පොලොන්නරුව ගල්විහාරය අවට භූමියේ පුරාවිද්‍යාත්මක හා ඓතිහාසික වැදගත්කම හඳුනාගත් ඉංග්‍රීසි පාලකයෝ 1937 මැයි 27 දින එම කලාපය රක්ෂිතයක් මෙන්ම අභය භූමි කලාපයක් සේ නම් කළේ අනාගතය සඳහා එම ප්‍රදේශය ආරක්ෂා කිරීමටය. හෙක්ටයාර 1521ක විශාලත්වයකින් යුත් පොලොන්නරුව අභය භූමි කලාපයේ අද වන විට ජනාවාස පිහිටා තිබුණත් වන සතුන් ද එම භූමියේම ජීවත් වන අයුරු දක්නට පුළුවන.
එම කලාපයේ ජීවත් වන වනසතුන් අතරින් බොහෝ සත්ව විශේෂ අද විනාශවීමේ අවදානමකට පත්ව ඇති බවක් ද පෙනේ. ඒ දඩමස් පිනිස එම සතුන් දඩයම් කිරීමට නූතන මස් වැද්දන් ක්‍රියාකිරීම හේතුවෙනි.
පොලොන්නරුව ගල්විහාර අභයභූමි කලාපයේ සිටින වන සතුන් බහුල ලෙස දඩයම් කිරීමට බොහෝ පිරිස් මේ වෙන විට පෙළඹී සිටිති. බලපත්‍ර සහිත තුවක්කු හෝ වායු රයිෆල් යොදා ගෙන මෙම වනසතුන් දඩයම සිදුවෙන බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය. මීට අමතරව මදු ගැසීම හක්කපටස් තැබීම, බල්ලන් උසී ගන්වා වනසතුන් පසු පස පන්නා ගල්විහාරයේ ආරක්ෂිත වැටට හිර කොට මරා දැමීම ද සිදු වෙයි. මේ ආකාරයට වනසතුන් මරා දැමීම නතර කිරීමට මෙතෙක් හැකියාවක් ලැබී නැති බව එම ප්‍රදේශයට ගිය අපට දනගන්නට ලැබුණි.
මේ ක්‍රියාදාමයට නීතිය ක්‍රියාත්මක කිරීම පමාවීමෙන් පොළොන්නරුවේ සිටින නූතන මස්වැද්දෝ වන සත්තු ඉවක් බවක් නැතිව මරා දමති. එම සතුන් මරා දමනවා පමණක් නොව ඔවුන් තැන් තැන්වල රැස් වී තමන් කළ පාපයේ තරම පුරසාරම් දෙඩීමටද පටන් ගෙන ඇත. පසුගියදා අප පොලොන්නරුවට ගියේ වනසතුන් දඩයම ගැන තොරතුරු සෙවීමටය. ඒ යන විටත් ඊට දින දෙකකට පෙර පොලොන්නරුව ගල්විහාර අභය භූමි කලාපයේ මුවකුට වෙඩි තබා මරා දමා තිබෙන බව දැනගැනීමට හැකි විය. එම මුවාට වෙඩි තබා මරපු අය එම මුවාගේ ඉතිරි වූ මස් කිලෝ 20ක් බෙදා ගැනීම සහ ඊට කරන දේ ගැන කතා බහක නිරතව සිටිනු දැක ගත හැකි විය.
අද වන විට හාවා, මීමින්නා, වල් ඌරා, ඉත්තෑවා, මුවා මෙලෙස පොලොන්නරුව අභය භුමි කලාපයේ නූතන මස් වැද්දන්ට ගොදුරු වන සතුන් බවට පත්ව ඇත. අප කළ සොයා බැලීමකදී අනාවරණය වූයේ මෙම අභය භූමි කලාපයේ වල් ඌරන් නොමැති බවය. වල් ඌරන් නැත්තේ මේ නූතන මස් වැද්දන්ගේ උගුල්වලට සහ වෙඩි පහරට වල් ඌරන් ගොදුරු වීම නිසා බවය. ඒ බව වනජීවී නිලධාරිහු ද තහවුරු කරති. මේ වන විට පොලොන්නරුව අභය භූමි කලාපයේ හාවා මීමින්නා වැනි සතුන්ද වඳ වී ගොස් ඇති බව එම නිලධාරිහු පෙන්වා දෙති.
