‘කොරේ පිටට මරේ’යි ගැමි ප්‍රස්ථා පිරුළකි. ඉන් අදහස් වන්නේ අනතුරක් පිට තවත් අනතුරක් සිදුවූ හෝ පැමිණි බවය. ලංකා ආර්ථිකයට ද අද අත්ව තිබෙන්නේ එවැනි ඉරණමකි. නව ජනාධිපතිවරයා පසුගියදා ඉදිරිපත් කළ අය වැය යෝජනාවල අරමුණ ඒ ඉරණමෙන් රට සහ ආර්ථිකය ගොඩගැනීම බව කියැවෙයි. මේ ඒ පිළිබඳ විමසුමකි.
මේ විමසුම, විග්‍රහය කරන්නේ ආර්ථික විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඩැනී අතපත්තුය. මෙරට පමණක් නොව ජාත්‍යන්තරය ද පිළිගත් මේ උගතා සහ බුද්ධිමතකු වන රුහුණු විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජීය විද්‍යා පීඨයේ හිටපු පීඨාධිපතිවරයාද වෙයි. මේ ඒ ආර්ථික විද්‍යාඥයාගේ විග්‍රහයයි.
ලංකා ආර්ථිකය අද පවතින්නේ ඉතිහාසයේ කිසි දිනෙක නොතිබූ අගාධයකය. නව ජනාධිපතිවරයා තම අය වැය යෝජනා ඉදිරිපත් කරන්නේ ඒ පසුබිමේය. මෙය මාස හතරක් සඳහා ඉදිරිපත් කළ අතුරු අයවැයකි. හුදු ඉලක්කම් සංශෝධනයක් නොව ආර්ථික ප්‍රතිපත්ති දර්ශනයක් සහිත ලියවිල්ලක් ලෙස මම මෙය දකිමි.
මේ අයවැයෙහි ප්‍රධාන අරමුණු හා අභිලාෂ තුනක් මට පෙනෙයි. වැටී සිටින ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට කෙටි කාලීන විසඳුම් මාලාවක් ඉදිරිපත් කිරීම මෙහි පළමුවැනි අරමුණයි. අගාධයෙන් ගොඩ එන්නේ කොහොමද? පුනරුත්ථාපනය වන්නේ කෙසේද? කියා මෙහි සඳහන් වෙයි. ඒ සඳහා ඉදිරිපත් කර තිබෙන වැඩසටහන ප්‍රායෝගිකය.
ලංකාව අද සිටින්නේ සාර්ව ආර්ථික අස්ථායිතාවකය. සාර්ව ආර්ථිකය කියන්නේ සමස්ත ආර්ථිකයටය. ආර්ථික වෘද්ධිය හෙවත් වර්ධනය දැන් පවතින්නේ ඍණ අගයකය. වර්ධනය නොවෙයි. එය කඩා වැටෙයි. රාජ්‍ය ආදායම සහ වියදම අතර පරතරය මහා පරිමාණය. ඒ නිසා ගෙන තිබෙන ණය සුවිශාලය. ගත් ඒ ණය ගෙවා ගැනීමට නොහැකිව සිටියි. විදේශ මුදල් සංචිත හිඳී ගොසිනි. කඳු ගණනින් සල්ලි අච්චු ගසයි. උද්ධමනය සියයට 60 සිට සියයට 70 තරම් ඉහළට නැග හමාරය. සාර්ව ආර්ථිකය ලෙස හඳුන්වන්නේ ඒ කී නොකී කරුණු ඇතුළත් මුළු, සමස්ත, සම්පූර්ණ ආර්ථිකයයි. ඒ සියල්ල ආර්ථික අර්බුදයේ තරම පිළිබිඹු කරන රෝග ලක්ෂණය. ඒ රෝග ලක්ෂණවලට පිළියම් කිරීම ජනපතිගේ නව අයවැයෙහි පළමුවැනි අරමුණ වෙයි.
රාජ්‍ය මූල්‍ය අස්ථායිතාව හෙවත් අය වැය අතර පරතරය පියවීමට මෙහි හොඳ යෝජනා කිහිපයකි. පසුගිය කාලයේ පැවැති ආණ්ඩුවල ප්‍රතිපත්ති නිසා සියයට 19 ක්ව තිබූ රජයේ බදු ආදායම 2021 දී දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 8.2 ක් දක්වා පල්ලම් බැස තිබේ. රජයේ බදු ආදායම තනි ඉලක්කමකට වැටීම ඉතා භයානකය. ඒ නිසා රජයේ වියදම් පියවා ගැනීමට විශාල ලෙස ණය ගැනීමට සිදුවිය.
ජනපති ඉදිරිපත් කළ අතුරු අයවැයෙන් රජයේ බදු ආදායම වැඩිකර ගැනීමට කර තිබෙන යෝජනා කිහිපයකි. වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ නැංවීම එක පිළියමකි. එසේම නව බදු කිහිපයක් හඳුන්වා දී තිබේ. එසේම බදු පරිපාලනය විධිමත් කිරීමට ද යෝජනා කර තිබේ. අවුරුදු 18 වැඩි සියලු දෙනා බදු ලිපි ගොනුවක් විවෘත කළ යුතු බව හොඳ යෝජනාවකි. එහි අරමුණ 18 ට වැඩි සියලු දෙනා බදු ගෙවිය යුතු බව නොව බදු නොගෙවා පැන යන නොමිනිසුන් බදු දැලට හසුකර ගැනීමය. එය බදු හොරුන් නියාමනය සඳහා ගෙනා යෝජනාවක් මිස අවුරුදු 18 ට වැඩි සියලු දෙනා බදු දැලට හසුකර ගැනීමට කරන කූඨ උපක්‍රමයක් නොවේ.
ආදායම වැඩි කරගන්නා අතරම රජයේ වියදම් අඩුකර ගැනීමට ද නව ජනපති සැරසෙන බව මේ යෝජනාවලින් පෙනී යයි. ඒ සඳහා යෝජනා කිහිපයකි. රාජ්‍ය සේවාව කාර්යක්ෂම කිරීමට දරන ප්‍රයත්නය ප්‍රසස්ථය. අවුරුදු 65 ක් වූ විශ්‍රාම වයස 60 දක්වා අඩු කිරීම කාලීනය. ඒ නිසා රාජ්‍ය සේවාවේ සංඛ්‍යාව අතින් වගේම කාර්යක්ෂමතාව අතින්ද විශාල වෙනසක් අපේක්ෂා කළ හැකිය. රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ වර්තමාන ලේකම්වරයා කියන්නේ දැනට රජයෙන් සපයන සේවා ඉටුකිරීමට රාජ්‍ය සේවයෙහි වර්තමානයේ සිටින සංඛ්‍යාවෙන් තුනෙන් එකක් (1/3) සිටියා නම් ප්‍රමාණවත් බවය. එය බරපතළ ප්‍රකාශයකි.
ඒ ප්‍රකාශයෙන් එතුමා හෙළිකරන්නේ රාජ්‍ය සේවයෙහි දැනට සිටින ලක්ෂ 15 ක් පමණ වන සේවකයන්ගෙන් ලක්ෂ 10 ක් පමණම නිශ්චිත සහ ඵලදායි රාජකාරියක් නොකර පින්පඩි ගන්නා බවය. ඒ පින් පඩිකාරයන් අතර උපාධිධාරීන් ද සිටීම ඛේදවාචකයකි.
එසේම රජයේ වියදම් අඩු කිරීම සඳහා පෙට්‍රල් ඩීසල්වලින් ධාවනය කෙරෙන වාහන වෙනුවට විදුලියෙන් දුවන වාහන මිලදී ගත යුතු බවට කර තිබෙන යෝජනාව ද කාලීනය. පෞද්ගලික අංශයත් ඒ පිළිවෙත අනුගමනය කරයි කියා ජනාධිපතිවරයා බලාපොරොත්තු වෙයි. ඒ බලාපොරොත්තුව ඉටු වුණොත් ඉන්ධන සහ වාහන ආනයනයට රටින් පිටට යන ඩොලර් ප්‍රමාණය මහ පරිමාණයෙන් අඩුවෙයි. රාජ්‍ය අංශය කාර්යක්ෂම කිරීම සඳහා එයාර් ලංකා, විදුලිබල මණ්ඩලය සහ තෙල් සංස්ථාව වැනි රජයේ ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජනා කිරීම ඉතාමත් කාලීනය. එය විය යුතුම දෙයකි.
මීට පෙර සිටි බොහෝ මැති ඇමැතිවරුන් අගමැතිවරුන් සේම ජනාධිපතිවරු ද රටට ජනතාවට මෙන්ම රාජ්‍ය භාණ්ඩාගාරයටද සුවිශාල බරක් වූ ඒ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට බිය වූහ. එහෙත් වර්තමාන ජනාධිපතිවරයා නොබියව ඒ පියවර තැබීම බෙහෙවින් අගය කළ යුත්තකි. ඒ රාජ්‍ය ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට විශේෂ ආයතනයක් පිහිටුවීමට ද යෝජිතය. ප්‍රතිව්‍යුහගත කිරීමට යෝජිත රාජ්‍ය ව්‍යාපාර සංඛ්‍යාව 50 ක් පමණ වෙයි.
රාජ්‍ය ව්‍යාපාරවල කාර්යක්ෂමතාව නියාමනය කිරීමට විශේෂිත යාන්ත්‍රණයක් පිහිටුවීමටද යෝජිතය. ඒ රාජ්‍ය ව්‍යාපාර තමුන්ගේ සාමූහික අභිලාෂයන් දැක්වෙන ප්‍රකාශනයක් නිකුත් කළ යුතුය. ආයතනයේ අරමුණු, ඉලක්ක, සැලසුම් සේම ඒ ඉලක්ක සපුරා ගැනීමට ගන්නා ක්‍රියාමාර්ග මොනවාද සහ ඒ සඳහා කොපමණ කාලයක් ගන්නේද යනාදී තොරතුරු ඒ ප්‍රකාශනයෙහි සඳහන් කළ යුතුය. ඒ ඉලක්ක සපුරන බවට ඒ රාජ්‍ය ආයතනයේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩලය මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ අදාළ රාජ්‍ය ව්‍යාපාරය අයිති අමාත්‍යාංශයේ ලේකම් සමග ගිවිසුමක් අත්සන් කළ යුතුය. ඒ ගිවිසුමේ සහ අර ප්‍රකාශනයේ ඉලක්ක සහ අරමුණු ක්ෂාත් ක්ෂාත් වන්නේදැයි වෙනත් යාන්ත්‍රණයකින් නියාමනය කෙරෙයි. අරමුණු හා ඉලක්ක සැපිරීමට නොහැකි වන රාජ්‍ය ව්‍යාපාරවල සභාපති ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලයට තම නොහැකියාව සම්බන්ධයෙන් වන්දි ගෙවීමට සිදුවෙයි. එවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සැරසෙන්නේ ලංකා ඉතිහාසයේ පළමුවරයට. එය රටට, ජනතාවට සහ රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් වන රාජ්‍ය ආයතන මෙල්ල කිරීමට හොඳ ක්‍රමවේදයකි.
රාජ්‍ය ණය බර දැන් දල ජාතික නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 110 කි. එය සියයට 100 ක් දක්වා කෙටි කාලයකින් අඩුකර ගැනීමට බලාපොරොත්තු වෙයි.
එසේම ශ්‍රී ලංකා මහ බැංකුව දේශපාලනීකරණයෙන් නිදහස් කිරීමට ද යෝජිතය. මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීම සඳහා නව පනතක් හඳුන්වා දීමට නියමිතය. මහ බැංකුව ස්වාධීන වූ විට ආණ්ඩුවට ඕනෑ හැටියට අනවශ්‍ය ලෙස සල්ලි අච්චු ගැසීමට නොහැකි වෙයි. උද්ධමනය පාලනය කිරීම ද මහ බැංකුවේ වගකීමකි. ඊට අවශ්‍ය බලතල නව පනතෙන් මහ බැංකුවට පැවරෙයි. එය ඉතාමත් කාලීන සේම ප්‍රතිඵලදායි සහ වැදගත්කමින් ඉහළ පියවරකි. එය ද කෙටි කාලයකදී ඉටුකිරීමට අපේක්ෂිතය. එමගින් බලාපොරොත්තු වන්නේ දේශීය සහ විදේශීය වශයෙන් රට කෙරෙහි විශ්වාසය ගොඩනැගීමය. දැන් ලංකාව බුන්වත්, බංකොලොත්, හිස් භාණ්ඩාගාරයක් සහිත, ණය ගෙවා ගැනීමට බැරි, මූල්‍යමය වශයෙන් ශූන්‍ය හෙවත් හිස් (Bankrupt) රටකි. එවැනි රටක අනාගතයක් ගැන කිසිවෙක් විශ්වාස නොකරති. විදේශිකයන් හා විදේශීය මූල්‍ය සංවිධාන එවැනි රටකට ණය නොදෙයි. රටේ අනාගතය ගැන විශ්වාසයක් නැති නිසා රටවැසියෝත් රට හැර යති.
එහෙත් රට කෙරෙහි යළි ජාත්‍යන්තරයේ විශ්වාසය ඇති වූ කල විදේශීය ආයෝජකයෝ රටට පැමිණෙති. ජාත්‍යන්තර මූල්‍ය සංවිධානවලින් ණය ගැනීමට හැකි වෙයි. ණය ශ්‍රේණිගත කිරීමේ ජාත්‍යන්තර ආයතන ලංකාව ඇද දැමූ පහළ ශ්‍රේණිවලින් යළිත් ලංකාව ඉහළට ගනියි. එවිට ජාත්‍යන්තර ප්‍රාග්ධන වෙළෙඳ පොළෙන්ද ණය ගැනීමට හැකිවෙයි. ඒ සියල්ල සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලංකාව පිළිගනු ලැබීම හේතුවෙයි. ඒ සියල්ලේ ප්‍රතිඵලයක් ලෙස අපේ රටේ දැනට පවතින විදේශ විනිමය ප්‍රශ්නයට හෙවත් ඩොලර් අර්බුදයට විසඳුම් ලැබෙයි. එමගින් අපට දැනට නැති විදේශ විනිමය සංචිත යළි රැස්කර ගැනීමට හැකිවෙයි. ඒ සියල්ල කරගැනීමට අවශ්‍ය නිවැරදි මග පෙන්වීමක් සහ වැඩසටහනක් නව ජනපතිගේ අතුරු අයවැයෙහි ඇතුළත් වෙයි. ප්‍රතිපත්ති පමණක් නොව ක්‍රියාමාර්ගද එහි සඳහන්ය.
නව ජනපතිගේ අතුරු අය වැයෙහි දෙවැනි අරමුණ වන්නේ ආර්ථික අර්බුදය නිසා පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීමය.
