අඳබාල දේශපාලකයන් සමාජයෙන් පිටමං කරමු


වත්මන් සමාජය තුළ එදිනෙදා මතුවන ගැටලු විසඳීමේදී ඇතැමුන් විසින් ඥාන බලය වෙනුවට බාහු බලය යොදාගන්නා බව පෙනේ. පසුගියදා මස්කෙළිය ප්‍රාදේශීය සභාවෙන්ද එවැනි සිද්ධියක් වාර්තා විය. සභා මන්ත්‍රීවරයකුගේ වීදුරු පහරකින්  එහි උපසභාපතිවරයා රෝහල් ගත කිරීම එම අවාසනාවන්ත සිද්ධියයි. එය 14 වැනිදා අප පුවත්පතද වාර්තා කළේය. මස්කෙළිය නගරයේ අනවසර ඉදිකිරීම්වලට විරෝධය පළ කිරීම එම පහරදීමට හේතුව බව අදාළ පුවතේ සඳහන් විය. පොලිසිය පවසන පරිදි ඔහුට පහරදී ඇත්තේ පාලක පක්ෂයේම මන්ත්‍රීවරයෙකි.

පහරදුන් මන්ත්‍රීවරයාගේ පැත්තෙන් ඇසෙන්නේ වෙනත් කතාවකි. මත ගැටුමක් නිසා උපසභාපතිවරයා තවත් මන්ත්‍රීවරයකුට පහරදීමට  යාමේදී එය වළකා ගැනීමට වීදුරු ප්‍රහාරය  එල්ල කර  ඇත. එසේ වූයේ නම් එයද බරපතළ වරදකි. කිසිවකුටත් නීතිය අතට ගැනිමේ අයිතියක් නැත. ගැටුමකදී තුන්වන පාර්ශ්වයකින් සිදුවිය යුත්තේ ගැටුමට සම්බන්ධ එක්පාර්ශ්වයකට පහරදීම නොව ගැටුම සමථයකට පත්කිරීම සඳහා කටයුතු කිරීමයි. කෙසේ වෙතත් මෙවැනි කනගාටුදායක සිදුවීම් නැවත නැවතත් ඇති නොවීමට  වගබලා ගැනීම සියලු පක්ෂ නායකයන්ගේ යුතුකමකි. වගකීමකි. මෙවැනි ගැටුම් සිදුවන, සිදුවූ පළමු හෝ අවසන් අවස්ථාව මෙය නොවීම ඊට හේතුවයි.

දශක කිහිපයක පටන්, ප්‍රාදේශීය සභා පළාත් සභා පමණක් නොව උත්තරීතර පාර්ලිමේන්තුවේ පවා ප්‍රචණ්ඩකාරී සිදුවීම්  දක්නට ලැබීම සමස්ත ජාතියේම අභාග්‍යයකි.  ගතවූ වසර කිහිපයේදීද පාර්ලිමේන්තුවේ පිහි හරඹ, මිරිස්කුඩු හරඹ පමණක් නොව පුටු හරඹ ද දක්නට ලැබුණි. එවැනි සිදුවීම් ඇතැම් මන්ත්‍රීවරුන්ගේ අඥානකමට හොඳම නිදසුන් වන්නේය. අනාගතයේ  රට කරවීමට රට භාර ගැනීමට සිටින නායකයන්ට මේවා නරක පූර්වාදර්ශ විය හැකිය. එසේ වුවහොත් එය ශීලාචාර සමාජයකට ඔරොත්තු නොදෙනු ඇත. පාර්ලිමේන්තුවේ තත්ත්වය එසේ නම් ප්‍රාදේශීය සභාවල සිටින ගෝලයන් ගැන කවර කතාද? දිනෙන් දින වර්ධනය වන ප්‍රචණ්ඩත්වය මහජන නියෝජිතායතනවලින් පමණක් නොව සමස්ත සමාජයෙන්ම අතුගා දැමිය යුත්තකි.

සභා ප්‍රචණ්ඩත්වයද වර්ධනය වුවහොත් මතු දිනෙක ජීවිත හානි පවා සිදුවීමට බැරිකමක් නැත. එවැනි තත්ත්වයක් ඇතිවීමට පෙර හෝ මෙය වර්ධනය නොවීමට කටයුතු කිරීම දේශපාලන පක්ෂවල වගකීමකි. එය පක්ෂ නායකයන් විසින් ඉටුකළ යුතු අනිවාර්ය කාර්යක් වන්නේය. එසේ නොවුවහොත්  රටක පිරිහීම හා ලෝකය හමුවේ  අපකීර්තියට පත්වීම කිසිවකුටවත් වැළකිය නොහැකිය.

වරෙක කපටි දේශපාලනඥයන් කිහිපදෙනකු විසින් ප්‍රකාශ කරන ලද්දේ හොරු හෝ චණ්ඩි ප්‍රාදේශීය සභාවට, පළාත් සභාවට හෝ පාර්ලිමේන්තුවට යැවීම නතර කළ යුත්තේ මහජනතාව බවයි. එය අර්ධ  සත්‍යයකි. විය යුත්තේ  එවැනි තක්කඩියන්ට අපේක්ෂකත්වය ලබා නොදීමට පක්ෂ නායකයන් කටයුතු කිරීමයි. ජනතාවගේ පැත්තට බෝලය පාස්කර ඇඟ බේරා ගැනීමට පක්ෂ නායකයන්ට කිසිසේත්ම ඉඩක් නැත. මේ සම්බන්ධයෙන් පක්ෂ නායකයන්ද  ආදර්ශවත්වීම වඩාත් වැදගත් වන්නේය. දේශපාලන පක්ෂ තුළ කක්කුටු න්‍යාය ක්‍රියාත්මක වන්නේනම් ගෝලයන්ගේ විනය ගරුත්වය යථාර්ථයක් නොවනු ඇත. විනයක් නැත. රටක, සමාජයක කවමදාකවත් දියුණුවක් දැකිය නොහැකිය. විනයගරුක සමාජයක වටිනාකම බුදුන්වහන්සේද දේශනා කර ඇත්තේ ඒ නිසාය.

විනයගරුක තැනැත්තකුගේ මූලික ලක්ෂණවලින් එකක් වන්නේ ඉවසීම, හැදෑරීම හා විචාරයෙන් බුද්ධි වර්ධනය කර ගැනීමයි. තාර්කික  චින්තනය වර්ධනය කරගත හැක්කේ එවැනි අයකුට  පමණි. එවැනි තැනැත්තකු කිසි දිනක බාහු බලය පෙන්වන්නට පෙළඹෙන්නේ නැත. එවැනි මිනිසුන් සිටින තැනක කවදාවත්ම ගුටිබැට හුවමාරු, වීදුරු ප්‍රහාර හෝ වතුර බෝතල් පහරදීම් සිදුවන්නේද නැත. මස්කෙළිය  ප්‍රාදේශීය සභාවේ පහරදීම සිදුව ඇත්තේද අදාළ පාර්ශ්ව අතර හික්මිමක් ඉවසීමක් නොමැතිකම නිසා බව අපගේ වැටහීමයි.

ශ්‍රී ලංකාවද  නොමේරු දේශපාලන සංස්කෘතියකට උරුමකම් කියන රටකි. පක්ෂ නායකයන් දුරදක්නා නුවණින් බුද්ධිමත් තීරණ ගත යුත්තේද ඒ  නිසාය. මැතිවරණ සඳහා අපේක්ෂකයන් තේරීමේදී  මැරකම, සල්ලිකාරකම නොව උගත්කම හැදිච්චකම, නීතිගරුක බව යන  කරුණු පමණක් සැලකිල්ලට ගත යුතුය.  අනාගතයේදී වැදගත් ගෞරවනීය විනයගරුක, මහජන  නියෝජිතයකු පිළිබඳ ප්‍රාදේශීය සභා, පළාත් සභා පාර්ලිමේන්තුව බලාපොරොත්තු තබා ගත හැක්කේ එසේ වුවහොත් පමණි.

වත්මන් පාර්ලිමේන්තුවේ පවා සතුන්ගේ නම්, කුණුහරුප පමණක් නොව මන්ත්‍රීවරියන් මානසික හිංසනයට ලක්වන වචන හුවමාරු වන බව පෙනේ. එය පළාත් සභා හා ප්‍රාදේශීය සභාවලටද ඔඩු දුවා තිබීම ඛේදනීය තත්ත්වයකි.

එසේ වුවද දශක කිහිපයකට පෙර සිටි නායකයන්  ආදර්ශවත්ව සිටි බව හැන්සාඩ් වාර්තා කියවීමෙන් අවබෝධ කර ගත හැකිය. ඩඩ්ලි සේනානායක, සිරිමාවෝ බණ්ඩාරනායක වැනි නායක නායිකාවෝ ආදර්ශවත් වූහ. එම නායකයන් අතර ප්‍රචණ්ඩකාරි අදහස් හුවමාරුවක් හෝ ගැටුම් ඇති නොවිය.

ජේ.ආර්. ජයවර්ධන, ඇන්.ඇම්. පෙරේරා හෝ කොල්වින් ආර් ද සිල්වා වැනි නායකයන් මතවාදීව ගැටුණද එකිනෙකා අතර බාහු බලය පෙන්වන්නට පෙළඹුණේ නැත. එම නායකයන් හොඳ මිතුරන් බවට පත්වූයේද ඒ නිසාය. එවැනි නායකයන්ගෙන් ආදර්ශ ගත හැකිව තිබියදී අද සිටින ඇතැම් මන්ත්‍රීවරු කැහැපට ගණන්කාරයන් ලෙස හැසිරීම ලජ්ජා සහගතය. පිළිකුල් සහගතය. අන් මත ඉවසිය නොහැකි නම් ඔවුන් දේශපාලනයෙන් සමුගත යුතුය. ජනතාවගේ දහසකුත් එකක් ප්‍රශ්න  තිබියදී ඒවා විසඳීමට සංවාදයේ යෙදීම හෝ වැඩ පිළිවෙළ හඳුන්වාදීම වෙනුවට ගුටි  කෙළ ගැනීම නතර කළ යුතු බව අපගේ ප්‍රාර්ථනයයි.

(***)