අපනයන ප්‍රවර්ධනයේ අවශ්‍යතාව


මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් මේ දිනවල සාකච්ඡා වන බවක් දැකිය හැකිය. මුදල් මුද්‍රණය කිරීම යනු කුමක්ද යන්න තේරුම් ගත් විට අපට එම සාකච්ඡාවට පාදක වී ඇති කරුණුවල සත්‍යාසත්‍යතාව විභාග කළ හැකිය. මුදල් මුද්‍රණය කිරීම යනු, මුද්‍රණාලයක මුදල් නෝට්ටු අච්චු ගැසීම නොවේ. එය එහි එක් අංගයක් පමණි. මහ බැංකුවට එකතු වෙන මුදල් නෝට්ටු භාවිත කළ නොහැකි මට්ටමේ පවතී නම්, ඒවා වෙනුවට අලුත් නෝට්ටු නිකුත් කරනු ලැබේ.

එහෙත් අලුතින් මුදල් නෝට්ටු මුද්‍රණය කරන්නේ නම්, ඒ සඳහා මුදල් අමාත්‍යවරයාගේ අස්සන යෙදිය යුතුය. එසේවුවද අලුත් මුදල් නෝට්ටු නිකුත් කරන්නේ භාවිතයට ගත නොහැකි ඒවා වෙනුවෙන් නම් එය මුදල් අච්චු ගැසීමක් ලෙස සැලකෙන්නේ නැත. මේ වෙද්දී සිදුවී තිබෙන්නේ පැවති මුදල් නෝට්ටු වෙනුවට අලුත් මුදල් නෝට්ටු මුද්‍රණය කිරීමකි. ඒ සඳහා අස්සන යෙදීමක් අවශ්‍ය නොවේ. මුදල් යන්නෙන් අදහස් වෙන්නේ ගනුදෙනු සහ අනෙකුත් මුදල්මය මැනීම් සඳහා යොදා ගන්නා මාධ්‍යයකි. එහි නියෝජනය වෙන්නේ කාසි හා නෝට්ටු පමණක්ම නොවේ. ඊට අමතරව බැංකු තැන්පතු ද මුදල් යන්නෙන් අදහස් වේ. කාසි හා නෝට්ටු අච්චු නොගැසුව ද බැංකු තැන්පතු ඔස්සේ රටේ මුදල් ප්‍රමාණය වැඩි විය හැකිය. සමස්තයක් ලෙස මුදල් අච්චු ගැසීම තේරුම් ගත හැක්කේ රටේ පවතින සංචිත මුදල් ප්‍රමාණය කාලයත් සමග වැඩි වී ඇත්ද යන කාරණයත් සමගය.

ආණ්ඩුවට මුදල් ප්‍රවාහය වැඩි කිරීමට සිදු වෙන අවස්ථා කිහිපයක් ඇත. එකක් අයවැය හිඟය පියවා ගැනීමට මුදල් අවශ්‍ය වේ. මහ භාණ්ඩාගාරයට සෑම මාසයකම මුදල් ප්‍රවාහයක් තිබිය යුතුය. සෑම මසකම රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම දීමනා ගෙවීමට සහ සමාජ සුබසාධන ගෙවීම්වලට (අස්වැසුම වැනි) ආණ්ඩුවට මුදල් අවශ්‍ය වේ. ඊට අමතරව ගත් ණය වෙනුවෙන් මාස් පතා පොලී ගෙවිය යුතුය. මේ සියලු වියදම් දැරීම වෙනුවෙන් භාණ්ඩාගාරයට මාසයකට නිශ්චිත මුදල් ප්‍රවාහයක් තිබිය යුතුය. එහෙත් ප්‍රායෝගික තලයේදී අවශ්‍ය මුදල් ප්‍රවාහය ඒ ආකාරයෙන්ම භාණ්ඩාගාරයට ලැබෙන්නේ නැත. බදු ආදායම් ඒ සඳහා ප්‍රමාණවත් නොවීම ඊට බලපාන ප්‍රධාන හේතුවයි. එබැවින් ණය ගැනීමට සිදු වේ. එය සෑම ආණ්ඩුවක් යටතේම සිදු විය. දැනුත් සිදු වේ. එසේවුවත් 2023 වසරේ සිට ණය ගත යුතු ප්‍රමාණයෙහි යම් අඩු වීමක් දක්නට ලැබිණි. එම වසරේදී ප්‍රාථමික ශේෂය ධන වීම නිසා ඒ තත්වය උදා විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඉදිරියට යන ණය වැඩසටහනෙහි ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුවේ දේශීය ණය ගැනීම් ඉදිරියේදී තවත් අඩු විය යුතුය. මේ සම්බන්ධයෙන් යළිත් කිව යුත්තේ ආණ්ඩුවේ වියදම් පිරිමසා ගැනීම සඳහා ණය ගැනීම අලුත් දෙයක් නොවන බවය.

ආණ්ඩුවට අවශ්‍ය මුදල් ප්‍රවාහය ලබා ගැනීම සඳහා භාවිත කරන ක්‍රම කිහිපයක් තිබේ. ආණ්ඩුවට මුදල් ණයට ගැනීමට අවශ්‍ය වූ විට ඒ බව මුලින්ම දැනුම් දෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවටය. ඒ අනුව, මහ බැංකුව පෙර දී කළේ ආණ්ඩුවේ සුරැකුම්පත් ප්‍රාථමික වෙළෙඳපොළෙන් මිල දී ගෙන ඒවාට සමාන වටිනාකමකට සමාන මුදලක් භාණ්ඩාගාරයට ලබා දීමය. රටේ පවතින මුදල් ප්‍රමාණය වැඩිවීමක් එයින් සිදු වෙයි. එම සංසිද්ධිය මුදල් අච්චු ගැසීමක් ලෙස අර්ථගැන්විය හැකිය. එහෙත් සම්මත කරන ලද අලුත් මහ බැංකු පනත අනුව එසේ මුදල් අච්චු ගැසිය නොහැකිය. එම පනත සම්මත කළ දා පටන් මේ දක්වා මහ බැංකුව ඍජුව ආණ්ඩුවට ණය ලබා දී නැත. මීළඟට අපට මතු වෙන ප්‍රශ්නය නම්, මහ බැංකුව විසින් ආර්ථිකයට මුදල් නිදහස් කරනු ලබන (මුදල් අච්චු ගසන) වෙනත් ක්‍රම මොනවාද යන්නය.

එවැනි එක් ක්‍රමයක් නම්, වාණිජ බැංකුවල තිබෙන සුරැකුම්පත් ඇපයට තබා ගෙන වාණිජ බැංකුවලට මුදල් ලබා දීමය. මෙයද ක්‍රම කිහිපයකට සිදු වේ. එක් ක්‍රමයක් නම්, එක් දිනකට පමණක් ණය ලබා දීමය. එය මහ බැංකුවේ කාර්යභාරයකි. ඊට හේතුව මහ බැංකුව ද්‍රවශීලතාව පවත්වා ගෙන යා යුතු බැවිනි. ද්‍රවශීලතාව අඩු අවස්ථාවලදී මහ බැංකුව මුදල් නිදහස් කිරීමත් ද්‍රවශීලතාව වැඩි අවස්ථාවලදී මුදල් සැපයුම අවම කිරීමත් කළ යුතුය. මේ පසුබිමේ එම ක්‍රමයෙන් රටේ මුදල් සැපයුම වැඩි වූවා යැයි කිව නොහැකිය. දෙවැනි ක්‍රමය යටතේ දින හතක් වැනි කාලයකට මහ බැංකුව ණය ලබා දේ. මෙයින්ද කෙරෙන්නේ වාණිජ බැංකුවලට අවශ්‍ය ණය ලබා දීමය. මේ ක්‍රමය යටතේත් මහ බැංකුව පසුගිය කාලයේදී ණය ලබා දී ඇත. මේ ක්‍රම ඔස්සේ මහ බැංකුව වාණිජ බැංකුවලට ණය දී ඇත්නම් රටේ මුදල් ප්‍රමාණය වැඩි වීම සිදු වේ. එසේ රටේ මුදල් ප්‍රමාණය වැඩි වී ඇත්නම් එය මැණිය හැකි ක්‍රමයක් තිබේ. ඒ යටතේ සංචිත මුදල් යනුවෙන් හඳුන්වන සංකල්පයක් ඇත. එහි ඇතුළත් වෙන්නේ කාසි නෝට්ටු සහ මහ බැංකුව සන්තකයේ ඇති වාණිජ බැංකු ගිණුම්වල එකතු වෙන සංචිත ප්‍රමාණයත්ය. මේවායෙහි එකතුව මුදල් සැපයුම වැඩි වූයේ නැතිනම් මුදල් අච්චු ගැසීම යන්නෙන් අදහස් වේ.

දේශීය මුදල් ප්‍රවාහය හා සමානව විදේශ මුදල් ප්‍රවාහය සම්බන්ධ ප්‍රශ්නයක් ද තිබේ. විදේශ මුදල් ප්‍රවාහය එනම්, රටට ලැබෙන විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට අප අසමත් වුවහොත් ආර්ථිකමය වශයෙන් අමාරුවේ වැටීමට සිදු වෙනු ඇත. 2022 අප්‍රේල්වලදී ශ්‍රී ලංකාව විදේශ ණය ගෙවීම තාවකාලිකව අත්හිටුවීය. ඊට පෙර අපි සෑම වසරකදීම විදේශ ණය හා පොලී වාරික වෙනුවෙන් ඩොලර් බිලියන 5 ත් 7 ත් අතර මුදල් ප්‍රමාණයක් ගෙවූයෙමු. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයෙහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට 2028 සිට යළිත් ණය හා පොලී වාරික ගෙවීම ආරම්භ කිරීමට සිදු වේ. ඒ අනුව, එතැන් සිට වසරකට ඩොලර් බිලියන 3 ත් 4 ත් අතර මුදලක් ණය හා පොලී වාරික ගෙවීම සඳහා වෙන් කිරීමට සිදු වනු ඇතිය යන්න මගේ ගණන් හැදීමයි.

එමෙන්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් එකඟතාවලට අනුව වාහන ආනයන සීමා ඉවත් කිරීමට සිදු වේ. මේ තත්වය සමග අදාළ වියදම්වලට සරිලන පරිදි අපේ විදේශ විනිමය ප්‍රවාහය ඉදිරියේදී සකස් කර ගන්නේ කෙසේද යන්න ගැන බැරෑරුම්ව කල්පනා කිරීමට සිදු වේ. එහෙත් මෙරට විදේශ විනිමය තවමත් භ්‍රමණය වෙමින් තිබෙන්නේ විදේශ සංක්‍රාම (වසරකට ඩොලර් බිලියන 5 ක් පමණ ලැබේ) සංචාරක ආදායම් (තවමත් ලැබෙන්නේ වසරකට ඩොලර් බිලියන 3 ක් පමණ) සහ බහුපාර්ශ්වීය ව්‍යාපෘති ණය මතය. මේවායෙන් ඔබ්බට යමින් විදේශ මුදල් ප්‍රවාහය වර්ධනය කර ගැනීමට අපනයන ආදායම් ඉහළ නංවා ගැනීම කෙරෙහි අවධානය යොමු කළ යුතුය. එහෙත් ඒ සම්බන්ධ උනන්දුව තීව්‍ර වී ඇති බවක් පෙනෙන්නට නැත.

විදේශ ආයෝජන අංශය කෙරෙහි ද අවධානය යොමු කරමින් ඒවා ඉහළ නංවා ගැනීමට පියවර ගත යුතුය. දැනට අපට ඩොලර් බිලියන එකක් ඉක්ම වන තරමේ විදේශ ආයෝජන ලැබෙන්නේ නැත. ඉන්දියාවට වසරකට ඩොලර් බිලියන 50 ත් 60 ත් අතර අගයක විදේශ ආයෝජන ලැබේ. ඒසා ඉහළ මට්ටමක විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීමට නම්, රට ඇතුළේ තිබෙන ප්‍රශ්න පළමුව නිරාකරණය කර ගත යුතුය. දේශපාලන ස්ථාවරභාවය එකකි. ආර්ථික ප්‍රතිසංස්කරණ ආරම්භ කිරීම ද වැදගත්ය.

පසුගිය දිනෙක ඇමෙරිකානු සමාගමක් ඩොලර් මිලියන 8.5 ක ආයෝජනයක් මෙරටට ගෙනාවේය. එවැනි ආයෝජන මගින් මුදල් ප්‍රවාහයක් නිර්මාණය වෙන අතර ඔවුන් කරන නිෂ්පාදන ඔස්සේ අපනයන ප්‍රවර්ධනයක් ද සිදු වේ. මෙවැනි අපනයන කේන්ද්‍ර කරගත් ආයෝජන තවත් රටට ලැබිය යුතුය. කොළඹ වරාය නගරය එවැනි ආයෝජනවලට සුදුසු තෝතැන්නකි. විදේශ ආයෝජන ලැබීමේ ප්‍රමාණය අනුව ඉදිරි අවුරුදු තුනේදී මෙරට අපනයන ආදායම් කොපමණ අගයකින් වැඩි කර ගත හැකි ද යන්න තීරණය වේ. මේ වෙද්දී ශ්‍රී ලංකාවේ සමස්ත වාර්ෂික අපනයන ආදායම් (භාණ්ඩ හා සේවා දෙඅංශයේම එකතුව ගත් විට) ඩොලර් බිලියන 20 ක් පමණ වේ. සිංගප්පූරුවේ වාර්ෂික අපනයන ආදායම ඩොලර් බිලියන 875 ක් පමණ වේ. ශ්‍රී ලංකාවටත් වඩා කුඩා රටක් වන සිංගප්පූරුව අපනයන ආදායම් අතින් අපට වඩා කොතරම් දුරකට ගොස් ඇත්ද යන්නත් ශ්‍රී ලංකාව කොතරම් විශාල අපනයන ප්‍රවර්ධනයක් අත් කර ගත යුතුද යන්නත් එමගින් ඇඟවුම් කරයි. දැනට පවතින ඩොලර් බිලියන 20 ක් වන අපනයන ආදායම් ඉදිරි අවුරුදු කිහිපයේදී ඩොලර් බිලියන 100 දක්වා වැඩි කර ගැනීමට අපි කටයුතු කළ යුතු වෙමු. අපේ ආර්ථිකය රඳාපැවතිය යුත්තේ ණය මත නොව ආයෝජන මතය.

(*** සාකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)