රට හමුවේ තිබෙන ආර්ථික අර්බුදය තවමත් තිබෙන්නේ සංකීර්ණ තත්ත්වයකය. මේ අර්බුදයේ එක පැත්තක් වන ණය අර්බුදය කළමනාකරණය කර ගැනීමට තවමත් හැකියාවක් ලැබී නැත. IMF හරහා යෝජනා වී ඇති ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය ගමන් කරන්නේ ඉබි ගමනේය.
ජාත්‍යන්තර ණයකරුවන් සමග කළ සාකච්ඡාවන් නතරවී තිබෙන්නේ හේතු කීපයක් නිසාය. එක පැත්තකින් ISB හෙවත් ස්වෛරී බැඳුම්කර හරහා ලබාගත් ණය ප්‍රතිව්‍යුහගතකරණය ඉතාමත් සංකීර්ණ ක්‍රියාවලියක් වන අතර අනෙක් අතින් තනි රටක් ලෙසින් චීනයෙන් ලබාගත් ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනෙක් රටවල්වල ආකෘතියටම යන්නේ නැත.
මේ දෙකටම අමතරව දේශීය ණය කළමනාකරණය කිරීමද විශාල ගැටලුවක් බවට පත්වී ඇත. ETF/EPF වැනි මහජනතාවගේ මූල්‍ය එකතුව පමණක් එල්ල කරමින් සිදුකරන දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයක් ගෙන ඒම නිසා රටේ බරපතළ සංවාදයක්ද මතුවී ඇත.
ආර්ථිකයේ තිබෙන එකම ප්‍රශ්නය වී තිබෙන්නේ ණය අර්බුදය පමණක් නොවේ. රට බංකොළොත් බවට පත්වීම හේතුවෙන් රටේ කිසිදු ආයෝජනයක් සිදු වන්නේද නැති තරම්ය. විදේශ ආයෝජන පැමිණීම ඉතාමත් බරපතළ ආකාරයෙන් කඩා වැටී ඇත. දේශීය ආයෝජන පැත්තෙන් ගත් විට රජයේ පාර්ශ්වයෙන් සිදුවන වැය කිරීම් බරපතළ ආකාරයෙන් නැවැත්වීමට සිදුවී ඇත. එසේ සිදුවී තිබෙන්නේ රාජ්‍යයට ඒ සඳහා මුදල් නොමැතිවීම නිසාය.
ඒ අනුව අර්බුද 03ක් එක ලෙසින් රට තුළ පුපුරා ගොස් ඇත. ඒවා වන්නේ (1) විදේශ විනිමය නොමැතිවීම හෙවත් ඩොලර් නොමැතිවීම හේතුවෙන් ගොඩනැගී ඇති ගෙවුම් ශේෂ අර්බුදයයි. ඒ කියන්නේ ආනයනය කිරීම සඳහා අවශ්‍ය විදේශ මූල්‍ය නොමැතිවීම්ය.
(2) මීළඟ අර්බුදය වන්නේ රට අභ්‍යන්තරයේ මෙතෙක් සිදුවූ වැරැදි රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය නිසා ගොඩ නැගී ඇති බරපතළ අයවැය හිඟයයි. එයට කියන්නේ රාජ්‍ය මූල්‍ය අර්බුදය කියාය.
(3) තුන්වෙනුව රට පීඩාවට පත් කරන අර්බුදය වන්නේ ගෙවා ගැනීමට නොහැකිව හිරවූ ණය අර්බුදයයි.
මේ සතියේ මගේ ‘‘කිවිදා දැක්මේ’’ මාතෘකාව වන්නේ ඉහතින් සඳහන් කළ ආර්ථික අර්බුදයේ බලපෑම මත මෝදු වෙමින් පවතින දේශපාලන අර්බුදය පිළිබඳව සාකච්ඡා කිරීමය.
1. ප්‍රජාතන්ත්‍රවාදය අනතුරක?
පසුගිය 2022 සිට මෙරට සිදුවෙමින් පැවැති දේවල්වලින් පෙනී යන්නේ 1948න් පසු මෙරට පාලන ආකෘතිය වන ප්‍රජාතන්ත්‍රවාදයේ බරපතළ අනතුරක් මතු වෙමින් තිබෙන බවය.
එක් පැත්තකින් ජනතාව 2019 විශාල ඡන්දයකින් ජනප්‍රිය නායකයකු ලෙසින් ගෝඨාභය රාජපක්ෂ මහතාව බලයට ගෙනා අතර 2022 දී විශාල බලපෑමක් සිදුකර ඔවුන් බලයෙන් ඉවත් වෙන තැනට තල්ලු කළේය. ඒ සිදුවීම විවිධ පැතිවලින් විග්‍රහ කළ හැකි බව සැබෑවක්ය. එහෙත් මෙහිදී මා සිතන වැදගත්ම කාරණය වන්නේ රට තුළ පැවැති ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතිය තුළ මෙතෙක් සිදුවූ ආකාරයේ මැතිවරණයකින් බලය මාරු කිරීමේ ක්‍රමයට පිටින් ගොස් ජනාධිපතිවරයකු ඉවත් කිරීම යන සිදුවීම බරපතළ ප්‍රතිඵල සහිත තත්ත්වයක් රටේ පාලන ආකෘතිය තුළ ඇති කළ බවයි.
එහි එක් ප්‍රතිඵලයක් වූයේ ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයක් පැවැත්වීමේ නොහැකියාව නිසා පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබෙන පක්ෂයෙන්ම යළිත් ජනාධිපතිවරයකු තෝරා ගැනීමය. මේ තත්ත්වය ව්‍යවස්ථාවට අනුකූල බව සැබෑවක්ය. එහෙත් එය ජනතාවගේ අභිලාෂය නියෝජනය කරන්නේ නැත. ජනතාව ගෝඨාභය රාජපක්ෂට විරුද්ධ වූයේ ඔහුගේ ආශිර්වාදයෙන් වෙනත් අයකු වෙත පාලනය මාරු කිරීමේ අවශ්‍යතාවක් නිසා නොවන බව ඉතාමත් පැහැදිලිය.
මේ තත්ත්වය තුළ රටේ ප්‍රජාතන්ත්‍රවාදය අනතුරක යැයි මා සිතන්නේ, ජනතා අභිලාෂය සහ ව්‍යවස්ථාව අතර ඇති වී තිබෙන පරස්පරය නිසාය. මේ තත්ත්වය සටහන් කළ හැක්කේ ජනතාවගේ අභිලාෂය මැතිවරණයක් හරහා ප්‍රකාශ කරන්නට ඉඩ ලබාදීමෙන්ය. එය අවහිර කරන විට මේ පරස්පරය බරපතළ විරෝධයක් ලෙසින් වර්ධනය වන්නට පටන් ගැනීම අනිවාර්ය වේ. ප්‍රජාතන්ත්‍රවාදය අනතුරක යැයි මා කියන්නේ මේ තත්ත්වයටය.
ප්‍රශ්නය තේරෙනවාද?
මේ තත්ත්වයත් සමග මතුවී තිබෙන ඊළඟ බරපතළ අනතුර වන්නේ රටේ තිබෙන ප්‍රශ්නය ලෙසින් ජනතාව අතර ගොඩ නැගෙමින් තිබෙන්නේ සැබැවින්ම නිවැරැදි ප්‍රශ්නයක්ද කියන එකය. තවත් පැත්තකින් කිවහොත් ප්‍රශ්නය වැරැදියට තේරුම් ගතහොත් විසඳුම ලැබෙන්නේ වැරැදි ප්‍රශ්නයකට බවය.
මීළඟ ජනාධිපතිවරණය හෝ මහ මැතිවරණය තුළ ප්‍රධාන බලවේග බොහොමයක් කතා කරන්නේ තමන්ගේ බල ව්‍යාපෘතියට අවශ්‍ය කෑලි ටික මිස සැබෑ ප්‍රශ්නය නොවන බව මගේ අදහසය. මගේ තේරුම් ගැනීමට අනුව රටේ ප්‍රධාන ප්‍රශ්නය වන්නේ 1948න් පසු ගමන් කර ඇති ආර්ථික හා දේශපාලන ප්‍රතිසංස්කරණයන් නිවැරැදි මාවතකට ගැනීමය. එය ආර්ථික ක්ෂේත්‍රය තුළ සහ දේශපාලන ක්ෂේත්‍රය තුළ බරපතළ ප්‍රතිපත්ති අර්බුදයක (Policy Crisis) පැටලී ඇත.
ආර්ථික ප්‍රතිපත්ති අර්බුදය ලෙහාගත හැක්කේ (1) විදේශ විනිමය වර්ධනය, (2) ආයතන කළමනාකරණ ආකෘතිය, (3) සේවා ආර්ථිකයෙන් එහා ගිය නිෂ්පාදන ආර්ථික ක්‍රියාවලිය ශක්තිමත් කිරීම, (4) ඒ සඳහා මානව සම්පත් සංවර්ධන යාන්ත්‍රණය (අධ්‍යාපනය හා සෞඛ්‍යය) සංවර්ධනය සහ තාක්ෂණික නවෝත්පාදන යාන්ත්‍රණය වේගවත් කිරීම, (5) රාජ්‍ය මූල්‍ය කළමනාකරණය නෛතිකව සහ පරිපාලන වශයෙන් ශක්තිමත් කිරීම, (6) ණය අර්බුදය දීර්ඝකාලීන ආකෘතියක් තුළ කළමනාකරණය වැනි ක්ෂේත්‍ර ගණනාවක මැදිහත්වීමක් හරහාය.
දේශපාලන ප්‍රතිපත්ති අර්බුදයෙන් ගොඩ යා හැක්කේද එවැනි නව ප්‍රතිපත්ති රාමුවක් ස්ථාපිත කිරීමෙන්ය. රාජ්‍යයේ වපසරිය පිහිටුවිය යුතු ක්ෂේත්‍රයන් කවරේද යන්න තීරණය කිරීම මෙහිදී ඉතාමත් වැදගත්ය. ජනාධිපති ධුරය හා විධායක ජනාධිපති ක්‍රමය, පළාත් සභා ඡන්ද ක්‍රමය වැනි ක්ෂේත්‍ර නව ආකෘතියකින් ප්‍රතිසංස්කරණය කිරීම එහි දීර්ඝ කාලීන න්‍යාය පත්‍රයක තිබිය යුතු දේවල්ය.
එහෙත් මේ වන විට රටේ දේශපාලන සංවාදයේ කේන්ද්‍රීය ප්‍රශ්න ලෙසින් නාභිගත වන්නේ ප්‍රධාන පක්ෂවල අයගේ හිත සන්තෝෂ වෙන ආකාරයට කපා ගත් ප්‍රශ්න පත්‍රයක් මිස රටේ තිබෙන සැබෑ ප්‍රශ්නය නොවන බව මගේ අදහසය. රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලන බලවේග අතරින් රජය කරගෙන යන රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පොහොට්ටු බලවේගය විසඳන්නට යන ප්‍රශ්නය වන්නේ රජය සතු ව්‍යවසායකයන් පුද්ගලික අංශයට පවරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය විසඳන්නටය.
(විපක්ෂයේ සිටින සමහරු ද තමන්ගේ ආර්ථික ප්‍රතිපත්ති හරහා කියන්නේ මේ කාරණයමය) දෙවනුව ප්‍රධාන විපක්ෂයේ කණ්ඩායම් (ඉහත සඳහන් රනිල්+පොහොට්ටු ව්‍යාපෘතියට සහාය නොදෙන අය) යෝජනා කරන්නේ සුබසාධනය ඇති කරමින් සිදු කිරීම මේ රටේ තිබෙන ප්‍රශ්නයට පිළිතුර බවයි. තුන්වෙනුව ජවිපෙ ඇතුළු අනෙකුත් බලවේග සිතන බව පෙනෙන්නේ මේ අර්බුද සියල්ලම සිදුවී ඇත්තේ හොරකම නිසා බවත්, එය නැවැත්වීමෙන් මේ ප්‍රශ්නය විසඳිය හැකි බවයි.
මගේ අදහස වන්නේ මේ යෝජනා තුනම එනම් (1) රාජ්‍ය සම්පත් ප්‍රතිව්‍යුහගත කිරීම, (2) රාජ්‍ය සුබසාධනය (ජනසවිය, සමෘද්ධි වැනි) වැඩි කිරීම, (3) හොරකම හා දූෂණය නැති කිරීම ආමන්ත්‍රණය කරන්නේ ප්‍රධාන ප්‍රශ්නයේ පුංචි කෑලි ටිකක් මිස ප්‍රශ්නය නොවන බවයි. අලියා සහ අන්ධයෝ නම් පැරණි කතාවේ එන්නේ අන්ධ අය අලියාගේ ශරීරයේ තමන්ට ස්පර්ෂ වන කොටස අනුව අලියාව තේරුම් ගන්නට උත්සාහ කළ බවයි. මගේ අදහස වන්නේ අපේ රටේ ප්‍රධාන ධාරාවේ දේශපාලනය ද මේ මොහොතේ සිදු කරමින් සිටින්නේ රටේ ප්‍රශ්නය ඒ ආකාරයෙන් තේරුම් ගැනීම බවයි. ඒ අනුව, මේ රජය විසඳන්නට යන ප්‍රශ්නය සහ රටේ තිබෙන ප්‍රශ්නය යනු එකක් නොව දෙකක් වීම අනිවාර්යය. මීළඟට එනවා යැයි සිතෙන ආණ්ඩු වුවද මේ අනතුරට යාමේ විශාල ඉඩක් තිබෙන බව පෙනී යන්නේ ඒ අයගේ කතා තුළින් පෙන්නුම් කෙරෙන දේශපාලන ආමන්ත්‍රණයන් මගින් විසඳන්නට හදන ප්‍රශ්නය රටේ ප්‍රධාන ප්‍රශ්නය නොවන තත්ත්වයක් පෙනෙන නිසාය.
පෞද්ගලීකරණය කිරීමෙන් විසඳෙන්නේ පාඩු ලබන සමහර රාජ්‍ය ව්‍යවසායයන් කිහිපයක බර රජයෙන් ඉවත් වීම මිස රටේ ආර්ථික ප්‍රතිපත්ති සාදනය නව මාවතකට ගෙන යාම නොවේ. ජනතාවගෙන් වරප්‍රසාද අඩු අයට සහන සැලසීම හොඳ දෙයක් වුවත් ඒ හරහා ආර්ථිකයේ මූලික ගැටලු ලිහෙන්නේ නැත. රාජ්‍ය මූල්‍ය දූෂණ හා හොරකම නැවැත්වීම මගින් කාර්යක්ෂම පාලනයක් ගොඩනැගිය හැකි බව සැබෑවක්ය. එහෙත් රටේ ආර්ථික ක්ෂේත්‍රයේ කඩාවැටීමට සාපේක්ෂව ඒ ක්‍රියාව මගින් විසඳන්නේ ඉතාමත් කුඩා වපසරියක ප්‍රශ්නයන්ය. මේ ක්‍රියාමාර්ග තුනම නරක ඒවා යැයි මා කියන්නේ නැත. එහෙත් ඒවා හරහා ලබා ගත හැක්කේ අතුරු ආබාධවලට පිළියමක් මිස ප්‍රධාන රෝගයට විසඳුමක් නොවේ.
ලෙඩා ඉන්නේ ‘‘හාර්ට් ඔපරේෂන් එකක්’’ අවශ්‍ය තැනකය. දොස්තරලා දෙන්නේ ඉතා කුඩා වේදනා නාශකය. වේදනාව අඩු වුණාට ලෙඩේ හොඳවෙන්නේ නැත්තේ ඒ නිසාය. අනාගතයටත් ඒ තත්ත්වයම පවත්වාගෙන යන්නට යෝජනා කිරීමෙන් වෙන්නේ ඒ ටිකමය. අපි ඉන්නේ අනතුරක යැයි මා කියන්නේ ඒ නිසාය.
මහාචාර්ය චරිත හේරත්