අපේ රටේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය බරපතළ ගැටුම්, හැල හැප්පිලි හා අර්බුද ගණනාවකට මුහුණ දී සිටියි. වෙළෙඳපොළට ගැළපෙන ශ්‍රමිකයන් බිහි නොවීම ඒ අර්බුද අතරින් ප්‍රධානය. එසේම එහි කාලීනව විය යුතු වෙනස්කම් ද සිදු නොවෙයි. ගතානුගතිකව එක තැන පල්වෙයි. මේ ලිපිය ඒ පිළිබඳව සාකච්ඡා කෙරෙන්නකි.
ඒ සාකච්ඡාව කරන්නේ සම්මානිත මහාචාර්යවරයෙකි. හෙතෙම නමින් ඩැනී අතපත්තුය. දෙස් විදෙස් පතළ ආර්ථික විද්‍යාඥයෙකි. රුහුණු විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යනාංශයේ ප්‍රධානි සේම ඒ විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපතිවරයකු ද වන මේ මහාචාර්යවරයා ලංකාවේ උසස් අධ්‍යාපනය පිළිබඳ කෘතහස්ත විද්වතෙකි. මේ ඒ විද්වතාගේ හඬයි.
ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය ඉන් අපේක්ෂිත කාර්යභාරය ඉටු නොකරන බව සුපැහැදිලිය. රටේ ආර්ථික සංවර්ධනයට විශාල දායකත්වයක් සැපයිය හැක්කේ උසස් අධ්‍යාපනයටය. මානව ප්‍රාග්ධනය බිහි කරන්නේ ඒ අධ්‍යාපන ක්ෂේත්‍රයෙනි. වෙන කවරදාටත් වඩා වේගයෙන් නූතන යුගයේ තාක්ෂණය දියුණු වෙමින් පවතී. අපේ මානව සම්පත හෙවත් ශ්‍රම හමුදාව ඊට ගැළපෙන අයුරින් සකස් විය යුතු වීම අත්‍යවශ්‍ය අනිවාර්ය කොන්දේසියකි. ඒ කාර්යභාරය පැවතෙන්නේ අපේ රටේ උසස් අධ්‍යාපන ආයතනවලටය. එහෙත් එය නිසි අයුරින් හා ප්‍රමාණාත්මක අයුරින් ඉටු නොවන බව මේ පවතින ආර්ථික හා සමාජ අර්බුදයෙන් ද ප්‍රදර්ශනය වෙයි.
නව තාක්ෂණය සමග අනුගත වීමට අපට හැකියාව ලැබී නැත. අද අප සිටින්නේ 4.I.R හෙවත් හතර වැනි කාර්මික විප්ලව සමයේය. එය පරිගණක තාක්ෂණයත් අභිබවා ඉන් ඔබ්බට ගිය කර්මාන්තයකි. ඒ කාර්මික විප්ලවයට ලංකාව සූදානම් වන බවක් නොපෙනෙයි. ලංකාව තවමත් සිටින්නේ තුන්වැනි කාර්මික විප්ලව සමයේය. එහි වගකීම පැටවෙන්නේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ නියුතු උගතුන්ටය.බුද්ධිමතුන්ටය.අධ්‍යාපනයෙන් බිහි කළ යුත්තේ නිර්මාණශීලී පුද්ගලයන්ය. අලුත් නිර්මාණ කළ හැකි අලුත් නිර්මාණ බිහි කළ හැකි අලුතින් සිතිය හැකි පුද්ගලයන්ය. එහෙත් පවතින උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙන් එය සිදු නොවෙයි. එය අකාර්යක්ෂමය. උසස් අධ්‍යාපනය මුළුමනින්ම පාහේ මෙහෙයවන්නේ රජයෙනි. රටේ රාජ්‍ය විශ්වවිද්‍යාල 18ක් පවතී. රජයට අයත් පශ්චාත් උපාධි ආයතන 08කි. තවත් උසස් අධ්‍යාපන ආයතන 10කි. ඒ සියල්ල අයිති රජයටය. ගෝලීය ශ්‍රේණිගත කිරීම්වල දී අපේ රටේ විශ්වවිද්‍යාල පවතින්නේ ඉතාමත් පහළ තත්ත්වයකය.
