ජාත්‍යන්තර මුල්‍ය අරමුදල (අයි.එම්.එෆ්.) මගින් ලබාදීමට නියමිත ණය සහන පහසුකම සමඟ රටේ සමස්ත ආර්ථිකයම ගැට ගැසී තිබේ. ඒ බව පසුගිය කාලසීමාව තුළදී නිකුත් වූ විවිධ බලධාරීන්ගේ ප්‍රකාශ අනුව පෙනෙන්නට තිබිණි. නුදුරු දිනවලදී පැවැත්වීමට නියමිත අයි.එම්.එෆ්. අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකාව සඳහා ණය මුදාහැරීමේ තීන්දුව සාකච්ඡාවට ගැනෙණු ඇති බවටත් එහිදී එකී ණය සහන පහසුකමේ පළමු වාරිකය ශ්‍රී ලංකාවට ලබාදීමේ තීන්දුව සම්මත වනු ඇති බවටත් රජය මහත් බලාපොරොත්තු තබා ඇති බව පැහැදිලිය. ඒ සඳහා අවශ්‍ය වූ කොන්දේසි 15ම ඉටුකර ඇති බවද රජයේ ඉහළම බලධාරීන්ගෙන් කිහිප අවස්ථාවකදීම ප්‍රකාශ විය.
අයි.එම්.එෆ්. මගින් ලබාදීමට යෝජිත ණය ප්‍රමාණය ඩොලර් බිලියන 2.9කි. එම මුදල එකවරම මුදාහැරෙන්නේ නැත. ඒ සඳහා වසර 04ක කාලයක් ගතවන අතර එය ලබාදෙන්නේ වාරික ගණනාවකිනි. එය රටේ වඩාත්ම අවශ්‍ය වී තිබෙන විදෙස් සංචිතය තරමක් දුරකට තර කිරීමට හේතු වනු ඇත. රටේ ආර්ථිකය යම් තරමකට ස්ථාවර කිරීමට එකී ණය හේතු වන අතරම ශ්‍රී ලංකාවට වඩාත් පහසු පොලී අනුපාතයක් යටතේ ණය ලබා ගැනීමට උපකාරී කර ගත හැකි ලෝක බැංකුව වැනි ජාත්‍යන්තර ණය දෙන ආයතනවල විශ්වාසය දිනා ගැනීමටද හේතු වනු ඇත. එය රට මෙතෙක් මුහුණ දී සිටි බරපතළ ආර්ථික පීඩනයෙන් මිදී හුස්මක් කටක් ගැනීමට සුළු ඉඩක් විවර කිරීමක් වශයෙන් දැකිය හැකිය.
කෙසේ වුවද ඩොලර් බිලියන 2.9ක ණය මුදල අයි.එම්.එෆ්. ආයතනය මගින් බන්දේසියක තබා රටට පිළිගන්වන රසවත් ආහාරයක් නොවන බව සියලු දෙනා තේරුම් ගත යුතුය. එය සැලකිය හැක්කේ රස ආහාරයක් නොව තිත්ත බෙහෙතක් වශයෙනි. මේ තිත්ත බෙහෙතේ පල විපාක මුළු රටම විඳගත යුතු වෙයි. ඒ සඳහා කැපකිරීම් කළ යුතු වෙයි. පටි තද කරගත යුතු වෙයි. පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ යාමට තිබෙන එකම මාර්ගය අයි.එම්.එෆ්. ණය නම් එය ලබාගැනීම සඳහා කොතරම් කැපකිරීම් කළත් පාඩුවක් නොවනු ඇත. එහෙත් එම කැපකිරීම් සිදුවිය යුත්තේ රටේ බදු ගෙවන පොදු මහජනතාව අතින් පමණක් නොවේ. රජයේ ඉහළම දේශපාලනඥයාගේ සිට පහළම මන්ත්‍රීවරයා දක්වාත් ඉහළම නිලධාරියාගේ සිට පහළම නිලධාරියා දක්වාත් මේ කැපවීම් පෙනෙන්නට තිබිය යුතුය. එසේ නොවන විට තමන් පමණක් පටි තද කරගෙන සිටීමෙන් පළක් නොවන බවට ජනතාව තීරණය කරනු ඇත. වැඩවර්ජන, උද්ඝෝෂණ, විරෝධතා හරහා පුපුරා එළියට යන්නේ එම පීඩනයයි.
අයි.එම්.එෆ්. ණය සහනය ලබාගැනීමේ අරමුණ ජය ගැනීම සඳහා රජය බැරෑරැම් කාර්යභාරයක් ඉටු කළ බව යථාර්ථයයි. ජනප්‍රිය නොවන එසේම වැඩ කරන ජනතාවගේ කෝපයට හේතු වන තීරණ ගණනාවක් ක්‍රියාත්මක කිරීමට සිදුවූයේත් එහි බලපෑමෙනි. මෙතෙක් රට මුහුණ නොදුන් විශාල ආර්ථික ප්‍රතිසංස්කරණවලට යාමට පවා ශ්‍රී ලංකාවට සිදුවනු ඇත. රටේ ආර්ථිකයට විශාල බරක්ව පවතින අධික පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් තීරණ ගැනීමට පමණක් නොව එම තීරණ ක්‍රියාත්මක කිරීමටත් බල කෙරෙන තත්ත්වයක් උදා වී තිබෙන බව රජය පමණක් නොව විපක්ෂයත් අවබෝධ කරගත යුතුය. ඉදිරියේදී බලයට පත්වීමේ අරමුණින් ක්‍රියා කරන විපක්ෂයටද මේ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රතිපත්තියක් තිබිය යුතු බැවිනි.
එසේ වුවද ප්‍රතිසංස්කරණ සිදුකිරීමේදීත් රටේ ආදායම වැඩිකර ගැනීම සඳහා අධික බදු පැනවීමේදීත් පොදු මහජනතාවට දරාගත හැකි මට්ටමින් එය සිදු කිරීම රජයේ වගකීමකි. මේ දිනවල රටේ ඇති වී තිබෙන වැඩවර්ජන තත්ත්වය කේන්ද්‍රගත වී තිබෙන්නේ එකවරම විශාල ප්‍රතිශතයකින් උපයන විට බදු ගෙවීමේ තීරණ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙනි. වැඩි වූ විදුලිය බිල ඇතුළු සෙසු වක්‍ර බදු වැඩිවීමද රටේ ජන ජීවිතය නොසන්සුන් කරමින් තිබේ. රටට කොතරම් අවශ්‍ය වුවද අයි.එම්.එෆ්. ණය ලැබීම හේතුවෙන් රට අවුලෙන් අවුලට යන්නේ නම් එම ණය ගැනීමෙන් බලාපොරොත්තු වන අරමුණ ඉටුවන්නේ නැත. මේ නිසා රටේ ජනතාවගේ අවශ්‍යතා කෙරෙහි හැකි තරම් දුරට සංවේදීව රජය කටයුතු කිරීමද අවශ්‍යය. කැත්තට පොල්ල මෙන් සිටීමෙන් විය හැක්කේ දැනට පවතින ගැටලුකාරී තත්ත්වය විශාල අර්බුදයක් දක්වා උත්සන්න වීම පමණි.
අයි.එම්.එෆ්. ණය ලබාගැනීම අභියස ආණ්ඩුව දැන් සිටින්නේ රැවුලයි කැඳයි දෙකම බේරාගත යුතු තත්ත්වයක බව පැහැදිලිය. අයි.එම්.එෆ්. ණය ලබාගැනීම සඳහා සපුරා දිය යුතු සියලු කොන්දේසි ඉටු කිරීමෙන් පමණක් සෑහීමට පත්වීමට රජයට හැකියාවක් නැත. ණය ලබාගැනීමත් සමඟ රටේ ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමටද ආණ්ඩුව කටයුතු කළ යුතුය. එසේ කළ හැක්කේ ජනතාව පිට බදු බර පැටවීමෙන් පමණක් නොවේ. රටේ ආර්ථිකය මේ තරමට කඩා වැට්ටවීමට හේතු වූ කාරණා සොයා බලා යළිත් එවැන්නක් සිදු නොවීමට අවශ්‍ය පියවරද ගැනීමෙනි. ආර්ථික විනාශයට දායක වූවන්ට එරෙහිව කටයුතු කිරීමද ජනතා විශ්වාසය දිනාගැනීමට රුකුලක් වනු ඇත. එසේම සොරකම, දූෂණය සහ වංචාව මුළුමනින්ම පිටුදැකීමේ යාන්ත්‍රණයක්ද ඇතිකළ යුතු අතර ඒ සඳහා උත්ප්‍රේරකයක් වශයෙන් පසුගිය කාලය තුළ සිදුවූ සීනි, සුදු ලූනු වැනි මහා පරිමාණයේ බදු වංචාවලට වගකිවයුතු පුද්ගලයන් අධිකරණය හමුවට පැමිණවීමද අත්‍යවශ්‍ය කොන්දේසියක් බවද සඳහන් කළ යුතුය.
(***)