ජාතික ජන බලවේග රජයේ ප්‍රථම අයවැය ලේඛනය පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය. “පොහොසත් රටක්, ලස්සන ජීවිතයක්” සහිත නව ආර්ථික පුනරුදයක සමාරම්භය එම අයවැය ලේඛනයෙන් ඉදිරිපත් වෙනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු දල්වා සිටියහ. මාක්ස්වාදී දේශපාලනය විශ්වාස කරන දේශපාලන පක්ෂයක් ශ්‍රී ලංකාවේ තුනෙන් දෙකක බලයක් සහිතව තනිවම රජයේ පාලනය හිමි කරගත් පළමු අවස්ථාව මෙය වේ.
මීට පෙර එක්සත් ජාතික පක්ෂය මෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද ආණ්ඩු පක්ෂ බලය හිමි කරගත් අවස්ථාවලදී මාක්ස්වාදී දේශපාලන පක්ෂ ආණ්ඩු සමග ඒකාබද්ධ වුවද, ඔවුන් රජයට සම්බන්ධ වූයේ සුළුතර කණ්ඩායම් ලෙසිනි. එසේ වුවද, එම සුළුතර දේශපාලන පක්ෂවලට එම අවස්ථාවල රටේ ආර්ථිකය සම්බන්ධයෙන් තීරණාත්මක පෙරැළි ඇති කිරීමටද හැකිවිය. 1956 වසරේදී සමසමාජ පක්ෂයේ පිලිප් ගුණවර්ධන මහතා, බණ්ඩාරනායක මහතා සමග එක්ව නව රජයක් පිහිටුවා ගැනීමෙන් අනතුරුව කුඹුරු පනත, වරාය හා ප්‍රවාහන සේවා ජනසතුව, මැයි දින නිවාඩුව මෙන්ම දවසේ වැඩ කරන පැය ගණන නිශ්චය කිරීම වැනි ජනතා හිතවාදී පරිවර්තන රැසක් සිදු කිරීමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කරනු ලැබීය.
1965 දී පිලිප් ගුණවර්ධන මහතා එක්සත් ජාතික පක්ෂය සමග එකතු වී ආණ්ඩුවක් පිහිටුවීමෙන් පසු ආනයන ආදේශක කර්මාන්ත රජය යටතේ පිහිටුවීම වැනි ජනතාවාදී පියවර ගැනීමටද කටයුතු කළේය. 1970 දී ලංකා සමසමාජ පක්ෂය හා ශ්‍රී ලංකාවේ කොමිනිස්ට් පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලිකත්වයෙන් රජයක් පිහිටුවීමෙන් පසු වැවිලි කර්මාන්තය ජනසතු කිරීම, රාජ්‍ය අංශයේ නිෂ්පාදන ආයතන පුළුල් කිරීම වැනි සාධනීය පියවර රැසක් ගැනීමට කටයුතු කළේය.
එසේ වුවද, ජනාධිපතිවරයා පසුගියදා ඉදිරිපත් කළ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ හෝ මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය ලේඛනයේ හෝ රටේ ආර්ථිකයේ කිසිදු තීරණාත්මක පරිවර්තනයක් ඇති කිරීම සඳහා පියවරක් ගෙන ඇති බවක් නොපෙනේ. සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි ආර්ථිකයේ මහ පෙරැළියක් ඇති කෙරෙන ප්‍රතිපත්ති හඳුන්වාදීමට නොහැකි වී ඇත්තේ මේ වනවිට ආණ්ඩුවට බොහෝ කටයුතු ඉටු කිරීමට සිදුව ඇත්තේ IMF සමග ඇති කරගෙන තිබෙන එකඟතා නිසා විය හැකිය.
ජනාධිපතිවරයා ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව අයවැය ලේඛනයේදී අදහස් දක්වමින් රනිල් වික්‍රමසිංහ රජය ඒ වනවිට ඇති කරගෙන තිබූ එකඟතා තමන්ටද අනුගමනය කිරීමට සිදුව ඇති ආකාරය පැහැදිලි කළේය. IMF සමග ඇති කරගෙන ඇති බොහෝ එකඟතා ඒ ආකාරයටම තමන්ට ද ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති නිසා පරිවර්තනීය යුගයකට යෑමට ඉඩක් නොමැති බව වටහා ගැනීමෙන් පසුව මෙම අයවැය ලේඛනය ඉදිරිපත් කර ඇති බවක් පෙනෙන්නට තිබේ.
ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනය පරීක්ෂා කරන ඕනෑම කෙනකුට එය මීට පෙර වසර කිහිපයේදීම ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනවලට බොහෝදුරට සමාන වන බව පෙනී යනු ඇත. රජයේ ආදායම වැඩිකර ගැනීම, බදු ආදායම් එකතු කර ගැනීම, ආයෝජන සඳහා සියලු පහසුකම් එකම ස්ථානයකදී ක්ෂණිකව සැපයීමේ යාන්ත්‍රණයක් සැකසීම, ඩිජිටල්කරණය ආදි මේ සියල්ලම වචනවල වෙනස්කම් පමණක් සහිතව පසුගිය අයවැය ලේඛනවලද ඇතුළත් යෝජනා විය. එකදු නව බදු යෝජනාවක් හෝ සැලකිය යුතු මට්ටමේ නව ආයෝජන ව්‍යාපෘතියක් හෝ අලුතින් ඉදිරිපත් කර ඇති බවක් නොපෙනේ. කෘෂිකාර්මික, කාර්මික සහ සේවා අංශ පිළිබඳව සාම්ප්‍රදායිකත්වයෙන් බැහැරව ආර්ථිකයේ වෙනස්කම් ඇති කිරීමට තුඩුදෙන ආකාරයේ නව යෝජනා කිසිවක් ඉදිරිපත් වී ඇති බවක් නොපෙනේ. කනගාටුවට කරුණ වන්නේ එවැනි තත්වයක් තුළ ඇගයීමට ලක්කළ හැකි යෝජනා සමස්ත අයවැය ලේඛනය තුළම අන්තර්ගතව නොතිබීමයි.
මේ වසරේදී සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන 19 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළ අතර, එය ආර්ථික ගමන්මග සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබෙන එකම ප්‍රශස්ත යෝජනාව බව පෙනී යයි. 2024 වසරේදී රටේ මුළු අපනයන වටිනාකම ඩොලර් බිලියන 12.7 ක් විය. එය ඩොලර් බිලියන 19 දක්වා වැඩිකර ගැනීමට නම් 2025 වසරේදී අපනයන ආදායම සියයට 49.5 කින් වැඩි කරගත යුතුය. අයවැය ලේඛනයේ ඒ සඳහා නිශ්චිත වැඩපිළිවෙළක් ඉදිරිපත් වී නැත. දැනටමත් මෙම වසරේ මාස දෙකක කාලයක් ගත වී ඇති බැවින් එම ඉලක්ක සපුරා ගැනීමට තවත් ඉතිරිව ඇත්තේ මාස දහයක කාලයක් පමණි.
අයවැය ලේඛනය ඉදිරිපත් කර, අවසානයේදී එය සකස් කිරීමට කටයුතු කළ මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට ජනාධිපතිවරයා විශේෂ ස්තුතිය පළ කළේය. අයවැය ලේඛනය සකස් කිරීමට ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය සහභාගි වූ බවක් හෝ ඔවුන්ට ස්තුතිය ප්‍රකාශ කිරීමක් සිදු වූයේද නැත. එම කවුන්සිලයේ සාමාජිකයන් කිහිප දෙනකුම රජයේ අමාත්‍ය ධුර ලබා ඇත. එසේ වුවද මෙම අයවැය ලේඛනය ද සකස් වූයේ මෛත්‍රීපාල, ගෝඨාභය සහ රනිල්ගේ රජයන්හි අයවැය ලේඛන සකස් කළ නිලධාරීන්ම නම් මීට වඩා යමක් බලාපොරොත්තු විය නොහැකිය. ආර්ථික පරිවර්තනයක් පිළිබඳව සමාජයේ විශාල කම්පනයක් ඇතිකර, ජනතාව තුළ නව බලාපොරොත්තු ඇති කිරීම සහ ජනතා ආකර්ෂණය ලබාගැනීම වෙනුවෙන් ජාතික ජන බලවේගය ඉදිරිපත් කළ බොහෝ යෝජනාවල කිසිදු හරයක් නොමැති බව එම නිලධාරිහු හොඳින් දනිති.
මෙවර අයවැය ලේඛනයේ සමස්ත වියදම රුපියල් බිලියන 7190 කි. සමස්ත ආදායම රුපියල් බිලියන 4990 කි. ආදායම හා වියදම අතර පරතරය රුපියල් බිලියන 2200 කි. මෙම අයවැයේ දක්නට ලැබෙන විශේෂත්වයක් වන්නේ පෙර රජය විසින් ක්‍රියාත්මක කරන ලද ආදායම් යෝජනා හැරෙන්නට වෙනත් එකදු ආදායම් යෝජනාවක් හෝ ඉදිරිපත් කර නොතිබීමය.
නව රජය විසින් ද බදු පිළිබඳව ඇතැම් සුළු වෙනස්කම් කිහිපයක් හඳුන්වා දෙනු ලැබුවද, ඒවාද අයවැය ලේඛනය ඉදිරිපත් කිරීමට පෙර ක්‍රියාත්මක කර තිබේ. අයවැය හිඟය වන රුපියල් බිලියන 2200 ක මුදල වැඩි වශයෙන් ණය මගින් පියවා ගැනීමට කටයුතු කෙරෙනු ඇත. අයවැය හිඟය පියවීමට රුපියල් බිලියන 2125 ක් ණය වශයෙන් ලබා ගැනීමට අයවැය ලේඛනයෙන් යෝජනා කර ඇත.
රජයේ සේවක වැටුප් වැඩි කිරීම, විශ්‍රාම වැටුප් විසමතා ඉවත් කිරීම ආදිය අලුත් යෝජනා ලෙස අයවැය ලේඛනයේ ඉදිරිපත් කර තිබුණද, ඒවා බොහොමයක් මීට පෙර පැවැති රජය යටතේ උදය සෙනෙවිරත්න කමිටුවේ නිර්දේශ මත ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ යෝජනාය. කෙසේ වුවද එම කම්ටුවේ යෝජනා විශාල ලෙස කප්පාදු කර වසර තුනකින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ. අයවැය පිළිබඳව අදහස් දක්වමින් ඇතැම් වෘත්තීය සමිති නායකයන් පෙන්වා දෙනු ලැබුවේ අයවැය යෝජනා මගින් රාජ්‍ය සේවක අවම වැටුපේ රුපියල් 5000කට ආසන්න වෙනසක් පමණක් සිදුවන බවය.
ගුරු වැටුප් හිඟ දීමනා ලබාදීම පිළිබඳව අයවැය ලේඛනයේ කිසිවක් සඳහන් නොවේ. මෙම රජය බලයට පත් කිරීම සඳහා රාජ්‍ය සේවකයන් විසින් විශාල මෙහෙයක් ඉටු කරනු ලැබුවද, වැටුප් සම්බන්ධයෙන් ඔවුන්ට ලබාදුන් පොරොන්දු සියල්ල අමතක කර ඇති බවක් පෙනේ.
ශ්‍රීලංකා මහබැංකුව ඉදිරියේදී උද්ධමන අනුපාතය වැඩිවන ආකාරය පුරෝකතනය කර තිබේ. ඒ අනුව, ඉදිරි වසර දෙක තුළ සිදුවන බඩු මිලේ ශීඝ්‍ර ඉහළ යෑමට සාපේක්ෂව වැඩිකර ඇති වැටුපෙන් රජයේ සේවකයන්ට කිසිදු සහනයක් ලැබෙනු ඇතැයි සිතිය නොහැකිය. ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වල පොලී අනුපාතය සියයට තුනකින් වැඩි කරන යෝජනාව එම පිරිස්වල සතුටට හේතු වනු ඇත. රජයට ඒ වෙනුවෙන් රුපියල් මිලියන පහළොස් දහසක අතිරේක වියදමක් දැරීමට සිදුවනු ඇත. මීට පෙර ඒ ආකාරයට ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට වැඩි පොලී අනුපාතයක් ලබාදීම සඳහා අනුගමනය කළ උපායමාර්ග පරීක්ෂා කළේ නම් එම පිරිවැය අඩුකර ගැනීමට ඉඩ තිබුණේ යැයි සිතමි.
දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස ගත්විට අයවැය හිඟය සියයට 6.7 ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ. 2024 වසරේ තාවකාලික ඇස්තමේන්තුවලට අනුව එය සියයට 6.8 ක් විය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියමය වන්නේ එය සියයට 5කට ආසන්න මට්ටමක පවත්වා ගත යුතු බවය. වැටුප් වැඩි කිරීම, විශ්‍රාම වැටුප් සංශෝධනය, ජ්‍යෙෂ්ඨ පුරවැසි පොලී අනුපාත, අස්වැසුම දීමනා වැඩි කිරීම ආදී කරුණු මත අයවැය පරතරය මීට වඩා විශාල ලෙස ඉහළ යාමට ඉඩ තිබේ.
දැනට ජීවතුන් අතර සිටින පැරණි වාමාංශික නායකයන්ගෙන් එක් අයකු වන ටී. අන්ද්‍රානිද මහතා විසින් මෙම අයවැය ලේඛනය පිළිබඳව තම මුහුණුපොතේ තබා තිබූ සටහනක කොටසක් මෙසේය. “අමාරුවෙන් ඇති කරගත් බවට ප්‍රකාශිත එම ආණ්ඩුව (1970 - ශ්‍රී ලංකා, සමසමාජ, කොමිනිස්ට් ආණ්ඩුව) බිඳ වැටීමට කිසිසේත් ඉඩ නොදෙමියි, සමසමාජ - කොමිනිස්ට් පක්ෂ නායකයන් සපථ කළ එම ආණ්ඩුව තුළම ඇතිවූ අර්බුදවල ප්‍රතිඵලය ලෙස වසර කිහිපයකට පසු සුන්බුන් වී ගියේය. එම ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව අතර ඇති වෙනස්කම් ස්වල්පය අතරින් එකක් නම් එදා එම ආණ්ඩුවේ සිටි ධනපති නායක නායිකාවන් පවා සමාජවාදය ගැන කතා කිරීම සහ මෙම ආණ්ඩුවේ 158 අතුරින් එකම එක පරාණයක් හෝ නිකමටවත් සමාජවාදය ගැන වචන මාත්‍රයක් නොදොඩවීමට සිතාමතාම වගබලා ගැනීමය.”
මෙම අයවැය ලේඛනයේ ද සමාජවාදය ගැන එකදු වචනයක් හෝ ප්‍රකාශ වූයේ නැතැයි සිතමි. එවැනි පක්ෂයකට රනිල් වික්‍රමසිංහ, IMF මාර්ගය හැර වෙනත් විසඳුමක් නොමැති බව මෙවර අයවැය ලේඛනයෙන් පැහැදිලි වේ.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර