ලංකාවේ අධ්‍යාපනය, එහි වර්තමාන තත්වය හා එය කෙසේ සකස්විය යුතු ද යන කාරණය මෙකල බොහෝ දෙනාගේ අවධානය යොමු වී ඇති එකකි. අධ්‍යාපනය යනු ඉතාමත් පුළුල් මාතෘකාවකි. පුද්ගලයා යනු ජීවිත කාලය පුරාම ඉගෙනගන්නා අයෙකි. මෙහිදී අපගේ අවධානයට ලක්වන්නේ විධිමත් අධ්‍යාපනය සම්බන්ධයෙනි. එය රජයේ නිශ්චිත දැක්මක් අනුව සකස්විය යුතුය. පෙර පාසල, ප්‍රාථමික හා ද්විතීක, උසස් අධ්‍යාපනය මෙන්ම වෘත්තීය අධ්‍යාපනය යන අවස්ථා මෙහි ප්‍රධාන වේ. විධිමත් අධ්‍යාපනයේ පුළුල් පරමාර්ථය නම් පූර්ණ පුද්ගලයකු නැතහොත් සාර්ථක බුද්ධිමතකු සකස් කර ගැනීමයි.
පූර්ණ පුද්ගලයා යනු සතුටින් සහයෝගයෙන් පොදු යහපත වෙනුවෙන් ක්‍රියා කරන්නෙකි. පොදු යහපත යනු තමන්ගේ පමණක් නොව අනෙකාගේ ද යහපතයි. අනෙකා යන්නට වෙනත් පුද්ගලයන් පමණක් නොව ආයතන, රට, පරිසරය මේ හැම කොටසක්ම අදාළ වේ. අනෙක් පැත්තෙන් පුද්ගලයා හුදු බුද්ධිමතකු නොවී සාර්ථක බුද්ධිමතකු විය යුතුය. සාර්ථක බුද්ධිමතකු යනු තම නිර්මාණශීලී හා ප්‍රායෝගික බුද්ධිය පොදු යහපත සඳහා භාවිත කරන්නෙකි. සාර්ථක බුද්ධිමතා ප්‍රඥාවන්තයෙකි. දැනුම, කුසලතා, ආකල්ප, ප්‍රායෝගිකත්වය, ආදිය විධිමත් අධ්‍යාපනයෙන් ලබාදෙන්නේ සාර්ථක බුද්ධිමතකු බිහිකරගැනීමේ අපේක්ෂාවෙනි. ජීවත්වීම නැතහොත් ජීවන වෘත්තිය සඳහා අධ්‍යාපනය ලබාදීම වගේම ජීවිතය සඳහා ද අධ්‍යාපනය ලබාදීම විධිමත් අධ්‍යාපනයේ අරමුණ විය යුතුය. අධ්‍යාපනයෙන් රැකියාවක් ලැබුණු පමණින් පුද්ගලයා සම්පූර්ණ නොවේ. ඔහුට සතුටින් සහයෝගයෙන් නිරෝගීව දිගු කාලයක් ජීවත්වීමට හැකියාව තිබිය යුතුය. ඒ සඳහා ජීවිතය පිළිබඳ අධ්‍යාපනය අවශ්‍ය වේ.
අධ්‍යාපනය ලබාගැනීමේ දී ද ප්‍රධාන කොටස් දෙකක් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එකක් අන් අයගෙන් අධ්‍යාපනය ලබා ගැනීමය. එය ගුරුවරයාගෙන් පොතපතින් හෝ අන්තර්ජාලයෙන් හෝ විය හැකිය. දෙවැන්න නම් තමා තුළින් අවබෝධ කොට ගැනීමයි. එසේ නොවුණහොත් තමාගේ දැනුම අන් අයගේ යහපත වෙනුවෙන් භාවිත නොවිය හැකිය. මේ අනුව ඉගැන්වීම වගේම ඉගෙන ගැනීම යන දෙකම නිසි පරිදි කිරීම වැදගත් වේ.
අද බොහෝ විට ලංකාවේ අධ්‍යාපනය තුළ අවධානය යොමු වී තිබෙන්නේ ජීවන වෘත්තියක් සඳහා අධ්‍යාපනය ලබාදීම වෙනුවෙනි. එය වඩාත් තරගකාරි වී අන් අයගෙන් අධ්‍යාපනය ලබා විභාග සමත් වී සහතික ලබාගන්නා එකක් බවට පත් වී තිබේ.
මෙය ඉතාමත් නරක තත්වයකි. මේ නිසාම අද අපට ඇත්තේ කටපාඩම් කරන අධ්‍යාපනයකි. අප නිතරම කතා කරන්නේ රැකියාභිමුඛ අධ්‍යාපනයක් පිළිබඳව ය. එය පමණක් ප්‍රමාණවත් නොවේ. මේ තත්වය නිසා අප මුලින් කී පොදු යහපත වෙනුවෙන් කටයුතු කරන පූර්ණ පුද්ගලයා අද වනවිට අහිමි වී තිබේ. බොහෝ අය තමා ලබාගත් දැනුම කුසලතාව සියල්ල අද භාවිත කරන්නේ තම යහපත වෙනුවෙන් පමණි. ඒ අනුව මොවුන් හැසිරෙන්නේ අප මුලින් කී සාර්ථක බුද්ධිමතුන් හැටියට නොවේ.
අධ්‍යාපනය තුළින් තිරසාර සංවර්ධනයක් ඇතිවිය යුතු බවට අද ලෝකය පුරා අවධානය යොමු වී තිබේ. අදවනවිට දැකිය හැක්කේ දුප්පත්කම, ආදායම් විසමතාව, රෝගාබාධ, අසහනය වැඩිවූ, ත්‍රස්තවාදය, පරිසර හානි වැඩිවූ වූ සමාජයකි. මේ සියල්ලට හේතුව අප අර මුලින් කී පූර්ණ පුද්ගලයා අධ්‍යාපනය තුළින් බිහි නොවීමය. විශේෂයෙන් ලංකාව වැනි රටවල මේ තත්වය ප්‍රබලව දැකිය හැකිය. අද අප අතර සිටින මහජන නියෝජිතයන්, වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් ඇතුළු සමහරුන්ගේ හැසිරීම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ටත් වඩා භයානකය. වර්තමාන බොහෝ උගතුන් කරන්නේ තමන්ගේ යහපත පමණක් සිතමින් අනුන්ට අයහපතක් කිරීමය. එය ඉතාම බරපතළ තත්වයකි. තිරසාර සංවර්ධනය ගැන වැඩි වශයෙන් අද කතාකරන්නේ මේ නිසාය.
තිරසාර කුසලතා අද ලෝකයේ වැදගත්ම කුසලතා ලෙස සැලකේ. තිරසාරත්වය යනු පරිසරය ආරක්ෂා කොටගෙන ජීවත්වීම යයි බොහෝ දෙනා වැරදි ලෙස අර්ථකථනය කොට ගනිති. තිරසාරව කටයුතු කිරීම යන්නෙහි සරල අදහස නම් තමාගේ අවශ්‍ය තා ඉටුකර ගැනීමේදී අන් අයගේ අවශ්‍යතා ඉටුකර ගැනීමට බාධා නොවන ලෙස කටයුතු කිරීමයි. එම චර්යාමය වෙනස අධ්‍යාපනය තුළින් ඇති කර ගැනීම ප්‍රමුඛ කාරණයකි. එහෙත් ලංකාවේ අධ්‍යාපනය තුළ එම චර්යාමය අරමුණ ගිලිහී යමින් තිබේ.
ලෝකයේ සම්මත අධ්‍යාපනයෙහි අවධාරණය වන තව වැදගත් කරුණක් තිබේ. එනම් රටක අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන විට සම අයිතිය, සම අවස්ථාව සහ අධ්‍යාපනයේ ගුණාත්මක බව යන කාරණා තුන කෙරෙහි අවධානය යොමු කිරීමය. එබැවින් අධ්‍යාපන ප්‍රතිපත්ති සකස් කරන විට රජය මේවා කෙරෙහි අවධානය යොමු කිරීම ඉතාම වැදගත්ය.
හතළිහ දශකයේ අග භාගයේදී සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය අප මේ කියන සියලු කරුණු ඇතුළත් සාර්ථක එකකි. යහපත් චර්යාමය පූර්ණ පුද්ගලයා සකස් කර ගැනීමට අවශ්‍ය සියලු දෑ එම ප්‍රතිපත්තියෙහි ඇතුළත් විය. එම නිදහස් අධ්‍යාපන ප්‍රතිපත්තිය නිසා 70 දශකය පමණ වන විට මෙරට අධ්‍යාපනයේ පුනරුදයක් ඇති විය. එමගින් රටේ සියල්ලන්ට නිදහස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව සැලසිණ. අධ්‍යාපනයේ ගුණාත්මක බව ආරක්ෂා විය. මේ ප්‍රතිපත්ති නිසා නිදහස් අධ්‍යාපනය රටේ සියල්ලන්ට පල ලැබිය හැකි රූස්ස ගසක් සේ වැඩී වර්ධනය විය. සමස්ත සමාජය අධ්‍යාපනයේ වැදගත්කම හොඳින් තේරුම්ගෙන තිබුණි. එහෙත් නිදහස් වෙළෙදපොළ ආර්ථික ක්‍රමයත් රජයේ නොසැලකිලිමත්කමත් නිසා මේ රූස්ස නිදහස් අධ්‍යාපන ගසෙහි පිළිලයක් වර්ධනය වීමට පටන් ගැනිණ. එනම් උපකාරක පන්ති පිළිලයයි.
මේ උපකාරක පන්ති පිළිලය වැඩෙන්නේ මවුපියන් තම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා මොනම කැප කිරීමක් කිරීමට සූදානම් තරගකාරී විභාග අභිමුඛ අධ්‍යාපනයක් තුළය. ටියුෂන් පිළිලය මෙසේ නිදහස් අධ්‍යාපන රූස්ස ගසෙහි ක්‍රමයෙන් වැඩීවර්ධනය වන විට නිදහස් අධ්‍යාපනය නමැති රූස්ස ගස දුර්වල විය. දන් එය බොහෝ සේ දුර්වලව තිබේ. එහෙත් නිදහස් අධ්‍යාපනය නමැති රූස්ස ගස නැත්නම් ටියුෂන් පිළිලයට පැවැත්මක් නැත. කෙසේ වෙතත් අදවනවිට මේ පිළිලයේ පලත් භුක්ති විඳින්නට රටේ ජනතාව පුරුදු වී සිටිති. ගසේ පල අඩු වී පිළිලයේ පල වැඩි වී තිබේ. එහෙත් නිදහස් අධ්‍යාපනය නමැති රූස්ස ගස මැරුණොත් ජනතාවට රූස්ස ගසේ පලත් නැති වේ. පිළිලයේ පලත් නැති වේ. එසේ වුවහොත් අප අපේක්ෂා කරන පූර්ණ පුද්ගලයා බිහි කරගැනීමේ අධ්‍යාපන අරමුණ ගිලිහී යයි. මෙය කෙතරම් අවාසනාවන්ත තත්වයක් ද?
අද වන විට ආණ්ඩුවේ අකාර්යක්ෂමතාව සහ නිදහස් අධ්‍යාපනය නොසලකා හැරීම නිසා අධ්‍යාපනයට වෙන් කරන වියදම් දිගින් දිගටම කපා හරිමින් තිබේ. ඒ සමග සිදුවූයේ කාලයක් තිස්සේ වැඩුණු ටියුෂන් පිළිලය මෙන්ම පෞද්ගලික පාසල්, පෞද්ගලික උසස් අධ්‍යාපන ආයතන විවිධ මට්ටමින් රට තුළ බිහිවීමට පටන් ගැනීමය. ඕනෑම කෙනෙකුට ටියුෂන් පන්තියක්, අධ්‍යාපන ආයතනයක් ආරම්භ කර පවත්වාගෙන යාමට අදවන විට කිසිදු බාධාවක් නොමැත. ඒ සියල්ල සිදුවන්නේ ලාභ ඉපැයීමේ අරමුණෙනි. අධ්‍යාපනය වෙළෙඳපොළ භාණ්ඩයක් බවට පත්වී ඇත. මවුපියන් තම දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සියලු සේසත කැප කරන මට්ටමක් ඇතිවිය.
පවත්නා ආණ්ඩුව අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ මෑතකාලීනව හඳුන්වාදීමට යන බව පෙනේ. ඒ අනුව ඉදිරිපත් කර ඇති පාර්ලිමේන්තු තේරීම් කමිටු වාර්තාවත් ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවත් දෙස අවධානය යොමු කිරීමේ දී පැහැදිලිවන්නේ අධ්‍යාපනයේ අපේක්ෂිත පුළුල් පරමාර්ථ ලබාගැනීමට අවශ්‍ය අධ්‍යාපනයේ සම අයිතිය, සම අවස්ථා, ගුණාත්මක බව සහ අධ්‍යාපනයේ සැබෑ අර්බුදය කෙරෙහි අවධානය යොමු කර නොමැති බවය. ඒ වෙනුවට ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුව සකස් වී තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය නමැති රූස්ස ගස ආරක්ෂා කිරීමට නොව එම ගසෙහි වැඩී තිබෙන පිළිලය ආරක්ෂා කිරීමට බව පැහැදිලිය. එම පිළිලයට අනුග්‍රහ දැක්වීම සඳහා ය. එනම් ලාභ ඉපයීම සඳහා පෞද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහාය. අධ්‍යාපනය ලාභ ඉපැයීමේ අරමුණින් ක්‍රියාත්මක විය නොහැකිය. එසේ වුවහොත් අර අප මුලින් කී පූර්ණ පුද්ගලයා සකස් කර ගැනීමට නොහැකිය. පෞද්ගලික ලාභ නොලබන පෞද්ගලික අධ්‍යාපනය පවත්වාගෙන යාම වරදක් නොවුණත් එය රජයේ ප්‍රතිපත්තිවලට පූර්ණ වශයෙන් එකඟවන අන්දමින් විය යුතුය. ගුණාත්මකභාවය තහවුරු විය යුතුය. අද වනවිට පෞද්ගලික ලාභ ලබන පෞද්ගලික අධ්‍යාපන ආයතන විශාල සංඛ්‍යාවක් තිබේ. පිට රටවල උපාධි ලබාදෙන ආයතන දෙසිය තිස් ගණනක් ලංකාවේ ඇති බව විෂයබාර ඇමතිවරයාම කියා සිටියි. ඔවුන් සියල්ල කරන්නේ ලාබ එකතු කර ගැනීමය.
රජය අධ්‍යාපනයෙන් ඈත්වීමේ ප්‍රතිපත්තිය ඇති කොටගෙන තිබෙන්නේ රට දුප්පත් ය, ආණ්ඩුවට මුදල් නොමැතිය, ඒ නිසා එය පෞද්ගලික අංශයට දිය යුතුය යන තර්කයේ පිහිටාගෙනය. එහෙත් කන්නන්ගර ප්‍රතිපත්තිය හරහා අධ්‍යාපන පුනරුදයක් ඇතිවූයේ රට දුප්පත්ව තිබුණු කාලයේය. එයින් බොහෝ දේ රටට අත් පත් කොට ගැනීමට හැකි විය. ඇත්තෙන්ම අධ්‍යාපනයට රජයේ මැදිහත්වීම ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වන්නේ රටක් දුප්පත්ව පවත්නා අවස්ථාවලය. අවාසනාවකට ආණ්ඩුකරන මේ රටේ ඇත්තෝ ඒ සම්බන්ධයෙන් අවධානය යොමු නො කරති. රටේ ප්‍රතිපත්ති සකස් කරන්නෝද මේ ගැන නොදනිති. ලංකාවේ අධ්‍යාපනය බරපතළ ලෙස අර්බුදයට ලක් වී ඇත්තේ මේ නිසාය.
