ඉකුත් බදාදා රාජ්‍ය සේවයේ බොහෝ ක්ෂේත්‍රවලට අයත් වෘත්තීය සමිති 40ක් පමණ ක්‍රියාත්මක කරන ලද වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය සාර්ථක වූයේ ද? අසාර්ථක වූයේද? යන්න ගැන සිරිත් පරිදි විවාදයක් පවතී.
සිරිත් පරිදි ආණ්ඩුවේ ඇමැතිවරුන් හා ආණ්ඩුවට සම්බන්ධ වෘත්තිය සමිති නායකයන්ගේ මතය වී ඇත්තේ මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අසාර්ථකය යන්නයි. ඒ බව ඔප්පු කිරීම සඳහා ඔවුහු ධාවනය වූ දුම්රිය වාර ගණන හා විවෘතව පැවැති රාජ්‍ය බැංකු ශාඛා ගණන ඉදිරිපත් කරති.
අනෙක් අතට වර්ජනයට නායකත්වය දුන් වෘත්තිය සමිති නායකයෝ වර්ජනය සාර්ථක වූ බව කියති. මෙතෙක් මෙම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයට මූලික හේතුව වූ සමිතිවල ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට ඉදිරිපත් නොවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එවැනි සාකච්ඡාවකට එකඟ වී ඇති බවත් එයම තම වෘත්තිය ක්‍රියාමාර්ග සාර්ථක වූ බවට සාක්ෂියක් බවත් ඔවුහු බදාදා පැවසූහ. ඇතැම් වෘත්තිය සමිති නායකයන් ජනාධිපතිවරයාගේ එම ප්‍රතිචාරය හඳුන්වා දුන්නේ තම වෘත්තීය ක්‍රියාමාර්ග හමුවේ ආණ්ඩුව දණ ගැසීමක් ලෙසය.
එසේම වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය නිසා ජනතාව පීඩාවට පත් වූ බව කියා පෑමට දෝ ආණ්ඩුවට හිතවත් ජනමාධ්‍ය ද සේවාව අඩාල වූ රෝහල්, බැංකු, දුම්රිය ස්ථාන ආදියේ දර්ශන විකාශය කළේය. ඒ ගැන නම් වෘත්තිය සමිති නායකයන් ද සතුටු වන්නට ඇත. මන්දයත් වෘත්තිය සමිති ක්‍රියාමාර්ග සාර්ථක වූ බව දැක්වෙන හොඳම සාක්ෂිය සේවා අඩාල වීම නිසා ජනතාව පීඩාවට පත්වීමයි.
මෙය මාර්තු 1 වැනිදා පැවැති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගවලින් පසුද දක්නට ලැබුණු තත්ත්වයකි. එදින ඇතැම් වෘත්තිය සමිති පැවසුවේ එම ක්‍රියාමාර්ගයට ආණ්ඩුව යහපත් ප්‍රතිචාරයක් නොදැක්වුවහොත් ඊට වඩා ප්‍රබල ලෙස මාර්තු 15 වැනිදා වෘත්තිය සමිති ක්‍රියාමාර්ග ගන්නා බවයි.
ඒ අනුව ඇතැම් වෘත්තිය සමිති 15 වැනිදා සිට අඛණ්ඩ වැඩවර්ජනයක් කරන්නට තීරණය කළ අතර ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සමිතිවල නායකයන් පැවසුවේ වත්මන් ආර්ථික අර්බුදය හමුවේ ජනතාව මුහුණ දී සිටින දුෂ්කරතා අනුව තමන් අඛණ්ඩව වැඩ වර්ජනයට සූදානම් නැති බවත් එහෙත් 15 වැනිදා වර්ජනයට සහාය දෙන බවත්ය. ජවිපෙ වෘත්තිය සමිති අංශයේ නායකයන් වන කේ.ඩී. ලාල්කාන්ත මහතා හා වසන්ත සමරසිංහ මහතා කියා සිටියේ 15 වැනිදා වර්ජනයට ආණ්ඩුව දක්වන ප්‍රතිචාරය අනුව තමන් ඉදිරි ක්‍රියාමාර්ග තීරණය කරන බවයි.
