අවශ්‍යතාව දැන දැනම නිරෝධායන නීති කඩන අමනයෝ



කැස්බෑව හල්පිට ප්‍රදේශයේ මංගල උත්සව ශාලාවක් සහිත හෝටලයක නිරෝධායන නීති උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම හෝටලයේ හිමිකරු ඇතුළු දස දෙනකු කැස්බෑව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන කැස්බෑව මහේස්ත්‍රාත් රුචිර වැලිවත්ත මහතාට ඉදිරිපත් කිරීමෙන් පසුව චෝදනාව සම්බන්ධයෙන් වරද පිළිගැනීම නිසා අයකුට රුපියල් හාරදහසක් බැගින් පොදුවේ රුපියල් 40,000ක දඩ මුදලක් නියම කරනු ලැබීමේ පුවතක් අප පුවත්පත ඉකුත් දා වාර්තා කළේය.

පණ්ඩිතයන් සිය දෙනකු සමග කතා කිරීම පහසු වුවත් එක් මෝඩයකු සමග සාකච්ඡා කිරීම පහසු නොවන බව ඒකාන්ත සත්‍යයකි. මරණ තුනක් ඇති මිනිසකු පැණි කෑ බවට පුවතක් ද වහරෙහි වෙයි.

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් සංචරණ සීමා අතික්‍රමණය කරමින් බාල් නටන රස්තියාදුකාර පුරවැසියන් පැවැත එන්නේ ඒ පරම්පරාවෙනි. කැස්බෑවේදී පමණක් නොව රටේ නන් දෙසින් දිනපතා නීතියේ රැහැනට හසුවන්නේ ඒ පරම්පරාවේ ලාබාල ඥාති පුත්‍රයෝ වෙති.

මේ මොහොත යනු මේ රටේ පුරවැසියාට තමන් සම්බන්ධයෙන් නිවැරැදිවූත් සාර්ථකවූත් අංගසම්පූර්ණවූත් පරීක්ෂණයක් කරගත හැකි මොහොතකි. කොරෝනා මේ රට අාක්‍රමණය කර වසර එක හමාරක් කල් ඉක්ම ගොසිනි. මෙම කාලය තුළ මෙම මාරක වසංගතය තුරන් කිරීම සඳහා පුරවැසියකු වශයෙන් තමන් අවංකවම කැප වූයේ ද නැද්ද යන්න විනිශ්චය කරගැනීමට ඒ සම්බන්ධයෙන් අවංක පිළිතුරක් තම හෘදය සාක්ෂියෙන් ලබාගැනීමට මෙම පැය කදිමට යොදාගත හැකිය.

සංචරණ සීමා පමුණුවනු ලබන්නේ කවර අරමුණක් මුදුන් පමුණුවා ගැනීමට ද යන්න යළි යළිත් මෙහි සටහන් කළ යුතු නොවේ. එම අරමුණු මොනවා ද යන්න සම්බන්ධයෙන් ප්‍රමාණවත් අවබෝධයක් ජනයා සතුව තිබිය යුතුය. එබඳු අවබෝධයක් නොමැති පුරවැසියකු වේ නම් ඔහුට මේ සමාජයේ තවදුරටත් පැවැතීමට අයිතියක් නැත. මන්දයත් එබන්දකු යනු දැන හෝ නොදැන සමූහ මිනී වළක් කණිනු ලබන්නකු වන හෙයිනි.

අයිතිවාසිකම් සම්බන්ධයෙන් මරාගෙන මැරෙන්නට පෙරට එන මෙරට ඇතැම් ජනයා යුතුකම් සම්බන්ධයෙන් විමතිය දනවන තරමින් මුනිවත රකිති. මෙය වූ කලී චිරාත් කාලයක් පුරා දක්නට ලැබෙන කසඩ ගතියකි. කොරෝනා මාරාන්තික වයිරසය ඉදිරිපටදී ද ඇතැමුන්ගෙන් ප්‍රදර්ශනය වන්නේ එම කසඩ ගති ලක්ෂණයන්මය. ගමක් හුදෙකලා කළ පසු අවශ්‍ය කෑම බීම හා වෙනත් අත්‍යවශ්‍ය දෑ නිසි පරිදි නොලැබුණේ යැයි උද්ඝෝෂණය කරන පිරිස් තම ගම ඒ මහා ව්‍යසනයට ගොදුරු වීම වැළැක්වීම සඳහා අබ මල් රේණුවක තරමින් හෝ මැදිහත් වූයේ ද? ඇතැම් විට එම ගම එම රුදුරු ව්‍යසනයට ගොදුරු වීමේ ප්‍රධාන පංගුකාරයන් බවට ඇතැම් උද්ඝෝෂකයන් පත්වීමට ද ඉඩ තිබේ.

එළැඹ ඇත්තේ අයිතිවාසිකම් මෙන්ම යුතුකම් සම්බන්ධයෙන් ද වගකීම් සම්බන්ධයෙන් ද ප්‍රමාණවත් ලෙස වගවිය යුතු මොහොතකි. මෙලෙස රට වසාගෙන අප තව කොතෙක් කලක් ජීවත් වන්න ද යන ප්‍රශ්නය මගහැර යා යුතු නැත. පවුලක සාම්ප්‍රදායික ජීවන රටාව මුළුමනින්ම බිඳවැටී තිබේ. දරුවන්ගේ අධ්‍යාපනයට අත් වී ඇති ඉරණම පරම්පරා ගණනාවකට ඉදිරියේදී බලපෑමට යටත්ය. රටේ ආර්ථිකයට සිදුව ඇති හානිය ගණනය කළ හොහැකිය. මෙම පරිසරය තුළ කුණු බක්කි අවුස්සා කෑමට යමක් සොයන මිනිසුන් සුලභ වනු ඇත.

තැන තැන උපන්දින සාද දමන පිරිස් අමතක කර තිබෙන්නේ මෙම බිහිසුණු ඉරණමය. සාද දමන්නන් අධිකරණය ඉදිරියට පමුණුවා නිරෝධායනයට යොමු කිරීමට පෙර ඔවුන්ට යම් පමණක හෝ මොළයක් තිබේදැයි පරීක්ෂා කළ යුතුය.
සැබැවින්ම මෙතැන තිබෙන්නේ මොළය සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. පුරවැසි වගකීම් සහ යුතුකම් සම්බන්ධ ප්‍රශ්නයකි.

සොබා දහම ද නොතකමින් ආත්මාර්ථකාමීත්වයෙ පතුළේ ගිලෙමින් පැමිණි ගමනේ තර්කානුකූල අන්තය කොරෝනා මාරාන්තික වසංගතය වේ. එය අවබෝධ කරගැනීමට මේ මොහොතේදී යමකු අසමත් වන්නේ නම් එය අවබෝධ කරගැනීමට ඔවුන්ට තවත් අවස්ථාවක් නොලැබෙනු ඇත. තක්කඩි ලෙස හැසිරෙන සියල්ලන් වටහාගත යුත්තේ එයයි.

(***)