මේ හේතුවෙන් නූතන මස් වැද්දන්ගේ ඉලක්කය වී ඇත්තේ මුවන් වෙතය. පොලොන්නරුවට එන දේශීය සංචාරකයන්ගේ දඩ මස් දොළදුක නිවීමට මේ ආකාරයට මුව දඩයමේ නිරත වන බව දැනගන්නට තිබේ. මේ නිසා පොලොන්නරුව දිස්ත්‍රික්කයේ මුව මස් ජාවාරම ජයටම සිදුවෙන බව ද අප වෙත තොරතුරු ලැබුණි.
මෙම ජාවාරම වසර 8-10ක සිට ජයටම සිදු වෙයි. වෙනදාට කන්න බොන්න නැති අයෙක් සතෙක් දඩයම් කොට තම ආහාර අවශ්‍යතාව සපුරා ගත්තත් මේ වන විට මුව දඩයම ප්‍රභූ පෙළැන්තියේ විනෝදාංශයක් සහ අවශ්‍යතාවක් වී ඇත. මදු ගසා උගුල් අටවා හක්ක පටස් යොදා ගනිමින් වනසතුන් දඩයම් කළ අය දැන් කරන්නේ සිය ලයිසන් තුවන්ක්කුවෙන් හෝ වායු රයිෆලයෙන් වන සතුන් දඩයම් කිරීමය. මෙය හුදෙක් ඔවුන්ට විනෝදාංශයකි. දින දෙක තුනකට වරක් මුවෙක්, ඉත්තෑවෙක්, හාවෙක් මීමින්නෙක් අනිවාර්යයෙන්ම මේ අය දඩයම් කරති. මෙම පාපතර ක්‍රියාව සම්පූර්ණයෙන්ම නතර කිරීමට පොලොන්නරුවේ සිටින නීතිය ක්‍රියාත්මක කරන කිසිදු නිලධාරියකුට හැකි වී නැත.
පොලොන්නරුව ගල්විහාර භූමියේ ආරක්ෂාවට යකඩ වැටක් ඉඳිකර ඇත. එම වැටේ කම්බි අතර පරතරය අඟල් තුනක්වත් නැත. අභය භූමියේ සිටින සතුන් ජලය සොයා ගල්විහාර භූමියට ඇතුළු වූ පසු එම සතුන්ට කම්බි වැටෙන් රිංගා යාමට බැරිය. හදිසියේ හෝ බල්ලකු හෝ මිනිසකු විසින් මුවකු එම කම්බි වැට දෙසට එළවා දැමූ විට ඉන් රිංගා යාමට බැරිව මුවා සිරවෙයි. ඒ ඇසිල්ලෙන් මුවාගේ ජීවිතයේ අවසානය ලිවීමට බලා සිටින පිරිසක් ද වෙති.
සමහර විටෙක ජලය සොයා එන මුවන්ට බල්ලන් උසිගන්වා පන්නාගෙන යන විට එම මුවන් යකඩ වැටේ හිර වෙයි. යකඩ වැටේ හිර වී මුවන් දඟලන විට බල්ලන්ගේ දරුණු සපා කෑමට ලක් වී මිය යන අවස්ථාද තිබේ. තවත් විටෙක මුවන් පසුපස පන්නා ගෙන ආ විට ආරක්ෂිත වැටේ හිර වෙන මුවන්ට ලී දඩුවලින් හිසට ගසා හෝ මද්දකින් ගෙල සිර කර මරා දමන බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය. එසේත් නැත්නම් වෙඩි තබා මුවා මරා දමයි.
