අමුත්තාට හිතවතාට නෑයාට අමතන ක්‍රමයේ වරදක් තිබේද?


මා එංගලන්තයේ සිට නිවාඩුවලට දිවයිනට පැමිණි හැම විටකම ලැබූ ජුගුප්සාජනකම අත්දැකීම වූයේ පුද්ගලයන්ගේ තරාතිරම නොබලා Uncle මාමේ ලෙස කරන ඇමතීමය. කොහෙවත් සම්බන්ධයක් නැති මිනිසුන්, තරුණ තරුණියන්, බස් කොන්දොස්තරවරුන්, කොණ්ඩය කපන්නන්, ත්‍රීවීල් රියැදුරන්, තේ  කඩවල වේටර්වරුන්, රජයේ ආයතනවල සේවකයන් දැන් දැන් බැංකු වැනි ආයතනවල කාර්යය මණ්ඩලවල  සාමාජිකයන් පවා අංකල්, අයියේ යැයි පාරිභෝගිකයන් අමතන අයුරු දක්නට ලැබේ. අප හැදුණු වැඩුණු සංස්කෘතිය තුළ අපූරු සිත්ගන්නාසුළු මිනිසුන් අමතන රටාවක් පැවතුණි. පහත්ම කුලයේ සිටි පුද්ගලයාගේ, කුලීකරුවාගේ පටන් ජනාධිපතිවරයා දක්වා අමතන සම්මත රටාවක් අප රටේ පැවතුනි. ජනාධිපතිතුමා, විදුහල්පතිතුමා, බාසුඋන්නැහේ, ඩ්‍රයිවර් මහත්තයා, රෙදි නැන්දා, ඩෝබි, පනික්‍කියා, ඇමැතිතුමා, ඉස්කෝලේ මහත්තයා යන ඇමතුම් ඒ අතර වේ.

අද ජනාධිපතිවරයාට පවා ජනාධිපති මාමේ කියා ඇමතීමට තරම් මෙම සංස්කෘතිය කඩා වැටී ඇත. සරම, බැනියම, හැට්ටය ඇඳ කරෝලිස්, එළාරිස්, සියදෝරිස්, අන්දිරිස්, පිංහාමි, අප්පුවා, ඇගී, මැගී වැනි නම් වලින්  සිටි අයගේ දූ දරුවන් තමන්ගේ නවීන පන්නයේ මිහිරංග, එරංග, සඳුනි, වරුණි වැනි නම් ගෙන කලිසම් ඇඳ ඔවුන්ගේ සමාජ තත්ත්වය ඉහළට පැමිණ ඇති බව පෙන්වීමට මෙන් මෙසේ නෑකම් කියන බව පෙනෙන්නට තිබේ. මෙසේ බොහෝ විට පුද්ගලයන්ගේ තරාතිරම නොබලා නෑකම් කියන්නෝ Aunty, Uncle යන ඉංග්‍රීසි වචනවල හරි තේරුමවත් නොදන්නා මිනිස්සු වෙති. Oxford Dictionary  යෙහි Uncle නිර්වචනය වන්නේ තමන්ගේම පියාගේ හෝ මවගේ සොහොයුරා ලෙසය. Auntie යනු, තම පියාගේ හෝ මවගේ සොහොයුරියයි. එසේ වුවද අද බොහෝ විට මුහුණ බලා තමන්ට වඩා තරමක් වැඩිහිටි නම් Uncle, Aunty, Anti   යැයි අමතති.

