අර්බුද රැසකට මුල්වෙන ඉන්ධන මිල


ජනතාව ජීවත් වන්නේ සතුටෙන් නොවන බව වසන් කළ නොහැකි සත්‍යයකි. ආර්ථික අර්බුදයත් එමගින් ජනිත බොහෝ අතුරු ඵලයන්හි පීඩනයෙන් මෙන්ම වේදනාවෙන් ජනතාව කල් ගෙවති. ඒ ජනයා ඉල්ලා සිටින්නේ ප්‍රබෝධය පිරි ජීවිතයකි. ඒ වෙනුවෙන් ඔවුහු ගෙඩි පිටින් සහන බලාපොරොත්තු වෙති. එය වරදක් නොවේ. එහෙත් එම බලාපොරොත්තු ඉටුවීම වෙනුවට තව තවත් පීඩාවට පත්වීමට සිදුවීමේ දුක්ඛිත ඉරණමට ජනයා මුහුණ දෙති.. ඉන්ධන මිල ඉහළ යාම මගින් කියැවෙන්නේ එයය.

ඉකුත් 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළ ගියේය.. ඒ ඔක්ටේන් 92 රුපියල් 13 කින්, ඔක්ටේන් 95 රුපියල් 42 කින් හා සුදු ඩීසල් රුපියල් 35කින් වශයෙනි. භූමිතෙල් මිල ඉහළ ගියේ රුපියල් 5කිනි.

බලධාරීන්ට අනුවනම් සිදුව තිබෙන්නේ මිල ඉහළ දැමීමක් නොව මිල සංශෝධනයකි. එහෙත් එම මිල සංශෝධනය ජනතාවගේ බොටුව මිරිකා ඇත. ප්‍රශ්නය වන්නේ ‘‘කරන්ට්’’ වදින විදුලිය බිලත් ඇඟ ලෙය වතුරට හරවන ජල බිලත්, ඉහළ ගොස් ඇති බඩු මිලත් අතරට ඉන්ධන මිල ද එකතු වීමය. ‘‘පාන්’’ කියාගන්නට බැරිව සිටින ජනතාවට මෙම නස්පැත්තිය ගහෙන් වැටුණු මිනිහාට ගොනා ඇනීමක් බඳුය.

ඉන්ධන මිල හෝ බඩු මිල ඉහළ දමා ජනතාව පීඩාවට පත් කරවීමට කිසිම රජයක් කටයුතු නොකරනු ඇතැයි යන්න අපගේ විශ්වාසය වේ. එමෙන්ම එය සිදු කරනු ලබන්නේ කැමැත්තකින් ද නොවනු ඇත. වෙන කිරීමට කිසිවත් නැති තැන එබඳු පියවරකට ගියා විය හැකිය. එහෙත් අපට අවධාරණය කිරීමට තිබෙන්නේ අර්බුදයට පිළියමක් වශයෙන් මිල ඉහළ දැමීමට ආණ්ඩුවක් අවශ්‍ය නොවන බවය. එය ‘‘පොඩි ළමයකුට’’ වුවත් කළ හැකිය.

ආර්ථික කළමනාකරණය යනු විශේෂඥ දැනුමකින් කළ යුත්තකි. අපට පෙනෙන පරිදි ආර්ථික කළමනාකරණය විශේෂඥ මට්ටමින් සිදුවන බවක් නොපෙනේ. මන්දයත් ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ සෑම සේවා හා භාණ්ඩයකම මිල ඉහළ යාම නියතයක් බවය.

රට තුළ නිදහස් අධ්‍යාපනය ක්‍රියාත්මක වුවද ඒ වෙනුවෙන් දෙමාපියන්ට ගෙවීමට ඇති මිල ඉතා අධිකය. ප්‍රවාහන ගාස්තුව ඉන් ප්‍රධානය. දරුවාගේ ආරක්‍ෂාවත් පහසුවත් සලසා බොහෝ දෙමාපියෝ තම දරුවන් පාසල් වෑන් වලින්, පාසල් බස්වලින් පාසල් යවති. ඉකුත් සමයේ මෙම ප්‍රවාහන ගාස්තු ද නැංඟේය. දෙමාපියන් කෑම වේල එකක් හෝ දෙකක් කැපකර එම මුදල ගෙවා දැමූහ. මෙවර ඉන්ධන මිල ඉහළ යාමත් සමග පාසල් ප්‍රවාහන ගාස්තු ඉහළ ගියහොත් තමන් තවත් කුමක් පරිත්‍යාග කරන්නදැයි මව්පියන් කල්පනා කරමින් සිටිනවා විය හැකිය.

බස් ගාස්තුව, ත්‍රීරෝද රථ ගාස්තුව ඉහළ යන්නේ ඉන්ධන මිල ඉහළ දැමීමේ තීන්දුවේ තීන්ත වේලීමටත් පෙරය. ඒ මිනිසුන්ද ජීවත් විය යුතු බව සැබෑය. එහෙත් මහා පොදු සාධකයකින් හෙම්බත්ව සිටින ජනී ජනයාට ගමන් බිමන් වෙනුවෙන් තවත් වැඩිපුර රුපියලක් හෝ ගෙවිය නොහැකිය යන්න සත්‍යයට වඩාත් සමීප තත්ත්වය වේ.

ඉන්ධන මිල ඉහළ යාමත් සමග ආහාර පාන ආදියෙහි මිල හිතූ ගණනින් ඉස්සීමට හැකියාව ලැබේ. ‘‘නුවරඑළියේ සිට කොළඹට එළවළු ප්‍රවාහනය කිරීමට මේ තරම් මුදලක් යනවා’’ යැයි කියමින් මිල ඉස්සීමේ ක්‍රියාව සිදු කෙරේ. සෙසු භාණ්ඩ හා සේවා ක්ෂේත්‍රයට ආදේශ වන්නේ ද එම සූත්‍රයමය.

එහෙයින්, ඉන්ධන මිල ඉහළ දැමීම යනු සරළ ක්‍රියාදාමයක් නොවේ. එය අර්බුද පොකුරු නිර්මාණය කරවන්නකි. එමෙන්ම මෙවර ඉන්ධන මිල ඉහළ ගොස් තිබෙන්නේ වෙනදා මෙන් නොව හතර පස් ගුණයකිනි. එහෙයින් එය ජනතාවට දැනෙන ආකාරය වෙනස්ය. මෙම තත්ත්වය තේරුම් ගනිමින් කවර හෝ විකල්ප ක්‍රියා මාර්ගයක් ගත යුතුය.. එය කල් පමා නොකළ යුතුය.

(***)