එළඹෙන 2024 සඳහා වන අය වැය යෝජනා මේ නොවැම්බර් 13 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. අය වැය මගින් රට හමුවේ තබන යෝජනා ක්‍රියාත්මකවීමේ ප්‍රගතිය දිගින් දිගටම පල්ලම් බසින බව වෙරිටේ රිසර්ච් මගින් කර තිබෙන විමර්ශනයකින් අනාවරණය වෙයි. ඒ අනුව 2017 සිට 2021 අතර කාලයේ දී ප්‍රගතිය තක්සේරු කිරීමට නොහැකිවූ අය වැය පොරොන්දුවල ප්‍රතිශතය සියයට 45 කි. එහෙත් 2022 සිට 2023 වනවිට එය සියයට 70 දක්වා ඉහළ ගොසිනි.
ලාංකික අප දැන් ජීවත් වන්නේ ආර්ථික, සමාජ හා දේශපාලනික වශයෙන් ඉතාමත් තීරණාත්මක වකවානුවකය. ආර්ථික වශයෙන් සිටින්නේ බංකොලොත් තත්ත්වයකය. ඒ බංකොලොත්භාවයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ දුර්වලතාය. ඒ දුර්වලතාවලට හේතු දෙකකි. රාජ්‍ය මූල්‍ය කළමනාකරණයෙහි වගවීමක් නැතිකම ඉන් එක හේතුවකි. අනෙක් හේතුව විනිවිදභාවයක් නැතිකමය. වගවීමක් සහ විනිවිදභාවයක් නැති නිසා දූෂණය, වංචාව, මුදල් අවභාවිතය බහුලව සිදුවෙයි.
ලංකා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතා අතර මෙන්ම මූල්‍ය අරමුදල පසුගිය මාසයේ දී ලංකාවේ ආණ්ඩුකරණය පිළිබඳව කළ විමර්ශනයේදී පැහැදිලිව, නිශ්චිතව සහ තීරණාත්මක ලෙස නිර්දේශ කරන කරුණු දෙකක් වන්නේ වගවීම සහ විනිවිදභාවය වර්ධනය කරගත යුතු බවය.
රටක අය වැය රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ ප්‍රධානතම අංගයයි. ඒ වසරේ දී ආණ්ඩුව මුදල් උපයන්නේ කෙසේ ද? වියදම් කරන්නේ කෙසේද? යන්න තීරණය කරන්නේ අය වැය මගිනි. අය වැයක වටිනාකම, ප්‍රබලකම රැකෙන්නේ පොරොන්දු දීමෙන් නොව පොරොන්දු ඉටු කිරීමෙනි. වගවීම පිළිබිඹු වන්නේ ඉටු කළ පොරොන්දු මගිනි. යෝජනා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළාසේම ක්‍රියාත්මක කළා ද නැති ද යන්නත් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ යුතුය. එසේ කිරීම මහත්මා ගතියක් වන අතර එය විනිවිදභාවය සුරැකීමට ද පිටිවහලක් වෙයි. අපේ අය වැය ලේඛනයක අය යෝජනා පිළිබඳ සමාලෝචනයක් ඉදිරි වසරේ අය වැය ඉදිරිපත් කරද්දී කෙරෙයි. එහෙත් වැය යෝජනා පිළිබඳ එසේ සමාලෝචනයක් නොකරයි. වියදම් හරියට නොකෙරෙන්නේ නම් සහ ඒ පිළිබඳව විනිවිදභාවයක් නැතිනම් එමගින් අනාවරණය වන්නේ කළමනාකරණය මැනවින් කෙරී නැති බවය.
