවරණය ලංකා ඉතිහාසයෙහි 1947 සිට පැවැති පාර්ලිමේන්තු මැතිවරණ අතුරින් වෙන කවරදාකටවත් වඩා වැදගත් මැතිවරණයක් ලෙස සැලකිය හැක්කේ එයින් පත් වන ආණ්ඩුවට පැවරී ඇති පුළුල් කාර්ය භාරය පිළිබඳව සාකච්ජා කිරීමේදීය. 1947 සිට මෙතෙක් බලයට පත් වූ ආණ්ඩුවලට සිදු වූයේ මූලික වශයෙන් රටේ පාලනය පවත්වාගෙන යාම පමණි. අත්‍යවශ්‍ය නීති හා ප්‍රතිපත්ති සම්පාදනය කිරීම, සහන ලබා දීම, උද්ධමනය පාලනය කිරීම, රැකියා ගැටලුවලට විසඳුම් සෙවීම, සෞඛ්‍ය ප්‍රශ්න විසඳීම, විදේශ සබඳතා පවත්වා ගැනීම, ජාතික ආරක්ෂක කටයුතු ඒ අතර ප්‍රධාන විය. එහෙත් මෙම මැතිවරණයේදී ආණ්ඩුවේ උරහිස මතට වෙනදාට වඩා අතිවිශාල වගකීමක් පැවරී තිබේ. මීට වසර දෙකකට පෙර උද්ගත වූ ජන අරගලයෙන් සිදු වූයේ මීට පසු බලයට පත්වන ආණ්ඩුවලට වගකීම් සහගත න්‍යාය පත්‍රයක් පොදු ජනතාව විසින් පවරනු ලැබීමය. මෙතෙක් කල් පවත්වාගෙන ගිය ආණ්ඩුවල වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විශාල විවේචනයක් මහජනතාවගේ පාර්ශ්වයෙන් මතු වී ආ බව පැහැදිලි විය. විශේෂයෙන්ම එය මතු වී ආවේ නාගරික මධ්‍යම පන්තිය කේන්ද්‍ර කරගෙනය.
මෙයින් ජනතාව අවධාරණය කළේ රටේ දූෂණය, අක්‍රමිකතා, විනිවිදභාවයක් නොමැති වීම, දේශපාලනය මජර සංස්කෘතියක් බවට පත්ව තිබීම, දේශපාලකයන් අතිවිශාල බලතල පාවිච්චි කරමින් ජනතාව පීඩනයට පත් කිරීම, සංවර්ධනය මුවාවෙන් වංචා සිදු කිරීම ආදියට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලීමය. කවර තත්වයකින් හෝ ජන අරගලය නිමා වුවත් එම ගැටලු පොදු සමාජයෙන් තුරන් වී ඇතැයි සිතිය නොහැකිය. මේ ප්‍රශ්නවල බරපතළ බව ජනතාවට අවධාරණය වූයේ මෙම ජන අරගලයෙනි. ජාතික මැතිවරණවලට ඉදිරිපත්වන පක්ෂවලට මෙම ජනතා හඬට ආමන්ත්‍රණය කිරීමට සිදු විය. එබැවින් බලයට පත්වන කුමන ආණ්ඩුවට වුවත් පැරණි දේශපාලන සංස්කෘතිය තවදුරටත් පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදා වනු ඇත. ආර්ථිකය, දේශපාලනය, සමාජ ක්‍රමය, සමස්ත සංස්කෘතිය නවීන ආකාරයට ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුවනු ඇත.
අදින් පසු බලයට පත් වන ආණ්ඩුව කුමක් වුවත් මේ කියන ගැටලු සම්බන්ධයෙන් සරල තාවකාලික විසඳුම්වලින් එහා ගිය ගැඹුරු හා දීර්ඝ කාලීන විසඳුම් සෙවීමට සිදුවනු ඇත. එයින් ජනතාව අපේක්ෂා කරන්නේ සමස්ත දේශපාලනයේම පරිවර්තනයකි. එය යුගයේ අවශ්‍යතාවක් බවට පත් වී තිබේ. මේ අනුව රටේ පවත්නා දූෂණය අල්ලස, විනිවිදභාවයක් නොමැති වීම, රටේ ජාතික ධනය දේශපාලකයන් තම අභිමතය පරිදි යොදාගැනීම, පවුල් පාලනය, නීතියේ පාලනයක් නොමැතිවීම හෝ නීතියේ පාලනයක් නොමැතිවීම, රට ආර්ථික වශයෙන් විනාශය කරා ගෙන යාම, ජනතාව මත විශාල ජීවන බරක් පැටවීම, නිලධාරිවාදය, රාජ්‍ය සේවය අකාර්යක්ෂම වීම ආදී ගැටලුවලට ස්ථිර විසඳුම් සෙවීමට බලයට පත්වන කුමන ආණ්ඩුවකට වුවද සිදුවනු ඇත. මෙම ගැටලු ආර්ථික දේශපාලන සහ සංස්කෘතික වශයෙන් ද විවරණය කළ හැකිය.
