අරුවක්කාලු කසළ ව්‍යාපෘතියට කණකොකා හඬයිද?


ගෝලීය ලෙස ගත්කල කසළ ගැටලු‍ව ප්‍රමුඛය. එය නාගරීකරණය සහ පරිභෝජනය සමග එක්ව පවතින ප්‍රශ්නයකි. පරිභෝජනය සහ නිෂ්පාදනය ඉහළ යන තරමට කසළ ප්‍රශ්නය ඉහළ යන බව නිශ්චිතය. එමෙන්ම නාගරීකරණය සහ වෙළෙඳපොළ ක්‍රමය විසින් එම කසළ ගැටලු‍ව තවත් සංකීර්ණ කර තිබේ. ලෝකයේ බොහෝ රටවල් ඒ ඒ නගරවල කසළ කළමනාකරණය සඳහා අවශ්‍ය කරන සැලසුම් සකස් කොට ඇත.

කොළඹ නගරයේ පමණක් නොව ශ්‍රී ලංකාවේ බොහෝ නගරවල කැළිකසළ සැලකිය යුතු ප්‍රශ්නයක් බවට පත්වෙමින් තිබේ. නාගරීකරණය, ජනාවාසකරණය සහ නොවිධිමත් ඉදිකිරීම් කටයුතු හේතුවෙන් කොළඹ මූලිකව නාගරික ප්‍රදේශවල අපද්‍රව්‍ය කළමනාකරණය ප්‍රබල ගැටලු‍වක් බවට පත්ව තිබේ. නිසි පරිදි කසළ බැහැර කිරීම සඳහා ප්‍රමාණවත් තරම් පහසුකම් නොමැතිවීම හේතුවෙන් බොහෝ දෙනෙක් කසළ කාණුවලට, මාර්ගවලට හෝ වෙනත් හුදෙකලා වූ ස්ථානවලට වීසි කරති. එයින් සිදුවන්නේ තැනින් තැන කසළ ගොඩවල් එකතුවීමයි.

නැතහොත් කසළ පුළුස්සා දැමීම සිදු කරයි. කසළ ගැටලු‍වට විසඳුම කසළ පුළුස්සා දැමීම නොවේ. දුර්වල අපද්‍රව්‍ය කළමනාකරණය හේතුවෙන් අහිතකර පාරිසරික බලපෑම්, ශාරිරික බලපෑම් මෙන්ම බොහෝ සමාජ ප්‍රතිවිපාකද පැන නැඟී ඇත. අපද්‍රව්‍ය නිසි පරිදි බැහැර නොකිරීම පස, ජලය, වාතයට ද ප්‍රබල ලෙස හානිදායක වේ. එමෙන්ම කසළ ගොඩවල් රෝග සම්ප්‍රේෂණය කළ හැකි කෘමීන්, මදුරුවන් සහ මීයන් වැනි පළිබෝධකයන් සඳහා ද කදිම නිවහනකි. මෙම ගැටලු‍ විසඳීමට තිරසාර අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය සඳහා විධිමත් ක්‍රමවේදයක් සහ කොම්පෝස්ට් නිෂ්පාදන ක්‍රමවේදයක් අවශ්‍ය වේ.

ශ්‍රී ලංකාවේ කසළ ප්‍රශ්නය පිළිබඳව පවතින්නේ යහපත් ඉතිහාසයක් නම් නොවේ. මීතොටමුල්ල කුණු කන්ද එයට සාක්ෂි සපයයි. දශක දෙකකට තුනකට එපිට ඉතිහාසයේ මීතොටමුල්ල නම් වෙල්යාය ඉතාම සුන්දර වෙල්යායක් වූයේ මීතොටමුල්ල කුණු කන්ද නාය යන්නට පෙරය. මීතොටමුල්ල ප්‍රදේශයේ තාවකාලිකව කුණු ගොඩගැසීම ආරම්භ කළ එවකට මහනගර සභාව පසුව එය ස්ථීර කුණු ගොඩකෙරෙන අංගණයක් බවට පත්කර ගත්තේය. විවිධ සමාගම් විසින් නිෂ්පාදනයේ දී බැහැර කෙරෙන අපද්‍රව්‍ය පවා ලොරි ගණනින් මෙම කුණු කන්දට ගොඩ කෙරුණේය. මේ අනුව මෙම කුණු කන්ද අක්කර 21ක ප්‍රදේශයක් පුරා විහිදී ගියේය. ඊට අමතරව අවසන් මොහොත වනවිට මීතොටමුල්ල කුණු කන්ද මීටර් 48.5  පමණ වූ බව වාර්තාවූ කරුණු අනුව සඳහන් වේ. 2017 අප්‍රේල් 14 අවුරුදු දා මීතොටමුල්ලේ අවුරුදු සමරමින් සිටි ජනතාවගේ හිස මතට මෙම කුණු කන්ද කඩාගෙන වැටුණේය. ජීවිත 32ක් සහ අතුරුදන් වීම් 8 වාර්තාවෙමින් 1765 ක් අවතැන් කරමින් කුණු කන්දේ ඛේදවාචකය අවසන් විය.

මීතොටමුල්ල ඛේදවාචකයෙන් අනතුරුව කොළඹ කුණු ගොඩගැසීම සඳහා තැනක් නොමැතිව තැන තැන කුණු පල්වෙමින් දින සති ගෙවෙන විට පසුව රාජ්‍ය බලය යොදාගනිමින් කොළඹ කුණු අවට නගරසභා ආසන්න කසළ අංගණවලට ගොඩ කෙරුණේය. තාවකාලිකව වුවත් ආරම්භ වූ එයට පසුව බස්නාහිර සහ මහනගර අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් කුණු ප්‍රතිචක්‍රීකරණ මධ්‍යස්ථානයක් සාදා එහි ප්‍රතිචක්‍රීකරණය කෙරුණි. එහෙත් එය එතරම් සාර්ථක නොවීය.

මේ අනුව අලු‍තින් මේ සඳහා කසළ අංගණයක් මෙම අමාත්‍යංශය යටතේම කලා ඔයට සහ විල්පත්තුවට අයත් රක්ෂිතයේ ඉදිකිරීමට යෝජනා විය. ඒ සඳහා අනුමැතිය ලබාගැනීමේ වැඩසටහනකට එම අමාත්‍යංශය පසුව යොමුවුණ ද එයට පරිසර අධිකාරිය අනුමැතිය නොදුන්නේය. පරිසර අධිකාරියේ නිර්දේශයට අනුව මේ කසළ ගොඩකිරීම් නිසා විල්පත්තුවේ සතුන්ට හානි විය හැකිය. සතුන්ගේ පැවැත්මට, එහි සමතුලිතතාවට සහ සත්ව ජීවිතවලට හානි විය හැකි යන්න නිර්දේශ විය. මේ අනුව මෙම කසළ අංගණය පසුව අරුවක්කාලු‍ ප්‍රදේශය දක්වා පසුබැස්සේය.

වනාතවිල්ලු‍ව ප්‍රාදේශීය සභාවට අයත් වන පුත්තලම් කලපුව ආසන්නයේ ප්‍රදේශයක් ලෙස අරුවක්කාලු‍ හිරිගල් නිධි ප්‍රදේශය හඳුනාගැනේ. සිමෙන්ති නිෂ්පාදනය සඳහා යොදාගත් අමුද්‍රව්‍ය නිධි පිහිටියේ මෙම අරුවක්කාලු‍ ප්‍රදේශයේය. පුත්තලම හරහා දිවෙන දුම්රිය මාර්ගය මෙම අරුවක්කාලු‍ ප්‍රදේශයට ඉතාම ආසන්නය. කලා ඔය සහ විල්පත්තු රක්ෂිතයට පහතින් මායිම්ව පිහිටි මෙම ප්‍රදේශය ඉක්මනින් කොළඹ නගරයට ඇතුළුවීම සඳහා පහසුකම් ඇති ප්‍රදේශයකි. විශේෂයෙන් මීගමුව කලපුව මුතුරාජවෙල වගුරු ප්‍රදේශය මෙම අරුවක්කාලු‍ වෙත ආසන්නතාවක් පවතී. මානව පරිණාමය සම්බන්ධව නිදර්ශන ඇති පුරාවිද්‍යාත්මක වටිනාකම් සහිත ස්ථානයක් ලෙස ද අරුවක්කාලු‍ හඳුනාගැනීමට හැකිය.

පුත්තලම, අරුවක්කාලු‍ ප්‍රදේශයේ තිබූ හුණුගල් කඩා ඉවත් කර අතහැර දමන ලද වළවල් ආශ්‍රිතව සනීපාරක්ෂක කසළ රඳවනයක් සහ අපදියර ප්‍රතිකර්ම පද්ධතියක් ඇතුළු අනෙකුත් පහසුකම් ඉදිකිරීම සහ කැලණිය හා පුත්තලම කසළ හුවමාරු මධ්‍යස්ථාන 02 ක් ඉදිකිරීම හා ඊට අදාළ දුම්රිය යටිතල පහසුකම් ඇතුළු මාර්ග පද්ධතිය ඉදිකිරීම අරුවක්කාලු‍ කසළ ව්‍යාපෘතිය යටතේ කිරීමට අරමුණ විය. 2017 දෙසැම්බර් 2වැනි දා මෙම ව්‍යාපෘතියේ මූලාරම්භය සිදු වූ අතර නිශ්චිත වශයෙන්ම වැඩ ආරම්භ කිරීම 2018 පෙබරවාරි 1 දා සිදු කරනු ලැබීය. මෙය රජයේ අරමුදල් මගින් කරනු ලැබූ ඩොලර් මිලියන 130 ක ව්‍යාපෘතියකි. චීන සමාගමක් වන චයිනා හාබර් ඉංජිනේරු සමාගම සහ සවුත්වෙස්ට් මියුනිසිපල් ඉංජිනියරිං ඇන්ඩ් රිසර්ච් ඉන්ස්ටිටියුට් ඔප් චයිනා සමාගම විසින් අරුවක්කාලු‍ කසළ අංගණයේ ඉදිකිරීම් කටයුතු සිදු කරනු ලැබීය. බස්නාහිර පළාතේ කසළ දුම්රිය මගින් අරුවක්කාලු‍ වෙත ගෙනයාම මෙම ව්‍යාපෘතිය ඔස්සේ සිදු කරනු ලබයි. මෙය ආරම්භ කොට වසර 6 ක් ඉක්ම ගොස් හමාරය. අරුවක්කාලු‍ ප්‍රදේශයේ කසළ අංගණයේ ඉදිකිරීම් ද සිදුකොට හමාරය. එහෙත් තවමත් ව්‍යාපෘතිය ක්‍රියාත්මකවීමක් සිදු නොවීම ගැටලු‍වකි.

මේ පිළිබඳව අදහස් දැක්වූ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියේ අධ්‍යක්ෂ නලින් මන්නපපෙරුම මහතා මෙසේ සඳහන් කළේය.

2023 දත්ත වාර්තා අනුව බස්නාහිර පළාතේ දිනකට කසළ මෙට්ට්‍රික් ටොන් 3100ක් පමණ ජනනය වේ. ඒ අතරින් මෙට්ට්‍රික් ටොන් 1700 ක් එනම් මුළු ප්‍රමාණයෙන් සියයට 55ක් පළාත් පාලන ආයතන දෛනිකව එකතු කරනු ලබනවා. එනම් කොළඹ දිස්ත්‍රික්කයේ මෙට්ට්‍රික් ටොන් 1225 ක් පමණද, ගම්පහ දිස්ත්‍රික්කයේ මෙට්ට්‍රික් ටොන් 330 ක් පමණද, කළුතර දිස්ත්‍රික්කයේ මෙට්ට්‍රික් ටොන් 110 ක් පමණ ද කසළ පළාත් පාලන ආයතන දෛනිකව එකතු කරනවා. කසළ බැහැර කිරීමේ දී නිවාස මට්ටමිනුත් යම් යම් කළමනාකරණයත් ප්‍රතිචක්‍රීකරණයත් කරනවා. පළාත් පාලන ආයතන එකතු කරන කසළ ප්‍රමාණයෙන් සියයට 16 ක් කොම්පෝස්ට් බවට පත් කරනවා. කොම්පෝස්ට් අංගණ 23ක් තියනවා. අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය මහා පරිමාණ කොම්පෝස්ට් අංගණ දෙකක් පවත්වාගෙන යනවා. ඊට අමතරව පහත් බිම් සංවර්ධන ඉදිකිරීමේ සංස්ථාවත් විශාල කොම්පෝස්ට් අංගණයක් පවත්වාගෙන යනවා. පළාත් පාලන ආයතන එකතු කරන කසළ ප්‍රමාණයෙන් සියයට 2ක් එනම් මෙට්ට්‍රික් ටොන් 35 ක් පමණ ප්‍රතිචක්‍රීකරණය කරනවා. බලශක්තිය ජනනය සඳහා සියයට 55 ක් එනම් මෙට්‍රික් ටොන් 885 ක් යොදා ගන්නවා. කසළ මෙට්‍රික් ටොන් 20 ක් එනම් සියයට 1 ක් වගේ තමයි ගොඩකිරීම් කරන්නේ. එමෙන්ම මෙට්‍රික් ටොන් 400 ක් විවෘත බැහැරකිරීම් සිදු කරනවා.

මෙම විවෘත බැහැරකිරීම් ඔස්සේ පාරිසරික, සමාජ, ආර්ථික, ගැටලු‍ රාශියක් ඇති වෙනවා. සෘජුව සහ වක්‍රව විශාල වියදමක් රජයට ඒ නිසා දරන්න වෙනවා. පළාත් පාලන ආයතන එකතු කරන කසළ දහනය කරනවා. දහනයවීමෙන් පසුව සැලකිය යුතු ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒවට අවසාන බැහැර කිරීමේ පහසුකම් ඕන. ඒ වගේම ඉතිරි වන කසළ සියයට 45 ත් එකතු කරලා පරිසර හිතකාමි ලෙස බැහැර කරන්න පුළුවන්. ඒ සඳහා මහා පරිමාණ අපද්‍රව්‍ය බැහැර කිරීමේ ස්ථාන අවශ්‍යයි. අරුවක්කාලු‍ කසළ ව්‍යාපෘතිය පටන් ගත්තානම් මේ ප්‍රශ්නවලට විසඳුම් ලැබෙනවා.

ව්‍යාපෘතිය ආරම්භ කිරීමට මූලික වූ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා දැක්වූයේ මෙවන් අදහසකි.

ලංකාවේ කසළ රඳවනයක අවශ්‍යතාව 80 දශකයේ ඉඳන් තිබුණා. කිරුළපනේ යම් ප්‍රමාණයක කසළ ප්‍රතිචක්‍රීකරණ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. ඒක හැඳින්වූයේ කුණු මෝල කියලා. ඒක හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා විසින් වහලා දාලා එතන උද්භිද උද්‍යානයක් හැදුවා. ඊළඟට කුණු දැම්මේ මට්ටක්කුලියට. ඒ සමග මට්ටක්කුලියේ විශාල කුණු කන්දක් ඇති වුණා. ප්‍රදේශවාසීන්ගෙන් විශාල වශයෙන් විරෝධතා එල්ල වුණා. පස්සේ බ්ලූමැන්ඩල් වෙත කුණු දාන්න ගත්තා. කොළඹ නගරාධිපති ලෙස කරු ජයසූරිය මහතා පත්වූ පසුව ලෝක බැංකුව සමග සාකච්ඡා කරලා අවිස්සාවේල්ල වග ප්‍රදේශයේ කසළ රදවනයක් හදන්න තීරණය කළා. ඒකට දේශපාලනික වශයෙන් විශාල ලෙස විරෝධතා ගෙන ගියා. කරු ජයසූරිය මහතාගේ ඡන්ද ව්‍යාපාරයට පවා එය ප්‍රබල ලෙස බලපෑම් කළා. ඒ හේතුව නිසා දේශපාලඥයන් මේ කුණු ප්‍රශ්නෙට ඉදිරිපත් වුණේ නෑ.

“මම පරිසර ඇමැතිවරයා ලෙස පත් වූ විට පිළිසරු කසළ ව්‍යාපෘතිය පටන් ගත්තා. එය රටේ ස්ථාන 75 ක ක්‍රියාත්මක කළා. ඒ හරහා දිරායන කසළ කොම්පෝස්ට් කිරීම සහ දිරානොයන කසළ ප්‍රතිචක්‍රීකරණය කිරීම කළා. ඉන්පසුව කොරියානු රජය සමග සම්බන්ධ වී අත් හදාබැලීමේ කසළ රදවනයක් ඉදිකිරීමට යෝජනා වුණා. එම ව්‍යාපෘතිය දොම්පේ ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජනා වූවා. සියලු‍ දේශපාලන පක්ෂ එයට විරුද්ධව නැගි සිටියා. එහෙත් අපි ව්‍යාපෘතිය දිගටම කරගෙන ගියා. එම ව්‍යාපෘතිය අදටත් සාර්ථකව කෙරීගෙන යනවා. ඒ හරහා කසළ රඳවන ගැන මිනිසුන්ට තිබූ බය ඉවත් වුණා. 2016 ලෝක බැංකුව කොළඹ අගනගර ව්‍යාපෘතියක් ආරම්භ කළා. එම ව්‍යාපෘතිය තුළ ගංවතුර පාලනය, මාර්ග තදබදය අවම කිරීම සහ කසළ ගැටලු‍ව අන්තර්ගතව තිබුණා. ඒ අනුව ඔවුන් අරුවක්කාලු‍ ප්‍රදේශයේ සිමෙන්ති කර්මාන්තය සඳහා හුණුගල් ලබාගත් ස්ථානය කසළ ව්‍යාපෘතියක් සඳහා සුදුසු යැයි හඳුනාගෙන තිබුණා. එහෙත් පාරිසරික බලපෑම් තක්සේරු වාර්තා මගින් අරුවක්කාලු‍ ප්‍රදේශයේ ආවේණික ශාක විශේෂ පවතින නිසා කසළ අංගණයකට සුදුසු නොවන බව තීරණය වුණා. ඒ සමග ලෝක බංකු ව්‍යාපෘතිය අවසන් වුණා. පසුව අමාත්‍යංශය යටතේ පරිසර විද්‍යාඥයන් සමග ගිහින් අරුවක්කාලු‍වල කසළ රඳවනයකට සුදුසු ප්‍රදේශයක් හඳුනාගත්තා. පසුව ලංකාවේ නව ව්‍යාපෘතියක් ලෙස ඒක පටන් ගත්තා.

මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම සිදුවීම නිසා මෙම ව්‍යාපෘතියටත් විශාල වශයෙන් විරෝධතා එල්ල වුණා. දේශපාලනයට වඩා ආගමික සංස්ථා මූලිකවෙලා විරෝධය පළ කළා. මුලින් බෞද්ධ භික්ෂූන්වහන්සේල මැදිහත් වුණා. පසුව ප්‍රදේශයේ මුස්ලිම් සහ කතෝලික ආගමික නායක පිරිස මැදිහත් වුණා. විශාල ලෙස විරෝධතා ආරම්භ කළා. විරෝධතා තුළ ගැටලු‍ පැනනැගුණත් සාකච්ඡා මාර්ගයෙන් ගැටලු‍ විසඳාගැනීමට උත්සහ කළත් එය අසාර්ථක වුණා. ප්‍රචණ්ඩ ක්‍රියාත් සිදු වුණා.

කොළඹ කසළ දාන්න ප්‍රශ්න මතු වූ නිසා තාවකාලිකව කසළ රඳවනයක් කෙරවලපිටියේ ඉදිකළා. ඒක තුළින් දිරා නොයන කසළ ගොඩගැහෙන්න ගත්තා. කියන්න කනගාටුයි මෙම කසළ අර්බුදයට කොළඹ නගර සභාව තමයි වග කියන්න ඕන. මොකද හැමදාම අනුන්ගෙ ඉඩම්වල කසළ දාලා ඒකෙන් හම්බකරගත්ත එක තමයි නගර සභාව කළේ. ඔවුන් කිසිම සහයෝගයක් අරුවක්කාලු‍ ව්‍යාපෘතියට දුන්නේ නෑ. ඇතැම් මන්ත්‍රීලා ආගමික නායකයන් සමග එකතුවෙලා විරෝධතාත් පැවැත්තුවා.

2019 අප්‍රේල් මාසය වනවිට දුම්රිය මගින් කසළ ප්‍රවාහන ක්‍රියාවලිය සම්පූර්ණ කිරීමට නොහැකිවීම නිසා ලොරිවලින් කසළ ගෙනයාම සිදුකළා. ලොරිවලටත් පහර දුන්නා යම් යම් සංවිධානාත්මක කණ්ඩායම් මගින්. 2021 වසරේදී මෙම ව්‍යාපෘතිය විවෘත කිරීමට හැකියාව තිබ්බත් එය සිදු නොවීය. දුම්රිය එන්ජින් අපි ඒ කාලෙම ගෙනල්ලා තිබ්බා. එහෙත් නිසි උනන්දුවක් රජයට තිබ්බේ නෑ. පෞද්ගලික පාර්ශවයට මෙම ව්‍යාපෘතිය ලබා දෙන්නත් උත්සහ කළා. එහෙත් ඒක සාර්ථක වුණේ නෑ.

කසළ ඕන වෙලාවක ගෙනියන්න පුළුවන්. එහෙත් තවම නිසි පරිදි ක්‍රියාත්මකවීමක් වෙන්නේ නෑ. මෑතකදී පෙර පුහුණුවක් පමණක් කර තිබුණා. මේක රටට ඉතාම අවශ්‍ය ව්‍යාපෘතියක්. ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයි. කුණු දාන්න තමයි තියෙන්නේ. එහෙත් වර්තමාන පාලන අධිකාරියට කුණු දාන්න තරම් හයියක් ආත්මශක්තියක් නෑ. ඒකයි මේ ව්‍යාපෘතිය තාමත් අඩපණවෙලා තියෙන්නේ.

 මේක නඩත්තු කරන්න නිලධාරීන් පත් කරන්න ඕන. ආයතනයක් හදන්න ඕන. කුණු ප්‍රවාහනයට අවශ්‍ය වැඩපිළිවෙළක් හදන්න ඕන. එහෙත් ඒ එකක්වත් කරන් නැතුව අවුරුදු 4ක් තිස්සේ නිකම්ම ගෙවිලා ගිහින්”.

ව්‍යාපෘතියේ ඉහළ නිලධාරියකුගේ අදහස,

“සියයට 95 ක් පමණ ව්‍යාපෘතියේ වැඩ කටයුතු අවසන් කරලා තියෙන්නේ. කසළ නිසි පරිදි ඇසුරුම් කරලා දුම්රියෙන් ප්‍රවාහනය කරන්නේ. දුම්රිය එන්ජින් 04ක් ආනයනය කරලා තියෙන්නේ. ව්‍යාපෘතියේ මෙහෙයුම් කටයුතු ආරම්භ වන තුරු එම එන්ජින් මගී ප්‍රවාහනයට යොදා ගැනීමට දුම්රිය දෙපාර්තමේන්තුවට ලබාදීලයි තියෙන්නේ. කසළ ප්‍රවාහනය සඳහා අවශ්‍ය බහලු‍ම් පෙට්ටි 94 ක්ද මිලදී ගෙන ඇති අතර කැලණිය සිට අරුවක්කාලු‍ දක්වා කසළ ප්‍රවාහනය සඳහා අවශ්‍ය දුම්රිය ගැල් 17ක් අලු‍ත්වැඩියා කර ලබා දී ඇත. කසළ නිසි පරිදි ඇසුරුම් කරන යන්ත්‍ර 3 මේ දිනවල සවි කරමින් පවතිනවා. ඒකට අවශ්‍ය කන්ටේනර් ගෙනැල්ලා තියෙන්නේ. යන්ත්‍ර සවි කිරීම අවසන් කරපු ගමන් අපි කසළ ප්‍රවාහනය ආරම්භ කරනවා. ඉදිකිරීම් පටන් ගත්තේ 2017 දෙසැම්බර්. රට තුළ ඇති වූ කොවිඩ් වසංගතය ආදී වූ ගැටලු‍ නිසා මේ ව්‍යාපෘතිය අවසන් කිරීම ප්‍රමාද වුණේ.

දිනකට කසළ මෙට්‍රික් ටොන් 1200ක් ප්‍රවාහනයට සැලසුම් කරලා තියනවා. අපද්‍රව්‍ය නිසි පරිදි සම්පිණ්ඩනය කොට ඇසුරුම් කොට ප්‍රවාහනය කරනු ලබන නිසා දුර්ගන්ධයක් නෑ, හැලීමක් සිදුවෙන්නේ නෑ, ඒ නිසා ප්‍රජාවගෙන් ගැටලු‍වකුත් නෑ. මේක සාර්ථක ව්‍යපෘතියක්. මෙම ව්‍යාපෘතිය මගින් බස්නාහිර පළාතේ ප්‍රශ්න විසඳෙනවා”.

මෙරට ජනාකීර්ණම පළාත වන බස්නාහිර පළාතේ ප්‍රධානම ගැටලු‍වක් වන කසළ ගැටලු‍ව සමනය කිරීමට අත්‍යවශ්‍ය ව්‍යාපෘතියක් ලෙස මෙම අරුවක්කාලු‍ කසළ ව්‍යාපෘතිය හඳුනාගත හැකිය. ව්‍යාපෘතිය ආරම්භ කර වසර 6ක් ගත වුවද ක්‍රියාත්මක නොවූ මන්දගාමී ව්‍යාපෘතියක් ලෙස අරුවක්කාලු‍ ව්‍යාපෘතිය තවමත් කල් මරමින් පවතී. කවදා කෙසේ නිසි පරිදි ව්‍යාපෘතිය ක්‍රියාත්මකවේද යන්න තවම නිශ්චිත නැත. අප රටේ ක්‍රියාත්මක වූ බොහෝ ව්‍යාපෘති මෙන් දේශපාලනඥයන්ගේ සහ නිලධාරීන්ගේ වංචා දූෂණ අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවලින් තොරව මෙම ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක වුවහොත් කැලණිය වනවාසල සිට අරුවක්කාලු‍ තෙක් දිවෙන කුණු කෝච්චිය මගින් බස්නාහිර ජනයාගේ කුණු ප්‍රශ්නය අවම කිරීමට සමත් වේ.

 

(***  ශෂිකා අබේරත්න)