දිසානායක මුදියන්සේලාගේ රංබණ්ඩා සහ ඔහුගේ බිරිඳවන සීලවතීගේ දෙවැනි දරුවා ලෙස 1968 වසරේ නොවැම්බර් මස 24 වැනිදා ගලේවෙල මකුල්ගස්වෙල මාතෘ නිවාසයේදී ඔහු උපත ලැබී ය. 1972 වසර වන තෙක් උපන්ගම වන ගලේවෙල දේවහූව ප්‍රදේශයේ වාසය කළ ඔහු ඉන්පසුව තඹුත්තේගම මහවැලි H කලාපයට අයත් කැකිරාව ආසන්නයේ පිහිටි ආඩියාගලට පැමිණ එහි පදිංචි විය.
එදා මැනුම් කම්කරුවකු ලෙස රැකියාව කළ රංබණ්ඩාගේ පුත් දිසානායක මුදියන්සේලාගේ අනුර කුමාර දිසානායක තරුණයා අන් කිසිවෙක් නොව අද ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නවවැනි විධායක ජනාධිපතිවරයාය.
අධ්‍යාපනය
වයස අවුරුදු හතරේදී ආඩියාගලට පැමිණි අනුරගේ පළමු පාසල වන්නේ තඹුත්තේගම ගාමිණී විද්‍යාලය යි. දහවැනි පන්තිය දක්වා එම පාසලේ අධ්‍යාපනය ලබන අනුර දිසානායක ඇතුළු පිරිස එම පාසලෙන් සාමාන්‍ය පෙළ විභාගය ලියූ අවසන් ශිෂ්‍ය කණ්ඩායමයි. සාමාන්‍ය පෙළින් සමත් වූ ඔහු උසස් පෙළ සඳහා ඇතුළු වන්නේ අලුතෙන්ම පිහිටවූ තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයට ය. එම පාසලේ පළමු විද්‍යා, ගණිත ශිෂ්‍ය කණ්ඩායමට ඇතුල් වන අනුර දිසානායක 1988 වසරේ අගෝස්තු මාසයේ දී ගණිත අංශයෙන් උසස් පෙළ විභාගයට පෙනී සිට තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයෙන් විශ්වවිද්‍යාල වරම් ලැබූ පළමු ශිෂ්‍යයා බවට පත් විය.
දේශපාලනයට සම්බන්ධ වීම
මේ කාලයේ ඔවුන්ගේ නිවස පිහිටා තිබුණේ තඹුත්තේගම නල්ලච්චිය ප්‍රදේශයේ කොළඹ දෙසට තනි සිග්නල් කණුව නම් ප්‍රදේශයේ ය. සාමාන්‍ය ගමේ කොල්ලෙක් ලෙසටම හැදී වැඩී ඇති අනුර ඇතුළු යහළුවන්ගේ ප්‍රධාන විනෝදාංශ වී ඇත්තේ පාපැදිවල නැගී තඹුත්තේගම නගරයට මෙන්ම බුල්නෑව නගරයට ගොස් චිත්‍රපට නැරඹීම සහ වැව්වලට පැන පැය ගණන් එගොඩ මෙගොඩ පිහිනීමයි. ළමා කාලයේ පටන්ම මවුපියන් සමඟ කුඹුරු ගොවිතැන් සඳහා සහභාගී වූ අනුර පාසල් නිවාඩු කාලයේදී ගමේ මිතුරන් සමග දුම්රියේ වෙෙළඳාම් කටයුතුවලද නිරත වී තිබේ. පළමු දේශපාලන අද්දැකීම ලෙස 1982 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතුවල නියැලුණු ගලේවෙල දේවහුවේ සිට පැමිණි තම මවගේ සහෝදරයා සමග තඹුත්තේගම නගරයේ පැවැති ජනතා විමුක්ති පෙරමුණේ රැස්වීමක් නැරඹීමට එවකට 14 වැනි වියේ පසු වූ අනුර යන්නේ ය. පාසලේ ගුරුවරයකුගේ මූලිකත්වයෙන් පැවැත් වූ එම රැස්වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර ද පැමිණ තිබුණ අතර එය ඔහු රෝහණ විජේවීර දුටු ප්‍රථම සහ අවසන් අවස්ථාව බව අනුර දිසානායක සම්මුඛ සාකච්ඡා කිහිපයක දී පවසා තිබේ. පාසල් කාලයේ දී ඔවුන් මුහුණ දුන් අසාධාරණකම්වලට එරෙහිව නැගී සිටි අනුර දිසානායක ඇතුළු සිසුන් තම පාසලට ප්‍රමාණවත් ගුරුවරු ඉල්ලා අනුරාධපුර අධ්‍යාපන කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණයද කර තිබේ.
1987 ඉන්දු - ලංකා ගිවිසුම හේතුවෙන් රට තුළ පැන නැගුණ දේශපාලන තත්වයත් සමඟ පාසල් අධ්‍යාපන්‍ය ලබමින් සිටි තරුණ අනුර ද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු බවට පත්වන්නේ ඔවුන්ගේ නිවසට නිතර ආ ගිය ජනතා විමුක්ති පෙරමුණේ ශිෂ්‍ය අංශයේ නායකයකු වූ සම්පත් නම් සහෝදරයකුගේ ආශ්‍රයත් සමඟයි. ඉන් පසුව 1989 වර්ෂය වෙද්දී අනුර දිසානායක අනුරාධපුර ගල්කිරියාගම කොට්ඨාසයේ ශිෂ්‍ය අංශයේ ලේකම් ලෙස කටයුතු කළ අතර අනුර එකල ඔහු හඳුන්වා ඇත්තේ බණ්ඩාර යන නමිනි. 1989 දී ලංකාවේ ඇති වූ දැවැන්ත භීෂණ තත්වය හමුවේ අනුර දිසානායකගේ මවගේ සහෝදරියකගේ පුතා වූ එවකට තඹුත්තේගම කොට්ඨාසයේ ශිෂ්‍ය අංශයේ ලේකම් ලෙස කටයුතු කළ ප්‍රේමසිරි සහ අනුරගේ තවත් ඥාති සහෝදරයකු වූ එප්පාවල කොට්ඨාසයේ ශිෂ්‍ය ලේකම්වරයකු ලෙස කටයුතු කළ දාමන්ත යන දෙදෙනාම කමිටු සාකච්ඡාවකට ගොස් එමින් සිටිය දී එප්පාවල මාවතවැව ග්‍රාමයේදී පොලිසිය විසින් වෙඩි තබා ඝාතනය කරන ලදී. බණ්ඩාර ඉගෙන ගත් පාසලේ ශිෂ්‍යයන් එකොළොස් දෙනකු මෙලෙස ඝාතනය ලක්වූ අතර ඔහුගේ නිවසද ගිනිබත් කරනු ලැබීය. බිත්තියේ එල්ලා තිබූ රතන සූත්‍රය පමණක් නොදැවී ඔවුන් සන්තක සියලු දේ ඒ ගින්නෙන් දැවී අළු වී ගියේය. මේ තරුණයාගේ පොත පතද සහතික පත් ද ඒ අතර විය. එම නිසා ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ බොහෝ අය කැලෑ වැදුණු අතර අනුරගේ මවුපියෝ ඔවුන්ගේ මුල්ගම වූ ආඬියාගලට ගොස් ඥාති නිවසක ජීවත් වූහ.
සරසවි අධ්‍යාපනය
1990 සිට 1993 දක්වා කාලයේදී ආඬියාගල මහා විද්‍යාලයේ ස්වේච්ඡා ගුරුවරයකු ලෙසින් ගණිත විෂය ඉගැන්වීමේ නිරත වූ අනුර අඬියාගල මෙන්ම මීගමුවේ බටහිර පළඟතුරේ ප්‍රජාශාලාවක සහ මහනුවර නුගවෙල ආසන්නයේ නයියපාන පන්සලේ ද සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ දරුවන්ට උපකාරක පන්ති ද පවත්වා තිබේ. මීට අමතරව එදිනෙදා වියදම් පියවා ගැනීම සඳහා පොළේ වෙෙළඳාම් කිරීම මෙන්ම මිරිස් වගා කිරීම ද අනුර විසින් තෝරාගෙන තිබේ. 1991 වසරේ පේරාදෙණිය ඉංජිනේරු පීඨයට ඇතුළත් වුවද දේශපාලන ප්‍රශ්න ඇතිවීම හේතුවෙන් මාස තුනකින් පමණ ඉන් ඉවත් වූ අනුර දිසානායක නැවත කැලණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව විද්‍යා උපාධි පාඨමාලාව හැදෑරීය. වත්මනේ ජනප්‍රිය ජීව විද්‍යා ගුරුවරයකු වන තිස්ස ජනනායක අනුරගේ සමකාලීනයෙකි. සරසවියේදී දේශනවලට යාමට වඩා දේශපාලන කටයුතු වලට මුල් තැනක් දුන් අනුර අවසන් දින කිහිපයේ පමණක් පාඩම් කිරීමෙන් විභාග සමත් වූ අයකු බව ඔහුගේ සරසවි සඟයෝ පවසති. 1993 පමණ වනවිට භීෂණ තත්වය යම්තාක් දුරට සමනය වීමත් සමඟ මව සහ පියා නැවත තඹුත්තේගමට පැමිණ කුඩා නිවසක් තනාගෙන එහි ජීවත්වූ අතර එම කාලයේදී ගමෙන් කොළඹට සංක්‍රමණය වූ අනුර දිසානායක සිය විශ්වවිද්‍යාල ජීවිතය තුළ ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීනයකු ලෙස සක්‍රීය දේශපාලනයේ අඛණ්ඩව නිරත වූයේ ය. එවක ඔහු හඳුන්වා ඇත්තේ අරවින්ද යන අන්වර්ථ නාමයෙනි. අරවින්ද කැලණිය සරසවියේ පමණක් නොව කොළඹ සරසවි බිමේද අප්‍රකටව නමුත් නිතර දැකිය හැකි සටන් සඟයෙක් විය.
1994 වනවිට බිඳ වැටුණු ජනතා විමුක්ති පෙරමුණ ක්‍රමයෙන් පුළුල්ව නැවත ගොඩ නැගෙමින් තිබුණි. එහි ශිෂ්‍ය අංශයේ දේශපාලන කටයුතු වල නිරත වූ අරවින්ද ඇතුළු පිරිසගේ ප්‍රධාන කාර්යභාරය වී ඇත්තේ සමාජවාදී ශිෂ්‍ය සංගමය ගොඩ නැගීම යි. 1994 දී ජනතා විමුක්ති පෙරමුණ සෝමවංශ අමරසිංහගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ නමින් මල් බඳුන සංකේතය යටතේ මහ මැතිවරණයට තරග වැදුනු අතර, මහත් අධිෂ්ඨානයෙන් එම මැතිවරණ කටයුතු සඳහා සහභාගී වූ අනුර දිසානායක සිය පළමු ප්‍රසිද්ධ වේදිකා මැතිවරණ කතාව කළේ කෑගල්ල දිස්ත්‍රික්කයේ අගුරුවැල්ලේ රැස්වීමක දී ය. පූර්ණ කාලීනව දේශපාලන කටයුතුවල නිරත වුවද අරවින්ද තරුණයා ඉතා සාර්ථකව 1995 දී කැලණිය සරසවියෙන් විද්‍යාවේදී උපාධි ය හිමිකර ගත්තේය. එහෙත් රටේ පැවති අස්ථාවර තත්වය හමුවේ රැකියාවක් සඳහා යොමු නොවුණ ඔහු තව දුරටත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන කටයුතු සඳහා යොමු වූයේ රටට වඩාත් යහපත් අනාගතයක් හිමිකර දීමේ අරමුණෙන්. 1997 දී සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ජාතික සංවිධායක බවට පත් වන අරවින්ද නොහොත් අනුර කුමාර දිසානායක එම වසරේ දී ම ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට ද තේරී පත්විය.
පාර්ලිමේන්තු ආගමනය
1998 දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයේ සාමාජිකත්වය ද අනුර ට හිමි වූ අතර, එම වසරේ දී පැවති මධ්‍යම පළාත් සභා මැතිවරණය සඳහා පක්ෂයේ මහ ඇමැති ධුර අපේක්ෂකයා වශයෙන් තරග වැදුණු නමුත් ඔහු එයින් පරාජය විය. 2000 වසරේ පැවති මහ මැතිවරණයේ දී ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත් වී පළමුවරට පාර්ලිමේන්තුවට පිවිසෙන අනුර කුමාර දිසානායක පාර්ලිමේනතුවේ දී දැක්වූ චතුර කථිකත්වය හේතුවෙන් පාක්ෂිකයන්ට අමතරව රට පුරා ජනතාවගේ ආකර්ෂණයට ලක්වන්නට පටන්ගත්තේ ය. රටේ දේශපාලයේ දැඩි අර්බුදකාරී තත්වයක් මද 2001 වසරේ දී පැවැත්වූ මහ මැතිවරණයෙන් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේනතු ආසන 16 ක් හිමිකර ගැනීමට සමත් විය. ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස එවර ද පාර්ලිමේන්තුවට පැමිණි අනුර දිසානායක 2004 දී පැවති පාර්ලිමේනතු මැතිවරණය සඳහ කුරුනෑගල දිස්ත්‍රික්කයෙන් තරග කළේය. එවතට අගමැති රනිල් වික්‍රමසිංහ කොටි ත්‍රස්තවාදය සම්බන්ධව ගත් ක්‍රියාමාර්ගවලට හා සටන් විරාමයටත් එරෙහිව ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩානායක සමග පරිවාස ආණ්ඩු ක්‍රියාවලියකට එක්ව සිටි ජනතා විමුක්ති පෙරමුණ මෙම මැතිවරණය සඳහා පොදු පෙරමුණ සමග සන්ධානයක් ලෙස තරග වැදී ඔවුන් තරග කළ සෑම දිස්ක්‍රික්කයක ම ඉහළම මනාප ලබා ගැනීමට සමත් විය. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ තරග වැදුණු අනුර කුමාර දිසානායක මනාප ජන්ද 153,868 ක් ලබා ගනිමින් එම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාපලාභියා බවට ද පත් විය.
එම මැතිවරණයෙන් ආණ්ඩු බලය පිහිට වූ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇමැතිධූර කීපයක් ජනතා විමුක්ති පෙරමුණට ද හිමි විය. ඒ අනුව අනුර කුමාර දිසානායක කෘෂිකර්ම, ඉඩම් වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍යවරයා ලෙසින් 2004 අප්‍රේල් මස 28 වැනි දා වැඩ භාර ගත්තේ ය. රට පුරා වැව් අභාවයට යමින් පවතී වැව් දහසක් පිළිසකර කිරීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම අමාත්‍යංශය හරහා ආරම්භ කළ අනුර කුමාර දිසානායක ඇමැතිවරයා පශු සම්පත් අමාත්‍යංශය යටතේ “දැයේ කිරි සුවඳ” නමින් කිරි ගොවි ගම්මාන දියුණු කරමින් එවකට ණය වී පාඩු ලබමින් තිබූ රජයේ මිල්කෝ කිරි සමාගම ඉතා කෙටි කලකින් ලාභ ලබන ආයතනයක් බවට පත් කරන්නට සමත් විය. අපේ රටේ අමාත්‍යවරයකුට ලැබෙන ප්‍රවාහන දීමනාව තරයේ ප්‍රතික්ෂේප කළ අනුර කුමාර දිසානායක එම දීමනා අමාත්‍යංශ සේවකයන්ගේ රාජකාරී ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් යෙදවු අතර අමාත්‍යංශය සතු සුඛෝපභෝගී වාහන යළි භාරදී ඩබල් කැබ් රථයක් පමණක් ආණ්ඩුවෙන් ඉල්ලා ගත්තේය. ශ්‍රී ලංකා ඉතිහාසයේ වැඩි ම වී නිෂ්පාදනය වාර්තා වූයේද ඔහු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ කෙටි කාලයේ දී ය. 2004 අප්‍රේල් සිට මාස 14 ක් වැනි කෙටි කාලයක් ඇමැතිධූරයේ කටයුතු කළ අනුර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණේ පිරිස අමාත්‍ය ධූරවලින් පමණක් නොව සන්ධාන ආණ්ඩුවෙන් ද 2005 ජූනි මාසයේ 16 වැනි දා ඉවත් වූයේ ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරායක කුමාරතුංග රජය සහ කොටි සංවිධානය අතර ඇති කර ගත් ආන්දෝලනාත්මක සුනාමි සහන මණ්ඩල ගිවිසුමට විරෝධය පළ කරමිනි.
2008 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා බවට අනුර දිසානායක පත් වූ අතර හිටුප යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ කණ්ඩායම හා ජනතා විමුක්ති පෙරමුණ එක්ව පිහිටුවා ගත් ප්‍රජාත්න්‍රවාදී ජාතික සන්ධානයෙන් 2010 වර්ෂයේ දී අනුර දිසානායක ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස නැවතත් පාර්ලිමේන්තුවට පිවිසුණි. රෝහණ විජේවීර නම් දේශප්‍රේමී විප්ලවවාදියාගේ නායකත්වයෙන් 1965 මැයි මස 14 වැනි දා ආරම්භ කරන ලද ජනතා විමුක්ති පෙරමුණේ 2014 පැවති 7 වැනි ජාතික සමුළුවේ දී එම පක්ෂයේ නායක්ත්වයට අනුර කුමාර දිසානායක තෝරා පත්කර ගන්නා ලදී. ඒ අනුව 2014 පෙබරවාරි 02 වැනි දා සිට මේ දක්වා නායකත්වය හොබවන ඔහු ජනතා විමුක්ති පෙරමුණේ 5 වැනි නායකයා යි.
දූෂණය, නාස්තිය හා වංචාවට එරෙහිව නිරන්තරව පෙනී සිටිමින් මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවට එරෙහි ජනමතයක් ගොඩ නැගීමේ ප්‍රමුඛ කාර්ය භාරයක නියැලුනු ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ ප්‍රබල කථිකයා වූ අනුර කුමාර දිසානායක 2015 මහ මැතිරවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින තරග වැදී මනාප ඡන්ද 65,966 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරි පත් වීය. 2015 සැප්තැම්බර් මස 03 දා සිට 2018 දෙසැම්බර් මස 17 දක්වා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කළ ඔහු පාර්ලිමේන්තු වේ සක්‍රීයම මන්ත්‍රී ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය අඛණ්ඩව වසර 5ක් ම ලබා ගෙන ඇත. 2015 වසරේ දී ජනතා විමුක්ති පෙරමුණේ මූලිකත්වයෙන් ආරම්භ කරන ලද ජන බලවේගය සඳහා වූ ජාතික ව්‍යාපාරය තව දුරටත් පුළුල් කරමින් විවිධ ප්‍රජා සංවිධාන සහ කණ්ඩායම් 28 ක එකතුවෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන දිශානතිය නිවැරදි මාවතකට ගෙන ඒමේ අරමුණින් පිහිට වූ ජාතික ජන බලවේගයේ නායකත්වයේ වගකීම ද අනුර කුමාර දිසානායකගේ උර මත පැට වුණි. 2019 වසරේ අගෝස්තු මස 18 වැනි දින ගාලු මුවදොර පිටියේ පැවති ජන රැලියේ දී ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා ලෙසින් අනුර කුමාර දිසානායක නම් කළ අතර මාලිමා ලකුණ යටතේ තරග වැදී 2019 වසරේ නොවැම්බර් 16 පැවැති ජනාධිපතිවරණයේ දී ජන්ද 418,553 ක් හිමි කර ගනිමින් තෙවන ස්ථානයට පත්විය. මාලිමාව යටතේ ම 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරග වැදුනු අනුර කුමාර දිසානායක එවර පාර්ලිමේන්තු අසුනක් දිනා ගත්තේ මනාප ජන්ද 49,816 ක් ලබා ගනිමිනි.
මුළු ජීවිතයම දේශපාලනය වෙනුවෙන් කැප කළ ද විවේකයක් ලද අසිල්ලකදී වැවකට ඇළකට දොළකට පැන පිහිනීමත් තමන්ගේ ප්‍රියතම ක්‍රීඩාවක් වන බැට්මින්ටන් ක්‍රීඩාවේත් නිරත වන අනුර තවමත් සිය විශ්වවිද්‍යාල යහලුවන් හා එක් වී මාස 06 කට වතාවක් වත් විනෝද චාරිකාවක් යාමටත් අමතක කරන්නේ නැත. සාහිත්‍ය පොත පත කියවීම මෙන්ම චිත්‍රපට, නාට්‍ය, සංගීතය, නර්ථන, චිත්‍ර ආදි සියලු කලා කටයුතුවල හැකි සෑම මොහොතකම උනන්දුවෙන් සහභාගී වන අනුර කුමාර දිසානායක ඒ හරහා ගොඩ නගා ගන්නා උසස් රසිකත්වයත්, ක්‍රිඩාවේ නියැලීමෙන් ලබන ක්‍රියාශීලීත්වත් රටක සාමාජයීය දියුණුවට හේතු වන බව තරයේ විශ්වාස කරන්නෙකි. තමන්ට ලැබෙන කාලය මනාව කළමනාකරණය කරගනිමින් පාර්ලිමේන්තුවේදීත් ඉන් පිටතදීත් නිශ්චිත තොරතුරු හා කරුණු තාර්කිකව ඉදිරිපත් කිරීමේ ශූර කථිකත්වය අනුර කුමාර වියතුන් අතර බුහුමනට පාත්‍ර වීමට හේතුවයි. අතිශයින් ම අපහසු කාර්යක් වූ මෙරට ජනතාවගේ දේශපාලන පුරුදු සහ මතිමතාන්තර වෙනස් කිරීම වෙනුවෙන් දශක 3කට වැඩි කාලයක් උඩුගම් බලා පිනන මේ කුඩා නමුත් අපූර්ව මිනිසා 2024 ජනාධිපතිවරණයෙන් ජන්ද 56,34,915 ලබාගනිමින් මෙරට නව වැනි විධායක ජනධිපතිවරයා ලෙස අභිෂේක ලබා ඇත. ජනපතිවීමෙන් පසුද පදවි තානාන්තර පසෙක ලා අනුර යනුවෙන් මා අමතන්න යයි කී මේ සුන්දර නිගතමානී මිනිසා මුහුණ දෙන අභියෝග කිහිපයකි.
අභියෝග
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ මෙම ජයග්‍රහණය සමග ඔහුට මුහුණ දීමට සිදුවන අභියෝග අතර කෙටිකාලීන වශයෙන් පාර්ලිමේන්තුව තුළ ඔහුගේ පක්ෂයේ නියෝජනය කරන්නේ මන්ත්‍රී ආසන තුනක් පමණක් බැවින් අග්‍රාමාත්‍යවරයා සහ කැබිනට් මණ්ඩලය පත්කර ගැනීම අභියෝගයක් වනු ඇත. එහිදී විෂය පථයන් විශාල සංඛ්‍යාවක් එකම ඇමැතිවරයකුට දරන්නට සිදුවීම නිසා නැවත මහ මැතිවරණයක් පැවැත්වෙන අවස්ථාව දක්වා ආණ්ඩුවේ කටයුතු කළමනාකරණය කර ගැනීම තරමක දුෂ්කර වනු ඇත. එමෙන්ම රනිල් වික්‍රමසිංහ මුදල් ඇමැතිවරයා විසින් පසුගිය අයවැයෙන් වෙන් කරන ලද මුදල්වලින් විශාල ප්‍රමාණයක් වර්ෂය අවසානය වීමට මත්තෙන් වියදම් කොට ඇති නිසා ඉදිරි කාලයේ දී නව අයවැයක් කරා ගමන් කරනතුරු ආණ්ඩුවේ වියදම් පියවා ගැනීම ද අනුර කුමාරට අභියෝගයක් වනු ඇත. ඒ අතරම ඔහු විසින් ඉදිරිපත් කරන ලද දීර්ඝකාලීන වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීම ආරම්භ කළ යුතු අතර මහ මැතිවරණයක් සඳහා සූදානම් වීමට සිදුවන බැවින් දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන යෝජනා ක්‍රියාත්මක කිරීම ඔහු ස්ථාවර වීමට පෙර කෙසේ හෝ අර්බුදයට පත් කිරීමට බලා සිටින ප්‍රතිවාදීන් හමුවේ තරමක් අභියෝගයක් විය හැකිය. දිගුකාලීන වශයෙන් මුහුණ පෑ හැකි ප්‍රධාන අභියෝගය වන්නේ ශ්‍රී ලංකාවේ ණය අර්බුදයයි. රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ණය ප්‍රතිව්‍යුහගත කළා යැයි දේශපාලන සංදර්ශන සහ මාධ්‍ය සංදර්ශන පැවැත්වුවද ඒ සඳහා වන මූලික එකඟතා මිස නිසි ආකාර ගිවිසුම් ගත වීමක් තවමත් සිදුවී නැත. එබැවින් අනුර කුමාරගේ ආණ්ඩුවට පළමුව මුහුණ දීමට සිදුවන අභියෝගය වන්නේ ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කර ගැනීමයි. විශේෂයෙන්ම ස්වෛරීත්ව බැඳුම්කර සම්බන්ධ ගනුදෙනු අවසන් කර ගැනීම යි. එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතරවැනි ණය වාරිකය ලබා ගැනීම සඳහා තුන්වැනි විමර්ශනය කළ යුතුව පවත්නා බැවින් ඊට පෙර ඉටු කළ යුතු කොන්දේසි ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඉදිරිපත් කොට තිබේ. මෙතෙක් ඒවා කල් දමමින් සිටියා මිස වික්‍රමසිංහ ආණ්ඩුව ඒවායේ පවත්නා වැදගත් යෝජනා ක්‍රියාත්මක කළේ නැත. එබැවින් අනුර දිසානායකට පැවරෙන ප්‍රධාන අභියෝගයක් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ හතරවැනි ණය වාරිකය ලබා ගැනීම සඳහා අවශ්‍ය පෙර සූදානම සකස් කිරීමයි. අනුර කුමාර මහතා විසින් ඉදිරිපත් කරන ලද ජනාධිපති මැතිවරණ ප්‍රකාශයේ අවුරුදු 5-10 අතර කාලයකට දිව යන දිගුකාලීන වැඩපිළිවෙළක් යෝජනා කොට තිබේ. එය ආරම්භ කිරීමටත් ක්‍රියාත්මක කිරීමටත් ඔහුට මහ මැතිවරණයකින් නියත වශයෙන් ම තුනෙන් දෙකක් ඉක්මවන දේශපාලන බලයක් ලබා ගැනීමට අවශ්‍ය වේ. මෙය අනුර කුමාර මුහුණපාන දැඩි අභියෝගයක් වනු ඇත. ඊට හේතුව ජනාධිපතිවරණයේ ප්‍රතිඵල අනුව ඔහුට සියයට 50 ඉක්මවා යාමට නොහැකි වීම නිසා ප්‍රතිවාදී කඳවුරු තනි තනිව හෝ එකාබද්ධව ඔවුන්ගේ බලය නැවත උරගා බැලීම සම්පූර්ණයෙන්ම අත් නොහරින බැවිනි. ඒ සියලු අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් දශක තුනක් පුරාවට ඔහු මැවූ සිහිනය මේ රටේ දුක් විඳින ජනතාව වෙනුවෙන් පොහොසත් රටක් ලස්සන ජීවිතයක් ගොඩනගන්නට ඔහුට දිරිය ශක්තිය ලැබේවායි පතමු.
(*** ආචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි)
(*** ඡායාරූපය - ළහිරු හර්ෂණ)