රටක ආර්ථික ගමන්මග ගැන සියලු දත්ත ඉදිරිපත් කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂවය. ණය, ආදායම, වියදම, අයවැය හිඟය ආදී සියල්ල ගැන කතා කරන්නේ දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂවය. ඒ නිසා අපට දළ දේශීය නිෂ්පාදිතය වැදගත්ය. දළ දේශීය නිෂ්පාදිතය සකස් කර ඉදිරිපත් කිරීමේ නීතිමය වගකීම ඇත්තේ ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවටය.
ඔවුහු සෑම කාර්තුවකටම වරක් දළ දේශීය නිෂ්පාදිතයේ අගය දක්වති. 2020 පළමුවැනි කාර්තුවේ කොරෝනා වයිරසය පැමිණීමට පෙර දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව ආර්ථික වර්ධන වේගයේ අගය සෘණ 1.6කි. කොරෝනාවල බලපෑම තිබුණේ එම කාර්තුවේ දින 10කි. ඒ අනුව ජනවාරි, පෙබරවාරි, මාර්තු යන පළමු කාර්තුවේදී ආර්ථික වර්ධනය සෘණ අගයක් ගත්තේ කොරෝනා බලපෑමකින් නොවේ. දෙවැනි කාර්තුවේ ද.දේ. නිෂ්පාදිතයේ අගය ඉදිරිපත් කිරීමට තිබුණේ කාර්තුව අවසන් වී දින 75ක් ඇතුළතය. එනම් සැප්තැම්බර් 15ය. එහෙත් නියමිත දිනට ද.දේ. නිෂ්පාදිතයේ අගය ඉදිරිපත් වූයේ නැත. ඒ ගැන අප ප්‍රශ්න කළ විට ඔවුන් කීවේ එය සැකසීමට විදෙස් උපදෙස් අවශ්‍ය බවය. මේ අතර ජූලි, අගෝස්තු, සැප්තැම්බර් තුන්වැනි කාර්තුවද උදා විය. එහි අගය දෙසැම්බර් 15 වන විට ඉදිරිපත් කළ යුතු වූ අතර බලධාරින් කීවේ දෙවැනි හා තෙවැනි කාර්තු දෙකේම ද.දේ. නිෂ්පාදිත අගය එදිනට ඉදිරිපත් කරන බවය. එහෙත් පසුව කීවේ කුමක්ද? දෙසැම්බර් 15 වැනිදා ඉදිරිපත් කිරීමට ද හැකියාවක් නැති බවය.
දළ දේශීය නිෂ්පාදිතයේ අගය ප්‍රශ්නාර්ථයක් බවට පත්වෙන අතරේ සිදුවීම් දෙකක් විය. පළමුවැන්න නම් කම්කරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සමීක්ෂණයක් කරනු ලැබ විරැකියාව ඉහළ ගොස් ඇති ආකාරය ගැන දත්ත ඉදිරිපත් කිරීමය. එය නීති ප්‍රකාරව පැවැරුණු කර්තව්‍ය මත කම්කරු අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කරනු ලැබූ ක්‍රියාවකි. ආර්ථිකයේ සිදුවන්නේ කුමක්දැයි දැන ගැනීමට රජයෙන් ඉදිරිපත් කළ එකම සංයුක්ත වාර්තාව වූයේ එයයි. එයින් පසුව දෙවැනියට ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් ආයතන 18000 ක් සම්බන්ධ කරගෙන සමීක්ෂණයක් කළේය. සුළු පරිමාණ මෙන්ම මධ්‍ය හා මහා පරිමාණ ආයතන ඇසුරෙන් කෙරුණු මෙහි ප්‍රතිඵලය වූයේ ඇතැම් ක්‍ෂේත්‍රවල සියයට 50 සිට 80 දක්වා ප්‍රතිශතවලින් කඩාවැටීම් වී ඇති වග අනාවරණය වීමය. තමන් දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය සකස් කළේ මෙම දත්ත පදනම් කරගෙන යැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ඒ ගැන සිය නිල වෙබ් අඩවියේ සඳහන් කර තිබිණි. ඒ අනුව ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව දෙවැනි කාර්තුවේ ආර්ථික වර්ධන වේගය ගණනය කළ බව ඔප්පු වේ. එහෙත් එම අගය ඉදිරිපත් කිරීම කල්දමා දත්ත ගැන තවදුරටත් සොයාබලන්නේ යැයි ද එහි සඳහන් කර ඇත. මේ අතරේ ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ආසියානු සංවර්ධන බැංකුව ද ලංකාවේ ආර්ථික වර්ධන වේගය ගැන පුරෝකථන කළ අතර ඒවායේ සඳහන් වූයේ සෘණ හතරක් හයක් වැනි ඉලක්කමකට අගය කඩාවැටෙනු ඇති බවකි. මහ බැංකුව ද මුලදී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 1.7ක් වනු ඇතැයි උපකල්පනය කළ නමුත් අයවැය දිනයේ ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වුණේ එහි අගය සෘණ 1.7ක් වනු ඇති බවකි. ආණ්ඩුවේ ඉලක්කම් සෙල්ලම එළියට එන්නට පටන්ගන්නේ මෙතැනදීය.
අයවැය දත්තවලට අනුව 2019 දී දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන පහලොස්දාස් දාසයකි. 2020 දී අපේක්ෂා කරන්නේ රුපියල් බිලියන පහලොස්දහස් හාරසිය හැට දෙකකි. එම ඉලක්කම්වලට අනුව සියයට 2.97ක නාමික ආර්ථික වර්ධනයක් තිබේ. එහෙත් මොවුන් කියන්නේ මූර්ත වර්ධනය සෘණ 1.7ක් යැයි කියාය. ඒ සඳහා මහ බැංකුව උපකල්පනය කරන උද්ධමනය 4.67කි. ආර්ථිකයේ නාමික වර්ධනය මනින්නේ මූර්ත වර්ධනය හා මිල වැඩිවීම එකතු කිරීමෙනි. මෙය උදාහරණයක් මගින් පැහැදිලි කරන්නේ නම් අපේ නිෂ්පාදනය පොල් යැයි සිතමු. පොල් ගෙඩි ප්‍රමාණය වැඩිවීම හා මිල වැඩිවීම ගණනයෙන් නාමික වර්ධනය සොයා බැලේ. 2019 වසරේදී ලංකාව එක පොල් ගෙඩියක් නිෂ්පාදනය කර එය රුපියල් 100කට විකිණූ අතර 2020 දීද එක පොල් ගෙඩියක් නිපදවූ නමුත් එය රුපියල් 150කට විකුණා ඇතැයි සිතන්න. එවිට නාමිකව සියයට 50 කින් ආර්ථිකය වර්ධනය වී ඇත. ඒ නිෂ්පාදනය වැඩි නොවී මිල පමණක් වැඩිවීමෙනි. ඒ නිසා මූර්ත වර්ධනය 0 වෙද්දී උද්ධමනය (150-100■100=උද්ධමනය) සියයට 50 ක් වී ඇත. අයවැයේ දත්ත නිසියාකාරව සූත්‍රගත කළ විට 2020 සඳහා මූර්ත වර්ධන වේගය සියයට 2.1ක් බවට පත්වන අතර අවට ලෝකය දෙස ඇස් හැර බැලූ විට මේ විහිළුව පැහැදිලි වේ. ඉන්දියාව සෘණ 10ක්, තායිලන්තය සෘණ 7ක්, මැලේසියාව සෘණ 6 ක්, පාකිස්ථානය සෘණ 1ක්, ඉන්දුනීසියාව සෘණ 2ක්, මාලදිවයින සෘණ 19ක්, සිංගප්පූරුව සෘණ 1ක්, චීනය 1.9ක්, ප්‍රංශය සෘණ 10ක්, කැනඩාව සෘණ 7ක්, ජර්මනිය සෘණ 6ක්, ජපානය සෘණ 5ක්, කොරියාව සෘණ 2ක්, ස්පාඤ්ඤය සෘණ 13ක්, එංගලන්තය සෘණ 10ක් ආදී වශයෙන් ලෝක ආර්ථිකය කඩාවැටෙද්දී ලංකා ආර්ථිකයේ වර්ධනය ධන වූයේ කෙසේද? එක පසෙකින් කම්කරු දෙපාර්තමේන්තුව ලංකාවේ විරැකියාවේ ඉහළ යෑම කියයි. අනෙක් පසින් දළ දේශීය නිෂ්පාදිතය ගණනයේ නිල භාරකරු වූ ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව ද කර්මාන්තවල කඩාවැටීම සියයට 50 සිට 80 දක්වා වැඩි වී ඇති බව කියයි. දළ දේශීය නිෂ්පාදිතයේ අගය පවා නිසි කලට ප්‍රකාශ කරගත නොහැකි යැයි ද කියයි. එහෙත් ඒ අතරේම කවුරු මොනවා කීවත් ලංකාවේ ආර්ථිකය ධන අගයක් ගෙන ඇතැයි අයවැය කතාවේදී මුදල් ඇමැති කියයි. අයවැයට අදාළව රුපියල් බිලියන පන්සිය හයසිය ගණනක විසල් වෙනසක් මෙමගින් නිර්මාණය වන අතර ඒ වෙනස අයවැයේ සියලු දත්තවලට බලපායි.
විශාල අගයක් ඇති හරයකින් ලවය බෙදූ විට පිළිතුරේ අගය කුඩා වන බව කුඩා දරුවෝ පවා නොදනිත් ද? වියදම හා ණයවල අගය කාටවත් හංගන්නට බැරිය. ආණ්ඩුව ද එය දනී. එහෙත් එම අගය බෙදන දළ දේශීය නිෂ්පාදිතයේ අගය ලොකු කර පෙන්වුවහොත් පිළිතුර කුඩා වේ. එසේ කළහොත් කොරෝනා අස්සේ පවා ලංකාවේ ආර්ථිකය වර්ධනය වී ඇතැයි පෙන්වන්නට පුළුවන. එහෙත් මේ සෙල්ලම කරන්නට යෑමෙන් අවසානයේදී සිදුව තිබෙන්නේ දේශීය සාර්ව ආර්ථික දත්ත සම්බන්ධයෙන් පිළිගැනීම නැතිකර ගැනීමය. එකම දිනයේදී මහ බැංකුව ප්‍රකාශ කරන දළ දේශීය නිෂ්පාදිතයට වඩා භාණ්ඩාගාරය ප්‍රකාශ කරන දළ දේශීය නිෂ්පාදිතය රුපියල් බිලියන 570කින් වැඩිවීම විහිළුවක් නොවේ. මහ බැංකුව හා මහා භාණ්ඩාගාරය මෙවැනි පරස්පර ඉලක්කම් කියද්දී දළ දේශීය නිෂ්පාදිතයේ නිවැරැදි අගය ප්‍රකාශ කිරීමේ නිල භාරකරු ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව එය කරඇරීම බරපතළ තත්ත්වයකි. ආර්ථික විද්‍යාවට අනුව කාර්තු දෙකකදී ආර්ථික වර්ධන වේගය සෘණ වුවහොත් කියන්නේ අවපාතයක් කියාය. මේ ඉලක්කම් සෙල්ලම එය වසාගැනීමට නම් එය සරල නැත.
දෙවැනි කාරණය පළමු කාරණයටත් වඩා බරපතළය. මන්දයත් මෙම ක්‍රියාවලිය පාර්ලිමේන්තුව හා නීතිය සම්බන්ධයෙන් අදාළ වන නිසාය. අයවැය විවාදය යැයි කියා මාසයක් තිස්සේ අප කරන්නේ රාජ්‍ය වියදම ගැන ප්‍රශ්න කිරීමය. මක්නිසාදයත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රකාරව රාජ්‍ය මූල්‍ය සම්බන්ධයෙන් බලය ඇත්තේ ව්‍යවස්ථාදායකයට නිසාය. එහි සරල අරුත නම් පාර්ලිමේන්තුවේ අනුමැතියෙන් තොරව මහජන මුදල් වියදම් කළ නොහැකි බවය. රට වසා තැබූ අවස්ථාවේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු අනුමැතියෙන් තොරව අතුරු සම්මත ගිණුමක් ද නොමැතිව මුදල් වියදම් කිරීම ප්‍රශ්නයක් වූයේ එහෙයිනි. මෙම ප්‍රශ්නය නැවතත් අයවැයෙන් මතුවන ආකාරය අපි බලමු. ඒ, අයවැය කතාවේදී 2020 වියදම්වලින් රුපියල් බිලියන 500 ක් පමණ 2019ට මාරු කළ බව කීමෙනි. ඊට හේතුව ලෙස ඔවුන් දක්වන්නේ කිසියම් බිල්පත් වගයක් පසුගිය ආණ්ඩුව නොගෙවා තිබුණු බවකි. මේ කතාව අසන කෙනෙකුට 2019 වසරේදී කළ වියදම් 2019 වසරටම සඳහන් කළ යුතු යැයි කීම නිවැරැදි නොවේදැයි සිතෙනු සාධාරණය. එහෙත් එහි අවුල පෙනෙන්නේ ඒ ගැන තවදුරටත් විමසූ කල්හිය. අපේ රටේ ගිණුම් තබන්නේ මූල්‍ය පදනම මතය. උදාහරණයකට කිසියම් වසරක අවසාන මාස තුනේදී පාරිභෝගිකයකුට විදුලිය සඳහා නිකුත් කළ බිල්පත් එම මාස තුන ඇතුළතම නොගෙවීම දැක්විය හැකිය. අත්‍යවශ්‍ය වියදම් පිය වූ කල්හි එවැනි බිල්පත් ගෙවන්නේ හැකිතරම් පසුවය. ආණ්ඩුව ද එසේමය. 2014ට අදාළ විගණකාධිපති වාර්තාව පවසන ආකාරයට 2014ට ආණ්ඩුව බිල්පත් සඳහා ගෙවීමට නියමිතව තිබූ රුපියල් බිලියන 190ක මුදලක් නියමිත 2014 වර්ෂයේදී ගෙවා නොතිබූ අතර ඒවා 2015 සඳහා ඉදිරියට ගෙන ගොස් තිබිණි. එවකට වැඩ බලන විගණකාධිපති ඩබ්ලිව්.පී.සී. වික්‍රමරත්න මහතා 2015 මැයි 27 දාතමයෙන් ඊට අස්සන යොදා තිබිණි. 2019 රාජ්‍ය ගිණුම පිළිබඳ විගණකාධිපති වාර්තාව 2020 මැයි 30 නිකුත් කර තිබූ අතර විගණකාධිපති හැටියට වික්‍රමරත්න මහතාම ඊට අස්සන යොදා ඇත. ඊට අනුව 2019 දී ආණ්ඩුව කිසියම් බිල්පත් වගයක් සඳහා ගෙවිය යුතුව තිබූ නමුත් නොගෙවා ඇති රුපියල් බිලියන 243ක් 2020 සඳහා ඉදිරියට ගෙනගොස් තිබේ.
මෙම වාර්තාව යනු විගණකාධිපතිවරයා අස්සන යොදා බාර දී අවසන් කළ එකකි. එවිට සිය ආණ්ඩුව අයවැය පරතරය සියයට 5.7 දක්වා 2014 දී පහළට ගෙන ආ නමුත් එය 2019 වනවිට සියයට 9.6 දක්වා වැඩි වී ඇතැයි ද ගෙවා නැති බිල් රුපියල් බිලියන 243ක් ඊට හේතුවී ඇතැයි ද මහින්ද රාජපක්ෂ මුදල් ඇමැතිවරයා කළ ප්‍රකාශය සමග ප්‍රශ්න මතුවේ. මන්දයත් 2019 වසරේ පරණ බිල්වල අගයන් ද ඉවත් කර බැලුවහොත් ද.දේ. නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් හැටියට අයවැය පරතරය සියයට 6.8ක් වන බැවිනි. පරණ බිල් එකතු කළ ද සියයට 8.4ක් මිස 9.6ක් නොවේ. මේ 9.6ක අගයක් පැමිණ තිබෙන්නේ ණය වගයක් දළ දේශීය නිෂ්පාදිතයට එකතු කිරීමෙනි. එය වැරැද්දකි. ණය කිසිදා දළ දේශීය නිෂ්පාදිතයට එකතු කරන්නට බැරිය. කෙසේ වෙතත් කර ඇති වංචාව මෙමගින් පැහැදිලි වේ. තමන්ගේම ආණ්ඩුවෙන් 2014 දී ගෙවිය යුතුව තිබූ බිල්වල මුදල ඉවත් කර අයවැය හිඟය ගැන උදම් අනන මුදල් ඇමැති රාජපක්ෂ මහතා 2020 අයවැය හිඟය කියන්නට ගෙවන්නට තිබූ පරණ බිල් එකතු කර පෙන්වයි.
මෙම අංක විජ්ජාවෙන් අනාවරණය කරනු ලබන බරපතළම තත්ත්වය නම් රාජ්‍ය මූල්‍ය පාලනයට කොකා පෙන්වීමට ගොස් නීතිවිරෝධී ආණ්ඩුකරණයකට අවතීර්ණ වීමකි. ඒ මෙසේය. 2019 වසරට අදාළව රාජ්‍ය මූල්‍ය සීමා පාර්ලිමේන්තුවෙන් නිශ්චය කර ඊට අදාළව විගණකාධිපතිවරයා වාර්තා නිකුත් කිරීමෙන් පසු එය පාර්ලිමේන්තුවට නැවත දැනුම් දුන් පසු අවසානාත්මක තත්ත්වයකි. අවසන් කළ විගණන මූල්‍ය වාර්තා නැවත වෙනස් කරන්නට ආණ්ඩුවකට අයිතියක් නැත. එසේ කළහොත් එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ඒ නිසා මේ වනවිට ආණ්ඩුව අයවැය දත්ත විකෘති කිරීම් හරහා එකවර ජනතාව මුළා කරමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය කරමින් සිටී. ආණ්ඩුව මෙවැනි සෙල්ලම් හරහා පාර්ලිමේන්තුවත් බහුතරයක් ජනතාව ද නොමග යවනු ඇත.
එහෙත් ලෝක ආර්ථිකය අධ්‍යයනය කරන, ලංකාවට ණය දෙන ශ්‍රේණිගත කරන ආයතනවලටත් විෂය ප්‍රාමාණිකයන්ටත් මේ බොරුව පැවැසිය නොහැකිය. රජයේ ආදායම් වියදම් ණය හා අයවැය දත්ත විශ්ලේෂණය කර වැරැදි නිවැරැදි කිරීම කාර්යභාරය බවට පැවැරූ මුදල් කාරක සභාවක් පාර්ලිමේන්තුවකට තිබෙන්නේ මෙවැනි අවස්ථා සඳහාය. ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීමේ අරමුණෙන් එහි සභාපතිවරයා විපක්ෂයෙන් පත්කරන්නැයි ස්ථාවර නියෝගවල සඳහන් කර ඇත්තේ ද ස්වභාවයෙන්ම ආණ්ඩු විසින් කාරණා වසන් කරනු ලබන නිසාය. සුනිල් හඳුන්නෙත්ති මහතා කෝප් කමිටුවේ (පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව) සභාපතිත්වයට පත්කිරීමෙන් පැවැති ආණ්ඩුව මහා පරිමාණයෙන් ප්‍රශ්න කිරීම ඊට හොඳම නිදසුනකි. පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා සභාපතිත්වය විපක්ෂයට දිය යුතු යැයි ස්ථාවර නියෝගවල සඳහන් නොවුණද රාජ්‍ය මුදල් කාරක සභාවේ මුල් පුටුව විපක්ෂයට දිය යුතු යැයි ස්ථාවර නියෝගවලම සඳහන් වේ. ඒ රාජ්‍ය මූල්‍ය පාලනයේ විනිවිදභාවය බරපතළ ලෙස විනිශ්චයට බඳුන් විය යුතු නිසාමය.
එහෙත් ආණ්ඩුව ඒකාධිපති ලෙස එය ද උදුරාගෙන තමන්ගේ කෙනෙකු ඊට ද පත්කරගත්තේය. එහි අනිටු පලය වී ඇත්තේ අප මතු කරන මේ ප්‍රශ්නගත කරුණු පවා මුදල් කාරක සභා වාර්තාවට අන්තර්ගත නොවීමය. මුදල් කාරක සභා වාර්තාව සභාගත කරනවිටම එය විද්‍යාත්මක නොවීම ගැන මූලික විවේචනය ඉදිරිපත් කර ඒ ගැන විගණකාධිපතිවරයාගෙන් වාර්තාවක් කැඳවන්නැයි කතානායකවරයාගෙන් මා ඉල්ලා සිටියේ එහෙයිනි. එහෙත් අවාසනාවන්ත ලෙස කතානායකවරයා ආණ්ඩුපාක්ෂික වී ධුරයේ භූමිකාව අතහැර තිබේ. මෙම තත්ත්වය හමුවේ ව්‍යවස්ථාදායකයේ බලය විධායකයේ අධිකාරියට යටකරනු ඇත. එහෙත් රටක් හැටියට අප ආර්ථික තලයේදී ජාත්‍යන්තරය හමුවේ විසල් නින්දාවකට ලක්වීම නොවැළැක්විය හැකි වනු ඇත.
(*** සටහන - බිඟුන් මේනක ගමගේ)