උදාහරණයකට ලංකාවේ හොඳ සහ අංක එකේ විශ්වවිද්‍යාලය වන කොළඹ සරසවියට ලෝක ශ්‍රේණිගත කිරීම්වල දී හිමිවී තිබෙන්නේ 2,172 වැනි ස්ථානයයි. ආසියාවේ විශ්වවිද්‍යාල අතර කොළඹ විශ්වවිද්‍යාලයට හිමිවන්නේ 685 වැනි ස්ථානයයි. චීනය, ජපානය, කොරියාව, මැලේසියාව, සිංගප්පූරුව වැනි රටවල ලංකාවට වඩා ඉහළ මට්ටමක පවතින විශ්වවිද්‍යාල තිබේ.
අපේ විශ්වවිද්‍යාල මේ තත්ත්වයට පත්ව තිබෙන්නේ ගැටලු රාශියක් මතය. ඒවායේ උගන්වන දේවල් රටේ ලෝකයේ අවශ්‍යතාවයට නොගැළපීම එක ගැටලුවකි.
නව වැඩ ලෝකය ඉල්ලන ශ්‍රමිකයෝ මේ විශ්වවිද්‍යාලවලින් බිහි නොවෙයි. අපේ සරසවි සිසුන්ගෙන් සියයට 50කට වැඩි පිරිසක් කලා උපාධි හදාරන්නෝය. ඒ කලා උපාධිධාරීන්ට රැකියා සැපයීමට සිදුවී තිබෙන්නේ ද රජයටමය.
ඔවුනට පුද්ගලික අංශයේ රැකියා නොලැබෙයි.
පෞද්ගලික අංශයේ ඇතැම් සමාගම් රාජ්‍ය විශ්වවිද්‍යාල කිසිදු උපාධිධාරියකුට රැකියා නොදෙයි. එසේ කරන්නේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලින් ඉගෙන ගන්නා පුද්ගලයන්ගේ ආකල්ප මතය.
රාජ්‍ය විශ්වවිද්‍යාල නඩත්තුවට රජයෙන් ලැබෙන අරමුදල් ප්‍රමාණවත් නොවීම තවත් ප්‍රශ්නයකි.
ඒ නිසා ගුණාත්මක තත්ත්වය පිරිහී පවතී. පාඨමාලා යාවත්කාලීන නොවීම තවත් බරපතළ ප්‍රශ්නයකි. නව්‍යතාවලට ගැළපෙන පුහුණුවීම් නොකිරීමත් තවත් ගැටලුවකි. රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නියාමනයට හසුවීම නිසා වෙනස්කම් කිරීම සඳහා ලැබෙන ස්වාධීනත්වය අඩුය. වෙළෙඳපොළ ඉල්ලන නව පාඨමාලා ඇති කිරීමට නම්‍යශීලී නොවීමට හේතු වන්නේ ප්‍රතිපාදන කොමිසමේ මැදිහත්වීමය.
මොරටුව විශ්වවිද්‍යාලය නව්‍යතා රැසකට ගොස් තිබෙන්නේ එහි පාලනයට පැමිණෙන පුද්ගලයන් මතය. විශ්වවිද්‍යාල පරිපාලනයේ ඉහළ තනතුරුවල දේශපාලන පත්වීම් ලැබූවන් සිටීම ද නව්‍යතාවලට බාධකයකි. ඔවුහු තම දේශපාලන හාම්පුතුන් සතුටු කරනවා මිස ජාතික වුවමනාව සහ කාලීන අවශ්‍යතා ගැන නොසිතති.
අපේ විශ්වවිද්‍යාලවල පවතින අනෙක් ප්‍රශ්නය වන්නේ සරසවි වරම් ලබන සියලු දෙනාට ඊට ඇතුළත්වීමට නොලැබීමය. අවුරුද්දකට ලක්ෂ පහක් පමණ උසස් පෙළ විභාගයට පෙනී සිටිති. ඉන් 1,25,000ක් පමණම විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීමට සුදුසුකම් ලබති.
එහෙත් විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නේ 24,000ක් හෙවත් වරම් ලබන අතරින් සියයට 20කට අඩු ප්‍රතිශතයකි. ඒ නිසා විශ්වවිද්‍යාලවලට යාමට සුදුසුකම් ලබන සියයට 80කට පමණ සරසවි වරම් අහිමි වෙයි. එයට හේතුව රජයට අවශ්‍ය තරම් සම්පත් නැතිකම ලෙස කෙනකුට ඒ දෙස පටු දෘෂ්ටිකෝණයකින් බැලිය හැකිය. මා නම් එය දකින්නේ ප්‍රමුඛතා පිළිබඳ ප්‍රශ්නයක් ලෙසය. අධ්‍යාපනයට ප්‍රමුඛතාවයක් නොදැක්වීම දිගුකලක සිට පවතින ප්‍රශ්නයකි. මුළු අධ්‍යාපනයටම වෙන් කරන්නේ දළ ජාතික නිෂ්පාදිතයෙන් සියයට තුනක් තරම් සුළු ප්‍රමාණකි. එය සියයට හයක් කරන්නැයි විශ්වවිද්‍යාල ප්‍රජාව දිගු කලක සිට සටන් කළත් ඒ ඉල්ලීම ඉටු නොකරයි.
2022 අය වැයෙන් රටේ සමස්ත සෞඛ්‍යයට වෙන් කර තිබෙන්නේ රුපියල් බිලියන 153කි. සමස්ත අධ්‍යාපනයට වෙන්කර තිබෙන්නේ රුපියල් බිලියන 127කි. එහෙත් 2022 වසරේ දී ආරක්ෂක අමාත්‍යාංශයට වෙන්කර තිබෙන මුදල රුපියල් බිලියන 373කි. ඉන් ප්‍රකට වන්නේ රජය සෞඛ්‍යයට හා අධ්‍යාපනයට දක්වන නොසැලකිල්ලය. රටේ ආර්ථිකයට දිගුකාලීන බලපෑම් කළ හැක්කේ සෞඛ්‍ය හා අධ්‍යාපන අමාත්‍යාංශවලට මිස ආරක්ෂක අමාත්‍යාංශයට නොවේ. රාජ්‍ය පාලකයන්ගේ ඒ ප්‍රමුඛතා මත හතර වැනි කාර්මික විප්ලවයක් ගැන අපට දැකිය හැක්කේ සිහිනම පමණකි.
අපේ විශ්වවිද්‍යාල ළමයින්ගෙන් සියයට පනහක් පමණ කලා පාඨමාලා හදාරන්නේත් ළමයින්ගේ වරදක් නිසා නොවේ. ඊට හේතුව ඔවුනට තෝරා ගැනීමට විකල්ප නැතිකමය. අපේ රටේ පාසල් 1900ක උසස් පෙළට විද්‍යා හා ගණිත පාඨමාලා උගන්වන්නේ නැත. ඒවායේ උගන්වන්නේ කලා හා වාණිජ පාඨමාලා පමණකි.
ඒ පාසල් 1900 උසස් පෙළට විද්‍යා හා ගණිත විෂය ධාරා උගන්වන්නේ නැත.
ඒ පාසල්වලින් වැඩි ප්‍රමාණයක් නාගරික නොවන ග්‍රාමීය පාසල්ය. උසස් පෙළ සිසුන්ගෙන් විද්‍යා විෂය ධාරා හදාරන්නේ සියයට 25කි. සියයට 27ක් වාණිජ විෂයය ධාරා හදාරති. ‘‘අධ්‍යාපනයේ සම අවස්ථා’’ කියා කයිවාරු ගැසුවාට මානව හා භෞතික සම්පත් බෙදීයාමේ බරපතළ විසමතාවක් පවතී. විද්‍යා විෂය ධාරා පවතින්නේ නාගරික ප්‍රදේශවලය. විද්‍යා විෂය ධාරා තිබෙන පාසල්වලින් සියයට 20ක්ම පවතින්නේ බස්නාහිර පළාතේය. ඉන් හෙළිවන්නේ ‘‘කොළඹට කිරි ගමට කැකිරි’’ න්‍යාය තවමත් ක්‍රියාත්මක බවය.
මේ අභියෝගය රජයට පමණක් ජයගත නොහැකි බව මගේ තක්සේරුවයි. මා යෝජනා කරන්නේ පෞද්ගලික අංශය මීට සම්බන්ධ කරගත යුතු බවටය. එසේ වුවහොත් ලංකාවේ උසස් අධ්‍යාපනයේ ධාරිතාව වේගවත් සේම නව්‍යකරණයෙන් විවිධාංගීකරණය ද විය හැකිය. දැනටත් ලංකාවේ පෞද්ගලික විශ්වවිද්‍යාල 59ක් ක්‍රියාත්මක වෙයි. ඒ දෙස් හා විදෙස් දෙකමය. විදෙස් විශ්වවිද්‍යාල ලංකාවේ ක්‍රියාත්මක වන්නේ මෙරට ඒවා සමග සම්බන්ධව ‘‘කැම්පස්’’ ලෙසිනි. කෙසේ වුවත් ඒ 59 පෞද්ගලිකය. ඒවා ක්‍රියාත්මක වන්නේ ආයෝජන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක සමාගම් ලෙසිනි. ඒවාට විශ්වවිද්‍යාල කියන නීතිමය පිළිගැනීම ලැබී නැත. එසේම ඒවා නිසි ලෙස අධීක්ෂණයක් හෝ නියාමනයක් ද නොවෙයි.
නූතන ලෝකයේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි වේගයෙන් වර්ධනය වන්නේ පෞද්ගලික අංශයයි. චීනයේ ද එසේය. චීනයේ පෞද්ගලික විශ්වවිද්‍යාල 380ක් පවතී. චීනයේ රාජ්‍ය විශ්වවිද්‍යාල ද 1500ක් පමණ පවතී. ඉන්දියාවේ පවතින පෞද්ගලික විශ්වවිද්‍යාල ගණන 395කි. බංග්ලිදේශයෙහි පවතින පෞද්ගලික විශ්වවිද්‍යාල ගණන 90කි. පකිස්තානයේ 59කි. ලෝක ප්‍රවණතාව එයයි.
උසස් අධ්‍යාපනය සඳහා පවතින ඉල්ලුම සැපිරීමට ඒ රටවල රජයන්ට සම්පත් නැතිකම මීට හේතුවී තිබේ. ඒ නිසා පෞද්ගලික අංශයට රජය විසින්ම අවකාශ සලසයි. ඇතැම් රටවල රජය පෞද්ගලික අංශය සමග එකතු වී විශ්වවිද්‍යාල පටන් ගනියි. මුළු ලෝකයේම එසේ වෙද්දී ලංකාවේ එසේ නොවන්නේ ඇයි? වැදගත්ම ප්‍රශ්නය එයයි. එයට හේතුව දෘෂ්ටිවාදය. එකිනෙකාගේ මති මතාන්තරය. (Ideology) අප සමාජවාදීය, අධ්‍යාපනය වෙළෙඳ භාණ්ඩයක් නොවේය. එහෙයින් ඊට අත නොතබනු වැනි පුහු මතවාද, දෘෂ්ටිවාද සහ සංකල්පය.
එහෙත් අධ්‍යාපනය දැන් වෙළෙඳපොළෙහි විකිණෙයි. රජයේ සමාජවාදයක් ද නැත. රජය සමාජවාදී නම් ‘‘කොළඹට කිරි ගමට කැකිරි’’ න්‍යාය දැනටත් ක්‍රියාත්මක නොවෙයි.
එහෙයින් පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව නැගෙන මතවාද දෘෂ්ටිවාද සහ සංකල්ප ආර්ථිකය. හරයකින් තොරය. එහෙයින්ම ඒ දෘෂ්ටිවාද පුහු වෙයි. ඒ දෘෂ්ටිවාද ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනයට නම් සාධාරණය.
ආර්ථික විද්‍යාවෙහි අධ්‍යාපනය හඳුන්වන්නේ සුබාධන භාණ්ඩයක් ලෙසිනි. ඉන් අදහස් කරන්නේ අධ්‍යාපනය ලබන පුද්ගලයාට පමණක් නොව ඉන් විශාල පිරිසකට ප්‍රතිලාභ හිමිවීමය. ඒ නිසා එය වෙළෙඳ පොළෙන් නොදිය යුතු බවට පිළිගැනීමක් තිබේ. එහෙත් මා කියන්නේ ඒ තර්කය තෘතියික අධ්‍යාපනයට අදාළ නොකර ගත යුතු බවය. හේතුව උසස් අධ්‍යාපනයේ ප්‍රතිලාභ වැඩි වශයෙන් පුද්ගලයාට ලැබෙන නිසා ඒ බර රජය නොදැරිය යුතු වීමය.
රජය එය නොදැරිය යුත්තකි. රජයට තිබෙන සම්පත් සීමාසහිත නිසාය. ඇමෙරිකාවේ හා එංගලන්තයේ රජයේ විශ්වවිද්‍යාල ගාස්තු අය කරන්නේ ඉහත කී පදනම් මත පිහිටමිනි. ඒ රටවල රාජ්‍ය විශ්වවිද්‍යාල රජයට බරක් නොවී පවත්වාගෙන යාමට උත්සාහ ගනියි. ඒ රටවල විශ්වවිද්‍යාල රජය මත යැපීම අඩුකර ගනියි. එහෙත් අපේ රටේ විශ්වවිද්‍යාල රජයට විශාල බරකි.
අපේ රටේ විශ්වවිද්‍යාලවලින් වැඩි වශයෙන් බිහි කරන්නේ ඵලදාවකින් තොර ශ්‍රම හමුදාවකි. අවසානයේ ඔවුන්ට රජයේ රැකියා දී රජයේ වැය බර ද වැඩිකර ගනියි.
උසස් හෙවත් තෘතියික අධ්‍යාපනය පෞද්ගලික අංශයට විවෘත කිරීමේ වාසි රාශියකි. පළමුව පෞද්ගලික අංශයේ අරමුදල් අධ්‍යාපන ක්ෂේත්‍රයට ලබා ගත හැකිවීමය. එමගින් අධ්‍යාපනය නිසා රජය මත පැටවෙන බර අඩු වෙයි. රජයේ අය වැය හිඟය අඩුකර ගැනීමට හැකිවෙයි. විශ්වවිද්‍යාල වරම් ලබන ඇති හැකි පවුල්වල විශාල පිරිසක් උසස් අධ්‍යාපනය සඳහා විදෙස් රටවලට යති.
ඒ නිසා අවුරුද්දකට ඇමෙරිකන් ඩොලර් මිලියන 100ක් පමණ ලංකාවෙන් පිටට ගලා යයි. පෞද්ගලික අංශයට උසස් අධ්‍යාපනයේ දොරවල් විවෘත කළොත් ඒ මුදලින් යම් ප්‍රමාණයක් රට ඇතුළෙහිම ඉතිරි කර ගත හැකි වෙයි. එසේම විදෙස් සිසුන් ලංකාවේ අධ්‍යාපනයට ආකර්ෂණය කර ගැනීමට හැකිවීමෙන් අපට විදේශ විනිමය මිලියන ගණනින් උපයා ගැනීමට ද හැකි වෙයි.
පෞද්ගලික අංශයට එසේ තැන දීමෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල හා පෞද්ගලික විශ්වවිද්‍යාල අතර ඇති වන තරගයෙන් රාජ්‍ය විශ්වවිද්‍යාල ද නව්‍යකරණය වෙයි. පාඨමාලා අතින් විවිධාංගීකරණය වෙයි. එසේම පෞද්ගලික විශ්වවිද්‍යාලවලට රාජ්‍ය විශ්වවිද්‍යාලවලට වඩා වේගයෙන් වෙනස්කම්වලට ගැළපෙන ලෙස හැඩ ගැසිය හැකිය. නම්‍යශීලී විය හැකිය. එසේම ළමයින්ට පාඨමාලා තෝරා ගැනීමට ලැබෙන අවස්ථා ද ඉතා ඉහළය. දැනට ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලවලට යන අයට එවැනි පුළුල් තෝරා ගැනීමකට යා නොහැකිය. ප්‍රතිපාදන කොමිසමෙන් ලබාදෙන පොත පත තෝරා ගැනීමට ලැබෙන අවස්ථා සීමාසහිත වෙයි.
