ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ලංකාව නීත්‍යානුකූල නොවන ලෙස බංකොලොත් බව ප්‍රකාශයට පත්කරනු ලැබීමෙන් පසු මතු වූ රට ගොඩ ගැනීමේ සංවාදය අද වන විට දේශපාලනයේ ප්‍රමුඛත්වය අත්පත් කරගෙන ඇත. මේ වන විට සුබාරංචි හා අසුබාරංචි පිළිබඳ තැනක එම සංවාදයේ මුහුණත දක්නට ලැබේ. මේ තීව්‍ර හා ගතික සංවාදය තුළ බොහෝ අය කතා කරන්නේ කොළේ වහගෙන ය. දත්ත මත පදනම්ව වාස්තවික සත්‍ය කතා කිරීමට එහි දී කිසිවකු උත්සාහ නොදරනු පෙනේ. බොහෝ විට ඒ කරුණු නොදැනීම නොව, එය කතා කිරීම තමාට ලජ්ජා සහගත අත්දැකීමක් වන නිසා විය හැකිය.
ඇත්ත වශයෙන්ම ලංකාවට අසුබ ආරංචිය ලැබූයේ 2015 ජනවාරි 8 වැනිදා ය. ඒ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ජනාධිපති ධුරයට පත්ව එදින ගොම්මනේ ටොරිංටන් නිදහස් චතුරශ්‍රයේ සිට දිවුරුම් දීමත් සමග ය. ඔහු ධුරයේ දිවුරුම් දුන්, රටම අඳුරෙන් ගිල ගත්තා වූ ඒ අඳුරු මොහොත මගින් සංකේතවත් කළේ මීළඟට රට ගිල ගැනීමට නියමිතව තිබූ රටේ ඒ අඳුරු කාල පරිච්ඡේදයයි. අපට අතීතයේ සිදු වූ දෙය ගැන දැන් කතා කිරීමෙන් පලක් නැත. එහෙත් අපට ඉන් ඉගෙන ගැනීමට පාඩම් රැසක් තිබේ. මේ ඒ වෙනුවෙනි.
2015 යනු මෙරට මෑත ඉතිහාසයේ කඩයිම් වසරකි. ආර්ථික වශයෙන් එය විශේෂයෙන්ම සත්‍යයකි. අපගේ ආර්ථිකයට කණකොකා හැඬීමට පටන් ගත්තේ මින් මතුවයි. 2015 වන විට ලෝකයේ හොඳම කොටස් වෙළඳපොළ තිබුණේ මේ කුඩා ලංකාවේ ය. ඒ තරමට මෙරට ආර්ථික ක්‍රියාකාරිත්වය ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා ප්‍රාණවත් වෙමින් තිබුණි. ඊට නම වසරකට පෙර තිබූ ඩොලර් බිලියන 23ක දළ දේශීය නිෂ්පාදිතය බිලියන 79කට වැඩී වී තිබුණි. ඒක පුද්ගල ආදායම ඩොලර් 1200 සිට 3835 දක්වා ඉහළ යාමෙනි. ඒ සියල්ල මගින් ප්‍රකාශ වුණේ අප රට වසර 30ක ත්‍රස්තවාදයෙන් අළුගසා නැගිට එමින් තිබූ බවයි. එහෙත් ඒ සියල්ල එසේ තිබිය දී බොරු කන්දක් ගොතා මහජනයා රවටා රාජපක්ෂ පාලනය බිඳ දමන්නේ නැවතත් අප 2005ට පෙර තිබුණ තත්වයට රට ඇද දමමිනි.
අද ඇතැම්හු රජපක්ෂවරුන් රට බංකොලොත් කළ බව කියන්නෝය. ඒ තරම් මිථ්‍යාවක් තවත් නැත. යහපාලන ආණ්ඩුව විසින් මහබැංකුව කොල්ල කා රටේ ව්‍යාපාරික විස්වාසය බිඳ දැමීම හා ඉන් පසු පැමිණි ආර්ථික වර්ධනය කඩා වැටීම පිරිමසා ගැනීමට එම ආණ්ඩුව ගත් ඩොලර් බිලියන 13ක අන්තර්ජාතික බැඳුම්කර ණය ගැන කිසිවෙක් කතා කරන්නේ නැත. ජාතික ආරක්ෂාව නොසලකා හැරීම නිසා ඇති වූ පාස්කු දින ප්‍රහාරය හා ඒ හරහා ලංකාවට ඩොලර් පැමිණීම නැවැත් වූ පාස්කු දින ප්‍රහාරය ගැන මීක් නැත. එවන් අර්බුද රැසක් මැද ආණ්ඩුව ගෙන මාසය 6ක් යෑමටත් පෙර පැමිණි වසංගතය ගැන නිනව්වක් නැත. ඒ සියලු අර්බුද තිබිය දීත් ණයත් ගෙවාගෙන, සැමට එන්නත දී වසංගතයෙන් මිනිසුන් ද ගොඩගෙන, ඔවුන්ට කෑමට හා බීමට සියල්ල ගෙදරටම රැගෙන විත් දී තිබිය දීයි විවිධ කුමත්‍රණකරුවන් විසින් අරගලය නම් දේශපාලන කුමන්ත්‍රණය ගෙන එන්නේ.
පවතින තත්වයෙන් ගොඩ ඒම සඳහා අපට මනා දේශපාලන හා ආර්ථික දැක්මක් අවශ්‍ය වේ. මා නිකමට යෝජනා කරන්නේ 2015 දී මහින්ද රාජපක්ෂ පාලනය පරාජය කිරීමට ඔබ කටයුතු කළේ ඇයි ද? යන්න ගැන අවංකව සිතන ලෙසයි. බොහෝ විට ඔබ එසේ කළේ මහින්දලාට පාඩමක් ඉගැන්වීම සඳහා ය. මා දන්නා විශාල පිරිසක් මට පෞද්ගලිකව එසේ කියා ඇත. එහෙත් ඇත්තටම පාඩම ඉගෙන ගත්තේ රාජපක්ෂලා ද? රට ද? යන ප්‍රශ්නය අසනවාට ඒ බොහෝ අය දැන් කැමැති නැත. මහින්ද රාජපක්ෂ පරාජයෙන් පසු අප සැම එන්න එන්නම පිරිහුණා මිස එක දශමයක් ගොඩ ගියේ නැති හෙයිනි. බොරුවට වාතය නාරින ලෙස ගම්වල කතාවක් තිබේ. ඒ ඇත්තටම ඒ හරහා අසූචි පිටවිය හැකි හෙයිනි. අපට සිදු වූයේ එය නොවේ ද?
ඇතැමුන් සිතන්නේ අප මේ වන විට ආර්ථික අර්බුදයෙන් ගොඩවිත් ඇති බවයි. එහෙත් ඇත්ත වශයෙන්ම සිදුවී තිබෙන්නේ දේශපාලන ආර්බුදය අවසන් වීම මත අප සුපුරුදු ගමනට වැටී තිබීම පමණි. අරගලය නොපැමිණියේ නම්, අප වර්තමානයේ සිටින අර්බුදයට කිසිසේත්ම වැටෙන්නේ නැත. 2022 මාර්තු මාසයේ සංචාරක පැමිණීමේ දත්ත ගෙන බලන්න. එම මාසයේ සංචාරක පැමිණිම පමණක් එක් ලක්ෂ හය දහසකි. ඉන්පසු පැමිණි ගෝල්ෆෙස් විගඩම නිසා එය නැවතත් පාස්කුදා ප්‍රහාරයෙන් පසු වැනි තත්වයකට වැටුණි.
මා මේ සියල්ල කියන්නේ අතීත කාමය නිසා යැයි කෙනකුට සිතෙන්නට බැරි නැත. එහෙත් ඇත්ත වශයෙන්ම මට අවශ්‍ය වන්නේ අපට ප්‍රශ්නයට උත්තරය සෙවීමට පෙර ප්‍රශ්නය කුමක්දැයි තේරුම් ගැනීම සඳහා ය. එසේ නොවුවහොත් උත්තර ලැබෙන්නේ වැරදි ප්‍රශ්නයකටයි. එවිට අප නැවතත් 2015 වැනි අර්බුදයකට පල්ලම් බැසීමේ අවදානමක් ඇත.
අද රට හදන බවට පෙරට විත් මාධ්‍යවල දේශනා පවත්වන පිරිස් එමට ය. එහෙත් කනගාටුවෙන් හෝ කිව යුත්තේ මේ සියලු දෙනා එදා ත්‍රස්තවාදය අවසන් කිරීමේ මෙහෙයුමේ දී පවා රටේ කකුලෙන් ඇදි පිරිස් ය. ජනතා විමුක්ති පෙරමුණ එදා කිලිනොච්චි එල්ටීටීඊ කඳවුර වැටෙන විටම ආණ්ඩුව හැරදා ගියේ ය. ඒ දතක් සේ එල්ලෙමින් තිබූ රාජපක්ෂ ආණ්ඩුව වැටී නැවත මැතිවරණයකට යෑමට සිදුවන විට, අනිවාර්යයෙන්ම ප්‍රභාකරන් මානුෂීය මෙහෙයුම් පරාජය කරන බව දැන දැන ය. ඉතා සූක්ෂමව දේශපාලන ක්‍රියාමාර්ග තෝරන ඔවුන්ට එය සිතා ගැනීමට දුෂ්කර දෙයක් නොවේ. එම තත්වය උදාවීමට පරිසරය නිර්මාණය කිරීමටමයි ඔවුන් ආණ්ඩුවෙන් ගියේ. එදා එජාපයෙන් කරු ජයසූරිය ඇතුළු 17 දෙනකු ගෙන ආණ්ඩුව ස්ථාවර කර නොගත්තේ නම්, ලංකා රාජ්‍ය ත්‍රස්තවාදයට බිලිවීම වළකාගත නොහැකි වනු ඇත. ස්වකීය දේශපාලන බඩගෝස්තරය ගැන පමණක් සිතා ජවිපෙ ගත් එම තීන්දුව ඔවුන්ගේ රට ගැන වන ආදරය මනාව පිළිබිඹු කරන්නේ ය. ඔවුන්ය අද රට හදන බවට දේශනා පවත්වන්නේ.
ජවිපෙ ඉන්ද නවතින්නේ නැත. 2009 මහින්ද රාජපක්ෂට එරෙහිව බටහිර තානාපති කාර්යාලවල අනුග්‍රහය ඇතිව ඉදිරිපත් කළ සරත් ෆොන්සේකාගේ මැතිවරණ මෙහෙයුමේ ඉදිරියෙන්ම සිටියේ එම පක්ෂයයි (හෙළි වූ විකිලීක්ස් කේබල් පණිවුඩ හරහා මේ බටහිර කුමන්ත්‍රණය දැන් තහවුරු වී තිබේ. ප්‍රසිද්ධියට පත් එක් කේබලයක ඇමරිකානු තානාපතිවරයා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවට ලියන්නේ, ෆොන්සේකාගේ මැතිවරණ මෙහෙයුමට තමා ලබාදුන් මුදල් ජවිපෙ නායකයන් සොරකම් කළ බවයි). යුද්ධය නවත්වා සාමය උදාකිරීම වළකා ගැනීමට නොහැකි වීමේ දේශපාලන වාඩුව ගන්නේ එසේ ය. එය අසාර්ථක වූ තැන 2015 දී සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් ජවිපෙ පූර්ණකාලීනව කැපවුණ අතර එහි දී ඔවුන්ගේ උත්සාහය සාර්ථක වේ. කෙසේ වෙතත්, ඉහත සාකච්ඡා කළ පරිදි රට අසාර්ථක වීම පටන් ගන්නේ ඒත් සමග ය.
ලංකාවේ ධීවරයන් පිරිසක් මුහුදේ පාවෙමින් තිබූ බෝතල්වල අඩංගු යම් දියරයක් පානය කොට අවාසනාවන්ත ලෙස පසුගියදා ජීවිතක්ෂයට පත්වූහ. ඒ රැලිවල පාවෙමින් එන දේශපාලන විස පානය කිරීම කොතරම් විනාශකාරී ද යන්න තේරුම් ගැනීමට අපට ලබාදෙන ප්‍රායෝගික පාඩමක් වැන්න. මේ රට ගොඩ නැගිය හැක්කේ ව්‍යාජ රැලිවලින් නොවේ. එහෙත් යථාර්ථවාදී ලෙස මහපොළොව හඳුනාගෙන එහි සැබෑ ප්‍රශ්නවලට පිළිතුරු දීමෙනි. ඒ වෙනුවට රැලිවල ගහගෙන එන විෂ දියර පානය කිරීමෙන් වන්නේ අපට තිබෙන දෙයත් නැතිවීමයි. 2015න් පස්සේ අපට සිදූ වූයේ එයයි. අපේ ආදායම හා වියදම අතර පරතරය එන්න එන්නම වැඩිවිය. එහි තාර්කික ප්‍රතිඵලය ලෙස ආර්ථිකයේ ජීවනාලිය බඳු ව්‍යාපාරවල අාදායම ද කඩා වැටුණි. බොහෝ අයට රැකියා අහිමි වන්නේ ඒ මතින් ය. එම ව්‍යාපාරවලට නිෂ්පාදන හෝ අමුද්‍රව්‍ය සැපයූ අයගේ ආදායම් ද ඒ අනුව කඩා වැටේ. මේ සියල්ල පටිච්චසමුත්පාදය සේ අග සිට මුලට ද මුල සිට අගටද සිදුවන චක්‍රීය හේතුඵල සම්බන්ධයකි.
අපට නැවතත් මේ චක්‍රය ඉහළ දිසාවට ගමන් කරවීමට කිසියම් පරිශ්‍රමයක් දැරිය යුතු ය. ඒ තල්ලුව දිය යුතු ය. එහෙත් එය ඵලදායි වන්නේ ඊට අවශ්‍ය දේශපාලන නායකත්වය රටතුළ තිබේ නම් පමණි. නායකත්වය මෙන්ම අනුරාගික කැපවීම හා වුවමනා ද ඊට අවශ්‍ය වේ. මේ අභියෝගකාරී යුගයේ එම නායකත්වයේ හිඩැස පිරවිය හැක්කේ මේ රටට සැබැවින්ම ආදරය කරන දේශපාලන බලවේගයකටම ය.
(***)
සබරගමුව විශ්වවිද්‍යාලයේ
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
මහින්ද පතිරණ