අපවත් වී 25 වසරක් සපිරෙන මහා ධර්මදූත පියදස්සී මාහිමිපාණන් වහන්සේ


මහා ධර්මදූත පියදස්සී මාහිමිපාණන් අපවත් වී අදට (18) වසර 25ක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි. කොළඹ, කොටහේන ප්‍රදේශයේ දේවාලමුණිගේ කරෝලිස්, රොසලින් හෙට්ටිආරච්චි යන මවුපියන්ට දාව 1914 ජුලි 08 වැනිදා උපත ලැබූ උන්වහන්ගේ ගිහි නම ප්‍රේමරත්න නම් විය.

කොටහේන කැතීඩ්‍රල් කොලීජියෙන් මූලික අධ්‍යාපනය හදාරා පසුව කොළඹ නාලන්දා විද්‍යාලයට ඇතුළත් වූ පේමරත්න කුමරුවෝ එයින් පාඨශාලාධ්‍යාපනයත්, බොක්සිං, රගර්, ක්‍රිකට් සහ කැඩෙට් ආදී ක්‍රීඩා කුසලතාවයනුත් ලබාගත්හ. එයින් නොනැවතුණු ප්‍රේමරත්නයෝ කොටහේන කරුණාතිලකාරාමාධිපතිව වැඩ විසූ තංගල්ලේ පාලිත ලොකු හාමුදුරුවන්, බම්බලපිටියේ සිරි වජිරාරාමාධිපතිව වැඩ විසූ පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේ සහ නාරද මාහිමිපාණන් වහන්සේ ආදී භික්‍ෂූන් වහන්සේලා ඇසුරින් ධර්ම ශාස්ත්‍ර උගත්හ. ක්‍රීඩා කෞශල්‍යයෙන් ද භාෂා ශාස්ත්‍ර ඥානයෙන් ද ධර්ම ඥානයෙන් ද ලේඛනයෙන් ද භාෂණයෙන් ද නාලන්දා විද්‍යාලයේ කැපී පෙනෙන ශිෂ්‍යයක වූ ප්‍රේමරත්න ස්වකීය පාසල් අධ්‍යාපනය නිමා කොට නොබෝ කලකින් ම එනම් 1934 ජුනි මස 11 වැනි දා බම්බලපිටිය සිරි වජිරාරාමයේ දී “පියදස්සී” යන නමින් පැවිදි වූහ.

ගිහිකල සිට ම පිරිසිදු ධර්ම ඥානයෙන් යුක්ත වූ උන්වහන්සේ කෙරෙහි මහා සංඝරත්නය තබා තිබූ විශ්වාසය විශද කෙරෙන්නකි, පැවිදි ව පස් මසකුත් දින විසි එකක් ඇවෑමෙන් අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශීලයෙහි පිහිටුවීමට මහා සංඝරත්නය විසින් තීරණය කිරීම. ඒ අනුව පියදස්සී සමණුද්දේසයන් වහන්සේ 1934 දෙසැම්බර් 02 වැනි දා පානදුර නදී සීමාවේ දී වේරගම්පිට සිරි රේවත මාහිමිපාණන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් සහ පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මා හිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් උපසම්පදා ශීලයෙහි පිහිට වූ සේක. 

ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලෝක ධර්මදූතයන් වහන්සේලා ගේ නම් වැලෙහි නෙත්තියෙහි ම ලා සටහන් වන නම් දෙකක් නම් නාරද මා හිමිපාණන් වහන්සේ සහ පියදස්සී මා හිමිපාණන් වහන්සේ ය. දෙදෙනා වහන්සේ ම කොටහේන ප්‍රදේශයේ ජන්මලාභය ලැබූවත් ස්වකීය පැවිදි නාමයට පූර්වයෙන් ගමේ නම නොයොදා “වජිරාරාමවාසී” යන්න පමණක් ම යෙදූහ. ගිහිපසින් නාරද මාහිමිපාණන් වහන්සේ සහ පියදස්සී මාහිමිපාණන් වහන්සේ මාමා සහ බෑණනුවන් ය. පියදස්සී මාහිමිපාණන් වහන්සේගේ ධර්ම දූත මෙහෙවරට නාරද මාහිමිපාණන් වහන්සේගෙන් ඉහළින් ම අනුග්‍රහය හිමි විය.

ඒ අනුව 1952 වර්ෂයේ දී ඈත පෙරදිග ආසියාවේත්, 1958 දී යුරෝපයේත්, 1964 දී ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයකත්, 1967 දී බටහිර අප්‍රිකාවේත්, 1968 දී දකුණු ඇමරිකාවේත් ධර්ම චාරිකාවේ වැඩම කළ පියදස්සී මාහිමිපාණන් වහන්සේ දාහතර වාරයක් ලොව වටා සැරිසරමින් හැත්තෑවකට වැඩි රටවල් ප්‍රමාණයක ධර්ම චාරිකාවේ නියුතු වූ අතර එසේ වැඩම කළ බොහෝ රටවල ප්‍රථම වතාවට ථෙරවාද බෞද්ධ භික්‍ෂූන් වහන්සේ නමකගේ දර්ශනය සජිවී කළාහු ද, අප මා හිමිපාණන් වහන්සේ ම ය.

