අනූ විය සපුරණ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග


ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංගයන් අද (25) වැනිදා 90 වැනි විය සපුරයි. මේ ලිපිය ඒ නිමිත්තෙනි.
පිවිතුරු සුදු ජාතික ඇඳුමින් සැරසුණු ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග මනහර හරබර හඬින් පැහැදිලිව නිරවුල්ව සුගම ලෙස දෙසුම් පවත්වන අයුරු කදිමය. අප නිතර පරිශීලනය කරන මහා සිංහල ශබ්දකෝෂය කොතරම් ප්‍රයෝජනවත්  ග්‍රන්ථයක් ද යනු ඔබට පසක් වී ඇතැයි සිතමි. එය සම්පාදනය කළේ විජයතුංග සුධීමතුන් විසිනි.

අප විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යා හා අපරාධ යුක්ති පරිපාලන උපාධි පාඨමාලාවන්හි දී බෞද්ධ නීති දර්ශනය උගන්වනු ලැබේ. සිංහල නීති නිඝණ්ඩුව පිළිබඳ දර්ශනසූරි උපාධියක් කළ විජයතුංගයන්ගේ මේ මහරු ග්‍රන්ථය අපි භාවිත කරන්නෙමු.

ඉහතකී පාඨමාලාවන්හි මේ කෘතිය පාඨ ග්‍රන්ථයකි. වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතා මිය පරලොව යන්ට සති තුනකට පෙර හරිශ්චන්ද්‍ර විජයතුංග මහතාගේ ඇසුර මිතුරුකම හා කාර්ය සාඵල්‍යතාව ගැන පැය දෙකක පමණ සාකච්ඡාවක් කළෙමු.

භාෂා ප්‍රේමීන්ගේ සන්ධානය විසින් පළ කරනු ලබන ‘සිංහල’ විශේෂ නිල ප්‍රකාශනය මෙවසරේ ඉදිරිපත් කරනුයේ ආචාර්ය හරිශ්චන්ද්‍ර විජයතුංග විද්වතාණන් විසින් රට දැය, සමය කෙරෙහි කරන ලද මහ මෙහෙවර අගය කිරීම පිණිසය.

විජයතුංග මහතා ඉපැදුණේ 1931 ඔක්තෝබර් මස 25 වැනිදාය. මිනුවන්ගොඩ මැඩෑමුල්ල නම් සොඳුරු ගම්කරයේය.

අප්‍රතිහත ධෛර්යයෙන් වීර්යයෙන් ඉගෙන ගත් හෙතෙම මිනුවන්ගොඩ ද්විභාෂා පාඨශාලාවෙන් මූලික අධ්‍යාපනය ලැබීය. දෙවැනි ලෝක යුද්ධ කාලයයි ඒ.

කොළඹ නාලන්දා විද්‍යාලය මිනුවන්ගොඩට ගෙන ආ බැවින් එම පාසලට ඇතුළු වී උගෙනීමේ වරම ඔහුට හිමිවිය. ඔහු විද්‍යාව උගත්තේය. ඒ අතර සාහිත්‍යය, භාෂාව, සංගීතය, නැටුම ද ඉගෙන ගන්නේ මහත් ලැදියාවෙනි. මුල් ගුරුතුමා වූ. ජේ.එන්. ජිනේන්ද්‍රදාස වියතුන්ගේ මගෙ පෙන්වීමෙනි.
අනගාරික ධර්මපාල චින්තනයෙන්, මුනිදාස කුමාරතුංගයන්ගේ ආභාසයෙන් ජාත්‍යනුරාගය, ජාතිකත්වය ජාති දේශවාත්සල්‍යයෙන් පබසර දිවියකට මග සලසා ඇත.

සිංහලකම, බෞද්ධකම, රට දැය, සමය තිරසර කිරීමට දිවි හිමියෙන් ඇප කැපවන අය වාද විවාදයට ලක්වෙති. ඒ මානව කේන්ද්‍රවාදී ආකල්ප කරණකොටය.

ජාතික ආගමික අනන්‍යතා ලක්ෂණ පෙරදැරි විජයතුංග මහතා ඉතා හො‌ඳ පුරවැසියෙකි. සංස්කෘතික සාපේක්ෂතාව විශ්වාස කරන්නෙකි. අන්‍යයන්ගේ සුභසිද්ධිය ගෞරවය අපේක්ෂා කරන්නෙකි. ආරක්ෂා කරන්නෙකි. ඔහු වෛරී බුද්ධිමතකු නොවේ.

