අවුරුද්දෙන් පසු දැන්වත් දේශපාලන පසුවිපරමක් කරමු


සිංහල හින්දු අලුත් අවුරුද්ද ගෙවී ගියේය. දුරාතීතයේ සිටම උත්සවශ්‍රීයෙන් සැමරූ ජාතික සංස්කෘතික මහෝත්සවය මෙදා මළානික ස්වරූපයක් ගත්තේය. ආර්ථික අර්බුදයෙන් පීඩාවෙන් පීඩාවට පත්ව සිටින ජනී ජනයාගේ සිත්සතන් තුළින් අලුත් අවුරුදු අසිරි සිරිය පලා ගොස්ය. අද  සිටවත් මේ සියලු අගති කුදලා දැමුණු රටක් සම්බන්ධ අත්නොහළ අපේක්ෂාව පමණක් තවමත් ජනී ජනයාට තනි රකිමින් සිටී.

‘‘රටට මොකද වුණේ’’ යන ප්‍රශ්නය උත්තර නොමැතිව සෑම තැනින්ම මතුවෙමින් තිබේ. මහ වාසල මුදාගත් අරගල බිමේ සටන්කරුවනුත්, රාජ්‍ය නිලධාරීන් සේවකයන් ඇතුළු සෑම තරාතිරමකම ජනී ජනයා  මෙම ප්‍රශ්නයට විශේෂ අවධානය යොමු කළ යුතුය.

මේ රටේ දේශපාලනය යනු ගරු කටයුතු මහජන සේවයක්ව පැවැති යුගයක් තිබිණි. පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගිවීමට ඈත ගම්දනව්වල සිට මහජන සේවකයන් පැමිණියේ බස් රියෙනි. නැතහොත් දුම්රියෙනි. ඔවුන් නවාතැන් ගත්තේ අධිසුඛෝපභෝගී හෝටල්වල නොව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාසය වූ ශ්‍රාවස්ති මන්දිරයේය. ඔවුන් යළිත් ගමට ගියේ පැමිණි විලාසයෙන්මය.

එකල මහජන සේවකයාට දිස්ත්‍රික්කයක් ආවරණය කිරීමට නොතිබිණි. ඔහුට තිබුණේ කොට්ඨාසයකි. එම ඡන්ද කොට්ඨාසයේම හැදුණු වැඩුණු කෙනකු වූ නිසාම ප්‍රචාරයට සහ ඡන්ද ව්‍යාපාරයට කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වියදම් කිරීමට සිදුවූයේද නැත. තමන්ගේ ප්‍රතිරූපය හදා වඩා පෝෂණය කිරීමට අවශ්‍යතාවක්ද නොවීය. ගමේ මිනිසා ගමේ කමට සරළව ජීවත් විය. අපරාධ කර හොරකම් කර ගමේ මිනිසුන්ගේ නිගරුවට පාත්‍රවීමට මෙම සරළ ගමේ මිනිසාට අවශ්‍ය නොවීය. මහජන දේපොළ සඟ සතු දේපොළ ලෙස ගැඹුරින්ම විශ්‍වාස කළ සංස්කෘතියක් අපගේ පොදු ජීවන විලාසයට මෙන්ම විලාසිතාවට අයත් විය.

කාලය වේගයෙන් ගමන් කළේ බොහෝ උත්තම සාරධර්ම ඒ කාලයේ වැලිතලාවෙන් වසා දමමිනි. විවෘත ආර්ථික ක්‍රමය ආවේය. අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ආවේය. මැතිවරණ ක්‍රමය වෙනස් විය. සීමිත සම්පත්වලින් අසීමිත ආශාවන් සපුරා ගැනීමේ අනවරත උත්සාහය තුළ ලජ්ජා-භය ගිලිහී ගියේය. පරිභෝජනවාදී ආර්ථික ක්‍රමයේ සිරකරුවන් බවට පත්වීමේ තාර්කික අන්තය වූයේ ‘‘බල්ලො මරා හෝ සල්ලි හොයා ගැනීමේ’’ තැනට සමාජය පත්වීමය. මානවීය සාරධර්මවලට එහි ඉඩක් නොවීය. මුළුමහත් සමාජයම මෙමගින් සැළුම් වෙවුළුම් කා ගියේය. ඉන් ආරක්ෂාවීමට කිසිදු ක්ෂේත්‍රයකට නොහැකි විය.

‘‘රටට මොකද වුණේ” යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීම ඇරැඹිය යුත්තේ එතැන් පටන්ය. රට හසුරුවන්නෝ දේශපාලනඥයෝ වෙති. පළමුව කුණුවන්නට පටන් ගත්තේ ඔවුන්ය. මැතිවරණ ක්‍රමයද එයට බලපෑවේය. දිස්ත්‍රික්කයක් ආවරණය කිරීමට මහ ධන නිධානයක් අවැසිය. ඡන්දයෙන් ජයග්‍රහණය කළ දා පටන් වියදම් කළ මුදල් සොයා ගැනීමට ඔවුහු පෙළඹෙති. පාරට දමන තාර ටිකෙන්, බෝක්කුව සෑදීමට ගෙනා සිමෙන්ති කොට්ටයෙන් ගසා කන චෞර කප්පිත්තෙකු බවට දේශපාලනඥයා පත්වූයේ එසේය.

බලය දූෂණයට හේතුව බවත් වැඩි බලය වැඩි දූෂණයට හේතුව බවත් දේශපාලන විද්‍යාවේ ඉගැන්වේ. එය සදාතනික සත්‍යයකි. මෙරට සංවර්ධන ව්‍යාපෘති යනු දේශපාලනඥයන්ගේ මල්ල තර කරන්නකි. කොමිස් ගැනීමේ සිට වංචා කිරීමෙන් මෙන්ම හොරකම් කිරීමෙන් එසේ මල්ල තර කර ගනිති. කාපට් දැමූ පාර එක වැස්සෙන් කැඩී බිඳී යන්නේ එසේය. මහ බැංකු බැඳුම්කර වංචා මෙන්ම මහ බැංකුවේ විදෙස් සංචිත හිස් කිරීම දක්වා චෝදනා එල්ල වන්නේ මෙම පරිසරය තුළය.

එය එතැනින් නතර නොවේ. ඉහළ රාජ්‍ය නිලධාරියා  සිට පහළ කනිෂ්ඨ සේවකයා දක්වාම මෙම දූෂිත වළල්ලේ කොටුවී සිටිති. දරුවා පාසලට ඇතුළු කර ගැනීම සඳහා දරුවාගේ මව ලැගුම්හල් වෙත රැගෙන යන විදුහල්පතිවරුන් සම්බන්ධ පිළිකුල් ප්‍රවෘත්ති  මතුවන්නේ ඒ අනුවය. රාජකීය කාර්යාලයක රාජකාරි කටයුත්තකට ගිය විට කීයක් හෝ අතමිට මෙළවීමෙන් එම රාජකාරි කටයුත්ත බොහොම පහසුවෙන් කරගත හැකි බව පොදු පිළිගැනීම වේ. ඇතැම් විට වසර ගණනාවක් පුරා සිදු නොවුණ රාජකාරිය කීයක් හෝ අතමිට මෙළවීමෙන් පැයෙන් දෙකෙන් කරගත හැකි බව දන්නෝ දනිති.

ඇතැම් ගොඩනැගිලි කඩාවැටී මහා විනාශයක් වූ විට සිදුකරන පරීක්ෂණවලදී බොහෝවිට මුලින්ම අනාවරණය වන්නේ එම ගොඩනැගිල්ල අනවසර ඉදිකිරීමක් බවය. එසේ අනවසර ඉදිකිරීම් සිදුවන්නේ කෙසේද? අදාළ බලධාරීන් කුමක් කළේද? රුපියල් ශත ඉදිරිපිට ඔවුන්  අඳගොළු බිහිරි තත්ත්වයට පත් වූයේද? හොරකම පිළිලයක් මෙන් මුළු සමාජ දේශය පුරාම පැතිරී තිබෙන්නේ එසේය.

‘‘හොරුන්ට දඬුවම් දෙනු’’ මේ සෑම වේදිකාවකින්ම සටන් බිමකින්ම නැගෙන සටන් පාඨයකි. එය හඬගා කීමෙන් පමණක් සොරුන්ට දඬුවම් ලැබෙන්නේ නැත. සොරකම නතර වන්නේද නැත. එසේනම් කළ යුතු වන්නේ මහජන මුදල්  සොරකම් කිරීමට නොහැකි වන පරිදි රටේ මූලික නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට විධි විධාන එක් කිරීමය. එමෙන්ම සොරුන්ට දඬුවම් කිරීම පිණිස විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීමය. නීතියේ හිල් තබා සොරුන් ඇල්ලිය නොහැක. සොරකම නතර කිරීමටද නොහැකිය. ගාලු මුවදොර පිටිය පුරා රොද බැඳ සිටින තරුණ පරපුර මෙන්ම රටේ නන් දෙසින් නැගෙන විරෝධතාවේ පදනමද  සොරකමට වැට නොබැඳීමය. එහෙයින් මේ ජනතා හඬට අවනත නොවී යාමට කිසිවකුට අයිතියක් නැත.

(***)