මෑත ඉතිහාසයේදී ශ්‍රී ලංකාව මුහුණ දුන් දරුණුතම ආර්ථික අර්බුදය මෙයයි. මේ ආර්ථික අර්බුදය කෙටි කාලයක දී ඇති වූවක් නොවන අතර එය දිගු කාලයක් තිස්සේ ඌන සාර්ව ආර්ථික කළමනාකරණය හේතුවෙන් නිර්මාණය වූවකි. එහෙත් මෙම ආර්ථික අර්බුදයෙහි ලක්ෂණ මතු වන්නට පටන් ගත්තේ 2013-2014 කාලයේදීය. මේ සම්බන්ධයෙන් එම කාලයේ පටන්ම ඇතැම් ආර්ථික විශේෂඥයෝ අනතුරු ඇඟවූහ.
කෙසේ වෙතත් ප්‍රතිපත්ති සම්පාදකයන් සහ දේශපාලන අධිකාරිය ඒවාට සාවධාන වූ බවක් අපි නුදුටුවෙමු. ඒ වෙනුවට පවත්නා ආකාරයටම ආර්ථික කටයුතු මෙහෙයවීමටත් තම අවශ්‍යතා අනුව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමටත් ඔවුහු ක්‍රියා කළහ.
මෙවැනි පසුබිමක ක්‍රමයෙන් දුර්වල වෙමින් තිබූ ආර්ථිකයට පළමු ප්‍රහාරය එල්ල වූයේ 2019 වර්ෂයේ සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයත් සමගය. එම ප්‍රහාරය හේතුවෙන් සංචාරක කර්මාන්තය කඩා වැටුණු අතර විදේශ විනිමය ලැබීම් අඩු විය. 2020 වසරේ දී ලොව පුරා ව්‍යාප්ත වූ කොවිඩ් 19 වසංගතය හමුවේ ශ්‍රී ලංකා ආර්ථිකයට දෙවැනි ප්‍රහාරය එල්ල විය. ක්‍රමයෙන් යථා තත්ත්වයට පත් වෙමින් තිබූ මෙරට සංචාරක කර්මාන්තය එම වසංගතය නිසා මුළුමනින්ම අක්‍රීය තත්ත්වයකට පත්විය. එසේම විදේශ සේවා නියුක්තිකයන් රටට එවන ප්‍රේෂණ ද වේගයෙන් පහත වැටුණි.
කොවිඩ් වසංගතය හේතුවෙන් රට වසා දැමීමත් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමට අවැසි දේශීය වැඩපිළිවෙළක් හෝ ප්‍රතිපත්ති සම්පාදනයක් හෝ ක්‍රියාත්මක නොකිරීමත් නිසා 2021 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය සෘණ 3.6 කින් අවවර්ධනය විය.
කොවිඩ් වසංගතය නිසා බිඳවැටුණු ආර්ථිකයෙහි බලපෑම සමාජයට පැමිණියේ මේ පසුබිමේය. විදේශ විනිමය ඉපැයුම් ඉතා පහළ අගයක් ගැනීම නිසා විනිමය අනුපාතය අඛණ්ඩව පිරිහුණි. දේශීය ආදායම් පහළ යෑම සහ වියදම් ඉහළ යෑම නිසා උද්ගත වූ පරතරය පියවීම සඳහා රාජ්‍ය ණය ගැනීම් ඉහළ දැමිණි. මේ හේතුවෙන් 2021 වසරාවසානය වන විට අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 12.2 දක්වා වැඩි විය. ගෙවුම් ශේෂ හිඟය සියයට 5 දක්වා වර්ධනය විය.
2022 වසර ආරම්භයේ දී ඉහත දර්ශක ඉතා නරක ලෙස ප්‍රකාශයට පත් විය. අඛණ්ඩව වර්ධනය වූ ආර්ථික පීඩනය හමුවේ මහජනයා වීදිවලට බැස විරෝධය පළ කිරීම ද සිදු විය. 2022 වසර ආරම්භයේ දී උද්ධමනය ශීඝ්‍ර ලෙස ඉහළ යමින් තිබූ අතර මහ බැංකුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබූ විනිමය අනුපාතිකය කෘත්‍රීම එකක් බවට පත්ව තිබිණි.
ආනයන මත පනවා තිබූ සීමා, පොහොර සම්බන්ධ ප්‍රතිපත්තිය, විනිමය අනුපාතිකය ස්ථාවර අගයක පවත්වා ගැනීම අරබයා මහ බැංකුව ගත් ක්‍රියාමාර්ග සහ නූතන මුල්‍ය න්‍යාය අනුව යමින් පොලී අනුපාතිකය ස්ථාවරව තබා ගනිමින් මුල්‍ය ප්‍රසාරණයට මහ බැංකුව යොමුවීම යනාදී තත්ත්ව නිසා දැඩි භාණ්ඩ හා සේවා හිඟයක් ඇති විය. උද්ධමනය ඉහළ යෑමට අමතරව ප්‍රවාහනයට සහ විදුලිය උත්පාදනයට අවශ්‍ය ඉන්ධන සැපයුම අඩාළ වීම හේතුවෙන් සමස්ත ආර්ථිකයම කඩා වැටිණි.
මේ වසරේ පෙබරවාරි මාසය වන විට ආර්ථික අර්බුදයෙහි බලපෑම සමාජයේ සෑම ස්ථරයක් වෙතම ගමන් කිරීම සිදු විය. ඒ හේතුවෙන් ප්‍රතිපත්ති සම්පාදන සහ දේශපාලන ක්ෂේත්‍රවල බොහෝ වෙනස්කම් ඇති විය. එහෙත් අවාසනාවකට මෙම ආර්ථික අර්බුදයෙහි ගැඹුර තවමත් බොහෝ අය තේරුම් ගෙන ඇති බවක් නොපෙනේ. ඒ වෙනුවට රටේ පවතින දේශපාලන අර්බුදය ගැන පමණක් සිතමින් කටයුතු කරන බවක් දැකිය හැකිය.
පවත්නා ආර්ථික අර්බුදය අඛණ්ඩව වර්ධනය වන බවක් දැකිය හැකිය. 2022 වසරේ ජූනි මාසය වන විට උද්ධමනය සියයට 58.9 දක්වා ඉහළ ගොස් තිබිණි. මැයි මාසයේ පැවති උද්ධමන අගය හා සැසඳීමේ දී එය සියයට 29ක ඉහළ යෑමකි. එසේම ජූනි මාසය වන විට ආහාර උද්ධමනය සියයට 75.8 දක්වාත් ආහාර නොවන උද්ධමනය සියයට 43.6 දක්වාත් ඉහළ ගියේය. රාජ්‍ය ආදායම් සහ වියදම් අතර පරතරය තවත් වැඩිවීම නිසා රාජ්‍ය ණය ගැනීම් අඛණ්ඩව ඉහළ දමන ආකාරයක් ද දැක ගන්නට ලැබිණි.
2022 ජනවාරිවල දී භාණ්ඩ හා සේවා ආනයනය වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 1959 මුදලක් වැය කර තිබිණි. මැයි මාසයේ දී එම අගය ඩොලර් මිලියන 1451 ක් දක්වා ආන්තික පහළ යෑමක් පෙන්නුම් කෙරිණි. මෙම වර්ෂයේ ජනවාරි මාසයේදී අපනයන ආදායම ඩොලර් මිලියන 1100 කි. මැයි මාසයේ දී එම අගය ඩොලර් මිලියන 1047 ක් විය.
2022 වර්ෂයේ පළමු මාස පහ ඇතුළත උපයන ලද සමස්ත අපනයන ආදායම ඩොලර් බිලියන5.3 කි. ආනයන සඳහා ඩොලර් බිලියන 8.8 ක මුදලක් අප වැය කර තිබේ. ඒ අනුව මෙම මාස පහක කාලය සඳහා පමණක් ඩොලර් බිලියන 3.5 ක පමණ හිඟයක් පවතින බව පැහැදිලිය. එය මේ වසරාවසානය වන විට ඩොලර් බිලියන 9කට ආසන්න අගයක් දක්වා වර්ධනය විය හැකිය.
2021 වසරේදී විදේශ සේවා ප්‍රේෂණ වශයෙන් රටට ලැබී ඇති මුළු ආදායම ඩොලර් බිලියන 5.5 කි. 2022 වර්ෂයේ මුල් මාස පහ ඇතුළත ප්‍රේෂණ වශයෙන් ලැබී ඇත්තේ ඩොලර් බිලියන 1.3 ක් වන අතර වසර අවසානය වන විට එම අගය ඩොලර් බිලියන 3.5 ක පමණ අගයක් ගනු ඇතැයි පුරෝකථනය කළ හැකිය.
