ශ්‍රී ලංකා රජය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එළැඹ ඇති ණය ගිවිසුම අනුව සමහර රාජ්‍ය ආයතන පෞද්ගලිකකරණය කිරීමට රජය එකඟ වී තිබේ. ඉදිරි වසර කීපය තුළ රාජ්‍ය ආයතන ගණනාවක් ප්‍රතිව්‍යුහගතකරණයට ලක් කිරීමට සූදානම් බව රජය විසින් දැනටමත් ප්‍රකාශයට පත්කර ඇත. ඒ ප්‍රතිව්‍යුහගතකරණය කවර ස්වරූපයක් ගනීද යන්න පිළිබඳව දැනගත හැකිවනුයේ එක් එක් ආයතනය වෙනුවෙන් රජය විසින් අනුගමනය කිරීමට බලාපොරොත්තු වන්නේ කවර ක්‍රියාමාර්ගයක් ද පිළිබඳව ප්‍රකාශයට පත් කිරීමෙන් පසුවය.
මෙවර අයවැය ලේඛනයේ සෘජුවම ප්‍රතිව්‍යුහගතකරණය කෙරෙන රාජ්‍ය ආයතන පිළිබඳව ද ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට අනාගතයේ දී ඉඩ ඇති ආයතන පිළිබඳව ද සම්පූර්ණයෙන්ම පෞද්ගලිකකරණය නොකළ ද අයිතියෙන් කිසියම් කොටසක් පෞද්ගලිකකරණය කිරීමට බලාපොරොත්තු වන ආයතන පිළිබඳව ද විස්තර සමහරක් ඇතුළත් වේ.
උදා. රාජ්‍ය බැංකුවල කොටස්වලින් සියයට විස්සක් පෞද්ගලීකරණය කරන බව අයවැය ලේඛනයේ සඳහන් වේ.
කෙසේ වෙතත් පෞද්ගලිකකරණය කරන බවක් සඳහන් නොකරන නමුදු නියත වශයෙන්ම පෞද්ගලිකකරණය කෙරෙන රාජ්‍ය දේපළ රැසක් සම්බන්ධයෙන් ද අයවැය ලේඛනයේ තොරතුරු ඇතුළත් වන බව එය අධ්‍යයනය කරන විට පැහැදිලි වේ. රාජ්‍ය දේපළ රැසක් ඒ අනුව පුද්ගලයන්ට පැවරෙන නමුත්, ඒ බොහොමයක් රජය වෙත කිසිදු ආදායමක් නොලැබෙන අයුරින් එම පෞද්ගලිකකරණය සිදුවෙන බව පෙනේ. එයින් ඇතිවන ප්‍රතිඵල පිළිබඳව අවධානය යොමුකළ යුතුව ඇතැයි සිතමි.
බ්‍රිතාන්‍යයන් විසින් රට පුරා ගැමි ඉඩම් අක්කර දහස් ගණනක් අත්පත් කරගෙන ඉතා අඩු මිලකට ඒවා වැවිලි කර්මාන්තය සඳහා අලෙවි කරනු ලැබීය. 1935 දී ඉඩම් සංවර්ධන ආඥා පනත යටතේ වරින් වර ගොවීන්ට බලපත්‍ර මගින් නැවත ඉඩම් භාවිතා කිරීම සඳහා ලබාදීමක් සිදු විය.
එසේ වුවද, මෙම ඉඩම් ලබාදී දිගු කලක් ගත වුවද, ඒවා ගොවීන්ට පවරාදීමක් සිදුවූයේ නැත. මෙවර අයවැය ලේඛනය මගින් 2024 වර්ෂයේ දී ආරම්භ කර තවත් වසර කීපයක් තුළ එම ඉඩම් බලපත්‍රලාභි පිරිස්වලට සම්පූර්ණයෙන්ම පවරා දීමට යෝජනා කර තිබේ. පවුල් ලක්ෂ 20 කට ඉඩකඩම් සහ ගොවි බිම් අයිතිය ලබාදීමට ඒ අනුව කටයුතු කරනු ඇත. ඒ යටතේ අවම වශයෙන් රජයට අයත් ඉඩම් අක්කර හැට ලක්ෂයක් පමණ ගොවි ජනතාවට ලබාදීමක් සිදුවන අතර, එහි අදහස වන්නේ රජයේ ඉඩම් එපමණ ප්‍රමාණයක් පෞද්ගලිකරණය වන බවයි.
අයවැයේ සඳහන් වන එවැනි තවත් පෞද්ගලිකරණයක් වන්නේ විවිධ නාගරික වැඩසටහන් යටතේ අඩු ආදායම්ලාභී පවුල්වලට කුලී පදනම මත ලබාදී තිබෙන නිවාස ඔවුන්ටම පවරාදීමට කර ඇති යෝජනාවයි. 1970 න් පසු ඉදිකරන ලද කොළඹ නගරයේ සහ අවට නගරවල පිහිටා ඇති තට්ටු නිවාස සහ තනි නිවාස ඒකක මේ ආකාරයෙන් එම පවුල්වලට පවරාදීමක් සිදුවේ. දැනට මෙම නිවාසවලින් රුපියල් 3000 ක් පමණ මාසික කුලියක් රජයට ගෙවනු ලබයි.
එහෙත් අයවැය යෝජනාව අනුව ඒවායින් කුලී ගැනීම වහාම නතර කරන අතර, එම නිවාස ඒවායේ ජීවත්වන පිරිස්වලටම පවරාදෙනු ඇත. 2024 වර්ෂයේදී පවුල් 50,000 ක් සඳහා මේ ආකාරයට රජයේ නිවාස ලබාදීමට සැළසුම් කර තිබේ. එමගින් ද රජයේ දේපළ පුද්ගලයන් වෙත සම්පූර්ණයෙන්ම පවරාදීමක් සිදුවේ. රජය විසින් දැනට ලබා ගනිමින් තිබෙන කුලිය ද නතර කර දමන අතර, එම පෞද්ගලිකරණය කිරීමේ දී එය නොමිලයේම සිදුවනු ඇත.
වැවිලි කර්මාන්තය ක්‍රියාත්මක වන වතුකරයේ ඉඩම් ද මේ ආකාරයටම පෞද්ගලිකකරණය කිරීමේ යෝජනාවක් අයවැය ලේඛනයේ ඇතුළත්ව තිබේ. වතුකරයේ ජීවත්වන්නේ ඉඩම් හිමි ජනතාවක් නොවන බවත්, එහි ඔවුන්ට නිවාස තනා දීම සඳහා ඉඩම් අයිතිය හිමිකර දීමට පියවර ගන්නා බවත්, අයවැය ලේඛනයේ සඳහන් වේ. කවර ප්‍රමාණයකට ඉඩම් ලබා දෙන්නේ ද යන්න නිශ්චිතව සඳහන් කර නැති නමුදු ඒ සඳහා රුපියල් බිලියන 04 ක් අයවැය ලේඛනයෙන් වෙන්කර තිබේ.
මේ ආකාරයටම කොළඹ නගරයේ වතු නිවාසවල ජීවත්වන ජනතාවගේ ජීවන තත්ත්වය නගා සිටුවීමට සහ ඉදිකිරීම් ක්ෂේත්‍රයේ වර්ධනය ඉලක්ක කරගත් නව වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද අයවැය ලේඛනයේ සඳහන් වේ. කොළඹ නගරයේ වතු ඉඩම්වල විශාල නිවාස සහ වෙළෙඳ සංකීර්ණ ඉදිකිරීමේ වගකීම රජය විසින් ඉදිකිරීම් ආයතනවලට ලබාදීමට පියවර ගනු ඇත.
එම ඉඩම් පෞද්ගලික අංශයට නොමිලේ ලබාදෙනු ඇත. ඔවුන්ට බලපාන එකම කොන්දේසිය වන්නේ එම වතුවල පදිංචිව සිටින ජනතාවට නව නිවාස ලබාදීමයි. එකී පවුල්වලට එම පවුල්වල කැමැත්ත පරිදි එම නිවාස සංකීර්ණය හෝ වෙනත් ස්ථානයක නිවාස ලබාදිය යුතුය. මේ යටතේ කොළඹ නගරයේ වතු නිවාස සහ මුඩුක්කු නිවාස ප්‍රශ්නය බොහෝ දුරට අවසන් වනු ඇත.
නොවැම්බර් මස 14 වැනිදා ජනාධිපති කාර්යාලයේ දී රටේ මාධ්‍ය ප්‍රධානීන් සමග ජනාධිපතිවරයා පැවැත් වූ සාකච්ඡාවක දී ඒ ආකාරයට සිදුවන පෞද්ගලිකකරණය පිළිබඳව ජනාධිපතිවරයා විසින් තවදුරටත් පැහැදිලි කිරීමක් කර තිබේ. “ සිංගප්පූරුව, මැලේසියාව වැනි දියුණු රටවල ආර්ථිකය අද සම්පූර්ණයෙන් රජයේ පාලනයෙන් ඉවත් කර තිබෙනවා. මේ අයවැයෙන් ලංකාවේ විශාලතම පෞද්ගලිකකරණය අප සිදු කරනවා. ඒ තමයි ඉඩම් සංවර්ධන පනත යටතේ ඉඩම් ලබාගත් ගොවීන්ටත්, සාමාන්‍ය ජනතාවටත් මේ ඉඩම්වල සම්පූර්ණ සින්නක්කර අයිතිය ලබාදීම, ඒ වගේම විශේෂයෙන්ම රජයේ මහල් නිවාසවල සිටින අයටත් ඒ අයිතිය ලබා දෙනවා. එය අප ගත් විශාල පියවරක් ලෙස මම දකිනවා. මේ තමයි ලංකාවේ තිබෙන විශාලම පෞද්ගලිකකරණය”
පවුල් විසි ලක්ෂයකට ඉඩම් ලබාදීම, පවුල් 50,000 කට කුලී නිවාස සින්නක්කරව ලබාදීම, වතුකරයේ ජනතාවට ඉඩම් ලබාදීම සහ කොළඹ නගරයේ වතු නිවාස හා මුඩුක්කු නිවාස වෙනුවට අලුත් නිවාස ඉදිකිරීම වෙනුවෙන් පෞද්ගලික ආයතනවලට ඉඩම් ලබාදීම යන මේ සියල්ලම අයවැය ලේඛනයේ පෞද්ගලිකකරණය හෝ ප්‍රතිව්‍යුහගතකරණය යන නම්වලින් හඳුන්වා නැත ද එය අතිවිශාල පෞද්ගලිකකරණයක් බව පැහැදිලි වේ. රජය විසින් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණයෙන් සිදුවන වත්කම් හුවමාරුවට වඩා විශාල වත්කම් හුවමාරුවක් එමඟින් සිදුවේ. රජය සතු අතිවිශාල වත්කම් ප්‍රමාණයක් මේ ව්‍යාපෘති යටතේ පුද්ගලයන්ට පවරාදීමක් සිදුවන බැවිනි.
ඉඩම් බලපත්‍රලාභියකුට බොහෝ කලක් ඉඩම් භුක්ති විඳීමට ඉඩ ලබාදී තිබුණ ද එම ඉඩම් හේතුවෙන් ඔහුට හෝ ඔහුගේ පවුලේ සංවර්ධනය වෙනුවෙන් වැඩි යමක් එකතු නොවේ. ඔහු හුදෙක් තාවකාලිකව ඉඩම් කුලියට ගත් පුද්ගලයකු පමණි. එසේ වුවද, එම ඉඩම ඔහුට ඔප්පුවකින් ස්ථිරව පවරා දුන්විට ඔහුගේ තත්ත්වයත්, පවුලේ තත්ත්වයත්, පවුලේ වත්කම්වල ස්වභාවයත් ක්ෂණිකව වෙනස් වේ. ඔහු ඉඩම් හිමියකු බවට පත්වේ. එම ඉඩම උකසට තබා බැංකු ණයක් හෝ වෙනත් අරමුදල් ලබාගැනීමට හැකිවේ. ස්ථිර නිවාසක් ඉදිකිරීමට අවස්ථාව සැලසේ. දරුවන් වෙනුවෙන් ලබාදීමට බූදලයක් ඔහුට හිමිව තිබේ. මෙම තත්ත්වය තුළ ගෙහිමියාගේ ද ඔහුගේ පවුලේ ද දරුවන්ගේ ද ආර්ථික තත්ත්වය මෙන්ම සමාජීය තත්ත්වය ද විශාල වෙනසකට පරිවර්තනය වන ආකාරය වටහා ගැනීමට හැකිවනු ඇතැයි සිතමි.
අයවැය ලේඛනයේ සඳහන් වන අනෙක් ව්‍යාපෘති තුන සම්බන්ධයෙන් ද රටේ දිළිඳු කොටස්වලට තම ආදායම සහ ජීවන තත්ත්වය පිළිබඳව විශාල වෙනසකට මගපාදන අවස්ථාවක් උදාකර දී ඇති බව පෙනේ. රජයේ තට්ටු නිවාසවල වසර ගණනාවක් ජීවත් වුවද ඔහු ගෙවල් හිමියකු නොවේ. ඉහතින් සඳහන් කළ ආකාරයෙන්ම ඔහු ද කුලීකරුවකු පමණි. එහෙත් අයවැය යෝජනාවෙන් පසුව ඔහු ගෙවල් හිමියකු බවට පත්වන අතර, ඔහු විසින් කුලී ගෙවීම ද නතර වේ. එම යෝජනාව තුළ එම පවුල් 50,000 ට ලැබෙන ආර්ථික සහ සමාජයීය ප්‍රතිලාභ ඉතා ඉහළ මට්ටමක පවත්නා බව පෙන්වාදිය හැකිය.
වතු කම්කරු ජනතාවට නිවාස සාදා ගැනීම සඳහා ඉඩම් ලබාදීම සහ දිගු කලක් කොළඹ වතු නිවාසවල සහ මුඩුක්කුවල ජීවත්වන ජනතාවට අලුත් නිවාස ලබාදීම සැලකිය හැක්කේ අඩු ආදායම්ලාභී සහ අඩු වරප්‍රසාදිත ජන කොටස් දෙකටම ස්ථිර ජීවිත පැවැත්මකට ඉඩප්‍රස්ථා සලසාදීමක් වශයෙනි. ඔවුන් ඉඩම් හිමියන් සහ නිවාස හිමියන් බවට පත්වනු ඇත. මෙය එම ජන කොටස් සම්බන්ධ සමාජයීය පරිවර්තනයකට ඉඩ සලසන අතර, කොළඹ අතිදුෂ්කර වතු නිවාස වාසය සහ මුඩුක්කු වාසය අවසන් කිරීමටත්, එම නිවාස ආශ්‍රිත දිළිඳු පවුල්වල දුක්ඛදායක දිවි පැවැත්මට තිත තැබීමටත් හේතුවනු ඇත.
මෙවර අයවැය ලේඛනය මගින් පාඩු ලබන රජයේ ආයතන ප්‍රතිව්‍යුහගතකරණය වැනි ක්‍රියා පිළිබඳව බොහෝ දෙනකු කතා කරන නමුත්, රටේ බහුතර ජනතාවගේ දිවි පැවැත්ම මහා පරිවර්තනයකට හසු කෙරෙන ශ්‍රී ලංකාවේ ලොකුම පෞද්ගලිකරණය පිළිබඳව බොහෝ දෙනකුගේ අවධානය යොමුවී නැති බව පෙනේ. එම පෞද්ගලිකරණයෙන් හඳුනාගෙන ඇති එම සුවහසක් ජනතාව තම දිවි පෙවෙත සරුකර ගැනීම සඳහා රටේ බිම් කඩක සහ නිවසක උරුමකරුවන් බවට පත්වෙමින් රට තුළ මහා පරිවර්තනයකට ඉඩ සලසනු ඇත.
(***)