අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් එපාද?


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කොට සම්මත කර ගැනීමේ උනන්දුව අපේ දේශපාලකයන් අතර හීන වී ඇති බව පෙනෙන්නට ඇත. නව ආණ්ඩුක්‍රමයක් ගැන නොව ඊළඟ ජනාධිපතිවරණය ගැන අවධානය යොමු කරමින් සිටින බව ඔවුන්ගේ ප්‍රකාශවලින් පැහැදිලි වන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීළඟ ජනාධිපති විය යුතු බව ආණ්ඩු පක්ෂයේ මහත්වරුන් කිහිප දෙනෙක්ම මේ වන විට ප්‍රකාශ කර ඇත.

සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මහතා බව සමගි ජනබලවේගයේ මන්ත්‍රීවරු කිහිප දෙනකුගෙන්ම ප්‍රකාශ වී ඇත. ජාතික ජනබලවේගයේ ජනාධිපති අපේක්ෂකයා අනුර කුමාර දිසානායක මහතා බව පැහැදිලිය.

2015 මැතිවරණයේ දී ඒකාබද්ධ විපක්ෂයේ පොදු අපේක්ෂකයා වූ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ වේදිකාවේ ප්‍රකාශ වූ වැදගත් පොරොන්දුවක් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එන බවය. 1972 ව්‍යවස්ථාව 1970 මැතිවරණයේ ද 1978 ව්‍යවස්ථාව 1977 මැතිවරණයේ ද පොරොන්දුවල ප්‍රතිඵල විය.

2015 දී බලයට පත් වූ ආණ්ඩුව නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලියට ප්‍රවේශ වූයේ බෙහෙවින් ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයකිනි. ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ඉතිහාසයේ මුල් වතාවට මහජන මත විමසීමක් සිදු කෙරිණි. මේ සඳහා මහජන මත විමසීමේ කමිටුවක් පත් කරන ලදී. එම කමිටුව දිස්ත්‍රික්ක 25ට ගොස් ජනතාවගේ අදහස්වලට ඇහුම්කන් දුන් අතර මහජනයාගේ යෝජනා 4000 ක් පමණ සලකා බලන ලද බව වාර්තා විය. ව්‍යවස්ථාව සම්පාදනය සඳහා ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ මැති ඇමතිවරුන්ගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක් පත් කරන ලදී.

මෙහෙයුම් කමිටුවට සහාය වීම සඳහා අනුකමිටු 6ක් ද පත් කෙරිණ. මූලික අයිතිවාසිකම්, අධිකරණය, නීතිය හා සාමය, රාජ්‍ය මූල්‍ය කටයුතු රාජ්‍ය සේවය හා කේන්ද්‍රීය හා පරිවාර සබඳතා යන කරුණු අධ්‍යයනය කිරීම මෙම කමිටුවල වගකීම විය. එක් අනුකමිටුවක් සාමාජිකයන් 11 දෙනකුගෙන් සමන්විත වූ අතර සියලුම පක්ෂ නියෝජනය වන අයුරින් මේ අනුකමිටු සකස් වී තිබිණ. මෙයට අමතරව සාමාජිකයන් 10 දෙනකුගෙන් සමන්විත වන විද්වත් මණ්ඩලයක් ද පත් කරන ලද්දේ පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල එකඟත්වයෙනි. මේ සියලු කමිටුවල දායකත්වයෙන් සැකසෙන ව්‍යවස්ථා කෙටුම්පත අධිකරණයේ අනුමැතිය ලැබිය යුතු විය. පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය ද ලැබිය යුතු විය.

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනයේ දී අවධානය යොමු විය යුතු ප්‍රධාන කරුණු දෙකක් වෙයි. ඉන් පළමු වැන්න ජනාධිපති ක්‍රමය පවත්වාගෙන යනවා ද අහෝසි කරනවා ද එසේ නැතහොත් ජනාධිපතිවරයාගේ බලතල අඩු කරනවා ද යන්න ය. අනෙක ජනවර්ග අර්බුදයට විසඳුම් දෙන්නේ කෙලෙස ද යන්න ය. 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත වී මාස කීපයකට පසු ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා විසින් ලියා පළකරන ලද ‘‘1978 ව්‍යවස්ථාව පිළිබඳ විශ්ලේෂණාත්මක විග්‍රහයක්’’ නම් සංෂිප්ත වූ ද අතිශය සාරාංශ වූ ද ග්‍රන්ථයේ මේ කරුණු දෙක ගැන ඉතා වැදගත් නිගමන ඉදිරිපත් කොට ඇත.

අවුරුදු ගණනාවක සිට මෙරට බුද්ධිමත් ජනතාවගේ මතය වී ඇත්තේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ඒ වෙනුවට පාර්ලිමේන්තු කේන්ද්‍රීය ආණ්ඩුක්‍රමයක් හඳුන්වා දිය යුතු බව ය. ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතාගේ ග්‍රන්ථයේ දෙවැනි කරුණ ගැන වැදගත් විග්‍රහයක් වෙයි. එම ග්‍රන්ථයේ තුන් වැනි පරිච්ඡේදයේ ඔහු සඳහන් කරන්නේ 1956 දී දෙමළ භාෂාවට ද සිහල භාෂාවට සමාන තැනක් ලබා දීමෙන් ද්‍රවිඩ ජනතාවගේ අභිප්‍රායයන් ඉටු කිරීමට හැකිව තිබූ නමුත් 1978 දී එසේ කිරීම ප්‍රමාණවත් නොවන බවයි.

මතු යම් දවසක සියලු ජාතීන් එක්සත් කර ගනිමින් රට ඉදිරියට ගෙන යාමට අවශ්‍ය නම් එය කළ හැකි වන්නේ ඒ ඒ ජාතීන්ට තමන්ගේ ප්‍රදේශ ස්වාධීනව පාලනය කරගෙන යාමට බලතල ලබාදෙන ප්‍රාදේශීය පාලන ක්‍රමයක් මගින් පමණක් බව ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතා පැහැදිලිව ප්‍රකාශ කර තිබිණ. 1987 ඉන්දියාවේ අග්‍රාමාත්‍ය රජීව් ගාන්ධිගේ මැදිහත් වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කරන ලද 13 වැනි සංශෝධනයෙන් පළාත් සභා ක්‍රමය ඇති කිරීම ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මහතාගේ ප්‍රකාශයෙහි දුර දක්නා වටිනාකම පෙන්නුම් කරයි.

එහෙත් අපේක්ෂා කළ පරිදි එහි අරමුණ සාර්ථක වී නැත්තේ 13 වැනි සංශෝධනය නිසි ලෙස ක්‍රියාවට නොනැගීම නිසාය. කාලයාගේ ඇවෑමෙන් 13 වැනි සංශෝධන තවදුරටත් ප්‍රතිසංස්කරණය විය යුතු බවට ද්‍රවිඩ ජනතාව අතර මතයක් මතු වූයේ එහෙයිනි. ඉන්දියානු ආණ්ඩුවේ නියෝජිතයන් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන ලෙස අවධාරණය කළ අවස්ථාවේ දී එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ‘තර්ටින් ප්ලස්’ නොහොත් 13 වැනි සංශෝධනයේ බලතල තවදුරටත් වැඩි දියුණු කිරීමේ අභිප්‍රාය ගැනය.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කොට සම්මත කර ගැනීමට අවංකව ප්‍රවේශ වන්නේ නම් ඒ සඳහා බොහෝ කාලයක් මිඩංගු කිරීමට අවශ්‍ය වන්නේ නැත. ඒ සඳහා අදාල කරගත හැකි දත්ත හා තොරතුරු වුවමනා තරම් මේ වන විට එක්රැස්වී ඇත. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග පාලන සමයේ දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත, මහින්ද රාජපක්ෂ සමයේ දී මහාචාර්ය තිස්ස විතාරණ කමිටුව විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව 2015 දී මෛත්‍රීපාල සිරිසේන සමයේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට පත්කරන ලද කමිටුවේ සහ අනුකමිටු හයේ වාර්තා යන මේ සියල්ල උපයෝගී කරගනිමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට දීර්ඝ කාලයක් ගත කිරීමට සිදු නොවනු ඇත. අවශ්‍ය වන්නේ අවංක ආරම්භයක් පමණි.

අපේ දේශපාලකයන්ට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතිකර ගැනීමේ අභිප්‍රාය අමතක වී ඇද්දැයි සැක පහළ වන්නේ ඔවුන් පිටපොට ගසමින් ජනාධිපතිවරණයකට ලක ලැහැස්ති වන ආකාරයක් දක්නට ඇති හෙයිනි. ජනතාව මෙම තත්ත්වය පැහැදිලිව තේරුම් ගත යුතුය. රට තුළ කැකෑරෙන ගැටලු හා අර්බුද විසඳා ගැනීමට නම් අපට අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදා ගැනීම අත්‍යවශ්‍යය. ඒ සඳහා සියලුම පාර්ශ්වවල අවංක කැපවීම අත්‍යාවශ්‍යය. ජනතාව උනන්දුවෙන් බලා සිටින්නේ එය සිදුවන්නේ ද කියාය.

ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