එසේම 2022 වර්ෂයේ පළමු මාස පහක කාලයේ දී සංචාරක කර්මාන්තයෙන් උපයා ඇති සමස්ත විදේශ විනිමය ප්‍රමාණය ඩොලර් මිලියන 680 කි. ඒ අනුව, මෙම වසරාවසානය වන විට සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 1.5 කට වැඩි ආදායමක් අපේක්ෂා කළ නොහැකිය. මෙයින් පැහැදිලි වන්නේ ඩොලර් බිලියන 4 ක පමණ ගෙවුම් ශේෂ හිඟයක් 2022 වර්ෂය අවසානයේදී ඇති විය හැකි බවය. එනම්, පවත්නා ආර්ථික අර්බුදය තවත් උග්‍ර වන බවය.
මෙම අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග කවරේද යන්න අපට මීළඟට විමසා බැලිය හැකිය. එහි දී මුලින්ම අවධාරණය කළ යුතු කාරණය නම්, පවත්නා දේශපාලන සහ සමාජ අස්ථාවරත්වය නිසා ආර්ථික අර්බුදය තවත් උග්‍ර විය හැකි බවය.
එබැවින් පළමුව කළ යුත්තේ සමාජ සහ ආර්ථික ස්ථාවරභාවයක් ඇති කර ගැනීමය. එහි වගකීම දේශපාලන අධිකාරියටත් වෘත්තීය සමිතිවලටත් තරුණ අරගලකුරුවන්ටත් පැවරේ. ආර්ථික ස්ථාවරභාවය ගොඩනැගීම සඳහා මහ බැංකුව ක්‍රියාශීලීව කටයුතු කරන ආකාරයක් දැකිය හැකිය. එහෙත් පවත්නා සමාජ සහ දේශපාලන අස්ථාවරත්ව විසින් ඊට බාධා පමුණුවනු ලබමින් සිටියි. ආර්ථික අර්බුදය විසඳීම මහ බැංකුවට තනිව කළ හැකි දෙයක් නොවේ. ඒ අරබයා සමස්ත සමාජයේ සහයෝගය අවැසිය.
ගෙවුම් ශේෂය මනා සංයමයකින් යුතුව පාලනය කිරීම ඉතා වැදගත්ය. ආනයන අපනයන වෙළෙඳාම මේ වන විටත් දැඩි පාලනයක් යටතේ ක්‍රියාත්මක වුව ද අනවශ්‍ය ආනයන තවදුරටත් රටට ගලා ඒමක් සිදු වන බව පෙනේ. පසුගිය මාස පහක කාලයේ දී ආහාර සහ සතුන් ආනයනය සඳහා ඩොලර් මිලියන 1000 ක පමණ මුදලක් වැය කර තිබේ. එසේම පාන වර්ග සහ දුම්කොළ ආශ්‍රිත ආනයන වෙනුවෙන් ඩොලර් මිලියන 39 ක් ද සත්ව හා එළවළු තෙල් ආශ්‍රිත ආනයන සඳහා ඩොලර් මිලියන 52 ක් ද වැය කර ඇත.
අනවශ්‍ය ආනයන පාලනය සඳහා කටයුතු කිරීමත් රට ඇතුළත දේශීය නිෂ්පාදන සහ ආදේශන ඉහළ නැංවීම අරබයා ක්‍රියා කිරීමත් වැදගත්ය. ගෙවුණු මාස පහක කාලයේදී ඛනිජ තෙල් ආශ්‍රිත ආනයන වෙනුවෙන් ඩොලර් බිලියන 2.4 ක මුදලක් වැය කර තිබේ. එහෙත් එලෙස ගෙන්වන ඛනිජ ද්‍රව්‍ය පාරිභෝගිකයා වෙත බෙදා හැරීමේ ක්‍රියාවලිය ඉතා අවිධිමත්ව සිදු වන බවක් දැකිය හැකිය. තවද කළු කඩ වෙළෙඳාමක් ද ඒ ආශ්‍රිතව නිර්මාණය වී ඇති ආකාරයක් දැකිය හැකිය.
දිනපතා පෝලිම්වල සිටින ජනතාවගේ ශ්‍රම පැය අතිවිශාල වශයෙන් නාස්ති වෙමින් තිබෙන අතර කළු කඩ වෙළෙඳාම මෙන්ම විවිධ පාතල ක්‍රියාකාරකම් වර්ධනය වෙමින් ඇති බවක් ද දැකිය හැකිය. මෙවැනි තත්ත්ව පාලනය කළ නොහැකි නම්, රුපියල් බිලියන ගණනින් මුදල් වැයකර දේශපාලන තන්ත්‍රයක් සහ රාජ්‍ය සේවයක් පවත්වා ගෙන යෑම නිෂ්ඵලය.
අපනයන අංශයේ පවත්නා බාධා ඉවත් කරමින් ගෙවුම් ශේෂයේ පවත්නා අර්බුදය ද සමථයකට පත් කරමින් රට යථා තත්ත්වයට පත් කිරීම අවැසිය. අඛණ්ඩව කඩා වැටෙමින් පවත්නා සංචාරක ව්‍යාපාරය නගාසිටුවීම ද වැදගත්ය. තෙවනුව, රජයේ ආදායම් වැඩි කරගනිමින් වියදම් පාලනය සඳහා යොමු වීම ද අවශ්‍යය.
රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමේ දී සාම්ප්‍රදායික බදුවලින් ඔබ්බට යන ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතුය. රාජ්‍ය විගණනය ශක්තිමත් කිරීමත් අයථා ඉපැයීම් අනාවරණය කරගෙන ඒවා රජයේ ආදායම් මාර්ග බවට පරිවර්තනය කර ගැනීමත් දේපොළ වෙළෙඳාමෙහි සිදු වන ඉහළ ලාභාංශ සඳහා බදු පැනවීමත් ආදී ක්‍රියා මාර්ග හරහා රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීමට පිළිවන.
බදු ගෙවීම පැහැර හරින්නෝ විශාල පිරිසක් සිටිති. එවැන්නන් බදු ගෙවීමට යටත් කර ගැනීම අරබයා නවීන තාක්ෂණය ඔස්සේ බදු ව්‍යුහය සංවිධානය කිරීමත් වැදගත්ය. භාවිතයෙන් බැහැර කර ඇති රාජ්‍ය දේපොළ බදු දීම සහ ඒවායෙහි ආයෝජන අවස්ථා පුළුල් කිරීමත් මේ අවස්ථාවේ රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීම සඳහා අපට ගත හැකි ක්‍රියාමාර්ගය.
අනවශ්‍ය වියදම් අඩු කිරීමේ දී කිසිදු ඵලදායීත්වයකින් තොරව පවත්වා ගෙන යන පළාත් සභා සහ ප්‍රාදේශීය සභාවල අනවශ්‍ය වියදම් කපා දැමීමට යොමු වීම ද වැදගත්ය. ඒවා ආදායම් ජනනය කරන මාර්ග බවට පරිවර්තනය කිරීම ද අවැසිය. මෙවැනි ක්‍රියාමාර්ග ඔස්සේ අයවැය හිඟය අවම කර ගැනීමටත් උද්ධමනය පාලනය කිරීමටත් හැකිය.
පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීම හෝ ලාභ ලබන තත්ත්වයට ගෙන ඒම හෝ කළ යුතුය. මෙරට රාජ්‍ය අංශය සතු ආයතන ගණන 520 කට මඳක් වැඩිය. ඒවා අතරින් බොහොමයක් අකාර්යක්ෂම බව අපි දනිමු.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව, ලංකා විදුලි බල මණ්ඩලය, ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ශ්‍රී ලංකන් ගුවන් සේවය යන ආයතන ඉතාමත් දූෂිත ඒවා වන අතර දේශපාලන හිතවතුන්ගේ ආදායම් මාර්ග කර ගත් ඒවා බවද පැහැදිලිය. එම ආයතන රාජ්‍ය ආදායමෙහි කොටස්කරුවන් බවට පරිවර්තනය කර ගැනීම ඉතාම වැදගත්ය.
මේ වන විට මෙරට නිෂ්පාදන අංශය මුළුමනින්ම අඩපණ වී තිබේ. එබැවින් දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගැනීම අවශ්‍යතාවකි. එසේම විදේශ සේවා නියුක්තිය සඳහා තරුණ ප්‍රජාව යොමු කිරීම හරහා විදේශ විනිමය ඉපැයීම් වැඩි කර ගැනීමට පිළිවන.
මෙපරිදි රටට අවැසි විසඳුම් නොව නිර්මාණශීලී විසඳුම්ය. ආර්ථික අර්බුදය ජය ගැනීමට නම්, එම අර්බුදයෙහි ගැඹුරු බවත් අනාගතයේ ඇති විය හැකි ප්‍රතිවිපාකත් පළමුව අප අවබෝධ කර ගත යුතුය. ඉන්පසු නිශ්චිත වැඩපිළිවෙළක් සහිතව ඉදිරියට ගියහොත් රට පෙරට ගෙන යා හැකිය. එසේ නොවුණ හොත් ශ්‍රී ලංකාව තවත් සෝමාලියාවක් බවට කෙටි කාලයක් ඇතුළත පත් වනු ඇත.
සටහන - උපුල් වික්‍රමසිංහ