2024 වසර උදා වෙද්දී රට සම්බන්ධයෙන් ඉතා හෘදයාංගම තොරතුරු රැසක් වාර්තා වීම සියලු දෙනාගේම සතුටට හේතු වනු ඇත. දෙසැම්බර් මාසයේ සංචාරකයන්ගේ පැමිණීම දෙලක්ෂය ඉක්මවා ඇතැයි වාර්තා වේ. ආර්ථික වර්ධනය කාර්තු 6 කට ආසන්න කාලයක් සෘණ මට්ටමකට පත්ව තිබියදී පසුගිය වසරේ තුන්වැනි කාර්තුවේදී ධන වර්ධනයක් වාර්තා කරමින් ආර්ථිකය සියයට 1.6 කින් වර්ධනය වී තිබේ. 2023 වසරේ දෙසැම්බර් 18 වැනි දාට පෙර විශ්‍රාම ගිය සියලු රාජ්‍ය සේවකයන්ගේ පාරිතෝෂික මේ වන විට සම්පූර්ණයෙන්ම ගෙවා අවසන් කර ඇත. මීට පෙර විශ්‍රාමිකයන්ට පාරිතෝෂික ලබා ගැනීම සඳහා බොහෝ විට මාස 18 ක් වැනි කාලයක් ගත කිරීමට සිදුවිය. ඒ අතරම රජය විසින් පසුගිය දෙසැම්බර් 05 වැනි දින දක්වා වූ රජයේ සියලුම බිල්පත් සම්පූර්ණයෙන්ම ගෙවා නිම කරනු ලැබ ඇත.
එසේ වුවද, රටේ වැඩි දෙනකුගේ අවධානය යොමුවී ඇත්තේ ජනවාරි 01 වැනිදා සිට වැට් බදු වැඩි කිරීමක් පිළිබඳව බව පෙනී යයි. ඉන්ධන මිල පළමු වැනිදා සිට වැඩි කරනු ලැබීය. එහෙත් විපක්ෂයේ විශේෂඥයන් පෙන්වා දුන් පරිදි වැට්බදු සියයට 18 කින් වැඩි නොවේ. වැඩි වන්නේ ඊට වඩා අඩු අනුපාතයකිනි. ගෑස් මිල ද ඉහළ දමා ඇත. ගෑස්වලට මේ දක්වා වැට් බල නොපෑ නිසා එහි මිල සියයට 18 කින් වැඩි වී ඇත. මීට පෙර ගෑස් මිල වාර්තා ගත අන්දමින් අඩුකර පාරිභෝගිකයන්ට සහන ලබා දුන්නේ ද රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. එහෙත් අද රට මුහුණ පා සිටින තත්ත්වය හමුවේ තව නොබෝ දිනකින් ජනාධිපතිවරණයක් පැවැත්වීමට නියමිතව තිබියදී ද මේ ආකාරයෙන් ගෑස් මිල වැඩි කිරීමට රජයට සිදුව තිබේ.
මේ වසරේ දී නියත වශයෙන්ම ජනාධිපතිවරණය පැවැත්විය යුතුව ඇති නිසා රටට තවත් තීරණාත්මක අවස්ථාවක් උදාවනු ඇත. ජනාධිපතිවරණයට අමතරව පාර්ලිමේන්තු මැතිවරණය වැනි තවත් මැතිවරණ ද පැවැත්වීමට ඉඩ ඇති නිසා මෙම වර්ෂය විවිධ කරුණු පිළිබඳව බොහෝ දෙනකුගේ උනන්දුව දැක්වෙන වර්ෂයක් වීමට ඉඩ තිබේ.
කෙසේ වුවද, මැතිවරණ වර්ෂයක් වීම හේතුවෙන්ම ඇති වීමට ඉඩ තිබෙන අනතුරුදායක තත්ත්වය පිළිබඳව විවිධ ලක්ෂණ දැන් සිටම ප්‍රදර්ශනය වීමට පටන් ගෙන තිබේ. මහජනතාව තුළ දැඩි අවිනිශ්චිතතාවක් හෝ විශාල කම්පනයක් ඇතිවන ආකාරයේ ප්රවෘත්ති නිපදවා එමගින් රටේ බොහෝ කටයුතු අඩපණ කර දැමීම සහ අවුල් කර දැමීම පරමාර්ථ කරගෙන කටයුතු කරන පිරිසකගේ ක්‍රියාකාරීත්වය එම අනතුරයි. ඉන් සමහරෙක් එම කටයුත්ත ඉතා දක්ෂ ලෙස මෙහෙය වන අතර ඒ හේතුවෙන් ඔවුන් අපේක්ෂා කරන ඉලක්ක සම්පූර්ණ කර ගැනීමට ද ඔවුන්ට හැකි වී තිබේ. මේ වසරේදී පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය අරමුණු කරගෙන ඔවුන් විසින් ප්රවෘත්ති නිෂ්පාදනය කර විශාල ලෙස මුදා හැරීම මේ වන විටද ආරම්භ කර ඇති බව පෙනේ.
උදාහරණයක් ලෙස මේ දිනවල ප්‍රචාරය කරන රජයේ නිලධාරීන්ගේ නිවාඩු කපා දැමීමට රජය සූදානම් වන බව දැක්වෙන ප්‍රවෘත්තිය දැක්විය හැකිය. රජය විසින් රාජ්‍ය සේවකයන්ගේ අනියම් හා විවේක නිවාඩු අඩු කිරීමට කටයුතු කරන බව එම ප්‍රවෘත්තියෙන් දැක්වේ. ඊට අමතරව විශ්‍රාම යෑමට හැකි කාලසීමාව වැඩි කිරීම, දායකත්ව විශ්‍රාම වැටුප් ක්‍රමයක් ඇරඹීම වැනි තවත් යෝජනා ද ඒ සමගම ක්‍රියාත්මක කරන බවක්ද දැක්වේ. රජය, කැබිනට් මණ්ඩලය, විෂය භාර අමාත්‍යවරයා හෝ බලය ඇති කිසිවකු විසින් හෝ අඩුම වශයෙන් යෝජනාවක් හෝ ඉදිරිපත් කර නැති මෙවැනි ක්‍රියා රජයේ තීරණ ලෙස දැක්වෙන ප්රවෘත්ති මේ දිනවල ප්‍රධාන මාධ්‍යවල මෙන්ම සමාජ මාධ්‍යවල ද බෙහෙවින් ප්‍රචාරය වේ. කෙසේ වුවද මේ පිළිබඳ සොයා බැලීමේ දී පැහැදිලි වූයේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් පාර්ලිමේන්තුවේ ආංශික කාරක සභාවකට තම මතය දැක්වීම සඳහා ඉදිරිපත් කරන ලද ලියවිල්ලක් උපයෝගි කරගෙන මෙම අසත්‍ය ප්‍රචාර පතුරවමින් සිටින බවය.
එම නිලධාරියා තමා සහභාගි වන ආංශික කාරක සභාවට රාජ්‍ය නිලධාරින්ගේ නිවාඩු, විශ්‍රාම වැටුප් ආදිය පිළිබඳව යෝජනාවලියක් ඉදිරිපත් කර තිබේ. එම යෝජනා එම ආංශික කාරක සභාවවත් පිළිගත් ඒවා නොවේ. රජය විසින් එවැනි යෝජනාවක් ක්‍රියාත්මක කිරීමට නම් අඩුම වශයෙන් එය කැබිනට් මණ්ඩලය හෝ පිළිගත යුතුව තිබේ. එහෙත් ඉහත සඳහන් යෝජනා අඩුම වශයෙන් සලකා බැලීම සඳහා හෝ අදාළ ඇමතිවරයා වෙත ඉදිරිපත් කළ බවක් වාර්තා නොවේ. එක් රාජ්‍ය නිලධාරියකු ඉදිරිපත් කළ අදහසක් මුල් කරගෙන රජය විසින් රාජ්‍ය සේවකයන්ගේ නිවාඩු කප්පාදු කරන බවට ප්‍රචාරයක් පුළුල්ව සහ විසමකාරි ලෙස පවත්වාගෙන යනු ලැබේ. ඒ තුළින් එම ව්‍යාපාරයේ යෙදෙන්නන්ට බහුවිධ ප්‍රතිඵල ලබා ගැනීමට හැකියාව ලැබේ. රාජ්‍ය සේවකයන් කුපිත කරවීම, රාජ්‍ය සේවකයන් මෙම ජනාධිපතිවරණයේ දී වත්මන් ජනාධිපතිවරයාට එරෙහිව ඡන්දය දෙන තත්ත්වයක් නිර්මාණය කරවීම, ඔවුන් වර්ජන සහ විරෝධතාවලට පෙළැඹවීම, රාජ්‍ය ආයතනවල සේවා අඩපණ කිරීම හා දුර්වල කිරීම මෙම ප්රචාරයන්ගේ අරමුණ වී ඇත.
මෙම කණ්ඩායම විසින් දැනටමත් ආරම්භ ඇති එම ප්රචාරක ව්‍යාපාරය පිළිබඳ තොරතුරු මගින් එහි ස්වරූපය හඳුනා ගැනීමට අවස්ථාවක් ලැබේ. ජනමතය විකෘති කිරීම සඳහා අසත්‍ය තොරතුරු නිර්මාණය කිරීමේ එම ව්‍යාපාරය දැන් ක්‍රියාත්මක වන ආකාරය දැනටමත් හඳුනාගත හැකිය. ජනාධිපතිවරණය පැවැත්වීමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහ මැතිවරණයක් පවත්වනු ඇත. දෙවැනුව පවත්වන ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට රනිල් වික්‍රමසිංහ මහතාගේ කිසිදු බලාපොරොත්තුවක් නැත. ඔහු ජනාධිපති ධූරයේ ඉදිරි කාල පරිච්ඡේදය ගත කිරීමෙන් පසු විශ්‍රාම යනු ඇත. මෙවැනි ප්රවෘත්ති දැනටමත් ප්‍රචාරය කර ඇත. ඒ අතරම ප්‍රචාරය කරන තවත් කට කථාවක් වන්නේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා එම තනතුරෙන් ඉවත් කර පෙර සිටි ජනාධිපති ලේකම්වරයකු හෝ දේශපාලනයට සම්බන්ධ අයකු එම තනතුරට පත් කරනු ඇතැයි යන්නය. මෙවැනි ප්රවෘත්ති නිර්මාණ දැන් දැන් කඩිනමින් එළි දැක්වීමට මෙම පිරිස් සූදානම් වන බව පෙනේ.
ප්රවෘත්ති නිර්මාණය, ඒවා ප්‍රචාරය කිරීම සහ එම ප්‍රචාර අඛණ්ඩව සහ නිරන්තරයෙන් පවත්වාගෙන යෑම මෙම නිවුස් ප්ලාන්ට්ස්’ මෙහෙයුම්කරුවන්ගේ අරමුණ වී ඇති බව පෙනේ. මෙම ප්රවෘත්ති පළවීමෙන් පසු කරන ලද සොයා බැලීමකදී පැහැදිලි වූයේ එම ප්රවෘත්ති සියල්ලම එකම මූලාශ්‍රයකින් එකිනෙකට සම්බන්ධතාවක් ඇතිව ප්‍රචාරය කර ඇති බවයි. එහි අරමුණ එම ප්රවෘත්තිවල බලපෑම අධ්‍යයනය කළ විට පැහැදිලි වේ. ජනාධිපතිවරණය සම්බන්ධයෙන් මහජනතාවගේ සිත් තුළ දැනට කිසියම් ස්ථාවර භාවයක් පවත්නේ නම් එය සිඳ බිඳ දමා දැඩි අවිනිශ්චිතතාවක් මහජනතාවගේ සිත් තුළ ඇති කරවීම එහි ප්රමුඛ අරමුණ වන බව පෙන්. එම ප්රවෘත්ති තුන නිර්මාණය කර ඇති ආකාරය සහ ඒවායින් ඇතිවිය හැකි බලපෑම අධ්‍යනය කිරීමෙන් එය වටහා ගැනීමට හැකිවේ.
ජනාධිපතිවරණයට පෙර මහ මැතිවරණයක් පැවැත්වෙන බව ප්‍රකාශ කිරීමෙන් වාසි සහගත තත්ත්වයක් ඇති වන්නේ විපක්ෂ කණ්ඩායම්වලටය. ජනාධිපතිවරණයක දී බොහෝ විට තෝරා ගැනීමේ තීරණයේ දී එක් එක් අපේක්ෂකයාගේ පළපුරුද්ද, අත්දැකීම්, හැකියාව, දක්ෂතා සහ උපක්රමශීලිත්වය ආදිය බල පවත්වනු ලබයි. එහෙත් මහ මැතිවරණයක් මුලින් පැවැත් වූ විට වත්මන් ජනාධිපතිවරයා අත්කරගෙන ඇති ජනප්‍රියතාව සහ කීර්තිය පහත දැමීමට හැකිවනු ඇත. වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණයට ඉදිරිපත් නොවන බව ප්‍රචාරය කිරීමෙන් ද එවැනිම වාසි අත්කර ගැනීමට විපක්ෂයට හැකිවනු ඇත. තරඟ නොකරන බව කීමෙන් අදහස් වන්නේ වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණය ජය ගැනීමට ඇති හැකියාව පිළිබඳ ස්ථිර බවක් නැති බවය.
ජනාධිපති ලේකම්වරයා ඉවත් කිරීම පිළිබඳ ප්‍රවෘත්තියක් මවා එහි නිර්මාණකරුවෝ ප්‍රතිඵල කීපයක් ලබා ගැනීමට අපේක්ෂා කරති. ඉන් ජනාධිපතිගේ පාලනය අවුල් සහගත බවට හැඟීමක් මහජනතාව තුළ ඇති කිරීමට ඉන් හැකි වේ. දෙවනුව ලේකම්වරයා වෙනස් වන විට ඇතිවීමට ඉඩ ඇති අවිනිශ්චිතතාව හේතුවෙන් මුළු රාජ්‍ය පරිපාලන පද්ධතියම බිඳ වැටිමකට ලක් කිරීමට හැකි වේ. ඉවත්ව යන ලේකම්වරයෙකුගේ නියෝග පිළි පැදීමට අමාත්‍යාංශ නිලධාරීන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ඇතුළු රාජ්‍ය පරිපාලන නිලධාරීන් අකැමැති වනු ඇත.
අසත්‍ය පුවත් නිර්මාණය කර ඒවා ක්ෂණිකව සමාජ මාධ්‍යයෙන් ප්‍රචාරය කර එම අසත්‍ය පුවත මහජනතාවට පිළිගැන්වීමට සමහර සමාජ මාධ්‍ය ජාලාකරුවන් ක්‍රියා කරන ආකාරය පිළිබඳව ප්‍රසිද්ධ අත්දැකීම් ශ්‍රී ලංකාවේ මහජනතාවට කොතෙකුත් තිබෙන බව ආසන්න උදාහරණ වලින් වටහා ගත හැකිය. අරගල සමයේ එවකට අග්‍රාමාත්‍යව සිටි රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවස ගිනි තැබු අවස්ථාවේදී එම සමාජ මාධ්‍ය ජාලාකරුවන් එම පුවත විකෘති කිරීමට ගත් උත්සාහය මහජනතාවට මතක ඇතැයි සිතමි. අගමැතිවරයා විසින්ම තම නිවස ගිනි තබාගෙන ඇති බවටද පුස්තකාලයේ සමහර පොත් ඉතිරි කරගෙන ඉතිරිවා ගිනි තැබු බව දැක්වෙන ආකාරයේ ප්‍රචාර ඡායාරූප සහිතව ගෙන පතුරුවා හැරීමට ඔවුහු කටයුතු කළහ. ඒ ආකාරයටම පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරාළ මහතා නිට්ටඹුවේදී අරගලකරුවන් විසින් පහර දී ඝාතනය කළ අවස්ථාවේදී එය අමරකීර්ති මන්ත්‍රීවරයා විසින් තම පිස්තෝලයෙන් වෙඩි තබා ගැනීමෙන් සිදුවූ සිය දිවි හානිකර ගැනීමක් ලෙස ප්‍රචාරය කළ ආකාරයද මතක ඇතැයි සිතමි.
මෙවැනි අසත්‍ය ප්‍රචාර මගින් සත්‍ය ප්රවෘත්ති දැඩි ලෙස විකෘති කර මහජනතාවට සම්පූර්ණයෙන්ම වැරදි තොරතුරු ලබාදීමට උත්සාහ කළ පිරිස දැන් නැවතත් සක්‍රීය වී තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනවාරි පළමු වැනිදා නව ගුවන් හමුදා මූලස්ථානය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වී මෙසේ ප්‍රකාශ කළේය. “මම ජනාධිපති ධූරයේ වගකීම භාර ගත්තේ ජයප්‍රිය වීමට නොවෙයි. මේ රට ගොඩනගා ඔබටත්, ඔබේ දරුවන්ටත් යහපත් අනාගතයක් සකස් කර දීමටයි. ඒ නිසා අසීරුවෙන් වුවද මෙම තීන්දු ගැනීමට සිදු වෙනවා. රටේ ආර්ථිකය ගොඩ නැගීමට අවශ්‍ය අසීරු තීරණ මම දැන් ගෙන අවසන්. ඒ ගැන දෝෂාරෝපණය කළ හැක්කේ මට පමණයි. ඒ නිසා මම අනෙකුත් දේශපාලනඥයන්ට කියනවා රට රැක ගැනීමට ඔබටත් යුතුකමක් තිබෙනවා. එසේ නම් රටේ ආර්ථිකය ගොඩ නැගීමට අපි එකතු වෙමු”. මහජනතාවගේ යුතුකම වන්නේ අසත්‍ය ප්‍රචාරකයන්ගේ හඬට නොව සත්‍යයට ජය ලබා දීමයි.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර