පොහොර සම්බන්ධයෙන් දේශපාලනික ක්ෂේත්‍රයේත් කෘෂිකාර්මික ක්ෂේත්‍රයේත් අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, චීන පොහොර නැව තවමත් ශ්‍රී ලංකා මුහුදේ හැංගිමුත්තන් කරන බව අසන්න ලැබේ. මේ වනවිට පොහොර අර්බුදයක් පවතින්නේ දේශීය වශයෙන් පමණක් නොවන බව බොහෝ දෙනකු නොදන්නවා විය හැකිය. ‘කොවිඩ් 19‘ වසංගතය, ලොවට ‘වසංගතයක්’ වූයේ අප රෝගී කරමින් සහ ජීවිත බිලි ගනිමින් නොවෙයි. ‘කොවිඩ් 19’ වසංගතයේ බලපෑම දේශපාලනික වශයෙන්, ආර්ථික වශයෙන් සහ සමාජීය වශයෙන් මුළු ලොවටම කළ බලපෑම සුළුපටු නොවේ.
පොකුණක් මැදට ගල් කැටයක් දැමූ විට, වටේට දිය රැලි හටගන්නා සේ, දැන් දැන් ‘කොවිඩ් 19’ වසංගතයේ අනිසි ප්‍රතිඵල අප කාට කාටත් දැනෙන්න පටන් ගෙන ඇත. අදවනවිට ගෝලීය වශයෙන් නිර්මාණය වෙමින් පවතින පොහොර අර්බුදය ඉදිරි මාස කීපයේ දී උත්සන්න වනු ඇතැයි ලොව ප්‍රධාන පෙළේ පොහොර නිෂ්පාදන සමාගම් අනතුරු අඟවයි. එක්සත් ජාතීන්ගේ ‘ජගත් ආහාර වැඩසටහන’ අනතුරු අඟවමින් අනාවැකි පළ කර ඇති අන්දමට, ලොව පුරා මිලියන 45 ක් දරුණු සාගතයකට මුහුණ දීමට නියමිතය. පොහොර අර්බුදය හමුවේ එම අනාවැකිය සැබෑවක් වන දිනය වැඩි ඈතක නොවන බව විදෙස් විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
ප්‍රධාන වශයෙන් අර්බුදයට ලක්වී ඇත්තේ නයිට්‍රජන් ආශ්‍රිත පොහොර (ප්‍රධාන වශයෙන් යූරියා) නිෂ්පාදනයයි. මෙය බලශක්ති අර්බුදයේ ප්‍රතිඵලයකි. නයිට්‍රජන් පොහොර නිෂ්පාදනය යනු ඛනිජ තෙල් කර්මාන්තය ආශ්‍රිත ප්‍රධාන උප නිෂ්පාදනයකි. ඛනිජ තෙල් කර්මාන්තය අඩාළ වෙද්දී, එය පොහොර නිෂ්පාදන ක්‍රියාවලියට දැඩි බලපෑම් එල්ල කර තිබේ. ගෝලීය තෙල් සහ වායු නිෂ්පාදනය සහ සැපැයුම් කටයුතු මේ වනවිට අඩු වෙමින් තෙල් සහ වායු මිල ඉහළ යෑමට පටන් ගෙන ඇත. යුරෝපා රටවල වැසියෝ මේ වනවිටත් මෙම අර්බුදයෙන් පීවාඩවට පත් වී සිටිති.
‘යාරා’ යනු නෝර්වේ රාජ්‍යයේ ප්‍රධාන කෘෂි නිෂ්පාදන සමාගමය. ‘යාරා’ සමාගම නිපදවන පොහොර සම්බන්ධයෙන් ලොව පුරා ප්‍රසිද්ධියක් පවතී. ඔස්ලෝ නුවර පිහිටි මෙය ජාත්‍යන්තර සමාගමකි.මිල අධික වුවත් ගුණාත්මයෙන් වැඩි පොහොර නිෂ්පාදකයකු ලෙස ‘යාරා’ සමාගම ප්‍රකටය. පොහොර අර්බුදයක් පිළිබඳ අනාවැකි පළ කරමින් ‘යාරා’ සමාගම නිවේදනයක් නිකුත් කර තිබේ. ‘අප සමාගමට පසුගිය වසරේ එනම් 2020 ග්‍රීෂ්ම සෘතුව අවසන් වෙද්දී, යූරියා ආශ්‍රිත පොහෙර (ඇමෝනියා) ටොන් 1 ක් නිපදවීමට ගිය වියදම ඇමෙරිකන් ඩොලර් 110 කි. අද වනවිට එය ඇමෙරිකන් ඩොලර් 1,000 දක්වා වැඩි වී තිබෙනවා’ යැයි එම නිවේදනයේ සඳහන්ය.