මේ හේතුවෙන් පොලොන්නරුව අභය භූමියේ ජීවත් වන වන සතුන්ගේ ජීවිත දැඩි අවදානමක පවතින බවක් පෙනේ. රුපියල් කෝටි ගණන් වැය කර ඉදිකරන ලද මෙම යකඩ වැට අභයභූමියට ප්‍රායෝගික නොවන බව වනජීවී දෙපාර්තමේන්තුව මඟින් අවස්ථා කිහිපයකදී ලිඛිතව හා වාචිකව පෙන්වා දී ඇත. එහෙත් මේ ගැන අදාළ බලධාරීන් දැනුවත් කළද ඊට නිසි පිළිතුරක් තවම ලැබී නැත. කාගේ හෝ වුවමනාවකට මෙම යකඩ වැට ඉදි කරවූ බව වනජීවියේ චෝදනාවයි. පොළොන්නරුව ගල් විහාරයේ මෙන්ම අභය භූමියේ සැරිසරන මුවන් ඇතුළු අනෙකුත් සතුන්ට මෙම යකඩ වැට මරුවැලක් වී ඇති බවද වනජීවී නිලධාරීහු පෙන්වා දෙති.
මේ අතර පොලොන්නරුව අභය භූමි කලාපයේ පිහිටා ඇති ‘‘මුණයණ්ඩි හෙළ කලා ගම්මානය’’ පිහිටි භුමියට එන මුවන්ට ද මදු ගසන බවට ද චෝදනාවක් එල්ල වෙයි. හෙළ කළා ගම්මානයේ ආරක්ෂාවට ගසා ඇති කම්බි වැට තැනින් තැන ඈත් කොට ඒ තුළට මුවන්ට පහසුවෙන් ඒමට මඟ විවර කර එතුළින් එන මුවන්ට මදු ගසන බවට තොරතුරු වාර්තා වෙයි.
ගල්විහාරයේ ආරක්ෂාව තර කිරීමට අාරක්ෂක අංශ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ආරක්ෂක නිලධාරීන් ද සිටින බව අප කළ සොයා බැලීමකදී අනාවරණය විය. එසේ සිටියදී මෙවැනි සාපරාධී ක්‍රියා දාමයක් සිදුවෙන්නේ කෙසේදැයි ගැටලුවකි. ප්‍රදේශයේ සමහර ආගමික ස්ථානවල සිටින අයගේ පුරාවිද්‍යා ස්ථානවල සිටින අයගේ මෙන්ම මහජන ආරක්ෂාවට සිටින ඇතැම් නිලධාරීන්ගේ නිවෙස් සහ රාජකාරී ස්ථාන පරීක්ෂා කළොත් දඩ මස් සොයා ගත හැකි බව බලධාරීහු පෙන්වා දෙති. එසේම අභය භූමියේ ආරක්ෂාවට වනජීවී ප්‍රාදේශීය කාර්යාලයක් නැති බවද පොලොන්නරුව ගල්විහාරයේ අභය භුමි කලාපය බව ද වනජීවිය තහවුරු කරයි.
මෙම අභය භූමියට වනජීවී කාර්යාලයක් ස්ථාපිත කිරීමට මීට පෙර සුදානම් වුණත් එහිදී ගල්විහාර අභය භූමි ප්‍රදේශයේ ප්‍රබලයකු ඊට විරුද්ධවී ඇත. ඒ “වනජීවී කාර්යාලයක් දාලා මේක සතුන් වත්තක් කරන්න හදන්න එපා” යැයි අදාළ ප්‍රබලයා වනජීවියට පවසා ඇත. මේ ප්‍රබලයාගේ බලපෑම මත එම කටයුත්ත නැවතුනි. මීට වසර දෙකකට පමණ පෙර ඇතුමල්පිටිය ප්‍රදේශයේදී වාහනයක හැපුණු මුවකු ගිරිතලේ වනජීවී කාර්යාලයට බාර දුන් පුද්ගලයකු පසුව එම මුවා බැලීමට ගිරිතලේ වනජීවී කාර්යාලයට ගිය විට මුවා මිය ගිය බව පවසා ඇත. ඉන් පසු මියගිය මුවා වැළලූ තැන වනජීවී නිලධාරීන්ගෙන් විමසූ විට තමන්ට එම තැන ද පෙන්වීමට වනජීවී නිලධාරින් අපොහොසත් වූ බව එම පුද්ගලයා පවසයි. මද්දකට හසු වී ඉතා අසාධ්‍ය තත්වයෙන් සිටි මුවකුට ප්‍රතිකාර කිරීමට වනජීවී නිලධාරින් පැමිණීම පමා වූ නිසා ආරක්ෂක අංශයට කතා කොට මුවා වාහනයකින් ගෙන ගොස් වනජීවී නිලධාරින්ට බාර දීමට ඇතුමල්පිටිය ප්‍රදේශවාසීන් ආරක්ෂක අංශ හා එක්ව කටයුතු සම්පාදනය කර ඇත. පසුව එම මුවාගේ තත්වය ප්‍රදේශවාසීන් විමසා ඇත. එහිදී ප්‍රදේශවාසීන්ට දැනගන්නට ලැබී ඇත්තේ මුවා රැගෙන ගිය වාහනයෙන් එළියට පැන පරාක්‍රම සමුද්‍රයේ වැව් බැම්ම මතින් මුවා පැන ගිය බවය. එහෙත් පැනගිය හෝ තුවාල ලැබූ මුවකු ගැන ඉන් පසු වාර්තා නොවූ බව ඇතුමල්පිටිය ජනතාව පෙන්වා දෙති.
තවද ගල්විහාරයේ ආරක්ෂිත වැටේ හිර වී සිටි මුවකු බේරා ගැනීමට කටයුතු සම්පාදනය කිරීමේදී ගල්විහාරය ආසන්නයේ ප්‍රබලයකු එම මුවා රැගෙන ගොස් ඇත. මේ ගැන වනජීවී නිලධාරීන්ට ලැබුණ පැමිණිල්ලක් මත සොයා බැලීමේදී අදාළ ප්‍රබලයාගේ නවාතැනේ ශීතකරණයක මුව මස් තිබී ඇත. එහෙත් වනජීවී නිලධාරින් ඊට කිසිදු නීතිමය පියවරක් නොගත් බවට ප්‍රදේශවාසීන්ගෙන් චෝදනාවක් ද එල්ල වෙයි. තවද ගල්විහාරයේ ආරක්ෂාව සඳහා සිටිමින් මුවන් සහ අනෙකුත් වන සතුන් දඩයම් කළ ආරක්ෂක අංශයට සම්බන්ධ නිලධාරියකු පසුගිය කාලයේ මියගියේ වකුගඩු රෝගයට ගොදුරු වී දැඩි සේ දුක්විඳය. එම ආරක්ෂකයා වන සතුන් දඩයම් කරමින් හබරණ පැත්තේ සමහර හෝටල්වලට දඩමස් සපයා ඇති බව පොළොන්නරුව ජනතාවට රහසක් නොවෙන බවද කියැවෙයි.
එසේම පොලොන්නරුව ප්‍රදේශයේ ඇති සමහර හෝටල්වලට මුව මස් ගැනීම මේ වන විට නවතා දමා ඇත. ඒ මේසා මහ පරිමාණයෙන් මුවන් මරන විට යම් හෙයකින් නීතිය ක්‍රියාත්මක කළහොත් තමන්ට ගැටලුවක් වේවි යන බිය නිසාය. කෙසේ නමුත් ගිරිතලේ හබරණ පැතිවල නම් පොලොන්නරුව අභය භූමියෙන් ගෙන එන මුව මස් විකිණීමට ඇති බව දැනගන්නට තිබේ. පොලොන්නරුව පැත්තේ මුව මස් ඉදෙන්නේ නිවෙස්වලය. ප්‍රභූන් යැයි කියා ගන්නා සමහර නිවෙස්වල තුන්වේලටම කුමන හෝ දඩමසක් ඇති බව ද දැනගන්නට ඇත.