අනෙකුත් වාමාංශික පක්ෂවල වෘත්තීය සමිති ප්‍රබලව පැවැති කාලයේ ජවිපෙ නායකයන් මෙවැනි දෙයක් පැවසුවේ නම් එම සමිති එය පාවාදීමක් ලෙස හඳුන්වන්නට ඉඩ තිබිණි. කෙසේ වෙතත්, 15 වැනිදා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග සාර්ථක වුවත් නැතත් එම ක්‍රියාමාර්ගවලින් පසුව එම ක්‍රියාමාර්ගවලට පාදක වූ ඉල්ලීම් සම්බන්ධයෙන් සාකච්ඡා කරන්නට ජනාධිපතිවරයා එකඟ වූ බවත් ඒ අනුව අඛණ්ඩ වර්ජන තීන්දුව තමන් තාවකාලිකව ඉල්ලා අස්කර ගන්නා බවත් ජවිපෙ නොවන අනෙකුත් සමිති ද පවසා තිබිණි.
ජනාධිපතිවරයා හා වෘත්තිය සමිති නායකයන් අතර සාකච්ඡාවක් පෙරේදාට (16) කෙරෙනු ඇතැයිද සමිති නායකයෝ 15 වැනිදා සවස ජනමාධ්‍යයට පැවසූහ. එවැනි සාකච්ඡාවක් පැවැත්වුණත්, එහිදී කුමන එකඟතාවකට පැමිණියත් වෘත්තිය සමිතිවල ඉල්ලීම් ඉටු කරන්නට ආණ්ඩුවට හැකිවේ ද යන්න සැක සහිතය.
ආදායම මත පනවනු ලැබ ඇති බද්ද සාධාරණ පදනමකට සකස් කළ යුතුය, පොළී අනුපාතය අඩු කළ යුතුය, විදුලි ගාස්තු අඩු කළ යුතුය, පළාත් පාලන මැතිවරණ නියමිත පරිදි පැවැත්විය යුතුය යන්න වර්ජනයට සහභාගි වූ සමිති ඉදිරිපත් කොට ඇති ප්‍රධාන ඉල්ලීම්ය. එහෙත් මෙම ඉල්ලීම් සම්බන්ධයෙන් වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධවූ වෘත්තීය සමිති පොදු මතයක් දරන්නේද යන්න සැක සහිතය. ආදායම මත පනවනු ලබන බද්ද මාසිකව රුපියල් ලක්ෂ දෙකකට වඩා ලබා ගන්නවුන්ගෙන් අය කර ගත යුතු බව පසුගියදා ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසා තිබිණි. ඒ අනුව එම පක්ෂයට අනුබද්ධ වෘත්තීය සමිති ද දරනවා ඇත්තේ එම අදහසමය. අරගල කරන අනෙක් වෘත්තිය සමිති එවැනි නිශ්චිත අදහසක් දක්වා නැත. එසේම විදුලි ගාස්තු අඩුකිරීම සම්බන්ධයෙන් විදුලි බල ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිය සමිති, විශේෂයෙන්ම විදුලි ඉංජිනේරුවන්ගේ සමිති එකඟතාව පළ කරන්නේද? යන්නද පැහැදිලි නැත.
එසේම 15 වැනිදා ක්‍රියාමාර්ගයෙන් පසු ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද සියලු වෘත්තිය සමිති එක්ව තීරණ ගත් බවක් පෙනුණේ නැත. ජනමාධ්‍යවල තැබූ වාර්තා අනුව එම සමිති ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් තීරණ ගත්තේ වෙන් වෙන්වය.
මෙම ඉල්ලීම්වලට පාදකවූ නව බදු ක්‍රමය, විදුලි ගාස්තු ඉහළ දැමීම, පොළී අනුපාත ඉහළ දැමීම රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහත කිරීම ආදිය අත්අඩංගුවේ හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් අතර සාකච්ඡාවල දී එකඟවූ කාරණාය. මූල්‍ය අරමුදල විසින් නියම කරන ලද මෙම කරුණු ඉටු කරන්නට තමන්ට සිදුවූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය 7 වැනිදා පාර්ලිමේන්තුවේ දී පැහැදිලිවම කියා සිටියේය. මීට පෙර මෙරට නායකයන් නිතර කියන්නට උත්සාහ කළේ මූල්‍ය අරමුදල කොන්දේසි නොපනවන බවය.
තමන් මේවා මේවන විටත් ඉටු කොට ඇති බවත් එහෙයින් මීට ඉහත දී 16 වතාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ආරම්භ කොට ඇති වැඩ පිළිවෙළ අසාර්ථක වූවාසේ මෙවර ආරම්භ කොට ඇති වැඩ පිළිවෙළ අසාර්ථක වීමට ඉඩක් නැති බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය.
ජනාධිපතිවරයා එම කතාවේ දී ඊළඟට ප්‍රකාශ කළ කරුණ ආණ්ඩුව හා වෘත්තිය සමිති අතර සාකච්ඡා කොතරම් දුරට ඉදිරියේදී සාර්ථක වනු ඇද්ද යන්න පෙන්වන්නකි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟ වූ කාරණා ඉටුකිරීමට ශ්‍රී ලංකාව අසමත් වේ නම් එය මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව සමඟ කරන ගනුදෙනුව නවතා දැමීමට හේතුවනු ඇති බවත් එය අනෙක් අතට අනෙක් බහුපාර්ශවීය හා ද්විපාර්ශ්වීය මූල්‍ය ආයතනවලට ශ්‍රී ලංකාව සමඟ කටයුතු කරගෙන යාමට නොහැකි තත්ත්වයක් ඇති කරනු ඇති බවත් ඔහු එහිදී සඳහන් කළේය.
බදු, විදුලි ගාස්තු, පොළී අනුපාත වැඩි කළේ මූල්‍ය අරමුදලේ උපදෙස් අනුව නම්, එම පොරොන්දු ඉටු නොකළොත් මූල්‍ය අරමුදල වත්මන් වැඩපිළිවෙළ අත්හරියි නම් එමගින් ලෝක බැංකුවල, ආසියානු සංවර්ධන බැංකුව ආදිය ද ශ්‍රී ලංකාවට දෙන්නට යන ණය නොදී හරිනු ඇත්නම් බංකොලොත් බවින් ගැලවෙන්නට ආණ්ඩුවට මූල්‍ය අරමුදලේ සහාය විනා වෙනත් මාර්ගයක් ද නැත්නම්, බදු, විදුලි ගාස්තු හා පොළී අනුපාත සම්බන්ධයෙන් ආණ්ඩුව කොතරම් දැඩි ස්ථාවරයක් ගනු ඇත්ද යන්න අනුමාන කර ගත හැකිය.
බදු හා විදුලි ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් වෘත්තීය සමිති නායකයන් ඉදිරිපත් කරන තර්කයද ප්‍රබලය. ආණ්ඩුව මෙම බදු අය කරන්නට යන්නේ 2019 දී ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව වසරකට රුපියල් කෝටි 65,000කට ආසන්න මුදලක් ආණ්ඩුවට අහිමි කරමින් මහා පරිමාන බදු කප්පාදුවක් කර තිබියදීය. එම බදු කප්පාදුව නිසා ආණ්ඩුවට බදු ගෙවන්නන් දස ලක්ෂයක් අහිමි වූ බව 2022 මැයි 6 වැනිදා එවකට මුදල් ඇමැති වූ අලි සබ්රි මහතා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
එසේම විදුලි ගාස්තු වැඩි කෙරෙන්නේ පුණර්ජනනීය බල ශක්ති නිෂ්පාදන කටයුතු අඩාල කරමින් හා ප්‍රමාද කරමින් බල ශක්ති ක්ෂේත්‍රයේ ඉතා ප්‍රකට මහා පරිමාණ දූෂණයක් ක්‍රියාත්මක වෙමින් තිබියදීය. ඒවාට වන්දි ගෙවන්නට සිදුව ඇත්තේ වෙනත් පිරිසකටය.
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහත කිරීමෙන් ඩොලර් බිලියන තුනක් ලබා ගන්නට ආණ්ඩුව සැලසුම් කොට ඇතැයි විදේශ ඇමැති අලි සබ්රි මහතා පසුගිය දෙසැම්බර් 15 වැනිදා රොයිටර්ස් ප්‍රවෘත්ති සේවයට පවසා තිබිණි. මෙම ආයතන විකිණීමක් සිදුවන බව එමඟින් පෙනේ. කෙසේ වෙතත් මෙයද මූල්‍ය අරමුදලේ කොන්දේසියකි. මූල්‍ය අරමුදල හැර වත්මන් අර්බුදයෙන් ගැලවෙන්නට වෙනත් මාර්ගයක් නැතැයි පිළිගන්නා සජබ හා ජවිපෙ තමන් බලයට පත් වී මෙම කොන්දේසි වෙනස් කර ගන්නා ආකාරය පැහැදිලි කොට නැත.
දැන් ආණ්ඩුවට මූල්‍ය අරමුදල සමඟ ඇති කරගත් එකඟතා හෙවත් එම අරමුදලේ කොන්දේසි අත්හැරිය හැකිදැයි සැක සහිතය. අනෙක් අතට විදුලි බිල ඉතා තදින් පහළ පන්තියේ ජනතාවට ඉතා තදින් දැනෙන නිසාත් තම වැටුපෙන් බදු වශයෙන් රුපියල් ලක්ෂ ගණනක් කැපෙන හෙයින් ඉහළ පන්තියේ ජනතාවට එය දැනෙන නිසාත් ආණ්ඩු විරෝධී උද්ඝෝෂණ තවදුරටත් පැවතීමේ ඉඩකඩ වැඩිය. ආණ්ඩුව හා වෘත්තිය සමිති අතර බ්‍රහස්පතින්දා ආරම්භ වීමට නියමිතව තිබූ සාකච්ඡා මගින් මේ ඉතා දරුණු ප්‍රතිවිරෝධී තත්ත්වයට පිළියම් සොයන්නට වැඩ පිළිවෙළක් ඉදිරියේ දී හෝ යෝජනා නොවන්නේ නම් එහි ප්‍රතිඵලය විය හැක්කේ නොසන්සුන්කාරී තත්ත්ව හා මර්දනයන්ය.
බදු සම්බන්ධයෙන් සටන් කරන පිරිස් අතුරින් ඉහළ හා ඉහළ මධ්‍යම පාන්තිකයන් මර්දනයේ දී කෙබඳු ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද යන්න අලුත් අත්දැකීමක් වනු ඇත. කෙසේ වෙතත් ආණ්ඩුව හා වෘත්තීය සමිති මෙසේ ගැටෙන්නේ 1980 ජූලි වැඩ වර්ජනය පැවැති කාලයට වඩා වෙනස් කාලයකය. එදා මෙන් නොව ආණ්ඩුවේ ජනප්‍රියත්වය ඉතා දරුණු ලෙස කඩා වැටී ඇති බව පසුගිය දා ඇතැම් ජනමත සමීක්ෂණවලින් පෙනිණි. එයද නුදුරු අනාගතයේ ඇතිවිය හැකි අවිනිශ්චිත බව තවදුරටත් අවධාරණය කරයි.
මෙම ඉල්ලීම් අතරින් පළාත් පාලන මැතිවරණය පිළිබඳ ඉල්ලීම ඉටු කිරීමට ආණ්ඩුවට බාධාවක් නැත. එමඟින් මූල්‍ය අරමුදලේ වැඩ පිළිවෙළට බාධාවක් වන්නේ නැත. මන්දයත් එවැනි බාධාවක් ඇති වන්නේ නම් ඒ ජනාධිපතිවරණයකින් හෝ මහ මැතිවරණයකින් ආණ්ඩු මාරුවක් ඇති වුවහොත් පමණි. ඇමෙරිකානු තානාපතිනි ජුලි ඡන්ද පළාත් පාලන මැතිවරණයට පැවැත්වීමට සහාය පළ කළේ එහෙයිනි. එහෙත් ආණ්ඩුව විවිධ හේතු දක්වමින් එම මැතිවරණය වළක්වන්න උත්සාහ කරන්නේ පරාජයට ඇති බිය නිසාය.
(*** එම්.එස්.එම්. අයුබ්)