ජනාධිපති සිරිසේන මහතාත්, ගෝඨාභය රාජපක්ෂ මහතාත් පාලනය කරන සමයේ සමහර විදුහල්වල ප්‍රාථමික පාසල්වල ශිෂ්‍යයන් ලවා “ජනාධිපති මාමේ, අපිට ක්‍රීඩා පිටියක් නෑ, අපිට හරියට යන්න වැසිකිළියක් නෑ” කියා තම ශිෂ්‍යයන්ට උගන්වා රූපවාහිනී මාධ්‍යයට අදහස් පළ කරන්න සැලසූ ගුරුවර, ගුරුවරියන් ගැන මට මතකය. අප රටේ අධ්‍යාපන ක්‍රමය බිඳ වැටීමේ තරම මෙම ඇමතුම් මගින් ද පෞද්ගලික ආධාරක පන්ති මගින් ද මැනවින් පිළිඹිබු වේ. ශිෂ්‍යයන්ට නම කියා අමතනු වෙනුවට පුතේ, දුව කියා අමතන සංස්කෘතියක් පාසල් වලත්, උපකාරක පන්තිවලත් ගොඩ නැගී ඇත. මෙය අද අමාත්‍යංශ දක්වා පැතිරීමෙන් ශිෂ්‍යයන්, ගුරුවරුන් අතර පවත්වා ගත යුතු දුරස්ථභාවය බිඳ වැටී ඇත. දිනක් Online පන්තියක තරුණ හා වැඩිහිටි කාන්තාවන්ට මැහුම් උගන්වන ගුරුවරියකට මම සවන් දී සිටියෙමි. ඇය පාඩමේ වැඩි කාලයක් ගත කළේ මේ දුවලා කීමටය. සැබවින්ම මෙම ඇමතීම මුදල් ඉපයීම අරමුණු කරගත් ආමන්ත්‍රණයක් නොවේද? ශිෂ්‍යයින් ඇමතිය යුත්තේ ඔවුන්ගේ නම් වලින් මිස පුතා, දුව ලෙස නොවේ.

ලංකාවේ කුල ක්‍රම තවදුරටත් බලවත්ව පවතී. එම තත්ත්වය තුළ තමන් නෑකම් කියන්නේ කාටද, කවුරුන්ටද කියා හොඳින් වටහා ගැනීම වටී. දිනක් මා දන්නා වැදගත් මහතෙකු බස් රථයක ගමන් කරන විට කොන්දොස්තර ඔහුට “අන්කල් සල්ලි ගන්න” කියා ඇමතූ බවත් එවිට ඔහු දුන් පිළිතුරත් මා සමඟ පැවසීය.

“තමුසේ කොහොමද ඕයි මට අන්කල් කියන්නේ, මම තමුසෙගෙ අන්කල් නම් සල්ලි ඕනේ නෑනේ, මම දෙන්නෙත් නෑ”

තවත් දිනක විදුහල්පතිවරයකු කඩවත සිට ගණේමුල්ලට ත්‍රීවීලයකින් ගිය ගමනක අත්දැකීම මා හට පැවසීය. ඔහු යමින් සිටියේ මළ  ගෙදරකය.

“අන්කල් දන්නවාද හරියටම ඔය යන්න තියෙන තැන”

විදුහල්පතිවරයාගේ කෝපය පුපුරා ගියේය.

“තමුසේ කොහොමද, මට අන්කල් කියන්නේ, ත්‍රීවීල්කාරයා ත්‍රීවීල්කාරයා විදියට කතා කරනවා”

එවිට ත්‍රීවීල්කරු “මම හමුදාවේ හිටියේ, දැන් ත්‍රීවීල් එලෙව්වට”

“කවුරු වුණත් මට කමක් නෑ, දැන් එලවන්නේ ත්‍රීවීල්නේ, තරාතිරම බලලා මිනිසුන්ට කතා කරන්න පුරුදු වෙනවා, මම ප්‍රින්සිපල් කෙනෙක්”

මෙම අත්දැකීම තවදුරටත් විග්‍රහ කළහොත් මෙවැනි අත්දැකීම්වලට මුහුණපාන සමාජයේ වැදගත් මහත්ම මහත්මීහු කොපමණ ඇත්ද? පොළට බඩු ගැනීමට එන විනිශ්චයකරුවෙකු, වෛද්‍යවරයකු ගැන සිතන්න. ඔහුගේ මුහුණ බලා තරමක් තරුණ නම් අයියේ කියයි, වැඩිහිටි නම් අන්කල් කීමටත් පුරුදු වෙළෙන්දන් අන්කල් (Uncle)  යැයි විනිශ්චයකරුවා ඇමතුවහොත් ඔහුට ඇති වන මානසික තත්ත්වය කුමක්ද?

ඉතා මෑතක් වනතුරු අප රටේ තරතිරාම අනුව පුද්ගලයන් අමතන වැදගත් විලාසයක් හෙවත් සමාජ සම්මතයක් පැවතුනි. තම වත්ත පිටියේ වැඩ කරන කම්කරුවාට, පාරේ වැඩ කරන කුලී කරුවාට නමින් ඇමතීම ද සිරිතකි. එහිදී තම ස්වාමියාට අවනත වන භාෂාවක් පාවිච්චි කිරීම අත්‍යාවශ්‍ය වේ. ඒ වෙනුවට අද සමහරු අන්කල්, මාමේ යන නම් වලින් කුලීකරුවන් අමතති. මාගේ ලංකාවේ ඇති නිවසෙහි වත්ත එළිපෙහෙළි කිරීමට පැමිණි කුලීකරුවකු කර ඇති වැඩ දැන ගැනීමට ඡායාරූප ගත කොට එංගලන්තයට එවන ලෙස කී විට ඔහුගේ පුතු එසේ කිරීමට දන්නා බව කී විට එසේ කර එවන ලෙස මා පැවසීමි. මෙම කුලීකරුවාගේ පුතු මට Uncle, කියා  whatsApp පණිවිඩයකින් ආමන්ත්‍රණය කර තිබුණි. එවිට මම ඔහුට දැනුම් දුන්නේ “තමුසේ කොහොමද මට Uncleකියන්නේ තමුසෙගෙ තාත්තා මගේ වත්තේ වැඩ කරන කුලීකාරයෙක් වෙනකොට, තමුන්ගෙ සමාජ තත්ත්වය දැනගෙන කතා කරනවා”

ආණ්ඩුවේ රෝහල්වල වැඩ කරන කාර්ය මණ්ඩලත්, වෛද්‍යවරුනුත් දැන් දැන් මෙම නෑකම් ක්‍රමයෙන් මිනිසුන් ඇමතීම රාජ්‍ය සේවයේ පිරිහීම, නිසි පුහුණුවක් කාර්යය මණ්ඩලවලට ලබා නොදීම ප්‍රදර්ශනය කරන්නකි. 

එංගලන්ත සමාජයේ, විශේෂයෙන් සුදු ජාතිකයින් තමා නොදන්නා අයෙකුට ඔහු වැඩිහිටියකු නිසා uncle, Auntie  කියා කිසිදා අමතන්නේ නැත. ඔවුන් නොදන්නා අයට අමතන්නේ Sir, Madam  ලෙසයි. සුපිරි වෙළඳසැල්වල සේවකයන්ගේ පටන් උසස් පොලිස් නිලධාරීන් දක්වා පුහුණු කර ඇත්තේ එලෙසයි. රියදුරකුගේ වාහනයක් නතර කරන පොලිස් නිලධාරියකු රියදුරු බලපත්‍රය පරීක්ෂා කිරීමට ඉල්ලා සිටින්නේ “Can I see your Driving License Sir”  රෝහලකට ගිය විට “Mr. Brown, Mrs Brown”  ලෙස ආමන්ත්‍රණය කරති. කොළඹ ගුවන් තොටුපලේ දිනක් මා පසු කර ඉක්මනින් යන ගුවන් නියමුවකු (Pilot) “Sorry, Sir, I have to be quick”  කී විට “It’s Ok”  යැයි මම පැවසීමි. දියුණු ශිෂ්ටාචාරයට හුරු ගුවන් නියමුවා මා ඇමතූ අයුරු එයයි.

මේ අනුව මා අධ්‍යාපන ඇමතිවරයා හා ජනාධිපතිවරයාගෙන් ද රජයේ වගකිවයුත්තන්ගෙන් ද ඉල්ලා සිටින්නේ පාසල් සිසුන්, රජයේ ආයතනවල නිලධාරීන්, රෝහල් කාර්යය මණ්ඩලවල නිලධාරීන්ට තරාතිරම අනුව මිනිසුන් අමතන අයුරු පිළිබඳ නිසි අධ්‍යපනයක් පුහුණුවක් දෙන ලෙසයි. එසේ නොවන්නට යුනිෆෝර්ම් ඇඳගත් පොලිස් භටයන්ට හා නිලධාරීන්ට හැර ජනාධිපතිවරුන්ට, ඇමතිවරුන්ට, විනිශ්චයකරුවන්ට මාධ්‍ය මගින් හා දෛනික ජීවිතයේදී අන්කල්, මාමේ යැයි ඇමතීම ලංකාවේ සංස්කෘතියේ කොටසක් වීමට බැරි නැත.

21 වන සියවසේ වාණිජ ලෝකයක ජීවත්වන අප ආකර්ශනීය භාෂාවකට ජනතාව හුරු කළ යුතුය. දැනට මෙම භාෂාව භාවිතා කරනුයේ පෞද්ගලික සමාගම්වල සේවකයන් බව අගය කළ යුතුය.

ආචාර්ය රාජසිංහ බණ්ඩාර -

(ලන්ඩනයේ සිට)