එකල මුනිදාස කුමාරතුංගයන්ගේ අභාවයෙන් පසු හෙළ හවුලේ නායකයා වූ ජයන්ත වීරසේකර පඬිවරයා ඇසුර විජයතුංගයන් කෙරෙහි සජීවී ආභාෂයක් ලබා දුන්නේය. රැපියෙල් තෙන්නකෝන්, අමරසිරි ගුණවර්ධන, වෙ.ම. පෙරේරා, සුනිල් ශාන්ත, සඳදස් කෝපරහේවා, වජිරසේන සමරකෝන්, ශ්‍රී චාල්ස් ද සිල්වා, හියුබත් දිසානායක, වෙල්ලාල ජයමහ, අරිසෙන් අහුබුදු, වෙ.වි. අභයගුණවර්ධන වැනි පඬුවන් තසුවන් අතර හැදුණු වැඩුණු විජයතුංගයන්ගේ සිත දේශපාලනයට ඇදී ගියේ නිතැතිනි. එක් අතකින් භාෂා සාහිත්‍ය පෝෂණය තවත් අතකින් සිංහලේ භූමි පුත්‍ර පක්ෂයේ නායකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම එතුමාගේ ජීවිතයේ කඩඉම්විය.

පාරිභාෂික ශබ්දකෝෂයක් එතුමා අතින් සකස්වීමත් ඉතා වැදගත් කටයුත්තකි. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේ දී උපාධිය දිනා ගත්තෙකි. මුල් කාලයේ මහා බෝධි විද්‍යාලයේ ගුරුවරයකු ලෙස වැඩ කටයුතු කළ අතර මහනුවර ධර්මරාජ හා මහාමායා විද්‍යාලයන්හි විද්‍යා ගුරුවරයකු හැටියට ද සේවය කළේය.

සිංහල, ඉංග්‍රීසි පාලි භාෂා මැනවින් උගත්  හෙතෙම උභය බසින් ලේඛනකරණයේ හා භාෂණයේ යෙදුණු ව්‍යක්ත පඬිවරයෙකි.

1984-1900 කාලය තුළ සිංහල ශබ්ද කෝෂයේ ප්‍රධාන කර්තෘ වූ එතුමා 1973 දී අධිනීතිඥයකු ලෙස දිවුරුම් දුන්නේය. මිරිදිය ජීවිහු (1955) ජ්‍යෙෂ්ඨ රසායන විද්‍යාව (1956) පොළොවේ කථාන්තරය (1954) මාඕසේතුංගේ කලාව හා සාහිත්‍ය ඇතුළු පරිවර්තන කෘති කීපයක් ද සාහිත්‍යය, ආගමික ඉතිහාසය ග්‍රන්ථ කීපයක් ද දේශපාලනය, ආයුර්වේදය, ඉතිහාසය, බුද්ධ දර්ශනය, නීති දේශාටන විස්තර හා විචාර ග්‍රන්ථ ගණනාවක් සිංහල සහ ඉංග්‍රීසි පාඨකයන් සඳහා ඉදිරිපත් කළ සැබෑ බුද්ධිමතෙකි. සමාජීය ක්‍රියාකාරිකයෙකි.

සිංහල ශබ්ද කෝෂය නමින් දැවැන්ත ශබ්ද කෝෂයක් කාණ්ඩ දෙකකින් යුතුව වචන එක් ලක්ෂ පනස් දාහකින් සමන්විතව සකස් කරන්නට මට අවස්ථාවක් ලැබුණා. එහි වන ලක්ෂණ ගණනක් වූ වචන එකින් එක මගේ මේ අතින් ලියා තිබෙනවා. ඒ අනුව එහි න-ණ-ල-ළ කී වතාවක් යෙදුණ ද කියන්න මා දන්නේ නැහැ. පිළිවෙළ කියන තැන ම ‘ළ’ යනු දෙකක් තිබෙනවා. ඒ අනුව ඒ වචන ලක්ෂ ගණන ලියන අවස්ථාවේ දී න-ණ-ල-ළ මොන තරමක් ලියැවුණ ද මා දන්නේ නැත.

මුනිදාස කුමාරතුංග සමරු සසඳු මාලාවේ දී න-ණ-ල-ළ සම්බන්ධ වාදයක දී එතුමා පැවසුවේ මෙසේය.
1971 කැරැල්ලේ චුදිතයන් වෙනුවෙන් අපරාධ යුක්ති කොමිසම ඉදිරියේ එතුමා සේවය ලබා දුන්නේ කැමැත්තෙනි.

1977 අගෝස්තු මස සිදු වූ සිද්ධීන් පිළිබඳව විමසීමට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතා විසින් පත් කරන ලද ‘සන්සෝනි කොමිසන් සභාව’ නමින් හඳුන්වන ලද හිටපු අගවිනිසුරු එම්.සී. සන්සෝනි මහතා ඉදිරියේ සිංහල බෞද්ධ ජනතාව වෙනුවෙන් කරුණු දක්වමින් දෙමළ අන්තවාදී ව්‍යාජ මත ඛණ්ඩනය කර අපක්ෂපාත තීන්දුවක් ලබා ගැනීම වෙනුවෙන් නිස්සරණධ්‍යාශයෙන් පෙනී සිටිමින් කළ මෙහෙවර අගනේය.

අදට (25) දා හරිශ්චන්ද්‍ර විජයතුංග වියතුන් අගයමින් ‘සිංහල’ විශේෂ අභිනන්දන සඟරාව පළවෙයි. එහිදී ප්‍රධාන දේශනය පවත්වනු ලබන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශ ප්‍රධාන මහාචාර්ය සඳගෝමි කෝපරහේවා මහතා විසිනි.

(*** මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර)