(සාකච්ඡා කළේ - චමින්ද මුණසිංහ)
මෙවර අයවැයෙන් ජනතාවට සහන දුන්නාද? රට හදන වැඩපිළිවෙළක් අයවැයේ අඩංගු ද? රට තවත් ණය කරන්නේ ඇයි? යනාදී කරුණු සහ අයවැයට එල්ලවෙන චෝදනා සම්බන්ධයෙන් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සමඟ කළ සාකච්ඡාව මෙවර සඳුදා හමුවෙන් මෙසේ එළිදක්වමු.
ප්‍රශ්නය:- ජනතා අපේක්ෂා සුන් කරමින් ඉදිරිපත් කළ අයවැයට හතරවටින්ම දැඩි ප්‍රහාර එල්ල වෙන්න පටන් අරන් නේද?
පිළිතුර:- ජනතාවගේ සිතුම් පැතුම් ආකල්ප දෙස බලන විට අද තිබෙන ජාතික අර්බුදය පිළිබඳ වැටහීමහක් ඔවුන්ට නැති බව පේනවා. කරන ප්‍රකාශවලින් එය තහවුරු වෙනවා. අයවැය ලේඛනයක තිබෙන්නේ රජයේ ආදායම වියදම සහ හිඟය පියවන ආකාරයයි. ලංකා ආණ්ඩුවට නිදහස ලැබුණු දිනයේ සිට දිගටම ඉදිරිපත් කර තිබෙන්නේ හිඟ අයවැය ලේඛන. එදිනෙදා වියදම් පියවා ගන්නවත් ප්‍රමාණවත් ආදායමක් රජයට නෑ. 2022 මුළු බදු ආදායම රුපියල් බිලියන 1751යි. රාජ්‍ය සේවක වැටුප් හා විශ්‍රාම වැටුප්වලට රජයේ මුළු ආදායමෙන් සියයට 72ක් යනවා. සමෘද්ධි ඇතුළු සහනාධාරවලට රු. බි. 506ක් වැයකර තිබෙනවා. එනම් සියයට 28ක්. එම වසරේ මුළු බදු ආදායමම මේ වියදම් දෙක වෙනුවෙන් වැය කර තිබෙනවා. කාගේ ආණ්ඩුව තිබුණත් ඉතිහාසයෙත් තත්ත්වය ඕකමයි.
2022 දී ණය පොලී ගෙවීම් රු. බිලියන 1565ක්. මේ ගෙවීම් කර තිබෙන්නේ මුදල් ණයට ගැනීමෙන්. රු. බි. 715ක් ප්‍රාග්ධන වියදම් දරා තිබෙනවා. මේ සියල්ල ණයට ගත් මුදල්. ආණ්ඩුව මොන වියදම් කළත් ඒ මුදල් ගන්නේ ජනතාවගෙන්මයි. එහෙම නම් සහන දෙන්න වෙන්නේ ලොකු අසහනයක් ඇති කරලයි. කවුරු ආණ්ඩු කළත් ඒක එහෙමයි. මේ වේලාවේ දෙන්න පුළුවන් උපරිම සහනය දී තිබෙනවා. ඒකත් කරුණු දෙකක් මත තීරණය වෙනවා. අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය තව සතියකින් දෙකකින් ලැබෙන්න ඕන. ඒක එකක්. විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණය නිම වෙන්නත් ඕන. ඒක අනෙක් කරුණයි. මේ කරුණු දෙක ඉටු නොවුණොත් මේ තිබෙන සහනයත් අපට සිතන්න බැරි තරම් අසහනයක් බවට පත් වෙනවා.
ප්‍රශ්නය:- ආර්ථික පීඩනයෙන් මිරිකී සිටින ජනතාව මීට වඩා සහන අපේක්ෂා කළා. සහන දුන් බව ඔබ කියනවා. දුන් සහන මොනවාද?
පිළිතුර:- නෑ... නෑ... සහන දුන්නා කියා මම කවදාකවත් කියන්නේ නැහැ. මොකද සහන දෙන්න ජනතාවට විශාල අසහනයක් ඇති කරන්න ඕනනේ. දැනටම විශ්වවිද්‍යාල ආචාර්ය, මහාචාර්යවරු, වෛද්‍යවරු මේ බදු බර දරා ගන්න බැහැ කියා රට අතහැර යන පසුබිමක තවදුරටත් ඔවුන්ගෙන් අරගෙන සහන දෙන්න බැහැ කියන එක අපි පිළිගන්න ඕන. කිසිම සහනයක් දෙන්න බැහැ. වැටුප් වැඩිවීම හෝ දිළිදු ජනතාවගේ සහන තුන් ගුණයකින් වැඩි කිරීම යන සියල්ල රඳා පවතින්නේ සමස්ත අයවැය ක්‍රියාවලියට අදාළ අනෙක් කොන්දේසි ඉටුවුණොත් පමණයි.
ප්‍රශ්නය:- රාජ්‍ය සේවකයන්ට දුන් දස දහසත් රැවටීමක් බව කියනවා. වැඩි කළ මුදලට වඩා වැඩි ගණනක් බදු වශයෙන් අය කරන විට ඇති වැඩේ මොකක්ද?
පිළිතුර:- ජනතාව තේරුම් ගන්නත් ඕන ඕකම තමයි. තමන්ට සහනයක් දෙන්න නම් අති විශාල ජනතාවක් මත අසහනයක් පටවන්න ඕන. තිබෙන ප්‍රශ්නය මේ පරම සත්‍යය තේරුම් නොගැනීමයි. කාට හෝ වැඩි වැටුප් ගෙවන්න, සහනාධාර දෙන්න අවශ්‍ය මුදල් දෙන්නේ කවුද? ඒ සල්ලි දෙන්නේ ආදායම් මට්ටම්වල වෙනසක් නැතුව බදු ගෙවන සුවහසක් ජනතාව. අසහනය ඇති කර, ණයට ගෙන, මුදල් අච්චු ගසා සහන දී ඒ වැඩේ තවත් කර ගන්න බැරි වූ නිසා තමයි ලංකාව බංකොලොත් රටක් වුණේ. මේ ඇත්ත කෑගසන සමහරුන්ට තේරෙන්නේ නැහැ. ඔවුන් තව තවත් ජනතාව නොමග යවමින් සිටිනවා. ඒ නිසා යථාර්ථය දෙස බුද්ධිමත්ව බැලීමේ හෝරාව එළැඹ ඇති බව හැමෝම තේරුම් ගන්න ඕන.
ප්‍රශ්නය:- රාජ්‍ය අංශයේ වැටුප් දස දහසකින් නැංවූවාට ආර්ථිකයේ එන්ජිම වන පෞද්ගලික අංශයේ වැටුප් වැඩි කරන්න කියන ඉල්ලීමවත් නොකරන්න තරම් සාහසික වුණේ ඇයි?
පිළිතුර:- අයවැය ලේඛනයක් හදන විට සාහසික වෙන්නේ නැහැ. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය කරන පිරිස් සාහසික වෙන්නේ නැහැ. සාහසික වුණොත් අධ්‍යාපනයට, සෞඛ්‍යයට, ප්‍රජා සේවාවලට, දිළිඳු ජන කොටස්වල සහනාධාරවලට මුදල් වෙන් වෙන්නේ නැහැනේ. මේ වෙලාවේ මුදල් ඇමැතිවරයා ඉදිරිපත් කර තිබෙන්නේ මරණ තුනක් ඇති මිනිසෙක් පෑණි කෑය කියන ක්‍රමයේ අයවැයක්. තව නොබෝ දිනකින් අයි.එම්.එෆ් දෙවැනි වාරිකය නොලැබුණොත් එතැන මරණයක්. එය ලැබීමෙන් පසු විදේශ ණය ප්‍රතිව්‍යුහගතකරණයට ලෝක එකඟතාව නොලැබුණොත් තව මරණයක්. ඒ අතර රට ඇතුලේ කරන නොදැනුවත් දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා ඇති වුවොත් එතැනත් මරණයක්. මේ සියල්ල බැලන්ස් කළ හැකි ආකාරයට මෙවර අයවැය ඉදිරිපත් කර තිබෙනවා. මරණ තුනෙන් බේරෙන්න බලාගෙන ඉදිරිපත් වූ අයවැයක්.
ප්‍රශ්නය:- හැබැයි පසුගිය කාලයේ ජනතාව නැගිට්ටේ දරාගත නොහැකි ආර්ථික පීඩනය හේතුවෙන් බව අමතකද?
පිළිතුර:- මොනව හෝ සිදුවීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වුණේ නැත්නම් ඕනම කෙනකුට ආණ්ඩුව පවත්වාගෙන යන්න පුළුවන් සුමාන දෙකයි. ජාත්‍යන්තර එකඟතාවට අනුව මේ වැඩපිළිවෙළ කරන්න බැරි වුණොත් ලංකාව සති දෙකෙන් කඩා වැටෙනවා. අපි කැමැති වුවත් අකමැති වුවත් ඉදිරි වසර හතර සඳහා විස්තීරණ ණය පහසුකම් යටතේ අයි.එම්.එෆ් සමඟ ගිවිසුමකට එක්වී එම ගිවිසුම පාර්ලිමේන්තුවේ සභාගත කර තිබෙනවා.
මේ ගිවිසුම ප්‍රකාරව අයවැය ලේඛනය සකසා තිබෙන්නේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් ඇතිවන ආකාරයට. ඒ වෙනුවෙන් අවශ්‍ය ගැළපුම් නිසි ලෙස කළේ නැත්නම් දෙවැනි වාරිකය ලැබෙන්නේ නැහැ. එහෙම වුණොත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත වෙන්නෙත් නැහැ. ඒවා නොකෙරුණොත් මුළු ලෝකෙම අපේ රට අත්හරිනවා. ලංකාව ගත් ණය ගෙවීමටවත් සූදානම් නැති රටක් බවට ලෝකයට වැටහුණු ගමන් ලංකාව නිකුත් කරන ණයවර ලිපි මුළු ලෝකයේම බැංකු පිළිගන්නේ නැහැ.
එහෙම වුණාම අපට ඛනිජ තෙල්, පෝර, රසායනික ද්‍රව්‍ය, බෙහෙත්, ආහාරපාන, යන්ත්‍ර සූත්‍ර, උපකරණ, අමතර කොටස්, අමුද්‍රව්‍ය නැතුව යනවා. එහෙම වුණොත් ගියවර වගේ නෙමෙයි මුළු රටම පුපුරා යනවා. ඒක තමයි ඇත්ත. ඒ ඇත්ත කියන්න තිබෙන සංඛ්‍යා දත්ත පිළිබඳ අබමල් රේණුවක තරම් අවබෝධයක් නැති මෙහෙම විපක්ෂයක් ලෝකයේ වෙන කිසිදු රටක නැහැ.
2022 දෙසැම්බර් 31 වනවිට හිරවී තිබෙන ණය තොගය ඇමෙරිකන් ඩොලර් බිලියන 36.9යි. මෙයින් ඉදිරි වසර පහ හයේදී ගෙවීමට බලාපොරොත්තු වන්නේ සියයට 37යි. සියයට 51ක් ගෙවීමට තිබෙන්නේ වසර හයත් විස්සත් අතර කාලයකදී. සියයට 12ක් ගෙවන්න තිබෙන්නේ වසර විස්සකට පසුවයි. කවුරු ආණ්ඩු ගත්තත් මේ ණය ගෙවන්න එකඟතාව ඇතිකර ගන්නම වෙනවා. නැති නම් රට සති දෙකක්වත් ගෙනියන්න බැහැ.
ප්‍රශ්නය:- මූල්‍ය අරමුදලේ ඉලක්ක කීපයක් සපුරා ගැනීමට අවශ්‍ය පසුබිම සැකසීම හැරුණු කොට වෙනත් දෙයක් මේ අයවැයේ නැහැ කියලද ඔබ කියන්නේ?
පිළිතුර:- ඔව්. එහෙම නැතුව මේ රට පවතින්නේ නැහැනේ. අයි.එම්.එෆ්. ඉලක්ක ඉටු නොකළොත් ඊළඟ සුමානෙ තෙල් නැහැනේ. ගියවර තෙල් නැතුව ගත වුණේ දින කීපයයි. ඉන්දියාව හරි මැදිහත් වී මුදල් දී තෙල්, ගෑස් ගත්තා. මෙවර ගත් ණය ගෙවන්නත් බැහැ කියා ඇති පසුබිමක ආයෙම සල්ලි දෙන්න ලෝකයේ කිසිම රටක් ඉදිරිපත් වෙන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගතකරණය ආරම්භ කළේ ගෝඨාභය ජනාධිපතිගේ කාලේ.
මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ සභාපතිත්වයෙන් යුත් කැබිනට් අනුකාරක සභාවේ අනුමැතියෙන් ඊට අදාල කටයුතු කිරීමට විදේශ සමාගම් තෝරා ගත්තා. ප්‍රංශයේ ලසාර්ඩ් සමාගම එම තෝරා ගැනීම වුණා. ණය නොගෙවීම නිසා විදේශ රටවල පැවරෙන නඩුවලට පෙනී සිටීමට ක්ලිෆඩ් හාන්ස් සමාගම තෝරා ගත්තා. ඒ අනුව රනිල් වික්‍රමසිංහ අලුත් වැඩපිළිවෙළක් ගෙනියන්නේ නැහැ. ගෝඨාභය ජනාධිපතිවරයා ඇති කරගත් වැඩපිළිවෙළ කරගෙන යනවා.
ගෝඨාභය වැරදි නම් ඒ වැඩපිළිවෙළත් වැරදයි. දැන් අපි කරන වැඩපිළිවෙළත් වැරැදියි. මේක හරි ගස්සන්නේ කොහොමද කියා මට තේරෙන්නේ නැහැ. ක්ලිෆඩ් හාන්ස්, ලසාඩ් සමාගම් සමඟ ඇති කරගත් ගිවිසුම්වලින් ඉවත් වෙන්න කියා අපට කියන්න පුළුවන්ද? ඉන්දියාව, චීනය, ජපානය සමඟ කළ සාකච්ඡාවලින් ඉවත් වෙන්න පුළුවන්ද? එහෙම රට පවතීවිද?
ප්‍රශ්නය:- ඔබ මේ මොන තර්ක ගෙනාවත් ඉදිරි මැතිවරණය ඉලක්ක කර මේ අයවැව ඉදිරිපත් කර ඇති බව ජ.වි.පෙ. ඇතුළු කණ්ඩායම් කියන්නේ ඇයි?
පිළිතුර:- ඒක තමයි ඒ අයට තිබෙන අබෝධයේ තරම. ඔය අය අතර සිටින ආචාර්යතුමියක් කතා කරනවා මම දැක්කා. ඒ අය රට බාර ගන්නවා නම් අයි.එම්.එෆ්. ගිවිසුමෙන් අයින් වෙනවද නැද්ද කියා කියන්න ඕන. ඒ වැඩපිළිවෙළ සම්පූර්ණයෙන් අහෝසි කරනවා කියා නොකියන්නේ ඇයි? ණය නොගෙවන බව කියනවද? මේවා නොකරනවා නම් ඒ අයට සතියක්වත් මේ රට කරන්න බැහැ. ඒ අය රට ඉදිරියේ ඇත්ත කියන්න ඕන.
ප්‍රශ්නය:- මේ අයවැයත් වචන ගොඩක් පමණක් බවත් ගිය අයවැයේ කාබන් කොපියක් බවත් ඇතැම් අය කියනවා. ඇත්තට මේක ප්‍රායෝගික අයවැයක් නෙමෙයිද?
පිළිතුර:- ඕව කියන්නේ තම තමන්ගේ නැණ පමණින්. රටක් බංකොලොත් වූ පසු ඉදිරිපත් වන පළමු අයවැය මේක. මේකෙ මොන සුරංගනා කතා කිව්වත් හෙට අනිද්දා වනවිට අයි.එම්.එෆ්. දෙවැනි වාරිකය නොලැබුණොත් විදේශ ණය ප්‍රතිව්‍යුහගත නොවුණොත් රට පවතින්නේ සති දෙකක් පමණයි.
ප්‍රශ්නය:- ණය ගැනීමේ සීමාව තවත් රුපියල් බිලියන 3450කින් පමණ ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. මේ කරන්නේ ජනතාව තවත් ණයකායන් කිරීම නොවෙයිද?
පිළිතුර:- කවුරු ආණ්ඩු කළත් 2028දී ජාත්‍යන්තර වෙළෙඳපොළට ගිහින් ගත හැකි උපරිම ණය මුදල ඇ. ඩො. බිලියන 1.5යි. අනෙක් මූල්‍ය ආයතන දෙන ප්‍රතිපාදන තීරණය කර තිබෙන්නේ ඒ අනුවයි. ලංකාවේ සල්ලි අච්චු ගහන්නත් බැහැ. ජාත්‍යන්තර ආයතන පිළිගත හැකි මට්ටම ඉක්මවා ණය ගන්න බැහැ. මේ සියල්ලටම අපි ගැට ගසා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒවායෙන් මිදුණොත් වෙන්නේ විනාශයක්.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන