අනේ මාමේ තාත්තව පුච්චන්න එපා


  • සෑම පැය දෙකකට වරක්ම මළ සිරුරක් ආදාහනය වෙනවා
  • අනේ මාමේ තාත්තව පුච්චන්න එපා කියලා පුංචි දූලා දෙන්නෙක් කෑ ගැහුවා
  • ගුරුවරයකුගේ සිරුරක් ආදාහනාගාරයට ඇතුළු කරන විට ළමයි දෙන්නා ලතෝනි දෙන්න පටන් ගත්තා

 

කෝවිඩ් දෙවැනි රැල්ල ආරම්භ වූයේ ගම්පහ මිනුවන්ගොඩිනි. ඒ 2020 ඔක්තෝබර් මාසයේය. පසුගිය සතිය වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ මියගිය ගණන 1033 කි. ඔවුන් අතර පිරිමි 537 ක් හා ගැහැණු 447 ක් වෙති. මේ මියගිය පිරිසෙන් 90% ක්ම වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයන්ය. දෙවන රැල්ල ආරම්භයේ දී දිස්ත්‍රික්කයෙන්ම වාර්තා වූ දිනක ආසාදිතයන් ගණන 100 කටත් වඩා අඩු සංඛ්‍යාවක් වූ අතර මේ වන විට එම සංඛ්‍යාව දිනකට 1500 සීමාවට ළඟා වී තිබේ.  


රටේ වැඩිම ජනගහණයක් වෙසෙන ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයන් ගණන මෙන්ම මරණ ගණන ද එන්න එන්නම වැඩිවීම නිසා රෝහල්වල සිදු කෙරෙන ප්‍රතිකාර සේවා මෙන්ම මරණකරුවන් ආදාහනය කිරීම වැනි කාර්යයන්ට බලවත් දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ. දිනපතා අඛණ්ඩව මළ සිරුරු පිළීස්සීම නිසා රස්නයට ඔරොත්තු නොදී දිස්ත්‍රික්කයේ පිහිටි ආදාහනාගාර බොහොමයක් අක්‍රිය තත්ත්වයට පත්ව තිබේ. එම නිසා තම ඥාතියාගේ සිරුර ආදාහනය කිරීමත් බොහෝ දෙනෙකුට ගැටලුවක්ව තිබෙනු දක්නට ලැබේ.  
එහෙත් පළාත් පාලන ආයතන ප්‍රධානීන් හා සේවකයන් එක්වී විශාල කාර්යභාරයක් ඉටුකරමින් ආදාහනාගාරවල සේවාව ජනතාව වෙත උපරිමයෙන් ලබා දීමට කටයුතු යොදා තිබේ. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවට අයත් මල්වත්ත හා උෟරාපොළ ආදාහනාගාර දෙකම මේ වෙනුවෙන් වෙන්වී තිබේ. ආදාහනාගාරයක සාමාන්‍යයෙන් සිරුරු පුළුස්සන්නේ දිනකට තුනක් වුව ද දැන් එම සංඛ්‍යාව දිනකට හතක් දක්වා ඉහළ ගොස් තිබේ. මල්වත්ත ආදාහනාගාරයේ මේ වන විට දහවල් 12 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා සෑම පැය දෙකකට වරක්ම මළ සිරුරක් ආදාහනය කෙරේ. කෝවිඩ් සිරුරු පිළිස්සීම නිසා සාමාන්‍ය මරණවල මෘතදේහ පිළීස්සීම ද අත්හිටුවා ඇති අතර ඒවා භූමදානය කර ගන්නා ලෙස දන්වා තිබේ. අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා පැවසුවේ ප්‍රදේශයේ අඩු ආදායම් ලාභියෙකු කෝවිඩ් රෝගයෙන් මිය ගියහොත් ආදාහනාගාර ගාස්තු මෙන්ම අවසන් කටයුතු සියල්ල දානපතින්ගේ ද උපකාරය ඇතිව නොමිලයේ සිදු කරන බවයි.  


ආදාහනාගාර සේවකයන් සිරුරු ආදාහනය කරද්දී ලබන අත්දැකීම් ද සිත සසල කරවන සුළුය. මේ මල්වත්ත ආදාහනාගාරයේ සේවකයෙකු අප හා කී කතාවයි.  


​මේ ළඟදී පාසල් ගුරුවරයෙකුගේ සිරුර ආදාහනය කරන්න ගෙනාවා. ඔහු තරුණ ගුරුවරයෙක්. ශිෂ්‍යත්ව විභාගයට ටියුෂන් කරන කෙනෙක්. එයාගේ දරුවන් දෙදෙනාත් පුංචියි. කෝවිඩ් මරණයක් නිසා සිරුර සීල් කරලයි ගේන්නේ. මේ ගුරුවරයාගේ දරුවන් දෙන්නත් තවත් දරුවන් පිරිසකුත් ආදහානාගාරය අසල ඉඳලා අඬනවා. විලාප තියනවා. ගුරුවරයාව බලන්න ඕනෙයි කියනවා. ඒ සිරුර ආදාහනාගාරයට ඇතුළු කරන විට ළමයි ලතෝනි දෙන්න පටන් ගත්තා. මම අවුරුදු ගාණක් මිනී පුච්චලා තියෙනවා. මගේ හිත මේ තරම් කම්පාවට පත්වෙලා නැහැ.  


උෟරාපොළ ආදාහනාගාරයේ සේවකයෙක් ද තමා ලද අත්දැකීමක් විස්තර කළේය.  


අවුරුදු 45 ක් විතර වයස මහත්තයකුගේ සිරුර ආදාහනාගාරයට ගෙනාවා. ඔහුව මාත් දන්නවා. ඔහුට හිටියේ කුඩා දියණිවරුන් දෙන්නෙක්. අවුරුදු 8 ක් හා 10 ක් විතර. මියගිය අයගේ බිරිඳ බිම දණගහගෙන මිනිය දෙසට හැරී වැඳගෙන අඬනවා. පුංචි ළමයි දෙන්නා කෑ ගහනවා. අනේ මාමේ තාත්තව පුච්චන්න එපා කියලා. ඔය අතරේ අම්මට සිහිය නැතිව වැටෙනවා. දරුවන් දෙන්නා වරෙක අම්මේ කියලත් තවත් වරෙක තාත්තේ කියලත් කෑ ගහමින් අඬනවා. විලාප දෙනවා. මේ වගේ ලතෝනි මැද තමයි මහත්තයෝ අපි මේ රස්සාව කරන්නේ.  


ගම්පහ දිස්ත්‍රික්කයේ කෝවිඩ් මරණ සැළකිය යුතු සංඛ්‍යාවක් සිදුවන ස්ථානයකි. ගම්පහ රෝහල එහි සිදුවන මරණවල ආදාහනය සිදු කරන්නේ මහ නගර සභාවට අයත් කසගහවත්ත ආදාහනාගාරයේය. මහනගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය පරිපාලන මංගල අමරසිරි මහතා ප්‍රකාශ කළේ දිනකට සාමාන්‍යයෙන් සිරුරු තුනක් පමණක් පිළිස්සුව ද දැන් එම ගණන දිනකට 06 ක් හෝ 07 ක් වන බවයි.  


රෝහලේ දී තමන්ගේ ඥාතියෙකු කෝවිඩ් නිසා මියගිය පසුව පළමුවෙන්ම කළ යුත්තේ මහනගර සභාවට පැමිණ සිරුර ආදාහනය කිරීම සඳහා දිනයක් ලබා ගැනීමයි. පසුව මිනී පෙට්ටියක් රෝහල වෙත සැපයිය යුතු අතර මෘත ශරීරය ආදාහනය කරනු ලබන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ අධීක්ෂණය යටතේය. කෙසේ වෙතත් ග්‍රාම නිලධාරී වසම් 1177 කින් සමන්විත ගම්පහ දිස්ත්‍රික්කයටම සිටින්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 153 ක් වන අතර ඉන් 6 දෙනෙකුට ද මේ වන විට කෝවිඩ් ආසාදනය වී තිබේ.  


කෙසේ වෙතත් ගම්පහ මහ නගර සභාවේ නගරාධිපති එරංග සේනානායක මහතාගේ උපදෙස් මත ගම්පහ ආදාහනාගාරයේ සේවාව ද වඩාත් පුළුල් කර තිබේ. මේ එහි සේවකයෙකු හෙළි කළ ශෝචනීය අත්දැකීමකි.  
වයසින් මුහුකුරා ගිය අම්මා කෙනෙක් ආදාහනාගාරයට ඇවිත් හිටියා කෝවිඩ් වලින් මිය ගිහින් තිබුණේ ඇගේ සැමියා. ඔවුන්ට දරුවන් සිටියත් ඒ අය හිටියේ පිටරට. ඔවුන් කිසිවෙක් පැමිණ සිටියේ නැහැ. ඇවිත් සිටියේ ඒ වයසක අම්මා විතරයි. සිරුර පිළිස්සුවේ රෑ අටට විතර. බොහෝ වේලාවක ඉඳන් ඇය ආදාහනාගාරය ආසන්නයේ රැඳී සිටියා. ඇය අවසන් අවස්ථාවේ දී අපෙන් ඉල්ලීමක් කළා. අැය අත තිබුණු යමක් මළ සිරුර මතින් තියන්න කියලා. මා දැක්කා එහි තිබුණේ එම යුවළ සිටින ඡායාරූපයක්. එයාට තනියක් දැනෙන එකක් නෑ කියලා ඇය කිව්වා. ඒ සේවකයා කීවේ කනගාටුවෙන්.  