තවත් ලොව ප්‍රධාන පෙළේ කෘෂි නිෂ්පාදන සමාගමක් වන්නේ ඇමෙරිකාවේ ඉලිනෝයි ජනපදයේ ඩියර්ෆීල්ඞ් නුවර පිහිටි ‘සී.එෆ්. ඉන්ඩස්ට්‍රීස්’ සමාගමය. මොවුන් ලොව ප්‍රධාන රසායනික පොහොර නිෂ්පාදකයකු ලෙස නමක් දිනා සිටී. මෙම සමාගම පෙරේදා (9) පොහොර අර්බුදය සම්බන්ධයෙන් අනතුරු ඇඟවීමක් කළේය. පොහොර නිෂ්පාදනය මිල අධික බැවින් පොහොර වෙළෙඳපොළට නිකුත් කිරීමට සිදුවනු ඇත්තේ වැඩි මිල ගණන් යටතේ යැයි එම සමාගම නිකුත් කළ නිවේදනයේ දැක්විණි.
පවතින මිලට පොහොර අලෙවි කිරීමෙන් දැනටමත් තම සමාගම ඇමෙරිකන් ඩොලර් මිලියන 185 ක පාඩුවක් ලබා ඇති බව ද ‘සී.එෆ්. ඉන්ඩස්ට්‍රීස්’ පැහැදිලි කර තිබේ.
රොයිටර් පුවත් සේවය වාර්තා කරන අන්දමට යුරෝපා රටවල ප්‍රධාන පෛළ් පොහොර සමාගම් කීපයක් මේ වනවිටත් වසා දමා තිබේ. ඒ අපේක්ෂා කළ ආකාරයට නිෂ්පාදන කටයුතුවල නියැලීමට නොහැකි වී ඇති බැවිනි. ඩී.ටී.එන්. යනු ඇමෙරිකාවේ මිනසෝටා ප්‍රාන්තයේ බර්න්ස්විල් නුවර කේන්ද්‍රකොට ගත් කෘෂි කාර්මික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් දත්ත ලොවට ඉදිරිපත් කරන ආයතනයකි.
මෙම ආයතනය නිකුත් කළ නවතම වාර්තාවට අනුව, මේ වනවිට ඇමෙරිකා කලාපයේ යූරියා ටොන් එකක මිල ඇමෙරිකන් ඩොලර් 751 ක් තෙක් ඉහළ ගොස් ඇති බවය. පසුගිය ඔක්තෝබර් මාසය වෙද්දී සියයට 21 කින් මිල වැඩිවීමක් පෙන්නුම් කර තිබේ. ඔක්තෝබර් මාසයට පෙර යූරියා ටොන් එකක මිල සඳහන් වූයේ ඇමෙරිකන් ඩොලර් 620 ක් ලෙසය. ඒ අනුව, ඇමෙරිකන් වෙළෙඳපොළේ පොහොර අර්බුදය දිනෙන් දින උග්‍රවන ලකුණු පෙන්නුම් කරයි.බටහිර රටවල තිරිගු පිටි නිෂ්පාදනයේ දී නයිට්‍රජන් පොහොර අත්‍යාවශ්‍ය සාධකයකි. තිරිගු සහ බඩ ඉරිගු වගාවට අත්‍යාශ්‍ය පොහොරක් ලෙස නයිට්‍රජන් සැලකෙයි.
තිරිගු පිටි යනු මානව ආහාර දාමයේ ප්‍රධානතම ආහාරයකි. ඒ අනුව, පොහොර අර්බුදය දිනෙන් දින ඔඩු දුවද්දී ලබන 2022 වසර වනවිට තිරිගු පිටි නිෂ්පාදනය සෙමින් අඩපණ වනු ඇතැයි බිය පළ කෙරේ. එක්සත් ජාතීන්ගේ ජගත් ආහාර වැඩසටහන, ලොව පුරා මිලියන 45 ක් දරුණු සාගතයකට මුහුණ දෙනු ඇතැයි අනතුරු අඟවා ඇත්තේ රටවල් 43 කින් ලබා ගත් තොරතුරු පාදක කර ගනිමිනි. තිරිගු පිටි නිෂ්පාදනය සීමා වෙද්දී හෝ අඩපණ වෙද්දී මෙම අනාවැකිය සඵල වනු ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි. යම් නිෂ්පාදන ක්‍රියාවලියක් අඩාල වී, එම නිෂ්පාදන කටයුතුවලට බාධා එල්ල වෙද්දී, ඒ ඒ රටවල් ඔවුන්ගේ නිෂ්පාදන අපනයනය අඩු කරයි. නැතිනම් නවතා දමයි. ඒ, රටේ පවතින අවශ්‍යතා සපුරාලීමට ප්‍රමුඛත්වය දීමෙනි.
මේ සඳහා හොඳම උදාහරණය ඉන්දියාවේ ‘සේරම්‘ ඖෂධ නිෂ්පාදන සමාගමේ ‘කොවිෂීල්ඞ්‘ ප්‍රතිශක්තිකරණ එන්නත් නිෂ්පාදනයයි. නිෂ්පාදනය අඩු වූ අවස්ථාවේදී, ඉන්දීය රජය මැදිහත් වී, ‘කොවිෂීල්ඩ‘ එන්නත් අපනයනය නතර කළේය. ඒ, ඉන්දියනුවන්ට ප්‍රමුඛත්වය දෙමින් ඔවුන්ට වැඩි වැඩියෙන් ‘කොවිෂීල්ඩ් එන්නත ලබා දෙමිනි.
පොහොර නිෂ්පාදනය සහ අලෙවිය සම්බන්ධයෙන් ද මේ වනවිට බරපතළ ගැටලු නිර්මාණය වී ඇත. මේ වනවිට දරුණු ලෙස ‘කොවිඩ් 19’ වයිරසයෙන් බැටකන රුසියාවත්, දරුණු බලශක්ති අර්බුදයකට මුහුණ පා සිටින චීනයත්, ඔවුන්ගේ පෙහොර අපනයනය සීමා කර තිබේ. එම රටවල් ඔවුන්ගේ පොහෙර දේශීය පරිභෝජනයට වැඩි වැඩියෙන් යොදවයි. ලොව ප්‍රධාන පෙළේ පොහොර සමාගම් අනතුරු අඟවා ඇති අන්දමට දැනට, මේ වනවිට අර්බුදයක් පවතින්නේ, නිෂ්පාදනයේ සිට වෙළෙඳපොළට දක්වා ඇති ක්‍රියාදාමය ඇතුළතය.
වෙළෙඳපොළේ පොහොර හිඟ වේදදී මිල ගණන් ඉහළ යෑම සිදුවෙයි. එය අවසන් වනු ඇත්තේ ගෝලීය අර්බුදයක් නිර්මාණය කරමිනි.ජගත් දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන අන්දමට, අනාගත පොහොර අර්බුදයට මුහුණ දීමට නම් සෑම රටක් ම මේ මොහොතේ සිට ඒ වෙනුවෙන් සුදානම් විය යුතුය.
ජගත් කෘෂි සංවිධාන මැදිහත් වී,ඒ සම්බන්ධයෙන් කඩිනම් තීන්දු තීරණ ගැනීම් කළ යුතුය. කිසියම් සාධනීය සැලැස්මක් සකස් විය යුතුය. දේශීය පොහොර නිෂ්පාදකයන් දිරි ගැන්වීම කළ යුතුය. රසායනික පොහොර හෝ වේවා කාබනික පොහොර හෝ වේවා නිෂ්පාදනය සම්බන්ධයෙන් කළමනාකරණයක් තිබිය යුතුය.
(***)
ලුසිත ජයමාන්න
රොයිටර් සහ බීබීසී ඇසුරිනි