අධ්‍යාපනය තරගකාරීවීමෙන් දැනුම පමණක් තිබෙන උගත්තු බිහි වූහ. පසු කාලයේ මහජන නියෝජිතයන්, වෘත්තිකයන්, රජයේ නිලධාරීන්, ව්‍යාපාරිකයන් බවට පත් වූවෝ මේ කියන උගත්තුය. ඔවුහු තම යහපත ම මිස පොදු යහපත නොසැලකූහ. මේනිසා රජයේ ආයතන, පාසල්, විශ්වවිද්‍යාල තුළ සැබෑ පරමාර්ථ වෙනුවට තම ස්වාර්ථයම පමණක් වර්ධනය විය. රාජ්‍ය අධ්‍යාපන ආයතන කෙරෙහි දරුවන් හා දෙමව්පියන්ගේ විශ්වාසය බිදී ඇත්තේ මේ නිසාය. අදවන විට රජයේ පාසල්වලට දරුවන් නොයන මට්ටමකට පත් වී තිබේ. රජයේ විශ්වවිද්‍යාල ගත්තත් බරපතළ අර්බුද දැකිය හැකිය. මේ අර්බුදය නිසාම රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධියක් සම්පූර්ණ කර ගැනීමට අවුරුදු 25 කට වැඩි කාලයක් බලා සිටින්නට සිදුව ඇත. ලාභ ලබන මේ තරම් පෞද්ගලික අධ්‍යාපන ආයතන බිහිවන්නේ මේ අර්බුද නිසාය. මේ සඳහා වහා මැදිහත් වී අවුරුදු 22 වනවිට උපාධිය සම්පූර්ණ කළ හැකි වැඩපිළිවෙළක් සැකසිය යුතුය. එහි ගුණාත්මකභාවය වර්ධනය කළ යුතුය. අධ්‍යාපනයේ මේ ඇතිවී තිබෙන තත්වය අතිශය භයානක එකකි. එය රටේ සමාජ ආර්ථික සංස්කෘතිය කෙරෙහි ඉතාම නරක අන්දමින් බලපාන්නට පුළුවන.
ජීවිතයේ කෙසේ හෝ උපාධියක් ලබාගැනීමට බොහෝ දෙනා සිතති. ඒ ඉල්ලුම සලකා ලැබෙට බාල උපාධි ලබාදෙන අධ්‍යාපන ආයතන බිහිවෙමින් තිබේ. එහි විපාක සමාජයට විඳින්නට සිදුවනු ඇත. අද වනවිට උසස් පෙළ විභාග ප්‍රතිඵල ලබා සිටින දරුවෝ විශ්වවිද්‍යාලයක් තෝරාගැනීමට හෝ උසස් අධ්‍යාපන මාර්ග වෙත පිවිසීමට බලා සිටිති. එහෙත් මේ බොහෝ දරුවන්ට තම කුසලතාව, කැමැත්ත හා ආර්ථික තත්වය මත එය තෝරාගන්නේ කෙසේද යන්න පිළිබඳව කිසිදු අවබෝධයක් නැත. මවුපියන්ට ද ඒ ගැන දැනුමක් තේරුමක් නැත. මේ පරිසරය තුළ විවිධ ආයතන දරුවන් සහ ඔවුන්ගේ මුදල් ඩැහැගැනීමට බලා සිටින බව පෙනේ. ඒ අවබෝධය මගපෙන්වීම ලබාදීමට වැඩපිළිවෙළක් ද දක්නට නැත. එය රටේ තවත් එක් අඳුරු පැත්තකි.
(***)
සටහන – ගාමිණී කන්දේපොළ