ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලංකාව ලබාගෙන ඇති විස්තීරණ ණය පහසු කමේ තුන්වැනි වාරිකය වන ඩොලර් මිලියන 336ක් පසුගියදා නිකුත් කළේය. ලංකාව මෙතෙක් ලබාගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් මූල්‍ය අරමුදල සෑහීමකට පත්වන බව ඔවුන් නිකුත් කළ නිවේදනයේ සඳහන්ය.
විශේෂයෙන් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීම සම්බන්ධයෙන් ලබා ඇති ප්‍රගතිය විදේශ සංචිත වැඩිකර ගැනීමෙන් ලබා ඇති ප්‍රගතිය, උද්ධමනය පහත හෙළීම, පොලී අනුපාත ව්‍යුහයේ ලබා ඇති ප්‍රගතිය යනාදී කරුණු ධනාත්මක ලක්ෂණ ලෙස එහි හුවාදක්වා තිබේ. ඒවගේම යම් අවිනිශ්චිතතා සම්බන්ධයෙන්ද මූල්‍ය අරමුදල කරුණු දක්වා ඇතිබව කිව යුතුය. ණය ප්‍රතිව්‍යුහගතකිරීම සම්බන්ධයෙන් ලංකාව දක්වා ඇති පසුගාමීත්වයට ඔවුන් දක්වා ඇත්තේ අප්‍රසාදයකි. ගිවිසුමේ ඇති යම්යම් එකගතා ඉදිරියේදී මැතිවරණ පැවැත්වීමත් සමග ඒ අයුරින්ම ක්‍රියාත්මක කළ හැකිද යන ප්‍රශ්නයද මතුකර තිබේ.
මෙම ණය වාරිකය ලබාගැනීමට නොහැකි වූවානම් ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලියද යම් හෙයකින් දුර්මුඛවීමට ඉඩකඩක් තිබුණි. කෙසේ නමුත් මේ මුදල් ප්‍රමාණය ලබාගැනීම මුදලක් වශයෙන් සැලකූවිට කිසිදු වටිනාකමක් නැති ක්‍රියාවලියක් වශයෙන් හැඳින්විය හැකිය. ඩොලර් මිලියන 336ක් යනු ලංකාවේ පවතින අරමුදල් ප්‍රශ්නයට කිසිසේත්ම සරිලන විසදුමක් නොවේ. තුන්වැනි වාරිකය මුදාහැරීමත් සමග විස්තීරණ පහසුකම යටතේ ලංකාව ලබාගෙන ඇති මුදල ඩොලර් බිලියනයක් දක්වා ඉහළ ගොස් තිබේ. මෙම ණය පහසුකමේ මුළු ඒකගතාව ඩෙලර් බිලියන 2.9කි. මෙසේ ලබාගෙන ඇති ඩොලර් බිලියනයෙන් ඒක ඩොලරයක්‌වත් මේදක්වා වියදම් කර නැත. ඒවා සංචිතවල සුරක්ෂිතව පවතී. මේවනවිට ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 5.4ක් දක්වා ඉහළ නංවා ගැනීමට මහ බැංකුවට හැකිවී තිබෙන්නේ මූල්‍ය අරමුදලෙන් ලබාගත් මුදල්ද වියදම් නොකර සංචිතයේ තැන්පත් කර තිබීම හේතුවෙනි. ඒ අනුව මෙම මුදල් රටේ සංචිත ගොඩනැගීමට දායකවූවා මිස ඒමගින් රටට ලැබුණු වෙනත් ප්‍රයෝජනයක් නැත.
ඒ වගේම මෙම ණය ගිවිසුමට එළැඹ ඇත්තේද වෙනත් කිසිදු ප්‍රයෝජන බලාපොරොත්තුවෙන් නොවේ. ජාත්‍යන්තර වශයෙන් පළුදුවී තිබෙන ලංකාව පිළිබඳ විශ්වාසය ගොඩනැගීම මෙමගින් බලාපොරොත්තු වන ප්‍රධාන කරුණකි. මූල්‍ය අරමුදල සමග තිබෙන ගිවිසුම 17වැනි වතාවටත් කඩකළහොත් ජාත්‍යන්තර වශයෙන් ගොඩනැගෙමින් තිබෙන විශ්වාසය පළුදුවීමෙන් ණය ප්‍රතිව්‍යහගතකරණ ක්‍රියාවලිය බිඳවැටීමට ඉඩ තිබෙන්නා සේම වෙනත් රටවල් සහ ජාත්‍යන්තර සංවිධාන ලංකාවට ණය ආධාර ලබාදීම ප්‍රතික්ෂේප කිරීමටද අවකාශ තිබේ. ඒනිසා ලංකාව 16 වතාවක් මූල්‍ය අරමුදලේ ගිවිසුම කඩකළා සේ 17 වැනි වතාවට මෙම ගිවිසුම කඩකළ නොහැකි තත්වයක් නිර්මාණය වී තිබේ.
එම තත්වය උදාවී තිබෙන්නේ කාරණා කීපයක් හේතුවෙනි. ලෝක බැංකුව ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතනවලින් ලබාගතහැකි ණය මුදල්ද මෙම ගිවිසුමට ඇතුළත් කර තිබීම ඉන් පළමු කරුණයි. ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 1750ක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 2000ක් ලබා ගැනීමට මෙම ගිවිසුම තුළම සැලසුම් කර තිබේ. යම් හෙයකින් මෙම ගිවිසුම කඩ කළහොත් ලංකාවට තවදුරටත් ලෝක බංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් අරමුදල් අයැදුම් කිරීමට හැකියාවක් නැත. ඒවගේම ණය ප්‍රව්‍යුහගතකරණ ක්‍රියාවලිය බිඳ වැටුණහොත් ජාත්‍යන්තර වෙළෙඳපොළට ගොස් ස්වෛරීත්ව බැඳුම්කර අලෙවිකර වාණිජ ණය ලබා ගැනීමට ලංකාවට හැකිවන්නේ නැත. ඒවගේම ලංකාවේ ප්‍රධාන ණය හිමිකරුවන් වන චීනය, ඉන්දියාව, ජපානය සහ පැරිස් සමුළුවට අයත් වෙනත් රටවල් ලංකාව කෙරෙහි තබා ඇති විශ්වාසය කඩවුවහොත් තවදුරටත් ඔවුන්ගෙන්ද ණය ආධාර ලබාගැනීමට හැකිවන්නේ නැත. එවැනි තැනකදී බංකොලොත් තත්වයෙන් මිදීමට හැකිවන්නේ නැත. මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් ගිවිසුමෙන් ඉවත්වීමට අපොහොසත් වන්නේ එනිසාය. එසේ නැතිව මුදල්මය වශයෙන් මුළු ගිවිසුමේම තිබෙන ඩොලර් බිලියන 2.9 මෙරට විදේශ විනිමය ප්‍රශ්නය විසදීමට හෝ එසේ සිතීමටවත් ප්‍රමාණවත් නැත. මූල්‍ය අරමුදල අවශ්‍යවන්නේම ලංකාවට ජාත්‍යන්තර වශයෙන් අහිමි වී ඇති විශ්වාසය ගොඩනැගීම සඳහා අවශ්‍ය මග පෙන්නීම හා රැකවරණය ලබාදෙනවාය කියන තහවුරුව ලබාගැනීම උදෙසා පමණි.
ලංකා ආණ්ඩුව ලබාගෙන ඇති ප්‍රගතිය පිළිබඳ මූල්‍ය අරමුදල සෑහීමකට පත් වුවත් එම ප්‍රගතිය ලබාගෙන ඇති ආකාරය ඒ තරම්ම සතුටුදායක නොවන බව පෙනීයන කරුණකි. විභාගය සමත් වී ඇතිබව සටන් කර තිබුණත් විභාගය සමත්වූයේ කෙසේද යන්න සෑහීමකට පත්විය නොහැකි බව පෙනී යන්නකි. රාජ්‍ය ආදායම් වැඩි කිරීමේදී බදු වැඩිකිරීමෙන් බොහෝ කණ්ඩායම්වලට අපහසුතාවලට මුහුණදීමට සිදු වුණි. වැට් බදු සියයට 18ක් දක්වා ඉහළ දැමීම වෘත්තිකයන්ට සියයට 36ක් දක්වා ආදායම් බදු පැනවීම, සංචාරක, අධ්‍යාපන, කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ආදී විදේශ විනිමය රටට රැගෙන එන කර්මාන්ත මත බදුබර වැඩිකරීම යනාදී කරුණුවලින් රාජ්‍ය ආදායම වැඩිකර ගැනීමට තැත්කිරීම නිසා ආර්ථිකය දැඩි අර්බුදයකට ලක්ව තිබේ. එමෙන්ම රාජ්‍ය ව්‍යවසායවලින් අයවැය මත ඇතිකරනලද පීඩනය අවම කිරීමට ගත් උත්සාහයේදී විදුලි මිල සියයට දෙසීයකින් වැඩි කිරීමෙන් ආර්ථිකයේ කුටුම්බ මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත විශාල සංඛ්‍යාවක් අර්බුදයට ලක්ව තිබේ. ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්නාදෙන ආකාරයට මෙරට පැවැති කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ලක්ෂ දහයක් අතරින් 204100ක් පමණ සම්පූර්ණයෙන්ම වසාදමා තිබේ. ඒවගේම තවත් 59100ක් තාවකාලිකව වසා දමා තිබේ. විදුලිබල මණ්ඩලය මිල ඉහළ දැමීමෙන් ලාබ ලබූවද ඒ ලාබය හේතුකොටගෙන ආර්ථිකයේ තවත් ලක්ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් වැසීයනවානම් සේවකයන් ලක්ෂ පහකට වඩා වැඩි පිරිසකට රැකියා අහිමි වෙනවානම් විදුලිබල මණ්ඩලය ලාබලැබීම කිසිසේත්ම ආණ්ඩුවේත් ඇමැතිගේත් ජයග්‍රණයක් නොවේ. එය ඔවුන්ගේ ආර්ථික කළමනාකරණය පිළිබඳව දුර්වලතාව සහ පටු දැක්ම සම්බන්ධ සංඛේතයක් පමණි.
තුන්වැනි වාරිකය මුදාහැරීමෙන් පසු මූල්‍ය අරමුදල නිකුත්කළ නිවේදනයේ විශේෂිත කරුණක් සඳහන්කර තිබේ. එනම් ලංකාවට ඉදිරි කාලයේදී පිහිතුඩු උඩින් ගමන්කිරීමට සිදුවන බවය. එයින් කියැවෙන්නේ ඉදිරියේදී ලංකාවට ගමන් කිරීමට ඇති මාර්ගය සුඛනම්‍ය එකක් නොවන බවය. එක් අතකින් මූල්‍ය අරමුදල ලබාදී ඇති ඉලක්ක සපුරාලීම ඉතා දුෂ්කර බව ඉන් ඇගවෙන කරුණකි. ඉදිරි වසරේදී ලංකාව සපුරාගතයුතු බදු ආදායම් පිළිබඳ ඉලක්කය අපනයන ඉපැයුම් ඉලක්කය සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ ඉලක්ක ඉතා අසීරු ඉලක්ක බවට පත්ව තිබේ. ඒ වගේම දෙවැනි වාරිකය ලබාදීමෙන් පසු කොන්දේසි 16ක් පැනවීමට මූල්‍ය අරමුදල පියවර ගත්තේය. එම කොන්දේසි ඉටුකිරීමට ආණ්ඩුව මෙතෙක් කටයුතු කර ඇති ආකාරය පිළිබඳ සතුටුවීමට හැකියාවක් නැත. මූල්‍ය අරමුදල මෙවර ඒ පිළිබඳව ප්‍රශ්න නොකරමින් තුන්වැනි වාරිකය නිකුත්කොට ඇත්තේ එම කොන්දේසි සපුරාලීමට ඇති දින වකවානු තවමත් පසුවී නැති නිසාය. ආණ්ඩුවට අවශ්‍ය අරමුණු ඉටුකර ගැනීමට මූල්‍ය අරමුදල පෙන්වමින් ජනතාව නොමගයවමින් කටයුතු කිරීම ආණ්ඩුවේ කුහකකම පෙන්නුම්කළ අවස්ථාවකි. එම අරමුදල යෝජනා කර ඇති යහපත් ක්‍රියාමාර්ග හිතාමතාම පැහැරහැරීමෙන් එම කාරණය වැඩි වැඩියෙන් පෙන්නුම් කළේය. ලාබ ලබන රාජ්‍ය ව්‍යවසාය වන ටෙලිකොම්, ලිට්‍රෝ ගෑස්, රාජ්‍ය බැංකු යනාදී ආයතන මූල්‍ය අරමුදල නිර්දේශ කළායැයි කියමින් ජනතාව මුළාකරමින් එම ආයතන විකිණීමේ ක්‍රියාවලියක නිරතවීම එයට උදාහරණයකි. එසේ වුවද මූල්‍ය අරමුදල යෝජනා කළ ජනාධිපති, අගමැති, ඇමැතිවරු සහ මන්ත්‍රීවරුන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රසිද්ධ වෙබ්අඩවියක පළකරීම තවමත් කර නැත. ඒවගේම ප්‍රසම්පාදන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ලබාදීඇති නිර්දේශ ක්‍රියාවට නංවා නැති බවද කිව යුතුය. මේවා කිරීමට ආණ්ඩුවේ ඇති සූදානමක්ද පෙනෙන්නට නැත. බදු සහන, බදු විරාම ලබාදෙනවිට ඒවා ලබාදෙන්නේ කාටද කුමන පදනමකින්ද කුමන ප්‍රතිශතයකින්ද යන තොරතුරු ජනතාවට ප්‍රදර්ශනය කළයුතුබව මූල්‍ය අරමුදල නිර්දේශ කර තිබුණි. මෙවන් නිර්දේශ ඔවුන් කළාත් නැතත් අප ක්‍රියාත්මක කළයුතුය. එහෙත් ආණ්ඩුව එවැනි යහපත් ක්‍රියාමාර්ග ගැන නොතකමින් ආණ්ඩුවට අවශ්‍ය ජනතාවට අහිතකර දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන වේදනාකාරී පියවර මූල්‍ය අරමුදල ඉදිරිපත් කළායැයි කියන මිථ්‍යාව ජනගත කිරීමට උත්සාහ ගනිමින් සිටී.වත්මන් ජනපතිවරයා ඉදිරි ජනපතිවරණයට ඉදිරිපත්වන බව නොනිල මට්ටමෙන් ප්‍රකාශවීමත් සමග ඹහු ලහි ලහියේ මූල්‍ය අරමුදල සිය ජනපති සිහිනය සැබෑකරගැනීමට ප්‍රචාරක මාධ්‍යයක් වශයෙන් යොදාගැනීමේ උත්සාහයක නිරතවන බව පෙනෙන්නට තිබේ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ආර්ථික පරිවර්තන පනත එයට උදාහරණයකි. මේ පනත සම්මත වූ පසු එය ක්‍රියාත්මක කිරීමට වත්මන් ජනපතිවරයාම සිටිය යුතුය යන අදහසක් සමාජයට කාන්දු කරමින් තිබේ. ඇතැම් ඇමැතිවරු කරන ප්‍රකාශවලින්ද ඒ බව තහවුරුවී තිබේ. කවුරු බලයට පැමිණියද මෙම පනත වෙනස් කළනොහැකි බව කීම මිථ්‍යාවකි. ඉදිරියේදී අලුත් ආණ්ඩුවක් බලයට පත්වුවහොත් සාකච්ඡාකර මේ ගිවිසුම්වල යම් යම් වෙනස්කම් කළහැකි බව මූල්‍ය අරමුදල ප්‍රකාශකර තිබේ. මෙම ගිවිසුමේ පවතින දුර්වලතා අතාර්කික කරුණු සහ අතාර්කික ඉලක්ක නිසාවෙන් මේ ආණ්ඩුව බලයේ සිටියා වුවද ලබන වසරේදී හෝ ඊළඟ වසරේදී නියත වශයෙන්ම වෙනස් කිරීමට ඔවුන්ටම සිදුවන බව මේ දෙස විමර්ශනාත්මකව බලන විට පෙනීයන්නකි.
ආර්ථික පරිවර්තන පනත සකස් කිරීමේදී අපනයන ඉලක්ක වශයෙන් 2025 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 25ක් දක්වා අපනයන වැඩිකර ගන්නා බවත් 2030 වනවිට එය සියයට 40 දක්වාද 2040 වනවිට එය සියයට 60 දක්වාද වර්ධනය කරගන්නා බව දක්වා තිබේ. එහෙත් මේවා කෙටුම්පත් කරන විටම කිසිසේත් ළඟාකරගත නොහැකි ඉලක්ක බව ආණ්ඩුව පැහැදිලි ලෙස දන්නා කරුණකි. 2025 වනවිට ලංකාවේ අපනයන සියයට 25ක් දක්වා වැඩි කිරීමට නම් අවම වශයෙන් මෙරට අපනයන ඇමරිකන් ඩොලර් බිලියන 23ක් දක්වා වැඩිකරගත යුතුය. ලංකා ඉතිහාසයේ කරඇති වැඩිම අපනයන වටිනාකම ඩොලර් බිලියන 12ක් හෝ 13කි. වසරක් ඇතුළත ආසන්න වශයෙන් මෙය දෙගුණයක් කළ හැකිද? කිසිසේත්ම ළඟාවිය නොහැකි මෙබදු ඉලක්ක ඇතුළත් කිරීමම මෙම ලියැවිලිවල තිබෙනා දෝෂසහගත භාවය සහ මේවා සකස්කරන අයගේ පවතින ප්‍රායෝගික නොවන බව ප්‍රදර්ශනය වේ. එනිසා කවුරු බලයේ සිටියත් ඉදිරියේදී මේවා සංශෝධනය කිරීමට සිදුවනු ඇත. එවැනි පසුබිමක මේ ගිවිසුම් සංශෝධනය කළනොහැකි බවට ගෙන යන්නේ මිථ්‍යා මතයකි.
මූල්‍ය අරමුදල සමග ලංකාව එළැඹි ගිවිසුමේ ප්‍රධාන අරමුණු හයකි. රාජ්‍ය ව්‍යවසාය ශක්තිමත් කරමින් අයවැය මත ඇතිවන පීඩනය අවම කිරීම, රාජ්‍ය ණය තිරසර බව ඇති කිරීම, මිල ස්ථායීතාව ඇතිකිරීම, මූල්‍ය ක්‍රමයේ ස්ථාවරභාවය ඇතිකිරීම, දූෂණ වංචා අවම කිරීම සහ විභව ආර්ථික වර්ධන වේගයක් පවත්වා ගැනීම එම අරමුණු හයයි. මේ අතරින් මූල්‍ය අරමුදල අපට උදවු කරන්නේ රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට පමණි. ආර්ථික වර්ධන වේගයක් ඇතිකර ගැනීමට ආණ්ඩුව විකල්ප ප්‍රතිපත්ති හඳුන්වා දියයුතුය. එයට මූල්‍ය අරමුදල මග පෙන්නාවි යැයි අපට සිතිය නොහැක. එහෙත් ආණ්ඩුවේ වැඩ පිළිවෙළේ එවැනි සංඥාවක් පෙනෙන්නට නැත. ආර්ථිකයේ පවත්නා ව්‍යුහාත්මක ප්‍රශ්නවලට ආණ්ඩුව කිසිදු විසඳුමක් යෝජනාකර නැත. තවත් වසර දෙකක් මේ ආර්ථිකය පවත්වා ගැනීමට පැලැස්තර දැමීම පමණක් කරමින් තිබේ.
මේ ණය පහසුකම ගැන බෙහෙවින් සෑහීමට පත්වන ආණ්ඩුව එම ගිවිසුමේ සඳහන් සෙසු අරමුදල් ලබාගන්නේ කෙසේදැයි තවමත් කිසිදු සැලසුමක් සකස්කර නැත. අපට ළඟාවිය නොහැකි ඉලක්ක ඇතිබවද අමතක නොකළ යුතුය. එහෙත් එවැනි ඉලක්ක ඇති බවක් ආණ්ඩුව ජනතාවට කියන්නේ නැත. සියල්ල සලකා බලනවිට ඉදිරියේදී මේ ගිවිසුම් සංශෝධනය කිරීමට සිදුවන බව පැහැදිලිය. ලංකාව මෙම ගිවිසුම කඩකළහොත් ඇතිවන තත්වයට මුහුණ දීමට නම් ඩොලර් බිලියන 20ක් වත් ලබා ගැනීමට විකල්ප මාර්ග තිබිය යුතුය. එනිසා මේ ගිවිසුම තවත් වසර කීපයක් පවත්වාගෙන යාමට සිදුවනු ඇත. මූල්‍ය අරමුදලේ සාමාජිකයකු වශයෙන් එහි සහයෝගය ලබාගැනීමට ලංකාවට අයිතියක් තිබෙන්නා සේම සාමාජික රටක් අර්බුදයට ලක්වූවිට ඒ සඳහා සහනදායී වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද එම අරමුදලට යුතුකමක් හා වගකීමක් තිබේ. ලංකාවට ණය දී ඇති රටවල්ද මූල්‍ය අරමුදලේ සාමාජිකයන් බැවින් ඹවුන්ට අසාධාරණයක් කරමින් ලංකාවට විශාල වාසික් ලබාදීමට මූල්‍ය අරමුදල පෙළඹෙතැයි අප විශ්වාස නොකළ යුතුය. මූල්‍ය අරමුදල කරන්නේ පීලි පැන ඇති කෝච්චිය පිලිගත කරදීම මිස ඉදිරියට ධාවනය කරවීම නොවන බව මතක තබාගත යුතුය. නැවත පීලි පනින්නේ නැති ආකාරයට කෝච්චිය ධාවනය අප සතු වගකීමකි.
(*** සටහන- චමින්ද මුණසිංහ)