ආර්ථික අර්බුදය නිසා මන්දපෝෂණයත් දුප්පත්කමත් වැඩි වී ඇතැයි ජාත්‍යන්තර ආයතන ද පෙන්වා දෙයි. ඒ දෙස අවධානය යොමු කරමින් සමාජ ආරක්ෂණ ජාලයක් ගොඩනැගීමට ද ජනාධිපතිවරයා යෝජනා කර තිබේ. එය සහනාධාර වැඩසටහනකි. ගැබිනි මවුවරුන්ට දැනටත් මාසයකට රුපියල් 20,000 ක් දෙයි. එය තවත් 2,500 කින් වැඩි කරයි. කෑම හිඟයකට ගොදුරු වී සිටින පවුල් 61,000 ක් සිටින බවට හඳුනාගෙන තිබේ. ඒ පවුල්වලට ඉදිරි මාස හතර සඳහා මාසයකට රුපියල් 10,000 බැගින් දීමට නියමිතය. සමෘද්ධි දීමනාව 7,500 දක්වා වැඩි කිරීමට ද යෝජිතය. වයස් ගත අයට, ආබාධිත අයට සහ වකුගඩු රෝගීන්ට දැනට ලබාදෙන රුපියල් 5,000 දීමනාව 7,000 ක් දක්වා වැඩි කිරීමට ද යෝජිතය. අස්වැන්න හා පොහොර නැති නිසා ණය ගෙවා ගැනීමට නොහැකි වූ ගොවීන් 28,259 කගේ ණය කපා හැරීමට ද නියමිතය. ඒ ගොවීන් ගත් ණය මුදල කපා හරින අතර ඒ ණයට අදාළ පොලිය පමණක් අය කරයි. දිළිඳු සහ පීඩිත ජනතාවට එසේ සහන සැලසීමට නියමිතය.
එළඹෙන සැප්තැම්බරයේ සිට දෙසැම්බර් දක්වා මාස හතරේදී අපේක්ෂිත රජයේ ආදායම රුපියල් බිලියන 2,094 කි. රජයේ වියදම රුපියල් බිලියන 4,427 කි. ඉදිරි මාස හතරේ රජයේ ආදායම සහ වියදම අතර පරතරය රුපියල් බිලියන 2,333 කි. ඒ නිසා යළිත් සල්ලි අච්චු ගැසීමට රජයට සිදුවෙයි. පවතින තත්ත්වය මත එය වැළැක්විය නොහැකිය. එහෙත් බලාපොරොත්තු වන ලෙස ආර්ථිකය පුනරුත්ථාපනය වුවහොත් එය ගැටලුවක් නොවෙයි. ජනපති මේ ඉදිරිපත් කර තිබෙන්නේ ඉදිරි මාස හතර සඳහා අතුරු අයවැයකි. 2023 වසර සඳහා වූ අය වැය ලේඛනය මේ 2022 නොවැම්බර් මාසයේදී ඉදිරිපත් වීමට යෝජිතය. එහිදී දැනට වඩා සංශෝධන බලාපොරොත්තු විය හැකිය.
ජනපතිගේ අතුරු අයවැයෙහි ප්‍රධාන අරමුණු තුනක් තිබෙන බව මම ඉහත කීවෙමි. පවතින ආර්ථික අගාධයෙන් ගොඩ ඒමට අවශ්‍ය කෙටිකාලීන සැලැස්ම එකකි. දෙවැන්න සමාජ ආරක්ෂණ ජාලය ශක්තිමත් කිරීමයි. ඒ සඳහා ගෙන තිබෙන පියවර සියයට සීයක් ප්‍රමාණවත් වෙතැයි මම නොකියමි. එහෙත් අර්බුදයක වැටී සිටිමින් ගෙන තිබෙන පියවර අගය කළ යුතුය. ජනපතිගේ තෙවැනි අරමුණ වන්නේ සංවර්ධිත ආර්ථිකයක් සඳහා දිගුකාලීන පියවර ගැනීමය. නිදහස ලබා අවුරුදු 100 පිරෙන 2048 දී ලංකාව සංවර්ධිත රටක් කිරීම ජනපතිගේ අරමුණයි. ඒ සඳහා දැනට පවතින ආර්ථීකයේ දුර්වල තැන් හඳුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා කර තිබේ. අඛණ්ඩව අවුරුදු 25 ක් ජාතික ආර්ථීක ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා යෝජනා කරයි. සංවර්ධිත ආර්ථිකයකට යා යුත්තේ එසේ බව ජනපති කියයි.
ඒ සඳහා ගෝලීය ආර්ථිකය සමග පවතින සම්බන්ධතා ශක්තිමත් කිරීමට යෝජනා කරයි. එය කළ යුත්තේ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම් මගිනි. පසුගිය පාලන කාලවලදී පැවැතියේ ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්වලට එරෙහි මතයකි. ඉන්දියාව සහ සිංගප්පූරුව සමග ඇතිකර ගැනීමට ගිය වෙළෙඳ ගිවිසුම්වලට එරෙහිව විශාල දේශපාලන බලවේග ක්‍රියාත්මක විය. ඒ නිසා ඒ ගිවිසුම් අත්සන් කිරීම නැවැතිණි. එවැනි වෙළෙඳ ගිවිසුම් අත්සන් කළ යුතු බවට ජනපතිගේ අතුරු අයවැයෙන් යෝජනා කර තිබේ. අප එක තැන සිටිනවාද නැතිනම් ඉදිරියට යායුතු දැයි තීරණය කළයුතු බව ජනපති කියයි. ඇත්තෙන්ම අප දියුණු වෙන වෙනස් වෙන ලෝකය සමඟ ඉදිරියට යායුතුය. වෙනස් නොවුණොත් එක තැන පල්වෙවී සිටීමට සිදුවෙයි. ගෝලීය ආර්ථිකය සමග සම්බන්ධ නොවී දේශීය ආර්ථිකයක් ගැන බණ කියමින් සිටීමෙන් තව තවත් වැළලෙයි.
ගෝලීය ආර්ථිකයේ පවතින අගය දාමයන් සමග එකතු වෙමින් ගෝලීය ආර්ථිකයේ පවතින නිෂ්පාදන ක්‍රියාවලියට අප රට ද එකතු විය යුතුය. උදාහරණයකට වාහන නිෂ්පාදනය කරන ජාත්‍යන්තර සමාගමක් සමග එකතු වී ඒ වාහනයට අවශ්‍ය යම් එක් උපාංගයක් හෝ නිෂ්පාදනය කර අපනයනය කිරීමට අප පෙළඹිය යුතුය. අපනයන ආදායම ඉහළ නංවා ගැනීමට පවතින බාධක ඉවත් කිරීමට ද ජනපති යෝජනා කරයි. තීරු බදුවලට අමතරව අපනයන අධෛර්යවත් කරන බදු රැසක් තිබේ. තීරු බදු නොවන සෙස් බද්ද, ජාතික සංවර්ධන බදු, ගුවන් තොටුපොළ ගාස්තු යනාදියෙන් අපනයන අධෛර්යවත් වෙයි. ඒවා වෙනස් කළ යුතු බවට ජනපති කරන යෝජනාවද ප්‍රසස්ථය. රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා කරන යෝජනාවද ඉතා හොඳය. ඒවා ශක්තිමත් කිරීමට වෙනම ආයතනයක් පිහිටුවීමට ද යෝජනා කරයි.
සමස්තයක් ලෙස ගත් විට ජනපතිගේ යෝජනා සියල්ල ප්‍රසස්ථය. දියුණු වෙමින් පවතින රටක තත්ත්වයෙන් මිදී සංවර්ධිත රාජ්‍යයක් වීමට නම් වෙනස් වන ලෝකය සමග අප ද වෙනස් විය යුතුය. වෙනස් වන ලෝකය සහ පරිසරය සමග වෙනස් විය නොහැකි සතුන් වඳවන බව පරිණාමවාදයේ පිළිගැනීමයි. ඒ බව අවස්ථාවාදී දේශපාලන නායකයෝත් වෘත්තිය සමිති නායකයෝත් පිළිගත යුත්තෝය. දේශපාලන හෙංචයියන් සහ පරපෝෂිතයන් විසින් තමන් සේවය කළ ආයතන වනසද්දී අයිතිවාසිකම් වෙනුවෙන් පමණක් සටන් කරමින් තම වගකීම් අමතක කළ වෘත්තීය සමිති සහ ඒවායේ නායකයෝ දැන්වත් වෙනස් වන ලෝකයට හා පරිසරයට අනුව වෙනස් විය යුත්තාහ. එසේ නොවුණහොත් ඔවුහු වඳ වී යන්නාහ. වඳවෙනවා ද පවතිනවා ද යන්න තීරණය කළ යුත්තෝ ඔවුහුමය.
(***)