අලි සංගණනයටත් තාක්ෂණික බාධා


ලංකාවේ අපට අලි-ඇතුන් සමග ඇත්තේ දිගු අතීතයකට දිවෙන සම්බන්ධතාවකි. මෙරට ආර්ථික, සමාජීය, සංස්කෘතික හා පාරිසරික හරපද්ධති සමග අලි ඇතුන් තදින් බද්ධව ඇත. එහෙත් ශ්‍රී ලංකාව තුළ මේ වනවිට අනතුරු හේතුවෙන් මරණයට පත්වන අලි ඇතුන්ගේ සංඛ්‍යාව ක්‍රමක්‍රමයෙන් වැඩි වෙමින් පවතී.

මේ වසරේ අලි-ඇතුන් 239 ක් මරණයට පත්ව ඇත. මෙම මරණවලින් 40ක් වෙඩි තැබීම්වලින් සිදුව ඇති අතර විදුලිසැර වැදීමෙන් මරණ  31ක් සිදුව තිබේ. එමෙන්ම “හක්ක පටස්” හා ආහාරවල සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය උපකරණවලින් අලි මරණ 28ක් සිදුව ඇත. විස ශරීර ගතවීමෙන් අලි මරණ 04ක් සහ දුම්රිය අනතුරු හේතුවෙන් මරණ 05 ක් මාර්ග අනතුරු වලින් මරණ 06ක් මෙන්ම දියේ ගිලීමෙන් අලි මරණ 11ක් සහ වෙනත් අනතුරු හේතුවෙන් අලි ඇතුන් හත් දෙනකු මරණයට පත්ව ඇති බව වනජීවි දෙපාර්තමේන්තු දත්ත පෙන්වා දෙයි. අනෙකුත් අලි මරණ සිදුව ඇත්තේ ස්වාභාවික හේතු මත හෝ හඳුනාගැනීමට නොහැකි වූ හේතු නිසා යැයිද වනජීවි දත්ත පෙන්වා දෙයි. මෙම මියගිය අලි ඇතුන්ගෙන් බහුතරය තරුණ වයස් සීමාවල සතුන්ය. එමෙන්ම එම දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා ලේඛනවලට අනුව 2023 වසරේදී අලි ඇතුන් 488 ක් මියගොස් ඇති අතර අලි - මිනිස් ගැටුම හේතුවෙන් මිනිසුන් 184 කට දිවි අහිමි වී තිබේ.

ශ්‍රී ලංකාවේ වනඅලි ගහනය කොතෙක් ද යන්න අවසන් වරට සංගණනයක් සිදුකෙරුණේ 2011 වසරේදීය. එම සංගණනයට අනුව රටේ සමස්ත වන අලි සංඛ්‍යාව 5878ක් ලෙස වාර්තා වී තිබුණි. කෙසේවෙතත් පසුගිය වසර තුළ මෙරට වනඅලි ගහනය පිළිබදව සංගණනයක් කිරීමට යන බව කීවද තාක්ෂණික හේතු සහ වර්ෂාවේ බලපෑම මත එය සිදුකෙරුණේ නැත. 2011 වසරේ අවසන් වරට කෙරුණු අලි සංගණනයෙන් පසුව ගෙවීගිය වසර 12කට තරමක් වැඩි කාල සීමාව තුළදී අලි ඇතුන් 3685ක් මියගොස් ඇති බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මහතා කියා සිටියි. ඒ අනුව අද වනවිට මෙම සත්ව ගහනය ඉතාම දරුණු ලෙස පහළ යමින් තිබෙන බව පෙනී යයි.

එහෙත් අලි ඇතුන්ගේ වාසස්ථාන ශීඝ්‍රයෙන් විනාශ කිරීම හේතුවෙන් වන අලි ගම්වැදීම බහුල වී ඇත. එහෙයින් ගම්වදින අලි ගහනය වැඩි වී ඇති බවක් පෙනෙන්නට තිබේ. ඒ බව ඒ ආශ්‍රිතව ජීවත් වන මිනිසුන්ගේ දුක්අඳෝනාවලින්ම තහවුරු වෙයි. සත්‍ය තත්වය නම් අලි ඇතුන් ඝාතනය කරන වේගයට සාපේක්ෂව උන්ගේ වර්ධනයක් සිදු නොවීමයි. මෙහි කනගාටුදායක තත්වය නම් දළ ඇතුන් හා ශක්තිමත් පිරිමි සතුන් නිතර ඝාතනයට ලක්වීමය. ගැහැනු හා පිරිමි සතුන් අතර ඇති අනුපාතය වෙනස්වීම හා සුවිශේෂි ජාන සහිත සතුන්, ගහනයෙන් ඉවත්වීම හේතුවෙන් අලි ඇතුන්ගේ ගහනය දුර්වල වෙමින් පැවතීම තවත් හේතුවකි.

ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මහතා පවසන්නේ අලි මරණ හා සම්බන්ධ පැරණි වාර්තා විශ්ලේෂණාත්මකව අධ්‍යයනය කිරීමේ දී හැත්තෑව (70) දශකයට පෙර පැවති තත්වයට සාපේක්ෂව වර්තමානය වනවිට අලි මරණ සිව් ගුණයකට වඩා වැඩි වර්ධනයක් පෙන්නුම් කරන බවය. එමෙන්ම නිදහසින් පසුව මෑත ඉතිහාසයේ වසරක් තුළ වැඩිම අලි මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ පසුගිය 2022 වසරේදී බව සජීව චාමිකර මහතා පෙන්වා දෙයි. එම ගණන අලි ඇතුන් 433කි. අලින්ගේ පහරදීම් හේතුවෙන් වැඩිම මිනිසුන් සංඛ්‍යාවක් වසරක් තුළ මියගොස් ඇත්තේ ද මෙම වසරේදීම වන අතර එය මිනිසුන් 145ක් බවද ඔහු පෙන්වා දෙයි.

1990 වසරේ සිට 2023 වසරේ අප්‍රේල් මාසය දක්වා ගෙවී ගිය වසර 34ක කාලය තුළදී අලි ඇතුන් 6642 මියගොස් ඇත. ඉන් සියයට 70ක් පමණ අලි-මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙස මිනිසුන් විසින් ඝාතනය කළ සතුන්ය. 1998 වසරේ සිට 2023 වසරේ අප්‍රේල් මාසය දක්වා වූ වසර 26 තුළදී අලින්ගේ පහරදීම් හේතුවෙන් මිනිසුන් 203ක් මියගොස් ඇති බව ඉඩම් හා කෘෂිකර්ම ප්‍රතිසංස්කරණ ව්‍යාපාරයේ සජීව චාමිකර මහතා පෙන්වා දෙයි.

වර්ෂ 2010දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත අවසන් වනාන්තර සංගණනයට අදාළ වාර්තාවට අනුව මෙරට සමස්ත වනාන්තර ආවරණය හෙක්ටයාර 19,51,473 කි. එය මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 29.7කි. මෙම වනාන්තර අතුරෙන් අලි-ඇතුන් ප්‍රධාන වශයෙන් ජීවත්වන්නේ අතරමැදි, වියළි හා ශුෂ්ක කලාපවලට අයත් වියළි මිශ්‍ර සදාහරිත වනාන්තර, අතරමැදි කලාපීය මෝසම් වනාන්තර, සැවානා තෘණ භූමි හා කටු පඳුරු සහිත ලඳු කැළෑ වනාන්තරවලය. මෙම වනාන්තරවල ප්‍රමාණය හෙක්ටයාර 17,36,805කි. එය ලංකාවේ මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 26.5ක ප්‍රතිශතයකි. නැතහොත් මෙරට අතරමැදි, වියළි හා ශුෂ්ක කලාපවල මුළු භූමි ප්‍රමාණයෙන් සියයට 34.5ක ප්‍රතිශතයකි.

අලි - ඇතුන් ජීවත්වන ස්වාභාවික පරිසර පද්ධති මේ ආකාරයෙන් අඩු මට්ටමක පැවතීම හා එම වනාන්තර එකිනෙක හා ජාලගත වී නොමැතිව ඛණ්ඩනය වූ වනාන්තර ලෙස පැවතීම අලි - මිනිස් ගැටුම වර්ධනයට බලපාන ප්‍රධාන හේතු සාධක බවට පත්ව ඇත. අනතුරුවලින් මියයන අලි ඇතුන් ගැන සොයා බැලීමේ දී පෙනී යන්නේ වසරකට මියයන සමස්ත අලි මරණවලින් සියයට 5ක් දුම්රිය අනතුරු හේතුවෙන් සිදුවන බවයි.

පසුගිය ඔක්තෝබර් මාසයේ 18 වැනිදා කොළඹ - මඩකලපුව ප්‍රධාන දුම්රිය මාර්ගයේ මින්නේරිය රොටවැව මංසන්ධිය ආසන්නයේ දුම්රිය සැතපුම් 146 1/2 ස්ථානයේ දී දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි වනඅලි රංචුවක් ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් සිදුවූ අනතුරින් වනඅලි දෙදෙනකු මියගොස් තවත් වනඅලි කිහිපදෙෙනක් බරපතළ තුවාල ලැබූහ. මෙම වනඅලි රංචුව දුම්රියේ ගැටී තිබුණේ අලිමංකඩක් ආසන්නයේය. මින්නේරිය රක්ෂිතයේ සිට වනඅලි ජලය සහ ආහාර සොයා මින්නේරිය වැවට ගමන් කරනුයේ මෙම මාර්ගය හරහාය. මේ හේතුවෙන් දුම්රිය වේග සීමා අවම කිරීම සඳහා මාර්ග සංඥා පුවරුද සවිකොට ඇත. එවන් පසුබිමක මෙලෙස දුම්රියේ ගැටී වනඅලි මියයාම ඛේදනීය තත්වයකි. මීට වසර 06කට පමණ පෙරද මේ ආකාරයෙන්ම ඉන්ධන ප්‍රවාහන දුම්රියක ගැටීමෙන් වන අලි හතර දෙනකු මියගියේ මීට ආසන්න ස්ථානයක දී ය.

දුම්රියවල ගැටී සිදුවන අලි මරණ අවම කරගැනීම සඳහා අලි බහුලව ගැවසෙන ප්‍රදේශවල, වනජිවි දෙපාර්තමේන්තුව සහ දුම්රිය දෙපාර්තමේන්තුව ඒකාබද්ධව විවිධ ක්‍රියාමාර්ග සහ අත්හදාබැලීම් සිදුකර තිබේ. එහෙත් තවමත් මෙම ගැටලුව විසඳීම සඳහා සාර්ථක ක්‍රමවේද අනුගමනය කිරීමට ඔවුන් අපොහොසත් වී ඇත. 2012 වසරේ සිට 2018 වසරේ ඔක්තෝබර් මාසය දක්වා දුම්රියේ ගැටී අලි මරණ 71ක් සිදුව ඇති බව වාර්තා වේ. ඉන් වැඩිම අලි මරණ සංඛ්‍යාවක් සිදුව ඇති බවට වාර්තා වන්නේ 2018 වසරේදීය. වනජීවි දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ගවලට අනුව 2010-2023 අතර වන අලි මරණ 10ක් හෝ ඊට වැඩි ගණනක් සිදුවූ දුම්රිය මාර්ග වශයෙන් අඹන්පොළ-ගල්ගමුව, වෙඩ්ඩිකුළම් - මඩුපාර, පළුගස්වැව-ගල්ඔය, ගල්ඔය හිඟුරක්ගොඩ, මනම්පිටිය - වැලිකන්ද, වැලිකන්ද - පූනානි යන ස්ථාන සඳහන් කළ හැකිය.

ශ්‍රී ලංකාවේ උතුරුමැද, උතුර සහ නැගෙනහිර ප්‍රදේශවල තිබෙන වනාන්තර පද්ධති යා කෙරෙන අලි කොරිඩෝ හරහා දිවෙන දුම්රිය මාර්ග කොටස්වලදී වන අලින්ට වැඩි අනතුරු ප්‍රමාණයක් සිදුවන බව දත්ත විශ්ලේෂණයේ දී පෙනී යන කරුණකි. එම දුම්රිය මාර්ග කොටස්වල අලි-දුම්රියේ ගැටීම අවම කිරීම සඳහා සුදුසු ආකාරයේ විසඳුම් ක්‍රියාත්මක කිරීම බලධාරීන් සතු රාජකාරියකි.

පසුගිය 2023 වසරේ දී දුම්රියේ ගැටීමෙන් සිදුවූ අලි මරණ සංඛ්‍යාව 23කි. දුම්රියේ වැදී අලි බහුලව අනතුරට පත්වන්නේ රාත්‍රී කාලයේ දී ය. දුම්රිය රියදුරන්ට අලි රංචු මාර්ගයට එනතුරු නොපෙනීම එයට හේතුවයි. ගල්ඔය හන්දිය කේන්ද්‍ර කරගනිමින් කන්තලේ කිතුල්උතුව දෙසටත්, පළුගස්වැව, හබරණ, මින්නේරිය, මනම්පිටිය ආදි ප්‍රදේශවල දුම්රිය මාර්ග ආශ්‍රිතව අලි මරණ සුලබව සිදුවන බව හඳුනාගත හැකිය. ගල්ගමුව කාසිකොටේ මෙන්ම පොළොන්නරු, මඩකලපුව හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල වනාන්තර මැදින් යන දුම්රිය මාර්ගයේ දී ද වන අලි අනතුරට පත්වූහ. ප්‍රදේශයේ දී 2023 වසරේ සැප්තැම්බර් 28 වැනිදා අලි සිව් දෙනකු සහ හබරණ ප්‍රදේශයේ දී අලි දෙදෙනකු එකම දින දුම්රිය අනතුරුවලින් මියයාම හේතුවෙන් අලි ඇතුන් දුම්රියට බිලිවීම යන මාතෘකාව යළිත් කාගෙත් අවධානයට ලක්විය. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව දුම්රියේ ගැටීමෙන් මියයන අලි සංඛ්‍යාව මෙරටින් වාර්තා වන සමස්ත අලි මරණවලින් සියයට 5 ක් පමණ වේ. එසේ මියයන අලි ඇතුන් සංඛ්‍යාව වසරකට 15-20ක් වන බැවින් එය සුළුකොට තැකිය නොහැකිය.

ලෝකයේ ආසියානු අලි ජීවත් වන රටවල් 13 අතරින් ශ්‍රී ලංකාව ඇත්තේ මුල් පස්දෙනා අතරය. ඊට එක් හේතුවක් වන්නේ අපේ රටේ දිවි ගෙවන ආසියානු අලි elephas maximus maximus යන නමින් වෙනම උප විශේෂයක් ලෙස පරිණාමය වි තිබීමය. එමෙන්ම ආසියානු අලින් දිවිගෙවන රටවල් අතරින් වැඩිම ඝනත්වයකින් යුතුව එම සතුන් ජීවත් වන්නේ ද ශ්‍රී ලංකාවේය. එහෙත් මෙම වටිනා වනජීවි සතුන් ආරක්ෂා කරගනිමින් ඔවුන් සංවර්ධනයේ කොටස්කරුවන් කර ගැනීමට සහ ඔවුන්ගෙන් එල්ලවන අහිතකර බලපෑම් අවම කරගනිමින් සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට රටක් ලෙස අප අපොහොසත්ව ඇති බව පසුගිය දශක ගණනාවකට වැඩි අතීතය දෙස හැරී බැලීමේ දී පෙනේ.

2010 වසරින් පසුව අද දක්වා ජාතික භෞතික සැලැස්මකට අනුව ක්‍රියාත්මක කළ සංවර්ධන ව්‍යාපෘති සඳහා සහ ලෝක බැංකුව හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැනි ණය දෙන ආයතනවල කොන්දේසිවලට අනුව ගනු ලැබූ ප්‍රතිපත්තිමය තීරණ මත වාණිජ කෘෂිකර්මාන්තය සඳහා මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට දැවැන්ත වනාන්තර විනාශයක් සිදුකර තිබේ. ඒ හේතුවෙන් අලි-ඇතුන්ගේ ස්වාභාවික වාසස්ථාන බොහෝමයක් විනාශයට ලක්කර ඇත. එමෙන්ම ඉතිරි වී ඇති වනාන්තර, කොටස්වලට වෙන්වන පරිදි සංවර්ධන කටයුතු සිදුකර තිබීම ආදි හේතු ගණනාවක් මත වර්තමානයේ අලි-මිනිස් ගැටුම දරුණු තත්වයකට පරිවර්තනය වී ඇත.

ආසියානු අලි ජීවත්වන අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ සිටින අලින්ගේ සංඛ්‍යාව ඉහළ අගයක් ගනී. එය මෙරට අලි - ඇතුන් සම්බන්ධව විමසීමේ දී තීරණාත්මක කරුණකි. තව ද මෙම වන අලි ගහනයෙන් විශාල සංඛ්‍යාවක් රක්ෂිත ප්‍රදේශවලින් බැහැරව ජීවත්වීම ද බලධාරින්ගේ අවධානයට යොමුවිය යුතු කරුණකි. පසුගිය වසර ගණනාවක් තුළ සියලු වන අලි වනජීවි රක්ෂිත ප්‍රදේශවලට ගාල් කිරීමට වනජීවි බලධාරින් නොදැරූ උත්සාහයක් නැත. එහෙත් තවදුරටත් වන අලි - ඇතුන් රක්ෂිත ප්‍රදේශවලින් බැහැරව ජීවත් වීමෙන් එම උත්සාහය අසාර්ථක වී ඇති බවක් පෙනෙන්ට ඇත. මේ තුළින් ගම්‍ය වන්නේ සියලු අලි ඇතුන් රක්ෂිත වනාන්තර තුළට ගාල් කිරීම කිසිදු ආකාරයක ප්‍රායෝගික විසඳුමක් නොවන බවකි.

මේ සම්බන්ධව අධ්‍යයනය කරන ඇතැම් පර්‌යේෂකයන් පෙන්වා දෙන්නේ පසුගිය වසර 55ක කාලසීමාව තුළ වන අලින්ට උන්ගේ වාසභූමිවලින් සියයට දහසයක් පමණ අහිමි වී ඇති බවකි. එමෙන්ම එම වාසස්ථාන අහිමිවීමෙන් ඒවායේ ජීවත් වූ අලි ඇතුන් ද වඳවී ගොස් ඇත.

එබැවින් දැනට ශ්‍රී ලංකාවේ අලි ගහනය වැඩි වෙමින් පවතින බවට ඇතැම් පිරිස් දරන මතය මිථ්‍යාවක් බව පෙනී යයි. වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ අලි-ඇතුන් ජීවත්වන ප්‍රදේශ බොහෝමයක් කැබලිකරණය වූ හා මානව බලපෑමට නතු වූ ප්‍රදේශ බව බොහෝ පර්‌යේෂකයෝ  පෙන්වා දෙති. ඒ තුළ සමස්ත ආසියානු අලි ගහනයෙන් සියයට 10-20ත් අතර ප්‍රමාණයක් දිවිගෙවන බව මෙරට දේශපාලකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් හා රාජ්‍ය නිලධාරින් තරයේ සිහි තබාගත යුතු බව අපි අවධාරණය කරමු.

ඒ හේතුවෙන් ශ්‍රී ලාංකිකයන් වන අප එම සතුන්ගේ භාරකරුවන් වන අතර, එම සතුන්ගේ පැවැත්ම තහවුරු කිරීම වෙනුවෙන් ලෝකයා හමුවේ අපි බැඳී සිටිමු. මෙම ගැටලුව දෙස විමසා බැලීමේ දී ඒ හා සම්බන්ධ බලධාරින් තවදුරටත් මෙරට අලි ඇතුන් හා එම සතුන් ජීවත්වන ප්‍රදේශ ආශ්‍රිතව දිවිගෙවන අසරණ ජනතාව සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී අත්තනෝමතිකව හා අවිචාරවත් ආකාරයෙන් හැසිරීමට නොහැක.

ඒ අනුව ශ්‍රී ලංකාවේ අලි - මිනිස් ගැටුම පාලනය හා වන අලි සංරක්ෂණය සඳහා එකම විසඳුම වන්නේ අලි මිනිස් සහජීවන ආකෘතියක්, නැතහොත් වන අලි සහ මිනිසුන් සංහිඳියාවෙන් තම භූමිය පරිහරණය කිරීමේ ක්‍රමවේදයකට ප්‍රවිෂ්ටවීම බව හැඟේ. රක්ෂිත ප්‍රදේශ වටා ඉදිකර ඇති විදුලිවැට දෙපසම අලි ඇතුන් වාසය කරන බැවින් එමගින් අලි-මිනිස් ගැටුමට දායකත්වයක් නොලැබේ. එසේම අලි-ඇතුන් විදුලි වැට තුළට සීමා කිරීම ද සිදුකළ නොහැක්කකි. ඒ වෙනුවට ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගම්මාන ආරක්ෂා කිරීම සඳහා ප්‍රජා මූලික විදුලි වැට ගම්මාන වටා ඉදිකිරීම හා ගොවිජන සේවා කාර්යාල හරහා වගාබිම් ආරක්ෂා කිරීම සඳහා වගා කාලයට සීමා වූ කාලීන විදුලි වැට ඉදිකිරීමත් සිදුකළ හැකිය.

කෙසේවෙතත් දවසින් දවස අහිමිව යන මෙම අලි සම්පත රැක ගැනීම අප සතු යුතුකමක් හා වගකීමකි. එහෙත් අලි මරණ ගැන වගකීමක් ගන්න කෙනකු නැතිවීමද බරපතළ ගැටලුවකි. රක්ෂිත වනාන්තර එළිපෙහෙළි කිරීම, වනාන්තර එළිකර නව ව්‍යාපෘති සඳහා ඒවා යොදා ගැනීම වැනි අකටයුතුකම් මෙන්ම අදූරදර්ශී ක්‍රියා නිසා අලින්ට පමණක් නොව අනෙකුත් සතුන්ට ද ඔවුන්ගේ වාසස්ථාන අහිමිව යෑමේ තර්ජනයකට මුහුණපෑමට සිදුව තිබේ. සියලුදෙනා හොදින්ම දන්නා පරිදි සතුන්ට යම් තරමක බුද්ධියක් පිහිටා තිබුණ ද හොද නරක හඳුනාගැනීමට ඔවුන්ට හැකියාවක් නැත. එබැවින් මනසින් උසස් සත්ව කොට්ඨාසයක් වශයෙන් මීට වඩා බුද්ධිමත්ව සැලසුම් සහගතව අලි-මිනිස් ගැටලුව සම්බන්ධව කටයුතු කරන්නේ නම් මිනිස් ජීවිත මෙන්ම වන සම්පත ද රැක ගැනීමට හැකිවනු ඇති බව සියලු පාලන කාරකාදීන්ගේ යුතුකම හා වගකීම බව අවධාරණය කිරීමට කැමැත්තෙමු.

 

(*** සුධාරිකා ගුරුසිංහ)