හොරණ ශ්‍රීපාලියේ පොඩි උපාසනයේ නා ගස් සෙවණ යටින් ද ලොකු උපාසනයේ දම්පාට මල් පියවිල්ල මතින් ද සමාජගත වූ ඕනෑම පුද්ගලයකු සහජීවනය ආත්ම කොටගත් සහෘදයකු වීම පුදුමයක් නොවේ.
1966 ග්‍රෑන්ඩ්පාස් පාරේ වීරකේශරී මුද්‍රණාලයේ ආරම්භවූ සීමාසහිත ජන ලිමිටඩ් සමාගමේ ලස්සන - වත්කම – විදුමිණ – ක්‍රීඩා - ඉකොනොමික් ජර්නල් (ඉංග්‍රීසි) සහ විඥානි (දෙමළ) පුවත්පත් පළකරද්දී අපට ශ්‍රීපාලියෙන් ආ එවන් සහෘදයන් දෙදෙනෙක් හමුවූහ. ඒ මහින්ද රණවීර සහ රෝහණ ආරියරත්නය.
රෝහණ ආරියරත්න තෙළෙස් වසරක් ශ්‍රීපාලියේ විදුහල්පතිවරයා වශයෙන් ස්වර්ණමය යුගයක් උදාකළ ජී.පී. ආරියරත්න මහතාගේ පුත්‍රයා ය. රෝහණ මහින්ද රණවීර සමග ක්‍රීඩා පත්‍රයේ වගකීම භාරගෙන ක්‍රියා කළේය. ක්‍රීඩා පත්‍රයේ කටයුතු කළද, ඔහු සමීපාශ්‍රයේ යෙදුණේ කලා පත්‍රය කළ අප සමගය.
එවක ලේක් හවුස් බලකණුවක් වූ එස්මන්ඩ් වික්‍රමසිංහ විසින් ආරම්භ කරනු ලැබ එම පත්‍රවලට, ලේක්හවුසියේ සිටි හිතවත්තු ගණනාවක් පැමිණියහ. නීතිඥ හැරල්ඩ් පීරිස්, තිස්ස ගුණතිලක, පිලිප් ප්‍රනාන්දු, ක්‍රිස් ගුණරත්න, ලීලා ද සිල්වා, කේ. සිවප්‍රකාශම් ද උපාධිධාරීන් වූ මාක් ඇන්ටනි ප්‍රනාන්දු, එස්.එම්. බන්දුසීල, සරත් විදානගම, රොඩ්නි අරඹවල, ඇන්ඩෘ ද සිල්වා, සීතා සෙනෙවිරත්න, අමරා කටුගම්පල සහ ජී.පී. ආරියරත්න මහතාගේ ප්‍රධාන ගෝලයා වූ පත්‍රකලා ගුරු ඩී.බී. ධනපාලගේ ගෝලයකු වූ පාලිත විදානගමාච්චි සමග සෝමපාල ලීලානන්ද ද පැමිණියේය. මෙතැන විශේෂය නම් මේ අතරම ධනපාල මහතාගේ ගුරු දේවයන් වූ ජී.පී. ආරියරත්නයන්ගේ පුතණු වූ රෝහණ ආරියරත්න ද එක්වීමයි.
රබීන්ද්‍රනාත් තාගෝර් තුමන්ගේ ශාන්ති නිකේතනයේ ඒ කියන්නේ ශ්‍රීපාලියෙන් ලත් සෞන්දර්ය ආකල්ප නිසා රෝහණ ආරියරත්න තරුණයා ආයතනයේ දෙමළ – මුස්ලිම් ප්‍රජාව සමග ද බාල, මහලු, තරුණ සෑම සියලු දෙනාගේ ම සහෘදයෙක් විය.
ඔහුගේ ද්විභාෂීය දැනුමත්, තමන්ට අදාළ ක්‍රීඩා විෂය පිළිබඳ විශාරදත්වයත් ඇරුණු කොට, ඔහුට පෙරපර දෙදිග සාහිත්‍යය, සිනමාව, චිත්‍ර කලාව ගැනද විස්මිත දැනුමක් තිබිණි.
ඔහුගේ ආභාසය එකල ආධුනික පත්තරකාරයන් වූ අපට මහත් පිටුබලයක් විය. ඔහු සමග නාට්‍යයක් හෝ චිත්‍රපටයක් බැලීම අපට මහත් දැනුමක් අත්කරදීමට ඔහු පොහොසත් විය.
