අපේ යටගියාවේ අග මුල සෙවූ ආචාර්ය සිරාන් දැරණියගල


හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරාන් දැරණියගල මහතා අභාවප්‍රාප්ත  වී අදට (05) තෙවසරක් සපිරේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

1968 වර්ෂයේ දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට බැඳුණු ආචාර්ය සිරාන් දැරණියගල මහතා එහි කැණීම් අංශයේ ප්‍රථම සහකාර කොමසාරිස්වරයා වූයේය.

දැරණියගල මහතා 1963  දී කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී (බී.ඒ.) උපාධිය ලබා ගත්තේය. අනතුරුව ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් පුරාවිද්‍යා පශ්චාත් උපාධි ඩිප්ලෝමාව ලබා ගත්තේ 1965 වර්ෂයේදීය. කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් එම්.ඒ. උපාධිය 1966 දී ලැබූ දැරණියගල මහතා 1988 වර්ෂයේ දී  හවාඩ් විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ද ලබා ගත්තේය.

ආචාර්ය උපාධිය සඳහා ඔහු විසින් ලියන ලද නිබන්ධනය ‘‘ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය හා පූර්ව ඉතිහාසයට අයත් වන යුගයන් පිළිබඳවය.’’එසේම එය දකුණු ආසියානු පුරා විද්‍යා  ක්ෂේත්‍රයේ විශිෂ්ටතම ස්ථානයක් හිමිකර ගෙන ඇති පර්‌යේෂණ නිබන්ධයක් සේ ජාත්‍යන්තර පුරාවිද්‍යා සඟරාවල පවා ඇගැයීමට ලක්වී ඇත. ‘‘ද ප්‍රී හිස්ට්‍රි ඔෆ් ලංකා (The prehistory of Sir Lanka)’’ නමැති එම ග්‍රන්ථය කාණ්ඩ දෙකකින් යුක්තය.

ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා අධ්‍යයන ක්ෂේත්‍රය තුළ 1968 තෙක් වැඩි අවධානයක් යොමු වූයේ අභිලේඛන හා වස්තු විද්‍යාත්මක අවශේෂ හා කලාව කෙරෙහිය. එහෙත් දැරණියගල මහතා ආරම්භ කරන ලද පර්‌යේෂණ මගින් ප්‍රථම වතාවට පැරණි ගල් මෙවලම් හා මැටි බඳුන්, පබළු හා ලෝහ වැනි අවශේෂ ආශ්‍රිතව අධ්‍යයන ශික්ෂණය කෙරෙහි ලංකාවේ පුරාවිද්‍යා ක්ෂේත්‍රයේ අවධානය යොමු කළේය.

මාන්කුලම්, ඉරණමඩු, විල්පත්තු, යාල, පානම, බූන්දල, අම්බලන්තොට,  බණ්ඩාරවෙල, වැලිමඩ, සූරියකන්ද හා රත්නපුර ආදි ලංකාවේ සියලුම ප්‍රදේශ නියෝජනය වන අන්දමින් ප්‍රාග් ඓතිහාසික ගවේෂණ ආචාර්ය දැරණියගල මහතා විසින් සිදුකරන ලදී.

බූන්දල හා ඇඹිලිපිටිය යන ප්‍රදේශවල ස්ථාන පහක පමණ කරන ලද කැණීම් අනුව ශ්‍රී ලංකාවේ ජ්‍යාමිතික ශුද්‍රශීලා මෙවලම් තාක්ෂණය සම්පාදනය පදනම් කරගත් ශිලා යුගයක් ශ්‍රී ලංකාවේ අවුරුදු 31,000ක්  පටන් තිබුණු බවට සාධක  සහිතව ප්‍රථම වරට ඔප්පු කළේය.

බූන්දල කැණීම්වලින් වසර 125,000ත් 26,000 අතර වෙරළබඩ වැලිකඳුවල ජීවත් වූ ප්‍රාග් ඓතිහාසික සංස්කෘතිය ගැන දත්ත රාශියක් ඔහු විසින් සොයා ගන්නා ලදි. මිනිහාගල් කන්ද හා මාන්කුලපම් අවට 500,000 අතර පුරාවිද්‍යා සාක්ෂි ඇති බවට සැක කරයි. ඒ පිළිබඳ විද්‍යාත්මක කැණීම් අවශ්‍ය බවට හඳුනාගෙන ඇත. මෙම දත්ත පදනම් කරගෙන ප්‍රථම වතාවට ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඓතිහාසික ස්ථානවලින් ලැබෙන ශිලා මෙවලම් අධ්‍යයන සඳහා වාර්ගික ක්‍රමවේදයක් ද ඔහු විසින් සකස් කරන ලදී.

මිනිහාගල්කන්ද මාන්කුලම් වැනි ස්ථාන ශිලා යුගයට අයත්වන බව සොයා ගන්නා ලද අතර එයින් ලබාගත් දත්ත විශ්ලේෂණය කිරීමෙන් ප්‍රථමවතාවට අතීත පාරිසරික තත්වය අධ්‍යයනයට යොදා ගන්නා ලද්දේද ආචාර්ය දැරණියගල මහතා විසිනි.

1978 සිට 1986 වන තෙක් ප්‍රාග් ඓතිහාසික ලෙන් කැණීම් සිදුකර ඇත. ඉහත සඳහන්  කැණිම් මඟින් දකුණු ආසියාවේ ජීවත්වන නවීනතම මානවයාගේ පැරණිම ඇටසැකිලි සොයා ගැනීමට හැකි වූයේය. එම ඇටසැකිලි අදින් වසර 37000 පටන් 5000 තෙක් පැරණිය.

හෝර්ටන් තැන්නේ (මහඑලිය) පරාග විශ්ලේෂණ මගින් තවදුරටත් පුරාවිද්‍යාත්මක පර්යේෂණ පැවැත්විය යුතු බවට 1988 දී ආචාර්ය දැරණියගල මහතා විසින් යෝජනා කරන ලදී. ඒ යෝජනාව අනුව කැලණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටී.ආර්. ප්‍රේමතිලක මහතා විසින් ස්වීඩනයේ ස්ටොක් හොම් විශ්වවිද්‍යාලයේ සහයෝගීතාවයෙන් නව ශිලා යුගය පිළිබඳ ඉතා වැදගත් පර්‌යේෂණයන් සිදුකර ඇත.

අනුරාධපුර නගරයේ මතුපිට සිට අඩි 30 පමණ ගැඹුරින් ක්‍රිස්තු පූර්ව 900-800 පමණ පැරණි ශිෂ්ටාචාරයක නටබුන් සොයා ගැනීමට ආචාර්ය සිරාන් දැරණියගල මහතා සමත් වූයේය. මහාවංසයේ සඳහන් වන විජයාවතරණයට වසර තුන්හාරසියයකට ඉහත කාලයකට එම යුගය අයත් වන්නේය. එම ගෙඩිගේ කැණීම් වලින් සොයා ගන්නා ලද දත්තයන් අනුව යකඩ තාක්ෂණයත්, අශ්වයන් ඇති කිරීමත්, ඉතා දියුණු මැටි බඳුන් තාක්ෂණයත් වී ගොවිතැන තිබුණු බව පුරාවිද්‍යාත්මක ආචාර්ය සිරාන් දැරණියගල මහතා විසින් පෙන්වා දී ඇත.

මේ අනුව ලංකාවේ ඓතිහාසික යුගය ආරම්භ වන්නේ දේවානම් පියතිස්ස රාජ යුගයෙන් නොව ඊට වසර දෙසීය පනහකට පමණ පූර්වයේ බව ආචාර්ය දැරණියගල මහතාගේ නිගමනයයි.

(*** සිරිසමන් විජේතුංග)