1947 මැතිවරණයේ පටන් මේ දක්වා කිසි දිනක ලංකාවේ දේශපාලන න්‍යාය පත්‍රයට පිවිස ගැඹුරින් සාකච්ජාවට ලක්වූ බවක් පෙනුණේ නැත. එය මෙරට දේශපාලන ඉතිහාසයේ අරුමයක් නොවන්නේ මේ රට වේගයෙන් විනාශය කරා ගමන් කළේ මෑත දශක දෙක තුනක තරම් කාලයේ වීම නිසාය. එහි ආදීනව ජනතාවට විඳින්නට සිදු වූයේ මෑත කාලයේය. ඇතැම් ජනාධිපතිවරුනට බලය අත හැරීමට පවා සිදුවන්නේ මෙබඳු පරිසරයක් තුළය. මේ පරිසරය තුළ බලයට පත් වන ආණ්ඩුව ජනතා ඉල්ලීම් ඉටු කිරීමට බැඳී සිටිය යුතුය. අද පැවැත්වෙන මහ මැතිවරණයෙන් බලයට පත් වන්නේ කවරකුදැයි මේ වෙලාවේ නිශ්චිතව කිව නොහැකි වුවත් ඒ බලයට පත් වන කාහට වුවත් දැනට සිටින ජනාධිපතිවරයා සමග සහයෝගීව කටයුතු කිරීමේ පරිසරයක් සකසා ගත යුතුය. එසේ නොවුණහොත් ජනතා අභිලාෂ ක්‍රියාත්මක කිරීමට සහ රටට යහපත් දේශපාලන ක්‍රමයක් ගොඩනැගීමට යම් යම් බාධා පැමිණෙනු ඇත. දේශපාලන ක්‍රමයේ වෙනසක් ඇතිකරනවා පමණක් නොව ජනතාවගේ ආකල්පවලත් සමාජ ක්‍රමයෙත් වෙනසක් නව සමාජය අපේක්ෂාවෙන් සිටින බව පෙනේ.
අදින් පසු බලයට පත් වන ආණ්ඩුවට පැවරෙන ප්‍රධාන වගකීමක් නම් ආණ්ඩුක්‍රම ව්‍ය්වස්ථාව රටට ඔබින අන්දමින් නැවත සකස් කර ගැනීමය. දැනට පවත්නා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විශාල අතෘප්තිකර භාවයක් බොහෝ දෙනා තුළ පවතී. ව්‍යවස්ථාව තුළින් ප්‍රජාතන්ත්‍රවාදය මනා වූ අන්දමින් සාධනය කර ගත නොහැකිය යන මතයත් රටේ සියලු ජන කොටස්වලට සමඟියෙන් සාමයෙන් තමන්ගේම රටක් හැටියට සලකා ගමනක් යා නොහැකි ය යන මතයත් වර්ධනය වී ඇත. එම නිසා ප්‍රජාතන්ත්‍රවාදය ඉතා හොදින් දිනාගන්නා අන්දමේ, නීතියේ ආධිපත්‍යය ඉතා ඉහළ මට්ටමින් සාධනය කර ගන්නා අන්දමේ හැකියාව ඇති ආකාරයට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කර ගැනීමේ අවශ්‍යතාව මතු වී තිබේ. ව්‍යවස්ථාවේ සමහර කාරණා සංශෝධනය කර ගැනීමේ දී යම් යම් විලංගු පවතී. තුනෙන් දෙකේ බලය සහ ජනමත විචාරණයක අවශ්‍යතාව ඒ අතර වේ. නීතියේ පාලනය ගොඩ නැගීමේ දී පාලකයා මෙනම් පාලිතයා ද යටත් කෙරෙන ක්‍රමයක් ගොඩනැගීමේ අවශ්‍යතාවද වේ. පසුගිය කාලය පුරා අප දුටු දේ නම් නීතිය සමව කාටත් ක්‍රියාත්මක නොවීමේ ගැටලුවයි. පාලකයාට හා ඔහු ඇසුරු කරන්නන්ට එක් ක්‍රමයකුත් රටේ සාමාන්‍ය ජනතාවට තවත් ක්‍රමයකුත් ඇතැම් විට ක්‍රියාත්මක වීමේ ප්‍රවණතාවක් සමාජය තුළ දක්නට ලැබිණ. දේශපාලකයන් භුක්ති විඳින මේ අසීමාන්තික බලතල පිළිබඳ විරෝධයක් ජනතාව තුළ මතුවූයේ මේ නිසාය. එහෙත් දේශපාලකයන්ගේ මේ අසීමිත බලතල ඉවත් කිරීමට එරෙහි පිරිසක් ද පාර්ලිමේන්තුව තුළ පවා සිටි බව පසුගිය කාලයේ අපි දුටුවෙමු. නව නීති ගෙනෙන්නට නම් නව පාර්ලිමේන්තුව තුළ පොදු එකඟතාවක් ඇතිකර ගත යුතුය. පාර්ලිමේන්තුවට පත් විය යුත්තේ තමන්ට හිමි වරප්‍රසාද වරදාන නොතකන පිරිසකි. ප්‍රතික්ෂේප කරන පිරිසකි. කුමන පක්ෂයක් නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට ආවත් එම ආකල්පය තහවුරු විය යුතුය. එම නිසා මෙම පාර්ලිමේන්තු මැතිවරණයෙන් නියෝජිතයන් පත්වන විට රටේ යහපත් දේශපාලන සංස්කෘතිය නිර්මාණය කිරීමට කැපවන නියෝජිතයන් පිරිසක් සිටිය යුතුය. රටක් ඉදිරියට ගෙන යා හැක්කේ එවන් පිරිසක් පාර්ලිමේන්තුවට පත් වීමෙනි.