තමන්ට පැවරුණු වගකීම අකුරටම ඉටුකළ ඔහු මඳ ඇසුරකින් ඕනෑම කෙනෙකු සමග කුළුපග වෙයි. ඔහු ‘‘මචං’’ කියා අමතද්දී ජාතියත් ජන්මයත් කුලමල – තරාතිරම කිසිවක් නොසැලකුවේය. මේ අත්දැකීම් 60 දශකයේ ඔහුගේ නිවසේ දවසක් ගත කිරීමේදී හොඳහැටි අත්දකින්නට ලැබිණි. ශ්‍රීපාලිය පාමුල නිවසේ සිට හොරණ නගරයට එන අතරතුර සෑම තරාතිරමකම පුද්ගලයන්ට ඔහු ඇමතුවේ ‘‘මචං’’ යන ළෙන්ගතු වදනිනි.
සිය පියාණන් ශ්‍රීපාලියේ විදුහල්පතිවරයා වුවද හොරණ ප්‍රදේශයේ අතිසම්භාවනීය ප්‍රමුඛ නගරවැසියා වුවද, ඔහු සිටියේ මහ පොළොවේය.
පුංචි පත්තර ගැසූ සමාගම වැසී යෑමෙන් පසු රෝහණ ඇතුළු අපි කිහිපදෙනෙක් ලේක් හවුසියට සම්බන්ධ වීමු.
අප සිංහල පත්තරවලට එක්වෙද්දී රෝහණ ඩේලි නිව්ස් පත්‍රයේ විදේශ ප්‍රවෘත්ති සංස්කාරකවරයා විය. ඔහුට ඩේලි නිවුස් - ඔබ්සර්වර් පත්තරවල වගේම, සිංහල පත්තරවලත්, දෙමළ පත්තරවලත් අපමණ මිතුරෝ සිටියහ. ඔහු ඒ හැමෝටම සැලකුවේ සම සහෝදරත්වයෙනි. විදේශ ප්‍රවෘත්ති තේරීමේ දී සිංහල පත්තරවලට වැදගත් යැයි හිතෙන පුවත් විශේෂාංග ඔහු සිංහල පත්තරවල මිතුරන්ගේ අවධානයට ලක් කළේය.
සරසවිය පත්‍රයේ සිටි අරුණ ගුණරත්නට සිනමාව ගැන තිබුණු වැදගත් පුවත් තෝරා දුන් හැටි සිහි කරන්නේ කෘතඥතාවෙනි.
දීර්ඝ කාලයක් කර්තෘ මණ්ඩලයේ සේවය කළ රෝහණ පසුව කර්තෘ මණ්ඩල පරිපාලකවරයා ලෙස පත්කරනු ලැබීම රෝහණගේ පත්‍ර කලා ජීවිතයට වඩා, පාඨක අපට පාඩුවක් විය. ඔහු ඒ ගැන කනස්සල්ලට පත් නොවීය. ඔහු නිලධාරියකු ලෙස කටයුතු කළ සමයේ ද ශ්‍රීපාලියේ උපාසනයෙන් ලත් ආභාසය අභ්‍යාස කළේය.
පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලිවලට නොබෙදී සිටිය යුතු බව ඔහු තරයේ විශ්වාසය කළේය. ඒ අනුව ක්‍රියා කළේය.
සැහැල්ලුවෙන් - කෙළිදෙළෙන් සිටියත් ඔහු සිය බිරියට – දරුවන්ට මෙන්ම කන්තෝරුවේ, ගමේ හැමට එකසේ ආදරය කළේය. උපකාර කළේය. මඳ කලක් රෝගීව යහන්ගතව සිටියත් ඔහු දුරකතන ඇමතුමකට පවා පිළිතුරු දුන්නේ විහිළුවක්ද කරමිනි. ඔහුගේ පාසල් මිත්‍ර යසසිරි ජනක කුමාර සමුගැනීමට දින දෙක තුනකට පෙර රෝහණගේ සුවදුක් බලන්නට ගියේය.
‘‘මචං ෆිල්ම් එකක් බලමුද?’’
රෝහණ ‘‘හා’’ කීවේය.
‘‘කොහෙන් ද බලන්නෙ මැජෙස්ටික් එකේද?, ලිබර්ටි එකේද?’’
‘‘ලිබර්ටි එකේ’’ රෝහණ පිළිතුරු දුන්නේය.
එහෙත් ඉන් දින දෙක තුනකට පසු 80 වැනි වියේ, ඔහු ශ්‍රීපාලි මිතුරන්ගෙන්ද, පත්තර මිතුරන්ගෙන්ද, බිරිඳගෙන් සහ දරුවන්ගෙන්ද සමුගෙන සුදු පාවාඩ මතින් නික්ම ගියේය.
රෝහණ ඔබට සුබ ගමන් !
(*** තිලකරත්න කුරුවිට බණ්ඩාර)