විනිවිදභාවය සහ වගවීමක් නැති නිසා ජාත්‍යන්තරයේත් රට ඇතුළේත් රජය පිළිබඳව විශ්වාසනීයභාවය කඩා වැටීම අද පවතින බරපතළ ප්‍රශ්නයයි. නැති ඒ විශ්වාසනීයභාවය ඇතිකර ගැනීමට කළ යුත්තේ වගවීම සහ විශ්වාසනීයභාවය වර්ධනය කර ගැනීමය. අයවැය පොරොන්දු දෙන්නේ ජනතාවට අයිති මුදල් මත පදනම් වෙමිනි. ඒ නිසා පළමුව අය වැය පොරොන්දු ඉටු කළ ද නැතිනම් බැරි වුණාද? එසේ නම් ඊට බලපෑ හේතු මොනවාද කියා ජනතාවට කිව යුතුය. දැනට නැති විශ්වාසය ගොඩනගා ගත හැක්කේ එසේ කිරීමෙනි. සැඟවීමෙන් විශ්වාසය ගොඩ නොනැගෙයි. සැකය තහවුරු වී වර්ධනය වෙයි. පසුගිය කාලයේ දී අඛණ්ඩව කර තිබෙන්නේ අය වැය යෝජනා පිළිබඳව තොරතුරු සැඟවීමය. 2016 තොරතුරු දැනගැනීමේ පනතේ ඉතා පැහැදිලිව සඳහන් වන්නේ අය වැය පිළිබඳ තොරතුරු ජනතාව ඉල්ලන තුරු නොසිට ප්‍රසිද්ධ කළ යුතු බවය.
අය වැය යෝජනා ක්‍රියාත්මක කරන්නේ ජනතාවගේ බදු මුදල්වලිනි. එසේ නම් කරන නොකරන අය වැය යෝජනා සියල්ල පිළිබඳව තොරතුරු දැන ගැනීමට ඒ ජනතාවට පරම අයිතියක් පවතියි. එහෙත් ජනතාවගේ සල්ලිවලින් කරන්නේ කුමක්දැයි කියන්නට ආණ්ඩු පස්ස ගහයි. වෙරිටේ රිසර්ච් කියන්නේ 2023 වර්ෂය සඳහා ඉදිරිපත් කළ පොරොන්දුවලින් සියයට 68 ක ප්‍රගතිය තක්සේරු කිරීමට අවශ්‍ය තරම් තොරතුරු අදාළ රාජ්‍ය ආයතන මගින් ප්‍රසිද්ධියට පත් කර නැති බවය. එපමණක් නොව තමන් තොරතුරු ඉල්ලා සිටියත් නොදෙන බවය. එහිදී ඇතැම් රාජ්‍ය ආයතන බෝලය පාස්කිරීමේ න්‍යාය ප්‍රගුණ කරන බවය. 2023 අය වැය පොරොන්දුවලින් සියයට 48 ක් පිළිබඳව කිසිදු තොරතුරක් නැති බව කියන වෙරිටේ රිසර්ච් තවත් සියයට 20ක ප්‍රගතිය ඇගයීමට තරම් ප්‍රමාණවත් තොරතුරු සොයාගත නොහැකි බවද කියයි. තවත් පොරොන්දු සියයට 4ක් පිළිබඳව ප්‍රගතිය තක්සේරු කිරීමට අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට දැඩි පරිශ්‍රමයක් දැරීමට සිදු වූ බව ද හෙළි කරයි. ඉල්ලා සිටීමෙන් අදාළ කාලයේ දී තොරතුරු ලබාගත හැකි වූයේ 2023 අයවැය පොරොන්දුවලින් සියයට 24 ක් පිළිබඳව පමණක් බව වෙරිටේ රිසර්ච් හෙළි කරයි.
ප්‍රගතිය නොදන්නා සියයට 68 ක් වූ පොරොන්දුවලට පමණක් 2023 සමස්ත අය වැය ප්‍රතිපාදනවලින් වෙන්කර තිබෙන මුදල් ප්‍රතිශතය සියයට 97 කි. 2023 සමස්ත අයවැය පොරොන්දුවල වටිනාකම රුපියල් බිලියන 49.3 කි. ප්‍රගතිය නොදන්නා පොරොන්දුවල වටිනාකම රුපියල් බිලියන 47.7 කි. ආණ්ඩුවේ වගවීම සහ විනිවිදභාවය පවතින්නේ කෙබඳු මට්ටමකදැයි ඉන් අනාවරණය වෙයි. 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීම පැවරී තිබෙන අමාත්‍යංශ ගණන 15 කි. එහෙත් අදාළ තොරතුරු හෙළිකර තිබෙන්නේ ධීවර අමාත්‍යංශය පමණකි.
තොරතුරු දැන ගැනීමේ පනතේ 8 වැනි වගන්තිය යටතේ අමාත්‍යවරුන් අවුරුද්දකට දෙවරක් පහත සඳහන් තොරතුරු ප්‍රසිද්ධ කළ යුතුය. අය වැයෙන් තම අමාත්‍යංශයට වෙන් කළ මුදල, ඒ මුදල් වැය කරන සියලුම සැලසුම්වල විස්තරය, යෝජිත වියදම් සහ කරන ලද වියදම් පිළිබඳ වාර්තා කිසිවකු ඉල්ලා සිටින තුරු නොසිට ප්‍රසිද්ධ කළ යුතුය. එහෙත් කටයුතු කෙරෙන්නේ ඒ පනතේ විධි විධාන උල්ලංඝනය කරමිනි. ප්‍රගතිය හෙළි කිරීමට දක්වන අකමැත්ත සියයට 45 සිට සියයට 70 දක්වා වර්ධනය වී පවතී. ක්‍රියාත්මක කර සතුටුදායක ප්‍රගතියක් අත්කර ගෙන තිබෙන පොරොන්දු සංඛ්‍යාව දෙකකි. ක්‍රියාත්මක කර මන්දගාමී ප්‍රගතියක් අත්කරගෙන තිබෙන පොරොන්දු සංඛ්‍යාව 6 කි. ඇතැම් අය වැය පොරොන්දු ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ කාටදැයි ජාතික අය වැය දෙපාර්තමේන්තුවත් නොදනියි. අය වැය සැකසීම සහ ක්‍රියාත්මක කිරීම අධීක්ෂණය කිරීම පිළිබඳ වගකීම දරන්නේ ඒ දෙපාර්තමේන්තුවයි. එහෙත් 2023 අය වැය පොරොන්දුවලින් සියයට 44 ක් ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී තිබෙන්නේ කවර ආයතනයකටදැයි නිවැරැදිව හඳුනා ගැනීමට ජාතික අය වැය දෙපාර්තමේන්තුවත් අසමත්ව සිටින බව වෙරිටේ රිසර්ච් හෙළි කරයි. 2022 අතුරු අය වැය යෝජනාවලින් සියයට 71 ක් ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී තිබුණේ කාටදැයි අය වැය දෙපාර්තමේන්තුව නොදැන සිටි බව ද වෙරිටේ රීසර්ච් අනාවරණය කරයි. ඒ තොරතුරු ජාතික අය වැය දෙපාර්තමේන්තුව කොතරම් වගවීමකින් යුතුව ක්‍රියාත්මක වන්නේ දැයි තක්සේරු කර ගැනීමට අපූරු කැඩපතකි.
2022 අතුරු අය වැය යෝජනාවක් වූ විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය යන විෂයයන් කෙරෙහි අවධානය යොමුකරමින් ශාඛා විශ්වවිද්‍යාල පිහිටුවීමේ වගකීම ආරක්ෂක අමාත්‍යාංශයට පැවරී තිබෙන බව ජනවාරියේ දී කියයි. එහෙත් පෙබරවාරි මාසයේදී කියන්නේ ඒ වගකීම මුදල් අමාත්‍යාංශයට පැවරී තිබෙන බවයි. මුදල් අමාත්‍යාංශය මාර්තු මාසයේ දී ජාතික අය වැය දෙපාර්තමේන්තුවට කියන්නේ ඒ වගකීම තමන්ට පැවරී නැති බවයි. 2023 අයවැයෙන් ජාතික ඵලදායිතා කොමිසමක් පිහිටුවීමට යෝජනා කරයි. ජාතික අය වැය දෙපාර්තමේන්තුව කියන්නේ ඒ කොමිසම පිහිටුවීමේ වගකීම කර්මාන්ත අමාත්‍යාංශයට පැවරෙන බවයි. එහෙත් කර්මාන්ත අමාත්‍යාංශය කියන්නේ තමන්ට එවැනි වගකීමක් පැවරී නැති බවය. අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු බෝලය පාස් කරන තරම සහ අපූරුව ඒ තොරතුරුවලින් අනාවරණය වෙයි.
එකම පොරොන්දු නැවත නැවත ඉදිරිපත් කරමින් ඒවා ඉටු කිරීමට දිගින් දිගටම අසමත්වීම කැපී පෙනෙන තවත් ලක්ෂණයකි. අධිවේගී මාර්ග දෙපස නිදහස් වෙළෙඳ කලාප ඇති කිරීම 2017 අය වැය පොරොන්දුවකි. ඒ සඳහා අයවැයෙන් වෙන් කළ මුදල රුපියල් මිලියන 1000 කි. එහෙත් අදටත් එය ඉටු නොකළ පොරොන්දුවකි. මිල්ලනිය රොජානා කර්මාන්ත උද්‍යානය සඳහා යටිතල පහසුකම් ලබා දීම 2018 අය වැය යෝජනාවකි. ඒ සඳහා අය වැයෙන් වෙන් කළ මුදල රුපියල් බිලියන 2000 කි. එය අදටත් කඩවුණු පොරොන්දුවකි. කන්කසන්තුරේ, නැගෙනහිර මාන්තායි, පරන්තන්, කොන්ඩච්චි, කින්නියා, සමන්තුරේ සහ ත්‍රිකුණාමලයේ කාර්මික කලාප ඇතිකිරීම 2019 අය වැය යෝජනාවකි. ඒ සඳහා අයවැයෙන් වෙන් කළ මුදල රුපියල් මිලියන 1000 කි. එහෙත් ඒ අය වැය යෝජනාවට වූයේ කුමක්දැයි අදටත් හෙළි නොකරයි.
බිංගිරිය සහ වගවත්ත කර්මාන්ත කලාප සඳහා යටිතල පහසුකම් සැපයීම 2019 අය වැය යෝජනාවකි. ඒ සඳහා අයවැයෙන් වෙන් කළ මුදල රුපියල් මිලියන 500 කි. එහෙත් අදටත් එය අසම්පූර්ණය. ගාල්ල, කුරුණෑගල, අනුරාධපුර, මහනුවර සහ මඩකළපුව දිස්ත්‍රික්කවල අංගසම්පූර්ණ තාක්ෂණික උද්‍යාන පහක් ස්ථාපිත කිරීම 2021 අය වැය යෝජනාවකි. ඒ සඳහා වෙන්කළ මුදල රුපියල් මිලියන 10,000 කි. ඒ යෝජනාව ද අදටත් අසම්පූර්ණය. විදේශ ආයෝජන අාකර්ෂණය කරගැනීම සඳහා නව ආර්ථික කලාප ඇතිකිරීම 2023 අය වැය යෝජනාවකි. ඒ සඳහා අය වැයෙන් වෙන් කළ මුදල රුපියල් මිලියන 300 කි. ඒ යෝජනාවට වූයේ කුමක්දැයි හෙළි නොකරයි.
මුදල් අමාත්‍යවරයා අය වැය යෝජනා කියවද්දී අත්වලින් සහ පොත්වලින් මේසවලට තඩිබාන මන්ත්‍රීවරුන් අප ඉහත සඳහන් කළ තොරතුරු දන්නවා දැයි ඇත්තේ සැකයකි. ඒ සැකයට හේතුව බොහෝ අය වැය යෝජනා ක්‍රියාත්මක නොවී අය වැය ලේඛනයේ පිටු අතරම හිරවෙන නිසාය. නව අපනයන සැකසුම් කලාප පිහිටුවීම සඳහා 2014 සිට ඉදිරිපත් කළ අය වැය යෝජනා හෙවත් පොරොන්දු සැලසුම් කළ පරිදි ක්‍රියාත්මක කිරීමට පැවැති ආණ්ඩු අසමත් වූ බව විගණකාධිපතිවරයා ද හෙළි කරයි. විගණකාධිපතිවරයාගේ ඒ සහතිකයෙන් ද හෙළිවන්නේ ආණ්ඩු කියන දෙය නොකරන බවත් නොකරන දේවල් කියන බවත්ය. 2024 වසර සඳහා මේ නොවැම්බ්ර් 13 වැනිදා ඉදිරිපත් කරන අයවැයත් එබන්දක් වේදැයි හෝ නොවේදැයි තීරණය කළ හැකි වන්නේ ලබන වසර අගභාගයේදීය. එතෙක් බලාපොරොත්තු දල්වා බලා සිටිනු හැර වෙන කුමක් කරන්න ද?
(*** සටහන - ගුණසිංහ හේරත්)