ජනතාවගේ ජන මතය සැබෑ ලෙසම පිළිබිඹු වීම වළක්වමින් ධනය, ජනප්‍රියත්වය හා බලය පාවිච්චි කරන අයට වැඩි වාසි සලසා ගැනීමේ ක්‍රමය පිටු දැකීමේ අවශ්‍යතාව පවතී. රටේ ප්‍රජාතන්ත්‍රකරණය තවදුරටත් පුළුල් කිරීම, නියෝජන ක්‍රමය යළි සකස් කිරීම, සුළු ජන කොටස්වලට හා අව වරප්‍රසාදිත ජන කොටස්වලට සමාන අයිතිවාසිකම් තහවුරු කෙරෙන ක්‍රමයක් ඇති කිරීම, යම් යම් තාවකාලික සහන ලබා දෙනවා වෙනුවට දැනට පවතින ග්‍රාමීය දුගී භාවයට නිසි විසඳුම් සෙවීම, ෆයිල් මත ගොඩනැගුණු නිද්‍රාශීලී යල් පැන ගොස් තිබෙන මෙරට රාජ්‍ය සේවය නවීකරණය කිරීම, නීතිය සා සාමය ආරක්ෂා කරන වඩාත් යහපත් පොලිස් සේවයක් ස්ථාපිත කිරීම ආදියට තිරසර විසදුම් සෙවීම බලයට පත් වන ආණ්ඩුව ඉදිරියේ ඇති අභියෝග හැටියට හඳුනා ගත යුතුය. ජනතාව වැඩි වශයෙන් දැන් අවධානය යොමු කරමින් සිටින්නේ බඩු මිල අඩු කිරීම වැනි තාවකාලික කාරණා දෙස නොව අප මුලින් සඳහන් කළ අන්දමේ ජාතික ගැටලු සම්බන්ධයෙනි. මේ මතය ජනතාවගෙන්ම ඇති වූ එකක් වීම විශේෂත්වයකි.
පාර්ලිමේන්තුවේ විපක්ෂය සම්බන්ධයෙන් ද යමක් සඳහන් කළ යුතුය. මෙම ජාතික වගකීම් දෙස අවධානය යොමු කරන විට අලුතින් පත්වන විපක්ෂයට වෙන දා මෙන් වගකීම් විරහිතව කටයුතු කළ නොහැකිය. ආණ්ඩුව ගන්නා යහපත් අයහපත් සියලු තීරණවලට විරෝධය පෑම පමණක් විපක්ෂයෙන් අපේක්ෂා කෙරෙන්නේ නැත. වෙන දා මෙන් විහිළුකාර විපක්ෂයක් ජනතාව බලාපොරොත්තුවන්නේ නැත. විපක්ෂය තවදුරටත් විහිළුකාරයාගේ භූමිකාව රග දැක්වුවහොත් ඔවුන් ජනතාවගෙන් ප්‍රතික්ෂේප වනු ඇත. හුදු බලය අල්ලා ගැනීම වෙනුවෙන් ක්‍රියා කරනවාට වඩා ආණ්ඩුව ගන්නා හරි තීරණවලට සහාය දැක්වීමත් ආණ්ඩුව ජන මතයට පිටුපා ක්‍රියා කරන්නේ නම් එය නිවැරැදි මගට ගැනීමත් විපක්ෂයේ වගකීම විය යුතුය. අවශ්‍යවන්නේ එඩිතර විපක්ෂයක් නොව බුද්ධිමත් විපක්ෂයකි. ජනතාව වෙනුවෙන් නිරන්තරයෙන් පෙනී සිටින විපක්ෂයකි. මෙම මැතිවරණය තීරණාත්මක වන්නේ ඒ නිසාය.
කෙසේ වෙතත් අවසානයේ අවධාරණය කළ යුත්තේ බලයට පත් වන ආණ්ඩුව තමන් සතුව ඇති සැබෑ අභියෝග කවරේ දැයි හොදින් තේරුම් ගෙන ක්‍රියා කිරීම වැදගත් බවයි. එම අරමුණ පෙරමුණෙහි තබා ගෙන ක්‍රියා නොකළහොත් කුමන තරාතිරමේ ආණ්ඩුවක් වුවත් ජනතාවගෙන ප්‍රතික්ෂේප වනු ඇත.
(*** සාකච්ඡා සටහන ගාමිණී කන්දෙපොළ)