ඉදිරියේ දී වැට් බදු වැඩිකිරීමට රජය ගත් තීරණය හේතුවෙන් රට තුළ මේ වනවිට විශාල ආන්දෝලනයක් ඇති වී තිබේ. 2011 වර්ෂයෙන් පසු ලංකාවේ වැට් බදු ප්‍රතිශතය සලකා බැලීමේ දී වැඩිම වැට්බදු ප්‍රතිශතයකින් අය කිරීමට නියමිතව ඇත්තේ 2024 වසරේ සිටය. එම අගය සියයට 18 කි. කෙසේ වෙතත් ලංකාවේ වැට් බදු මෙයට පෙර සියයට 15 මට්ටමක පැවති බව දත්ත මගින් පෙන්නුම් කරයි. එහෙත් 2020/2021 වර්ෂවලදී පමණක් වැට් බදු ප්‍රතිශතය සියයට 8ක් වැනි පහළ මට්ටමකින් අය කර තිබේ.
කෙසේ වෙතත් 2021 වර්ෂයට සාපේක්ෂව සලකා බැලීමේ දී රජයේ බදු ආදායම සියයට 67 කින් වැඩි වී තිබේ. එම අගය වැඩිවීම රුපියල් බිලියන 632 සිට රුපියල් බිලියන1058 ක් දක්වාය. මෙහිදී ආදායම් බදු රුපියල් බිලියන 300 සිට රුපියල් බිලියන 544 දක්වා සියයට 74.53 කින් වැඩි වී ඇති අතර වැට් බදු ආදායම් රුපියල් බිලියන 308 සිට රුපියල් බිලියන 463 දක්වා වැඩි වී ඇත්තේ සියයට 50.24 ක ප්‍රතිශතයකිනි. විශේෂයෙන් රාජ්‍ය ආදායම් ව්‍යුහය තුළ වැඩිම ආදායම් ලබාගන්නා පිළිවෙළ සැලකීමේදී ආදායම් බදු, වැට් බදු, මුද්දර බදු, සමාජ ආරක්ෂා බදු, සූදු බදු යන බදු ප්‍රමුඛ වී තිබේ. අනෙක් බදු ආදායම් ඉතා පහළ මට්ටමක පවතී. එයින් පෙනීයන්නේ ලංකාවේ බදු ව්‍යුහය නැවත වතාවක් සමාලෝචනය කළ යුතු බව නොවේද?
කලාපයේ අනෙකුත් රටවල් සමග දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස බදු කාර්යය සාධනය සැලකීමේ දී අඩුම බදු කාර්ය සාධනයක් පෙන්නුම් කරන්නේ ලංකාව හා බංග්ලාදේශය යන රටවල් වලිනි. ලංකාවේ බදු කාර්ය සාධනය සියයට 10.9 කි. ඉන්දියාවේ එය සියයට 15.8 කි. නේපාලයේ එය සියයට 18.9 කි. එමනිසා අකාර්යක්ෂම කාර්ය සාධනයක් මගින් අපේක්ෂිත බදු ඉලක්ක රැස් කරන්නේ කෙසේද යන්න ගැටලුවකි. ලෝකයේ වැට් බදු වැඩියෙන්ම අය කරන රටවල් අතර ප්‍රධාන රටක් වශයෙන් හඳුනාගත හැකි වන්නේ හංගේරියාවයි. එම අගය සියයට 27 ක් පමණය. ස්වීඩනය සියයට 25ක් ද කොස්ටාරිකා සියයට 25ක් ද ඩෙන්මාර්ක් සියයට 25ක් ද නෝර්වේ සියයට 25ක් ද ග්‍රීසිය සියයට 24ක් ද අයිස්ලන්තය සියයට 24ක් ද පෝලන්තය සියයට 23ක් ද අයර්ලන්තය සියයට23ක් ද වැට් බදු අයකරනු ලබයි. එසේම දකුණු ආසියා කලාපය සැලකීමේ දී ඉන්දියාවේ සියයට 5 - 25 දක්වා පරාසයක විවිධ භාණ්ඩ කාණ්ඩ සඳහා බදු අයකරන බව පෙනේ. පකිස්තානය භාණ්ඩ සඳහා සියයට 18ක් ද සේවා සඳහා සියයට13ක් ද ප්‍රාදේශීය වශයෙන් සියයට16ක් ද ලෙස වැට් බදු අයකරනු ලබයි.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දුන් ප්‍රධාන කරුණු දෙකෙන් එකක් වූයේ ඉලක්කගත රාජ්‍ය ආදායම් සපුරා නොගැනීමය. IMF ඉලක්කගත රාජ්‍ය බදු ආදායම රු. බිලියන 3100 ක් පමණ විය යුතුය යන ඉලක්කයක් ලබා දී තිබේ. එහෙත් තවම අපට උපයාගත හැකිව ඇත්තේ රුපියල් බිලියන 1643 ක් එනම් සියයට 51 වැනි ප්‍රතිශතයකි. එසේනම් මෙම ඉලක්කගත ආදායම් වැඩිකර ගැනීම සඳහා තිබෙන සරල ඉලක්කය බව රජයට පෙනී ගොස් ඇත්තේ වැට් බදු වැඩිකර ගත යුතුය යන්නයි. එයින් එහා ගිය විසඳුමක් සොයන බවක් නොපෙනේ. ඒ අනුව ඉදිරියේ දී වැට් බදු ප්‍රතිශතය සියයට18ක් ලෙස වැඩිකිරීමට යෝජනා වී තිබේ. 2025 ට පෙර දේපළ බද්දක් මෙන්ම තෑගි සහ උරුම බද්දක් හඳුන්වා දීමට නියමිතය. තවද 2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් වශයෙන් අවම වශයෙන් බදු සියයට 14 දක්වා ගෙන ඒම සඳහා, නිෂ්පාදන විශේෂිත වැට් බදු නිදහස් කිරීම් සියල්ලම පාහේ ඉවත් කරමින් වැට් බදු ක්‍රමය ප්‍රතිසංස්කරණ කිරීමට නියමිතය.
රාජ්‍ය වියදම් සීමා කිරීම
2023 වසරේ දී ගණන් බලා ඇති ආකාරයට රජයේ මුළු වියදම රුපියල් බිලියන 7879 ක් පමණය. මෙම මුළු වියදමින් සියයට 58.5 ක් පුනරාවර්තන වියදම්ය. සේවක වැටුප් හා සුබසාධන වියදම් සඳහා එම මුදල් වැය කිරීම සිදු වී ඇති පසුබිමක රුපියල් බිලියන 1221 එනම් සියයට 15.5 ආයෝජන වියදම් සඳහා ද රුපියල් බිලියන 2025 එනම් සියයට 25 ප්‍රධාන වශයෙන් දේශීය ණය ගෙවීම සඳහා ද වෙන් කර තිබේ. එසේ නම් වැඩිවන රාජ්‍ය වියදම් පියවා ගැනීම සඳහා වන ක්‍රමවේදය කුමක්ද යන්න පැහැදිලි කර ගත යුතුය.
රාජ්‍ය වියදම් මේ වනවිට විවිධාකාරයෙන් සීමා කොට තිබේ. එසේ තිබියදී පසුගිය මාස කිහිපය තුළ දී රජයේ වියදම් නැවත වතාවක් සියයට 13.2 කින් වැඩි වී ඇත. රාජ්‍ය වියදම් සංයුතිය සලකා බැලීමේදී ලක්ෂ 15ක් පමණ වන රාජ්‍ය සේවකයා නඩත්තු කිරීම් සඳහා ද අධ්‍යාපනය, සෞඛ්‍ය වැනි සුබසාධන වියදම් සඳහා වැය වන මුදල් තවදුරටත් අඩු කළ හැකි ද යන්න සිතා බැලිය යුතුය. ඉදිරි අය-වැයෙන් රාජ්‍ය සේවකයාට ඉහළ වැටුප් වැඩි කිරීමක් අපේක්ෂා කරන පසුබිමක රාජ්‍ය වියදම් තවදුරටත් කප්පාදු කළ හැක්කේ කෙසේ ද යන ගැටලුව මතුවේ. මේ සියලු වියදම් දරන අතර ගොඩනැගිලි, මංමාවත් නඩත්තුව සඳහා ද වියදම් දැරිය යුතුය. අනෙක් අතට පාඩු ලබන රාජ්‍ය ආයතන නඩත්තුව සඳහා ජනතා බදු මුදලින් විශාල ප්‍රමාණයක් වැය කිරීමට සිදුවීම පිළිබඳව නැවත සිතා බැලිය යුතුය. එමනිසා රාජ්‍ය වියදම් තවදුරටත් සීමා කරගත යුත්තේ කෙසේද යන්න පිළිබඳව අධ්‍යයනය කළ යුතුය. එසේම රාජ්‍ය වියදම් සීමා කිරීමේ දී දුප්පත් ජනතාවගේ අවශ්‍යතා කප්පාදු නොවන ආකාරයෙන් එය කරන්නේ කෙසේද යන්න පිළිබඳ සලකා බැලිය යුතුය.
නව බදු ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම
ඉහළ යන බදු හේතුවෙන් මේ වනවිට ජනතාව විශාල පීඩනයකට ලක් වී සිටිති. විශේෂයෙන් මධ්‍යම පාන්තික වෘත්තීයවේදීන් බදු බර නිසාවෙන් පීඩනයට ලක් වී සිටින අතර බොහෝ පිරිස් විදේශගතවීම සිදු වී ඇත. ලංකාවේ ආණ්ඩු කළ පාර්ශ්ව දීර්ඝකාලීනව නිසි ක්‍රමවේද අනුව නිසි බදු ප්‍රතිපත්තියක් හඳුන්වා නොදීමෙන් වර්තමානයේ එකවිට විශාල බදු ප්‍රතිශතයක් අය කිරීම හේතුවෙන් පීඩනයට ලක්වීම ස්වභාවිකය. ආදායම් බදු වැඩිවීම කරමත පැටවී තිබියදී වැට් බදු වැඩි කිරීමෙන් ඉදිරියේ දී භාණ්ඩ හා සේවාවල මිල ගණන් ඉහළ යාම පාලනය කරගත නොහැකිය. සියලු අංශවල නිෂ්පාදන වියදම් ඉහළ යාමෙන් මිල ගණන් ඉහළ යාම සිදුවේ. එමනිසා බදු ආදායම් වැඩිකර ගැනීම සඳහා විකල්ප කෙරෙහි ආණ්ඩුව යොමුවීම මේ අවස්ථාවේ දී ජනතාවට කරන සාධාරණයකි.
ඉදිරි අය-වැයෙන් රජය පුළුල් බදු ප්‍රතිසංස්කරණ සඳහා යා යුතුය. ඒ අනුව නව බදු හඳුන්වාදීම, බදු අනුපාත, බදු පදනම පුළුල් කිරීම, බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩිකිරීම, අනුකූලතාව වැඩිකිරීම වැනි ක්‍රියාමාර්ග ඔස්සේ බදු ආදායම් වැඩිකරගත හැකිය. එහෙත් එයට ප්‍රථමයෙන් ජනතාවට සිදුවන පීඩනය සලකා බැලීම ඉතා වැදගත්ය. අනෙක් අතට ආදායම් බදු දෙපාර්තමේන්තුව තවදුරටත් කාර්යක්ෂම කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළකට යා යුතුය. රජයේ ආදායම් පරිපාලනය කාර්යක්ෂම විය යුතු වන අතර, ඒ සඳහා මුදල් අමාත්‍යංශය වගකීම ගත යුතුය.
ඉදිරියේ දී සංශෝධනය වන වැට් බදු සඳහා වඩාත් කාලෝචිත විකල්පයක් වන්නේ තෝරාගත් භාණ්ඩ කාණ්ඩ සඳහා බදු ප්‍රතිශත අඩු වැඩි වශයෙන් අය කිරීමයි. මෙහිදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල සඳහා බලපෑම් කරන අංශ තෝරාගෙන සියයට 10 බදු ප්‍රතිශතයක් ද අනෙකුත් භාණ්ඩ හා සේවා සඳහා සියයට 15 සිට 18 දක්වා වැට් බදු ප්‍රතිශතයක් ද අයකර ගැනීමෙන් සාධාරණයක් සිදුකළ හැකි බව පෙනේ. එසේත් නැත්නම් භාණ්ඩ සඳහා සියයට 12 ප්‍රතිශතයක් ද සේවා සඳහා සියයට 13-18 අතර ප්‍රතිශතයක් ලෙස තවදුරටත් සරල කර අයකර ගැනීමෙන් සිදුවන හානිය අවම කර ගත හැකි වන අතර රාජ්‍ය ආදායම ද වැඩිකර ගත හැකිය.