මුවන් මැරීමට ගල්විහාර රක්ෂිතයට ඇතුළු වන තැන් කිහිපයක් තිබේ. ගල්විහාරයේ පිටුපස දොරටුව පිහිටි ඇතුමල්පිටිය ප්‍රදේශයට යන මාර්ගයේ අභය භූමියට යාමට එක් තැනකි. පොලොන්නරුව රෝහල පැත්තෙන් දුම්රිය ස්ථානය පිටු පසින් අභය භූමියට ඇතුළු වන තවත් තැනකි. දෙකේ ඇළේ පහළට ගොස් ඇළෙන් එගොඩ වී අභය භූමියට යාමට පුළුවන. එතැන කිසිදු ආරක්ෂිත කුටියක් හෝ ආරක්ෂකයෙක් නැත. ඒ අවට භූමිය හිස්ව පවතින අතර වනසතුන් බහුල වශයෙන් ගැවසෙන බවද දැනගන්නට තිබේ. එසේම ගල්තඹර පැත්තෙන් මුවන්ට මදු ගසා අල්ලන වෙනම පිරිසක් ද සිටිති.
තවද බැඳිවැව ඉන්ධන පිරිහුම්හල අසල පාරෙන් තඹල වැව සුදුකන්ද පැත්තට යා හැකිය. එම ප්‍රදේශයේ ද මුවෝ බහුලව ජීවත් වෙති. සුදු කන්දේ මුවන්ට මදු ගසා මරා දඩ මස් ලෙස විකුණන බව අඟවමින් අභය භූමියේ මුවන්ද මරණ බවට තොරතුරු තිබේ. සුදු කන්ද පැත්ත දුර නිසා මුව මස් කෑවාට ළඟ තබා ගත්තාට ගැටලුවක් නොවෙන බව සිතා ඇතැම් අය දඩමස් කන බවට ද තොරතුරු තිබේ.
දැනට පොලොන්නරුව අභය භූමිකලාපය පාලනය වෙන්නේ ද පොලොන්නරුව අඩවි වන කාර්යාලය මගිනි. එම වනජීවී කාර්යාලය පිහිටා ඇත්තේ මනම්පිටිය ප්‍රදේශයේය. නැත්නම් එගොඩ පත්තුවේය. වන සතුන් ආරක්ෂා කිරීමේ වනජීවී කර්යාලය පිහිටා ඇත්තේ ගිරිතලේය. යම් සිදුවීමකදී මේ කාර්යාල දෙකෙහි වනජීවී නිලධාරින් පමිණෙන විට සිදු විය යුතු හැමදේම සිදු වී හමාරය. එනිසා වගකිවයුතු බලධාරින්ගේ අවධානය මේ සඳහා ඉක්මනින් යොමු වී පොලොන්නරුව ගල්විහාර අභය භූමි කලාපයේ වහාම වනජීවී අඩවි කාර්යාලයක් ඉක්මනින් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පවතියි. එසේ කොට වන සතුන් ආරක්ෂා කර දීම බලධාරීන්ගේ යුතුකමකි.
1939 අංක 2 දරණ වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතට අනුව කිසිම රක්ෂිතයකට අභය භූමියකට ගොස් මදු ගසා හෝ වායු රයිෆල් හෝ ලයිසන් තුවක්කු මගින් වන සතුන් දඩයම් කිරීම නීති විරෝධී ක්‍රියාවකි. අභය භූමියකට තුවක්කුවක් රැගෙන යාම ද වරදකි. හෝ ඉන් ගිනි බිඳීමද වරදකි. සතෙකු මරා දැමීම වරදකි. මරා දැමූ සතා අනුව දඩ මුදල වෙනස් වෙයි. මෙම වැරැදි එකිනෙකට වෙන වෙනම දඩ ගසයි. එසේම මෙම දඩමුදලට අමතරව වසර දෙකකට නොඅඩු වසර පහකට නොවැඩි සිර දඬුවමක්ද හිමි වෙයි. ඒ අනුව අභය භූමියක මුවකු මැරුවොත් දඩය රුපියල් 20,000 - 50,000ක දඩයක් නියම වෙයි. අභය භූමියක් තුළට ගිණි අවියක් රැගෙන යෑම වරදකි. ඊට රුපියල් 20,000 සිට 100,000ක දඩයක් ගසයි. රැගෙන ගිය ගිනි අවියෙන් වෙඩිල්ලක් තැබුවේ නම් රුපියල් 20,000 - 100,000ක දඩයක් ගසයි. එම වෙඩිල්ලෙන් මුවකු මැරුණේ නම් තවත් රුපියල් 20,000 - 100,000ක දඩයක් ගසයි. එසේම මැරුන මුවා වෙනුවෙන් තවත් රුපියල් 20,000 - 50,000 දක්වා දඩයක් ගසයි.
