අනගාරික ධර්මපාලතුමාගේ බුද්ධගයා සිහිනය සැබෑ කරගනිමු



අනගාරික ධර්මපාලතුමාගේ 156 වැනි ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

සෑම අවුරුද්දකම සැප්තැම්බර් 17 වැනිදා අනගාරික ධර්මපාල ජන්ම සංවත්සර සැමරුම් උත්සව අපේ රටේද ඉන්දියාව, තායිලන්තය, නේපාලය, ජපානය, ඇමරිකාව, එංගලන්තය සහ තවත් බෝහෝ රටවල පිහිටුවා ඇති, විශේෂයෙන් ශ්‍රී ලාංකික භික්ෂුන් වහන්සේ වැඩ වෙසෙන බෞද්ධ සිද්ධස්ථානවලදී පැවැත්වෙයි. මෙවර පැවැත්වෙන්නේ එතුමන්ගේ 157 වැනි සංවත්සර උත්සවයයි.

එතෙක් මෙතෙක් ධර්මපාලතුමා වෙනුවෙන් කවර හේතු කාරණා සිදු වුවද නොවූවද අත්‍යවශ්‍යම, වැදගත්ම කාරණය මේ දක්වා ඉටු වී නැත.
දොන් හේවාවිතාරණ ධර්මපාලතුමා බුද්ධගයා මහා විහාර සංකීර්ණයට ප්‍රථමයෙන් සැපත් වූයේ 1891 ජනවාරි 22 වැනිදා ය. බෞද්ධ ලෝකයාගේ අතිමහත් ගෞරවයට පාත්‍ර වූ බුද්ධගයා මහා විහාරය ඒ වන විට හින්දු ආගමික නායකයකු සහ ගයාවෙහි ඉඩම් හිමි වැවිලිකරුවකු වූ ගිරි ගිරි මහන්තාගේ සන්තකය යටතේ පැවතිණි. මහා විහාරය තුළ සහ අවට බුද්ධ ප්‍රතිමා විකෘති කොට ප්‍රධාන බුද්ධ ප්‍රතිමාව අබියස ශිව ලිංගයක් තබා ඊට පූජා පවත්වනු දුටු ධර්මපාලතුමා අතිශය කම්පාවට පත්විය.

එතුමා වජ්‍රාසනය වෙත ගොස් කෙටි වේලාවක් භාවනාවේ නිරතව සිට තද නින්දකින් පසුව අවදි වූවාක් මෙන් නැගී සිට සිදුහත් කුමරු බුද්ධත්වයට පත් වූ සමස්ත බෞද්ධ ලෝකයාගේ ගෞරවයට පාත්‍ර වන මේ සිද්ධස්ථානය යළි ලෝක බෞද්ධ ප්‍රජාව වෙත අත්පත් කර දෙන තුරු ‘මම මෙහි සිට සටන් කරමි’ යි දොහොත් හිස මත තබා වැඳ නමස්කාර කොට ප්‍රතිඥා දුන්නේය. එතැන් සිට බුද්ධගයා බේරාගැනීමේ මහා සටන ආරම්භ කිරීම පිණිස එතුමා බුද්ධගයාවේ බුරුම පන්සලේ නවාතැන් ගත්තේය. බුද්ධගයාවේ සහ ශ්‍රී ලංකාවේ මහාබෝධි සංගම් පිහිටුවන ලද්දේ ද මෙම සටන පෙරට ගෙනයාමේ ක්‍රියාකාරී සංවිධාන ලෙස ප්‍රයෝජනයට ගැනීම උදෙසාය.
ධර්මපාලතුමා බුද්ධගයාවේ පවතින කනගාටු සහගත තත්ත්වය පැහැදිලි කරමින් ශ්‍රී ලංකාව, ඉන්දියාව, මියන්මාරය, චීනය, ටිබෙටය, තායිලන්තය සහ ජපානයේ ද ප්‍රභුන්ට ලිපි සිය ගණන් යවා බුද්ධගයාව බේරා ගැනීමේ ලෝක ජනමතයක් ඇති කළේය.

මේ අතර ජපානයට ගිය ධර්මපාලතුමා එහි දී බෞද්ධ නායකයන් හමු ව බුද්ධගයාවේ තත්ත්වය පැහැදිලි කළේය. බුද්ධගයාව බෞද්ධ ලෝකයා සතු කිරීම පිණිස අවශ්‍ය ආධාර උපකාර කරන බවට ජපන් බෞද්ධ නායකයෝ ප්‍රතිඥා දුන්හ.

ජපානයේ බෞද්ධ පන්සලකින් තෑගි දුන් දැවමය බුද්ධ ප්‍රතිමාවක් බුද්ධගයාවට රැගෙන ආ ධර්මපාලතුමා මහන්තාගේ විරෝධය මැද එය මහාවිහාරයේ තැන්පත් කළේය. මෙය තමාගේ බලයට කරන අභියෝගයක් යැයි සිතූ මහන්තා සිය ගෝලයන් යොදවා එම බුදු පිළිමය බලෙන් ඉවත් කොට අසල කුණු ගොඩකට විසිකර දැම්මේය. දුරදක්නා නුවණකින් යුතු අනගාරික ධර්මපාලතුමා එම සිද්ධිය නඩු නිමිත්තක් කර ගෙන ගයා උසාවියේ මහන්තාට සහ සෙසු අයට විරුද්ධව නඩුවක් පැවරුවේය.

මහන්තාට මෙම ස්ථානයේ කිසිදු අයිතියක් නොමැති බව පැහැදිලිවම ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා අදාළ බුදුපිළිමය බුද්ධගයාව විහාරයේ තැන්පත් කරන ලෙස නියෝග කළ ද එය ඉටු නොවීය. ධර්මපාලතුමා එම බුදු පිළිමය තමන් නැවතී සිටි බුරුම විහාරයේ තැන්පත් කළේය. (මේ දැවමය බුදු පිළිමය දැනට කල්කටාවේ ශ්‍රී ධර්මරාජික විහාරයේ තැන්පත් කොට ඇත).

මෙයින් වියරුවට පත් මහන්තා බුරුම පන්සලේ අයිතිය ඉල්ලා සහ බුදු පිළිමය ඉවත් කරන ලෙස ඉල්ලා එහි භාරකාර ගිහි පැවිදි අයට විරුද්ධව නඩුවක් පැවරුවේ ය. කෙසේ වුවද මේ අවස්ථාව වන විට ඉන්දියා ආණ්ඩුවට සම්බන්ධ හින්දු නායකයන්ගේ බලපෑම් නිසා එම නඩුව ධර්මපාලතුමාට අවාසි වන පරිදි තීන්දු විය. මෙම නඩු විභාගය ‘බුද්ධගයා මහ නඩුව’ නමින් පොතක් ලෙස පළවී තිබේ.
බුද්ධගයා අයිතිය ලබාගැනීමේ කටයුතු මේ අයුරින් නීතියෙන් බැහැර වී දේශපාලන තීන්දු ගැනීමේ තත්ත්වයට පත්විය. ඒ අනුව 1922 සිට 1933 දක්වා බිහාර් ප්‍රාන්තයේ රජය කොන්ග්‍රස් පක්ෂ සංවිධාන ආදියට ප්‍රශ්න යොමු විය. ඇදෙමින් පැවති ප්‍රශ්නය විසඳීම පිණිස ඉන්දීය මහ ආණ්ඩුව ආචාර්ය රාජේන්ද්‍ර ප්‍රසාද්ගේ ප්‍රධානත්වයෙන් සහ ධර්මපාලතුමාගේ සහභාගීත්වයෙන් කමිටුවක් පත්කෙරිණි. මෙම කමිටුව ඉදිරියේ ශ්‍රී ලංකාවේ ප්‍රභූ පැලැන්තිය නියෝජනය කරමින් උඩරට නායකයෝ ඉන්දියාවට ගොස් සාක්කි දුන්හ. දොස්තර කැසියස් පෙරේරා මහතාගේ නම මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතුය.

ධර්මපාලතුමා ජීවත්ව සිටියදී ම ප්‍රශ්නයට විසඳුමක් නොලැබී ඒ මේ අත ඇඳී ගියේය. මහත්මා ගාන්ධි තුමා බුද්ධගයා විහාරය බෞද්ධයන් සතු එකක් බව ප්‍රසිද්ධියේ පැවසුවත් එය බෞද්ධයින්ට හිමිකර දීමට කිසිදු යෝජනාවක් හෝ පියවරක් ගත්තේ නැත.

රාජේන්ද්‍ර ප්‍රසාද් කමිටුවේ නිර්දේශ වූයේ බුද්ධගයා මහාවිහාරය හින්දුන්ට මෙන්ම බෞද්ධයින්ට ද වැඳපුද ගැනීමට අවස්ථාව දිය යුතු බව සහ එහි පරිපාලනයට හින්දුන් 05 ක් සහ බෞද්ධයින් 05 ක් පත්කළ යුතු බවය.

සමස්ත ඉන්දීය කොන්ග්‍රස් කමිටුව මෙම යෝජනා පිළිගත්තේය. එහෙත් දේවප්‍රිය වලිසිංහ ඇතුළු තායිලන්තය, ටිබෙට්, චීන බෞද්ධයෝ ඊට අකමැති වූහ. ඊට ප්‍රධාන හේතුව වූයේ හින්දු, බෞද්ධ සාමාජිකයින් 05 දෙනා බැගින් පත්කෙරෙන කමිටුවේ සභාපති පදවියට ගයාවේ පරිපාලන නිලධාරියා පත්වීමය. ඔහු හින්දු ජාතිකයෙකි. එවිට සංඛ්‍යාව අනුව විහාර පරිපාලනයේ වැඩි බලය හින්දුන්ට හිමි වේ.

අනගාරික ධර්මපාලතුමා දේවමිත්ත ධම්මපාල නමින් පැවිදිව 1933 අභාවප්‍රාප්ත විය. ඒ වන විටත් එතුමා බුද්ධගයා පරිපාලන අයිතිය ගැන සතුටට පත්ව සිටියේ නැත. මෙසේ තිබිය දී කිසියම් හෝ විසඳුමකට එළඹිය යුතුය යන මතය අනුව 1953.05.23 වැනිදා පුන් පොහෝ දා බුද්ධගයා අයිතිය එම කමිටුවට පවරනු ලැබීය. මේ විශේෂත්වය නම් පැවරීම් අක්ත පත්‍රය ගිරි ගිරි මහන්තා විසින් ම ප්‍රසිද්ධියේ කියවා පාලනය භාර දීමයි. එදා පැවති උත්සවයට ශ්‍රී ලංකාව වෙනුවෙන් ධර්මපාලතුමාගේ මුණුබුරෙකු වන හිටපු සෞඛ්‍ය අමාත්‍ය ගාමණි ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් නියෝජිත පිරිසක් සහභාගී වූහ. ඊට 62 වසරකට පෙර ධර්මපාලතුමා බුද්ධගයා සටන ආරම්භ කළ අන්දම ජයසූරිය මහතා එදා විස්තර කර දුන්නේය.

ඉන් පසු බුද්ධගයා පරිපාලනයට පත් වූ සාමාජිකයින් ද ගිහි පැවිදි බෞද්ධ නායකයින් ද බුද්ධගයා මහා විහාරයේ අයිතිය සම්පූර්ණයෙන් ම බෞද්ධයින් සතු විය යුතු බවට නැගූ හඬ ක්‍රමයෙන් තුනී වී ගොස් අද එය හිස් වායුවට මුසු වී තිබේ.

ගත වූ කාලය ගැන කතා කිරීමෙන් දැන් කිසිදු පලක් නැත. දැන් සිදුවිය යුත්තේ ලංකා මහා බෝධි සමාගම, ඉන්දීය මහා බෝධි සමාගම සහ ධර්මපාල භාරය ද එකමුතුව, එකට එක් වී සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය ඇතුළු රටේ ප්‍රධාන බෞද්ධ සංවිධාන සහභාගී කරවා ගෙන මේ පිළිබඳ ලෝක ජනමතයක් ඇති කිරීමය.

එසේ කිරීමෙන් බුද්ධගයා මහා විහාරය සම්පූර්ණයෙන් ම බෞද්ධයන් සතු කිරීමේ වෑයම නරේන්ද්‍ර මෝදී වැන්නකු ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලෙස සිටිය දී පහසුවෙන් ඉටුකර ගත හැකිය.

නරේන්ද්‍ර මෝදී වැනි අගමැතිවරයෙකු බලයේ සිටින කාලය තුළ මේ කටයුත්ත ඉටු කිරීම බෝධිසත්ත්ව අනගාරික ධර්මපාලතුමාට දක්වන උපහාරයකි.

(*** උපාලි රූපසිංහ)