අලුතින්ම පත්වීම් ලද දොළොස් දෙනකුද ඇතුළු නව කැබිනට් අමාත්‍යවරු 17 දෙනෙක් පසුගියදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිව්රුම් දුන්හ. මේ දිව්රුම් දීම සිදු වූයේ පසුගිය දා ඉල්ලා අස් වූ අමාත්‍යවරුන් හේතුවෙන් ඇති වූ පුරප්පාඩු පිරවීම සඳහාය. මෙතෙක් අමාත්‍යවරුන් වශයෙන් කටයුතු කළ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකුම මේ හේතුවෙන් සාමාන්‍ය මන්ත්‍රීවරුන් බවට පත් වූ අතර ඉදිරියේදී ද ඔවුන්ට අමාත්‍ය ධූර නොලැබුණහොත් මේ පත්කිරීම් මේ රටේ දේශපාලනයේ සැබෑ හැරවුම් අවස්ථාවක් වනු ඇත.
මෙතෙක් පැවැති සම්ප්‍රදාය වූයේ අමාත්‍ය පදවි ලබාදීමේ දී ජ්‍යෙෂ්ඨත්වයට සහ හවුල්කාර පක්ෂ නායකයන්ට ප්‍රමුඛත්වය ලැබීමය. එහෙත් මෙවර එය වෙනස් වී පාර්ලිමේන්තුවට නවකයන් වූ කිහිප දෙනකුට ද අමාත්‍ය ධූර හිමි වී තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් ප්‍රථම වතාවට තෝරා පත්කරගනු ලැබූ ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ට අමාත්‍ය පදවියක් හිමිවීම එයට උදාහරණයකි.
පාර්ලිමේන්තුව තුළ නවකයන් වන පිරිසකට පවා කැබිනට් අමාත්‍ය ධූර ලැබීමට හේතු වූයේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීන්දුවක් හේතුවෙන් නොවන බව මෙහිදී පෙන්වා දිය යුතුය. එවැනි වෙනසකට බල කෙරුණේ මේ ආණ්ඩුවට ඉල්ලා අස්වන ලෙසට ගෙන යන අරගලය විසිනි. අරගලකරුවන්ගේ ඉල්ලීම වූයේ මුළු ආණ්ඩුවම ඉල්ලා අස්විය යුතු බව වුවත් අලුත් මුහුණු කැබිනට් මණ්ඩලයට එකතු කිරීම තුළ දැනට රට තුළ උද්ගතව තිබෙන දේශපාලන අර්බුදයට විසඳුමක් තිබෙනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් රජය මේ වෙනස්කම සිදුකරන්නට ඇතැයි පැහැදිලිව පෙනී යයි. එය මේ බරපතළ දේශපාලන සහ ආර්ථික අර්බුදයට විසඳුමක් වනු ඇතිදැයි අපට කල් තබා කිව නොහැකි වුවද මෙවැනි වෙනසක් හෝ ඇතිකිරීම හෝ යහපත් බව සඳහන් කළ යුතුය. මේ නිසා අලුත් කැබිනට් අමාත්‍යවරුන්ට පැවරෙන්නේ විශාල වගකීමකි.
නවක අමාත්‍යවරුන් මේ වගකීම පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීම මේ තීරණාත්මක මොහොතේ රටේ ප්‍රධානම අවශ්‍යතාව බවද පෙන්වා දිය යුතුය. මේ නව කැබිනට්ටුව පත්කිරීමෙන් ආණ්ඩුව අදහස් කරන්නේ පවතින අර්බුදයට කිසියම් හෝ විසඳුමකි. එහෙත් මේ අවශ්‍යතාව ඉටුකිරීමට සහ පිළිගත හැකි විසඳුම් ලබාදීමට පළපුරුද්ද සහ විෂය දැනුමේ පරාසය අඩු නවක අමාත්‍යවරුන්ට හැකියාව තිබේද? යන්න ගැටලුවකි. එම ගැටලුව ජයගැනීමේ අභියෝගය බාර ගැනීමට තරුණ නවක අමාත්‍යවරුන් සූදානම් විය යුතුය. තම හැකියාව පෙන්වීම සඳහා හැකි හැම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගත යුතුය. තමන් අසාර්ථක වීම යනු සමස්ත රජයේම අසාර්ථක වීමක් බව දැන සිටිය යුතුය.
එසේම රටේ පාලනය භාරව තීන්දු ගන්නා කැබිනට් අමාත්‍යවරුන්ගේ සුදුසුකම් පිළිබඳව ද රටේ මහත් කතිකාවක් ඇතිව තිබේ. ආණ්ඩුවට එරෙහි අරගල කරන තරුණ විරෝධතාකරුවන්ගේ අත රැඳි ඇතැම් පෝස්ටර්වලින් දැක්වෙන්නේ උගත් පුද්ගලයන් අතට පාලනය බාරදිය යුතු බවය. ඒ අතින් සලකා බලන කල මෙවර පත්වීම් ලද අමාත්‍යවරුන් අතරේ කිහිප දෙනෙක්ම උසස් අධ්‍යාපනය හදාරා විදෙස් රටවලින් පවා උපාධි ලබාගත් අය වෙති. කාංචන විජේසේකර මෙරට උසස් අධ්‍යාපනය හදාරා ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික උපාධියක් ලැබූවෙකි. ප්‍රමිත බණ්ඩාර බකිංහැම් විශ්වවිද්‍යාලයෙන් සහ ලාට්‍රොබේ විශ්වවිද්‍යාලවලින් ද ෂෙහාන් සේමසිංහ පේරාදෙණිය සහ දිල්ලි විශ්වවිද්‍යාලවලින්ද, කනක හේරත් ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් ද උපාධි ලබා සිටිතියි වාර්තා විය. එසේම මහාචාර්ය චන්න ජයසුමන, වෛද්‍ය රමේෂ් පතිරණ. ආචාර්ය නාලක ගොඩහේවා වැනි විද්වතුන් ද මේ ඇමැති මණ්ඩලයට පත්කරනු ලැබ සිටිති. මේ සියලු දෙනා දැන් කළ යුත්තේ තමන්ගේ අධ්‍යාපන දැනුම රටේ අර්බුදවලින් ගොඩ ඒම සඳහා යොදා ගැනීමය. ඒ සඳහා අවශ්‍ය දේශපාලන ධෛර්ය ඔවුන් සතුව ඇතැයි අපි විශ්වාස කරමු.
මුළු රටම ගිනියම් වූ යකඩයක් මෙන් පවතින තත්ත්වයක් තුළ තමන්ට ලැබුණු අමාත්‍ය ධූර උත්සවශ්‍රීයෙන් සැමරීමට මේ නවක අමාත්‍යවරුන්ට අවස්ථාවක් නැත. එහෙත් අසහනයට, පීඩනයට, කෝපයට පත්ව සිටින ජනතාවගේ එම පීඩා දුරුකිරීමට කිසියම් හෝ දායකත්වයක් ලබාදීමට තමන්ගේ අමාත්‍ය ධූරවලින් ඔවුන්ට හැකියාවක් ලැබුණොත් එය තමන්ට ලැබුණු අභියෝගය ජයගැනීමක් වශයෙන් සලකා සතුටු විය හැකිවනු ඇත. එසේම මේ අමාත්‍ය මණ්ඩලය පවතින තුරු අලුත් අමාත්‍යවරුන්ගේ කෙරුවාව මුළු රටේම නිරීක්ෂණයට ලක්වන බව ද සඳහන් කළ යුතුය.
නව අමාත්‍යවරුන් දිව්රුම් දීමෙන් අනතුරුව ජනාධිපතිවරයා ඔවුන් අමතමින් ප්‍රකාශ කර තිබුණේ අමතර වරප්‍රසාද කිසිවක් ලබා නොගෙන අවංක, කාර්යක්ෂම පිරිසුදු පාලනයක් සඳහා කැපවීමෙන් කටයුතු කරන ලෙසටය. ජනතාව ඉල්ලා සිටින සිස්ටම් චේන්ජ් එක කිරීමට මේ අමාත්‍යවරුන්ට ලැබී ඇත්තේ හොඳ අවස්ථාවක් බව ද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබිණි. රට ඉතිහාසයේ ඉතා දුෂ්කරම කාල පරිච්ඡේදයක් ගත කරමින් සිටිය දී ලැබී තිබෙන මේ අමාත්‍ය ධූර එම දුෂ්කරතා තුරන් කිරීම සඳහා යොදාගැනීමට නව අමාත්‍ය මණ්ඩලයේ ඉහළම ප්‍රමුඛතාව හිමිවිය යුතුය. එය ඔවුන් තම දේශපාලන ජීවිතයේ මුහුණදෙන අසීරුම පරීක්ෂණය බවට කතා දෙකක් නැත.
(***)