එසේ නම් වන සතුන් මරා දැමීමට එරෙහිව නීති ඇත. එහෙත් ගැටලුව වෙන්නේ එම නීති ක්‍රියාත්මක කරන අයවළුන් නීති හරි හැටි නොකිරීමය. මේ හේතුවෙන් දඩමස්වලට පෙරේත නූතන මස් වැද්දෝ පොලොන්නරුව අභය භූමියේ මුව සම්පත විනාශ කරමින් සිටිති.
- ගල්විහාර පොලිසිය
අප මේ ගැන ගල්විහාරයේ පිහිටුවා ඇති පොලිස් මුරපොළේ නිලධාරින්ගෙන්ද විමසා සිටියෙමු. එහිදී එම නිලධාරින් පැවසුවේ මෙවැන්නකි. ගල් විහාර භූමි කලාපයේ මුවන් මරන එක දැන් අඩුයි. අපි දැන් පැය 24 සෝදිසි මෙහෙයුම් සිදු කරනවා. පූජා භූමියෙන් පිටත කැලේට මුවන් යනවා වතුර බොන්න. එතකොට ත්‍රීවීල්වල මීටර් කේබල්වලින් මදු ගහලා මුවන් මරනවා. ගල්විහාරය ඉස්සරහින් වැට හොඳට තිබ්බට පිටිපස්සෙන් වැට නෑ. ගම්මාන තියෙන්නේ කැළෙත් එක්ක. ඒ තැන්වල මදු ගහලා මුවන් මරනවා. මීට මාස දෙකකට පෙර අපි එහෙම වැටලීමක් කළා. මුවෝ මරපු සැකකරුවන් තුන්දෙනෙක් අල්ලලා රුපියල් 168,000ක දඩයක් ගැහුවා. දැන්නම් පූජා භූමිය ඇතුළේ මුවන් මරන්න එන්නේ නෑ. හැබැයි පූජා භූමියෙන් පිටත වාහනවල වදින මුවන් ඉන්නවා. ඒ මුවන් වාහනවල දාගෙන යනවා. ඒ ගැන අපට වාර්තා වෙන්නේ නෑ. පූජා භූමිය ඇතුළේදි මද්දකට හරි වෙනත් තුවාල වෙලා හරි මුවෙක් හිටියොත් අපි වනජීවී එකට මුවා භාර දෙනවා නම් මුවා භාර ගන්න එන වාහනයයි එන නිලධාරින්ගේ විස්තරයි අපි ලියාගෙන අත්සන් අරගෙන තමයි භාර දෙන්නේ යැයි කීය.
- ගල්විහාරයේ භාරකාර කන්දකැටියේ අත්තදස්සි හිමි
අපි ඒ ගැන පොලොන්නරුව ගල්විහාරයේ භාරකාර කන්දකැටියේ අත්තදස්සි හිමිගෙන්ද විමසා සිටියෙමු. එහිදී අත්තදස්සි හිමියෝ මෙසේ කීහ. ගල්විහාර භූමියේ වැට නිසා මුවෝ මැරෙන්නේ නෑ. එහෙම ප්‍රශ්නයක් මේ දවස්වල නෑ. ඉස්සර නම් මදු ගහලා වෙඩි තියලා මුවෝ මරන බව ආරංචි වුණා. ඊට පසු අපි පොලිස් මුරපොළක් ඇති කරලා ආරක්ෂාව දැඩි කළා. ඒ වගේම වනජීවී නිලධාරින් අභය භූමි කලාපය නිරන්තරයෙන් නීරීක්ෂණය කරනවා. ඒ නිසා දැන් එවැනි ගැටලුවක් නැති බව ද අත්තිදස්සි හිමියෝ පැවසූහ.
- ඇතුමල්පිටිය බටහිර වසමේ ග්‍රාම නිලධාරිනිය
අපි මේ ගැන ඇතුමල්පිටිය බටහිර ග්‍රාම නිලධාරිවරියගෙන්ද විමසීමක් කළමු. එහිදී ඇය ප්‍රකාශ කළේ මුවෝ මදු ගහලා වෙඩි තියලා මරන බවට ආරංචි වෙනවා. එහෙත් පැමිණිල්ලක් නැතිව විභාග කරන්න විදියක් නැති බවය. අභය භුමිකලාපය අයත් වෙන්නේ නැගෙනහිර ඇතුමල්පිටිය වසම් ප්‍රදේශයට බවත් වැඩිපුරම මුවන් මරන්නේ ද එම ප්‍රදේශයේ බවද ග්‍රාම නිලධාරිනිය පැවසුවාය.
මේ ගැන පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් අජන්ත ඒකනායක මහතාගෙන් ද විමසීමට කතා කළත් දිස්ත්‍රික් ලේකම්වරයා සිටියේ හදිසි රැස්වීමක බැවින් සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
- පොලොන්නරුව නගර සභාවේ නාගරික කොමසාරිස්
මුනියණ්ඩි හෙළ කළා ගම්මානය ඇතුළේ මුවන්ට මදු ගහන බවට එල්ල වෙන චෝදනා ගැන පොලොන්නරුව නගර සභාවේ නාගරික කොමසාරිස් කේ. චන්දිමා නිරෝෂණි මහත්මියගෙන් විමසූ විට ප්‍රකාශ කළේ එම චෝදනාව සම්බන්ධව කිසිදු සාක්ෂියක් සොයා ගැනීමට නොහැකි වූ බවය. කලා ගම්මානයේ මායිම් වැටවල් කඩා දමා තිබූ බවත් එම වැටවල් දැන් ප්‍රතිසංස්කරණය කර ඇති බවද නාගරික කොමසාරිස්වරිය පැවසුවාය.
- පොලොන්නරුව වනජීවී සහකාර අධ්‍යක්ෂ
වනජීවී දෙපාර්තමේන්තුවේ පොලොන්නරුව භාර සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්. එල්. පී. එදිරිසිංහ මහතාගෙන් මේ ගැන කළ විමසීමකදී පැවසුවේ මෙවන්නකි.
මදු ගහලා වෙඩි තියලා මුවෝ මරනවා. අපට දැන ගන්නට ලැබුණ විට අපි වැටලීම් කරනවා. උසාවි දාලා නීතිය ක්‍රියාත්මක කරනවා. නමුත් පොලොන්නරුව ගල්විහාරයේ අභය භූමි කලාපයේ වනජීවී කාර්යාලයක් දාන්න බැරි ප්‍රායෝගික ගැටලු තිබෙනවා. මොකද අපට ඉන්න නිලධාරීන් මදි. මේ වාගේ ආරක්ෂා කරන්න ඕන ස්ථාන ගොඩක් තියෙනවා. නිලධාරින් මදි නිසයි ඒ හැමදේම පමා වෙන්නේ. ඒ වගේම වනජීවී නිලධාරීන් ඉන්නේ වන සතුන් ආරක්ෂා කරන්න. එහෙම ආරක්ෂා කරන නිලධාරීන් අසනීප වුණ මුවෝ ආරක්ෂා කරනව මිසක් මස් කරලා කන්නේ නෑ. ඒ වගේම ගල්විහාරයේ ආරක්ෂිත වැට ගොඩක් පරණයි. ඒ වැට නිසා මුවන්ට බාධා තියෙනවා. වැට නිසා මුවන්ට ජීවිත තර්ජනයක් ඇති වෙනවා කියා කියන්න බැරි බවද සහකාර අෂ්‍යක්ෂවරයා කීය.
(*** ප්‍රගීත් සම්පත් කරුණාතිලක / *** ජායාරූප - වරුණ වන්නිආරච්චි)