එසේම මූලික සුදුසුකම් නැති අයට රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධියක් ගත නොහැකිය. එහෙත් පෞද්ගලික විශ්වවිද්‍යාල ඒ සඳහා ක්‍රම සහ විධි හඳුන්වා දෙයි. එසේම පෞද්ගලික විශ්වවිද්‍යාල වෙළෙඳපොළ අවශ්‍යතාවලට ගැළපෙන ලෙස පාඨමාලා සකස් කරයි. හඳුන්වා දෙයි. නවීකරණය කරයි. පෞද්ගලික විශ්වවිද්‍යාල වැඩි වැඩියෙන් බිහි වුණොත් සාමාන්‍ය පෙළින් හා උසස් පෙළින් පසු ත්‍රිරෝද රථ ධාවනයට යොමුවන පිරිස ද අඩු විය හැකිය. එසේම එමගින් සමාජ විරෝධි ක්‍රියා අවම වීමටත් අවකාශ සැලසෙයි.
තවද ඍජු හා වක්‍ර රැකියා බිහිවීමෙන් රටේ විරැකියාව ද අවම වෙයි. රැකියා ලැබෙන අයගේ ජීවන මට්ටම් ඉහළ යයි. එහි ප්‍රතිඵලයක් ලෙස සතුටින් සිටින ජනගහනය වැඩිවෙයි. නීතිය හා සාමය රැකීම සඳහා වන රජයේ වැඩි බර අඩුවෙයි. එලෙස ආර්ථික හා සමාජමය වශයෙන් ප්‍රතිලාභ රැසක් පෞද්ගලික විශ්වවිද්‍යාල නිසා රටට උරුම වෙයි.
පෞද්ගලික අධ්‍යාපනය ප්‍රවර්ධනය නිසා විසමතා විශාල විය හැකි බව පෞද්ගලික විශ්වවිද්‍යාලවලට එරෙහිව නැගෙන තර්කයකි. ප්‍රභූ පන්තියක් බිහි විය හැකි බව ඔවුහු කියති. එහෙත් එය එසේ නොවෙයි.
ආර්ථික අපහසුතා තිබෙන අයට පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් ණය ක්‍රම සහ ශිෂ්‍යත්ව වැනි විවිධ සහන සපයයි. ගුණාත්මකභාවය පසෙක දමා ලාබය පසුපස යාමෙන් උපාධි පාඨමාලාවල තත්ත්වය බාල වනු ඇතැයි තවත් තර්කයක් නැගෙයි. එහෙත් පෞද්ගලික විශ්වවිද්‍යාල අතර සේම පෞද්ගලික හා රජ්‍ය විශ්වවිද්‍යාල අතර ඇති වන තරගය නිසා පාඨමාලාවල ගුණාත්මකභාවය ඉහළින් තබා ගැනීමට ඒ කවුරුත් උත්සාහ ගනිති. එසේ නොවුණොත් ඔවුන්ගේ වෙළෙඳපොළ කඩා වැටෙයි.
අනෙක පෞද්ගලික විශ්වවිද්‍යාල රාජ්‍යයේ නියාමනයට ලක් විය යුතුය. ලංකාවේ දැනට එවැනි නියාමනයක් නැත. ඒ සඳහා යාන්ත්‍රණයක් සැකසිය යුතු. ඒ නියාමනය කළ යුත්තේ ප්‍රතිපාදන කොමිසම නොව වෙනත් විශේෂ අධිකාරියකිනි.
ඒ නියාමනයේ අරමුණ බාධා කිරීම නොව අධීක්ෂණය විය යුතුය. ඒ අධීක්ෂණයේ අරමුණ විය යුත්තේ ගුණාත්මකභාවයෙන් ඉහළ පාඨමාලා ප්‍රවර්ධනයයි. ළමයින් සූරාකෑම නැවැත්වීම, මගපෙන්වීම ඒ අධීක්ෂණයේ තවත් අරමුණු විය යුතුය.
රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සාමාජීය විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපති සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තු
සාකච්ඡා සටහන ගුණසිංහ හේරත්