නව බදු ආදායම් මාර්ග සොයා යෑම
විකල්ප පෙන්විය යුත්තේ අප විසින්මය. කාටත් සාධාරණත්වයක් වන පරිද්දෙන් සාධාරණ විකල්පය සඳහා මේ අවස්ථාවේ දී යොමුවීම ඇඟට ගුණය. විශේෂයෙන් ලබා දී ඇති බදු දිරිගැන්වීම් සමාලෝචනය කර ඒවායේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමෙන් තවත් ආදායම් සෙවීම හා ආදායම් වැඩිකර ගත යුතුය. ඉහළ ආදායම් ලබන පුද්ගලයන් හා සමාගම් කෙරෙහි වෙනම වැඩි අවධානයක් යොමු කොට නිසි කලට බදු අය කරගැනීම සඳහා ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්‍යය. බදු ආදායම වැඩිකරගැනීම සඳහා ප්‍රාග්ධන ලාභ මත බදු වැඩි කිරීමට මූලික සැලැස්මක් සකස් කළ හැකිය. ඒ අනුව තෝරාගන්නා ලද ප්‍රාග්ධන ලාභ සඳහා බදු එක්රැස් කිරීම සඳහා පදනමක් දැමිය යුතුය.
බදු ආදායම් රැස්කිරීම හා කාර්යක්ෂමතාව වැඩි කිරීම සඳහා විශේෂයෙන් තොරතුරු තාක්ෂණය, යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම ඉතා වැදගත් වේ. ඒ තුළින් බදු පරිපාලනය කාර්යක්ෂම කළ හැකිය. ඒ සඳහා දැනට පවත්නා ආදායම් පරිපාලන තොරතුරු පද්ධතිය යාවත්කාලීන වීම සිදුවිය යුතුය. අනෙක් අතට දැනට ක්‍රියාත්මක සංකීර්ණ බදු ව්‍යුහ හා බදු එක්රැස් කිරීමේ ක්‍රමවේද වෙනුවට සරල බදු දාමයක් හා බදු එක්රැස් කිරීමේ ක්‍රමවේදයක් පිළිබඳ අවධානයට ලක් විය යුතුය. උපායමාර්ගික සංවර්ධන ව්‍යාපෘති හා MOI සමාගම්වල ලාභය මත බදු නිදහස් කිරීම අවම කර සියයට 15ක පමණ අවම බද්දක් නිදහස් කාලසීමාවලින් පසු අයකර ගැනීමෙන් අමතර බදු ආදායමක් රැස්කර ගත හැකිය.
ලංකාවේ ආර්ථිකය ඉදිරියේ දී තවදුරටත් සංකීර්ණ වනු ඇත. මක්නිසාද යත් රජය තම ආදායම් වැඩිකර ගැනීමේ අභියෝගයකට මුහුණ දෙන බැවිනි. රජය ආදායම් වැඩිකරගැනීමේ විකල්ප ක්‍රියාමාර්ග වෙත යන බැවිනි. ලෝකයේ අනෙකුත් සංවර්ධිත රටවල් සැලකීමේදී ආදායම්වලින් සියයට 40ක් පමණ ආදායම් බදු ලෙස රජයට ලබාදෙන අතර ඔවුන්ට එයින් නිදහස් විය නොහැක. සියල්ල මාර්ගගතව සිදුවන අතර විනිවිදභාවයකින් සිදුවේ. කෙසේ වෙතත් ලංකාවේ පුරවැසියන්ට මූලික වශයෙන් ඉදිරියේ දී දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුවන බව නම් සක්සුදක් සේ පැහැදිලිය. එසේනම් රජය තම ආදායම් වැඩිකරගැනීමට සාධාරණ ක්‍රමවේද කෙරෙහි අවධානය යොමු කළ යුතුය. රට තවදුරටත් ඉදිරියට යා යුතුය. නැවතත් සංවර්ධනයේ මාවතට අවතීර්ණ විය යුතුය. විදේශ ආයෝජන පැමිණිය යුතුය. අපට ඉදිරියේ දී කෙසේ හෝ නැවත ශක්තිමත් පදනමක් ඇතිකිරීමට හැකි වුවහොත් ඉදිරියේ දී ඇති විය හැකි පීඩනය අවම කරගැනීමට හැකි වන බව පැහැදිලිය. එමනිසා කාටත් පීඩනයක් නොවන ආකාරයෙන් සාධාරණ ක්‍රමවේදයකින් රටේ බදු ක්‍රමවේදය සකස් කර ගැනීම ඉතා වැදගත් වේ.
(***)
ශ්‍රී ලංකා කෘෂිකාර්මික ප්‍රතිපත්ති සභාවේ සාමාජික,
ආර්ථික විශ්ලේෂක
චිත්‍රාල් ජයවර්ණ