ශ්‍රී ලාංකේය ධර්ම සන්නිවේදන සම්ප්‍රදාය පෝෂණ කිරීමෙහි ලා පියදස්සී මාහිමිපාණන් වහන්සේ ද අයත් වන වජිරාරාම පරපුරේ භික්‍ෂූන් වහන්සේ විසින් පිහිටුවා ඇති සුලකුණ අද්විතීය බව පැවිදි, නොපැවිදි, බුදුනු, නොබුදුනු සැම අතර අවිවාදාත්මක ය. ප්‍රථම වරට ගුවන් විදුලි මාධ්‍යයෙන් ධර්ම දේශනා කළාහු පියදස්සී මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යයන් වහන්සෙවූ පැළෑණේ සිරි වජිරඤාණ මහානායක මාහිමිපාණන් වහන්සේ වන අතර, රූපවාහිනී මාධ්‍යයෙන් ප්‍රථම වරට එම ගෞරවය හිමි කර ගනුයේ පියදස්සී මාහිමිපාණන් වහන්සේ ය. ශ්‍රී ලංකාවේ ප්‍රථම බෞද්ධ රූපවාහිනී නාලිකාව “බෞද්ධයා’’ නමින් ආරම්භ කිරීමට මූලික  අනුශාසනාව සහ එම නාලිකාව ආරම්භ කරනු ලැබූ සම්බෝධි විහාර පරිශ්‍රය අපවත් වී වදාළ දරණාගම කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත ලබාදෙන්නේ ද පියදස්සී මාහිමිපාණන් වහන්සේ ම ය.

දේශකයාණන් වහන්සේ නමක ලෙස ප්‍රකටව වැඩ සිටිය ද බොහෝ දෙනෙකු උන්වහන්සේගේ ලේඛන කෞශල්‍යය සහ විවේකකාමීත්වය පිළිබඳව නොදත්හ. වරින් වර විවේකීව වැඩ සිටීමට බම්බලපිටියේ සිරි වජිරාරාමයට අනුයුක්ත මහනුවර උඩවත්තකැලේ සේනානායකාරාමයට වැඩම කළ උන්වහන්සේ එහි වැඩසිටිමින් ග්‍රන්ථකරණයෙහි ද නියැලුණ සේක.

මහනුවර බෞද්ධ ග්‍රන්ථ ප්‍රකාශන ආයතනයේ සිංහල අංශයේ ආරම්භක අනුශාසකයන් වහන්සේ වූ උන්වහන්සේ ස්වකීය කළ්‍යාණ මිත්‍ර  ඇමෙරිකානු ජාතික භික්ඛු බෝධි  ස්වාමීන් වහන්සේ සමඟ  ත්‍රිපිටකය ඉංග්‍රීසි බසට පරිවර්තනය කිරීමේ කටයුතුවලට ද සහාය වූ අතර මහාචාර්ය ගුණපාල මලලසේකර මහත්මාගේ ආරාධනයෙන් ලියා පළ කරන ලද සංයුත්ත නිකායේ ඛන්ධ සංයුත්ත සිංහල පරිවර්තනය පිටු පන්සිය පසළොසකින් යුක්ත වන අතර එහි අත් පිටපත් තවමත් සිරි වජිරාරාම පුස්තකාලයේ සුරක්‍ෂිතව ඇත. උන්වහන්සේගේ  “The Buddha's Ancient Path” කෘතිය භාෂා කිහිපයකට පරිවර්තන වූ විශේෂ ධර්ම ග්‍රන්ථයකි. මුළු පිරිත් පොත ම පළමු වරට The Book of Protection (Paritta) යනුවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කිරීමේ ගෞරවය ද උන්වහන්සේට හිමි වේ. සිතිවිලි සියය, Buddhist Meditation, Dhamma Pada - saying of The Buddha, Buddhism- A Living Message, The Spectrum of Buddhism, The Virgin's Eye ආදී කෘති ද උන්වහන්සේ විසින් රචනා කරන ලදී.

උන්වහන්සේ ස්වකීය ගුරු භූමිය වූ බම්බලපිටියේ සිරි වජිරාරාමයේ වජිරාරාමාධිකාරි ධූරයත් කොළඹ 07 ශ්‍රී සම්බෝධි මහා විහාරාධිපති ධුරයත් දැරූ අතර, උන්වහන්සේට අමරපුර ශ්‍රී ධර්මරක්‍ෂිත නිකාය මඟින් උත්තර මණ්ඩල සාමාජිකත්වයට ද පත් කොට උපාධ්‍යාය පදවියකින් සහ සම්මාන නායක ධුරයකින් ද පුදනු ලැබීය. ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාව විසින් “විශ්ව කීර්ති ශ්‍රී ශාසන ශොභන” යන ගරු නාමය සහිතව සම්මාන නායක පදවියකින් ද උන්වහන්සේ පුදන ලදී.

නිරෝගී කායික මානසික සුවතාවයකින් ද සරල අල්පේච්ඡ දිවි පැවැත්මකින් ද යුතු වූ උන්වහන්සේ පුරා වර්ෂ 84ක් දිවි ගෙවා අවසන් මාස කිහිපයේ පමණක් තරමක් රෝගීව වැඩ සිට 1998 අගෝස්තු මස18 වන දා සිහි නුවණින් යුතුව අපවත් වී වදාළ සේක.

(***)
මීගොඩ සුඛිත හිමි,
සිරි වජිරාරාමය, බම්බලපිටිය