මීරිගම ආදාහනාගාරයේ ද එතරම්ම තදබදයක් නැතත් කොවිඩ් සිරුරු ආදාහනය කරයි. මේ එහි අත්දැකීමකි. මම හිතන්නේ එදා ඇවිත් හිටියේ මියගිය කෙනාගේ පෙම්වතිය. තවත් කිහිප දෙනෙකු පැමිණ සිටියා. ඒ කිසිවෙකු දින ගණනාවකින් මියගිය තරුණයා දැකලා තිබුණේ නැහැ. අවසන් මොහොතේවත් ඔහු දැක ගන්න අවස්ථාවක් නෑ. ඒ තරුණිය අත තිබුණු සුදු මල් පොකුරක් තරුණයාගේ සිල් කරන ලද සිරුර උඩින් තියන්න කියලා ඉල්ලුවා.​ මෙවැනි හද සසල කරවන අත්දැකීම් බොහොමයක් ආදාහනාගාරවල සේවකයන් ලබා තිබේ. එම පීඩනය ඉවසා ගනිමින් දැඩි අවදානමක් සහිතව ඔවුන් ඉටු කරන සේවය අගය කළ යුතුයි.  
කෙසේ වෙතත් කොරෝනා මරණ ගණන් දිනෙන් දින වැඩිවීම නිසා පළාත් පාලන ආයතන සතු ආදාහනාගාර රැසක්ම අඛණ්‍ඩව මුහුණ පාන දැඩි රශ්මිය හමුවේ අක්‍රීය තත්ත්වයට පත්ව ඇත. මීට පිළියමක් වශයෙන් ලී පෙට්ටි වෙනුවට කාඩ්බෝඩ් පෙට්ටි හඳුන්වා දීමේ ක්‍රමයක් ද ගම්පහ කෝවිඩ් මර්දන කමිටුවේ දී සාකච්ඡා විය. ලී පෙට්ටියට වඩා ඉක්මණින් දැවෙන මෙම කාඩ්බෝඩ් පෙට්ටිය භාවිතයෙන් ආදාහනාගාරවලට සිදුවන අධික රස්නය මගහරවා ගැනීම මෙහි අරමුණයි. රාගම රෝහලේ තැන්පත් කර තිබූ කල්ගිය සිරුරු රැසක් ද අධිකරණ නියෝග මත මේ වන විට ආදාහනය කර ඇති බව ගම්පහ කෝවිඩ් මර්දන කමිටු රැස්වීමේ දී අනාවරණය විය.  


අගෝස්තු පළමුවැනිදා සිට 09 වැනිදා දක්වා දින 09 ක් තුළ පමණක් ගම්පහ කෝවිඩ් රෝගීන් 12555 ක් වාර්තා වී ඇති අතර ඉන් ආසාධිතයන් 4046 දෙනෙකු ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති අතර කොරෝනා ආසාධිතයන් බවට හඳුනාගෙන ඇති එහෙත් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන 7003 දෙනෙකු නිවෙස්වල සිටින බවත් නිවාසවල සිටින ආසාධිතයන්ගෙන් දිනකට 60 ක් පමණ ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරෙන බව ද දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න මහතා පවසයි. පසුගිය 10 වැනිදාට අවසන් වු පැය 24 තුළ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 1231 ක් වූ අතර බියගම සෞඛ්‍ය සේවා කොට්ඨාසයෙන් පමණක් ආසාදිතයන් 202 ක් වාර්තා විය.  


පළාත් වශයෙන් හෝ දිස්ත්‍රික්ක වශයෙන් භේදයකින් තොරව මේ වන විට කෝවිඩ් වසංගතය රටපුරා පැතිර යන ආකාරයක් පෙනී යන අතර සෞඛ්‍ය අංශවල දත්ත අනුව දිනකට වාර්තාවන ආසාදිතයන්ගෙන් සියයට පනහකටවත් වඩා ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වීමම ප්‍රදේශයේ පවතින සෞඛ්‍ය අර්බුදයේ දිග පළල මැනවින් කියාපාන්නකි.  

 

 

සටහන සහ ඡායාරූප
දොම්පේ අජිත් මදුරප්පෙරුම