රටේ වර්තමාන තත්ත්වය ගැන තරමක් බරපතළවූත් අනෙක් අතට ඉතාමත් වැදගත් වූත් ප‍්‍රකාශයක් සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහානායක හිමියන් ඇතුළු කාරක සංඝ සභාව විසින් පසුගිය අඟහරුවාදා රටට ඉදිරිපත් කරනු ලැබීය. මේ ප‍්‍රකාශය ගැන රජයේ ස්ථාවරය හෝ ඒ පිළිබඳව වූ රජයේ විවේචනයක් හෝ තවමත් ඉදිරිපත් වී නැත. එහෙත් මේ ප‍්‍රකාශය මේ රටේ අනාගත පැවැත්මටත් දේශපාලනයටත් අතිශයෙන්ම දැනෙනසුළු බලපෑමක් සිදුකරනු ඇති බව බැලූ බැල්මටම පෙනී යන නිසා අස්ගිරියේ ප‍්‍රකාශය ගැන පළල් සමාජ සාකච්ඡාවක් කිරීම අවශ්‍යය.
ආණ්ඩුව මේ ගැන තවමත් සංගතව කථා කරන්නේ නැති වුණාට මේ ආණ්ඩුව ගෙනාවේ තමන් යැයි සිතා ඒ වෙනුවෙන් කථා කරන කොළඹ සිවිල් සමාජයේ සමහර අය නම් අස්ගිරි ප‍්‍රකාශය පිළිබඳව තමන්ගේ සුපුරුදු පහරදීමේ දේශපාලනය සමාජ ජාල හරහා ආරම්භ කර හමාරය. ඒ අයගේ අපරිණත පහරදීම් ඉදිරියටත් නරක ආකාරයෙන් වර්ධනය විය හැකි බවද සමහර වෙබ් අඩවිවලට ඔවුන් ලියන කියන දේවල්වලින් පෙන්නුම් කරයි. ජනවාරි 8 ජයග‍්‍රහණයේ නිල පොල්මඃකාරයන් ලෙසින් හැසිරෙන මේ සිවිල් සමාජයේ සමහර බුද්ධිමතුන් පෙන්නුම් කරන්නේම පසුගිය ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ කිසිම බෞද්ධයකු වර්තමාන ජනාධිපතිවරයා වෙනුවෙන් හෝ එජාපයේ ආණ්ඩුව වෙනුවෙන් එක ඡුන්දයක් වත් ලබා දී නැති පාටක්ය. ඒ අයගේ ප‍්‍රකාශවලින් පේන්නේ ජනාධිපතිවරයා හා අගමැතිවරයා මේ රටේ බෞද්ධයන්ට ඇහුම්කන් දීමේ කිසිදු අවශ්‍යතාවක් නැතිවා වගේ අදහසක්ය. හාමුදුරුවරු සහ බෞද්ධයෝ අයිති මහින්දටය වගේ අදහසක්ය. ඒ නිසාම ඔවුන් පෙන්නුම් කරන අදහසේ අනියම් අර්ථය වන්නේ මේ ආණ්ඩුව ඉන්නේ තමන්ව පත්කර ගත් බෞද්ධයන් නොවන අනෙක් ජනවර්ගවල අයගේ අභිවෘද්ධිය සැදීමට නිසා ඔය හාමුදුරුවරුන් කියන දේවල් එච්චර ගණන් ගත යුතු නැතිවා වැනි අදහසක්ය.
මුලින්ම අප තේරුම් ගත යුත්තේ අස්ගිරියේ මේ ප‍්‍රකාශය මතුවුණේමත් මේ කියන අය නිසාය. සිවිල් සමාජයේ අයගේ අපහාස උපහාස හා අසත්‍ය පහරදීම්වලට පිළිතුරක් වශයෙන් බව අනුනායක හිමියෝම එය ප‍්‍රකාශ කළහ. ආණ්ඩුවේ අයිතිකාරකම වෙනුවෙන් සහ තමන්ගේ ආණ්ඩුව රැකගැනීම වෙනුවෙන් කඩුව අතට ගත් ආරක්ෂකයන් නිසා තියෙන ප‍්‍රශ්න මදිවාට තවත් ඒවා හදනවා යැයි කියන්නේ මේ වැඩ වලටය.
ආණ්ඩුව මුහුණදෙමින් සිටින්නේ එක ප‍්‍රශ්නයකට නොව ප‍්‍රශ්න පත‍්‍රයකටය. ප‍්‍රශ්න වැලකටය. එක පැත්තකින් සයිටම්ය. සයිටම් විරෝධී දෙස්තරලා ශිෂ්‍යයන් සහ මවුපියන්ගේ සටනය. අනෙක් පැත්තෙන් ඉට්කාය. ඉට්කා විරෝධී වෘත්තිකයෝ විශේෂඥයෝ සහ ජාතිකවාදීහු සටනකය. තවත් පැත්තකින් ඩෙංගුය, ඩෙංගු මර්දනයට ආණ්ඩුවට බලකරන හා මදුරුවන්ගෙන් තම දරුවන් ආරක්ෂා කරන්නට වෙහෙසෙන මවුපියන්ගේ හා සමාන්‍ය ජනතාවගේ සටනය. අනෙක් අතින් බලනවිට මහමඟ පුරා කුණු කඳුය. කුණු අයින් කරන්නට පළාත් පාලන ඡුන්දය ඉල්ලන ඡුන්දදායකයන්ගේ සටන තවත් පසෙකිනි. දැන් ඒ ප‍්‍රශ්න පෝලිමට බෞද්ධ අයිතිවාසිකම් ප‍්‍රශ්නයද එක්වී හමාරය. අස්ගිරියේ ප‍්‍රකාශය වැරැුදියට කළමනාකරණය කළහොත් මතුවිය හැකි තත්ත්වය අනෙක් හැම ප‍්‍රශ්නයටම වඩා බරපතළ බව මගේ අදහසය. සිවිල් සමාජයේ කට්ටිය තමන්ගේ ඊළඟ ව්‍යාපෘතියට මුදල් සෙවීම සඳහා ව්‍යාජ බෞද්ධ විරෝධයක් හදමින් හාමුදුරුවරුන්ට අපහාස කරන්නට ගොස් තවත් අවුරුදු තිහ හතළිහකට විසඳන්නට බැරි ප‍්‍රශ්නයක් මේ රටේ ඇති කිරීමටද මේ තුළ ඉඩ ඇත. මේ ගැන ආණ්ඩුවත් සමාජයත් පළල් ආකාරයෙන් තේරුම් ගැනීම ඉතාමත් අවශ්‍ය වන්නේ ඒ නිසාය.
මට පෙනෙන විදියට අස්ගිරියේ ස්වාමීන්ද්‍රයන් වහන්සේලා මතු කරන්නේ ඉතාමත් කේන්ද්‍රීය කරුණු කීපයක්ය. පළමුවෙන්ම ඒ අය කියන්නේ මේ රටේ බෞද්ධයන්ගේ අයිතිවාසිකම් කියා දෙයක් තිබෙන බව මේ ආණ්ඩුව දැනගත යුතු බවය. අනෙක් හැමෝගේම අයිතිවාසිකම් දෙන්න යන ගමන් බෞද්ධයන්ගේ අයිතිවාසිකම් යටපත් කරන්නට ආණ්ඩුවට සම්බන්ධ සමහරුන් උත්සාහ කරන බව හාමුදුරුවන්ගේ ඒ ප‍්‍රකාශයේ තේරුමය. අස්ගිරියේ ප‍්‍රකාශයෙන් එළියට ඇවිත් තිබෙන්නේ පසුගිය වසර එකහමාර දෙක පුරා මේ රටේ බෞද්ධ සමාජයේ යටින් ගිය බරපතළ සාකච්ජාවක් ය. සංවිධානාත්මක ආකාරයෙන් මෙරට බෞද්ධයන්ට විරුද්ධව වැඩ කරන ආයතන ජාලයක් මේ රටේ තිබෙන බව සාමාන්‍ය බෞද්ධ සමාජයේ අදහසය. මේ බෞද්ධ විරෝධී බලවේගය ආණ්ඩුවේ කෑල්ලක් විදියට පෙන්නුම් කෙරෙන අවස්ථා ද මේ සිවිල් සමාජකාරයන්ගේ සංවාදවලින් පෙන්නුම් කරන බැවින් ස්වාමීන් වහන්සේලා කියන්නේ ආණ්ඩුවේ අවධානය මේ ප‍්‍රශ්නය ගැන යොමුවිය යුතු බවය. එපමණක්ද නොවේ. අලූත් ව්‍යවස්ථාවක් ගේනවා යැයි ආණ්ඩුව උදේ හවස කියන නිසා තමන්ගේ අයිතිවාසිකම් පිළිබඳ මේ ප‍්‍රශ්නය මතු කිරීම ඉතාමත් වැදගත් බව බෞද්ධ සමාජය සිතීම සාධාරණය. සමහරුන්ගේ කථා අසන විට සිතෙන්නේ අයිතිවාසිකම් තිබෙන්නේ අනෙක් අයට මිස බෞද්ධයන්ට නොවන බවය. මෙවැනි කථා කියන සමහරු ආණ්ඩුව වෙනුවෙනුත් කථා කරන නිසා බෞද්ධයන්ගේ සැකය වඩා වර්ධන විය හැකිය. එවැනි පරිසරයක අස්ගිරියේ ප‍්‍රකාශයට බෞද්ධයන්ගේ අතිවිශාල පිළිගැනීමක් තිබෙන බව තේරුම් ගැනීම වැදගත්ය. අද මේ රටේ ආගම් මත පදනම් වූ දේශපාලන පක්ෂ ආගමේ නමින්ම පෙනී සිටීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමක් ලෙසින් පිළිගන්නා ගමන් බෞද්ධයන් යම් සංවිධානයකට බෞද්ධ නම දැමීමම සමගියට බාධාවක් ලෙසින් තේරුම් කරන තත්ත්වයක් පැවතීම ද මේ බෞද්ධ අයිතිවාසිකම් පිළිබඳ ප‍්‍රශ්නය මතු වීමට බලපා තිබෙන සාධකයකි. මුස්ලිම් ආගමට දේශපාලන පක්ෂ තිබීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කිරීමක් ලෙසින් ගන්නා ගමන් බෞද්ධයන් තමන්ගේ අයිතිවාසිකම් කථා කිරීම අන්තවාදයක් ලෙසින් ගැනීම වැනි විකාර කරන්නට යාම මේ තත්ත්වය නරක අතට හැරීමට හේතු වූ බව මගේ හැඟීමය. අද ඥානසාර හිමියන්ගේ මතුකිරීම පසුපස ඇති තත්ත්වයන් තේරුම් ගැනීමෙන් හා ඒවා ආමන්ත‍්‍රණය කිරීමෙන් තොරව සමස්ත හාමුදුරුවරුන්ට අපහාස කරන්නට යාම කියන්නේ ප‍්‍රශ්නයට ගිනි තැබීමක් මිස එය නිවා දැමීමක් නොවන බව අප වටහා ගත යුතුය.
දෙවනුව අස්ගිරි සංඝ සභාව ඉදිරිපත් කරන්නේ බෞද්ධයන් වශයෙන් මේ රටට ආවේණිකව ගොඩනගා ගත් දැනුම් පද්ධතියක් හා ජීවන ක‍්‍රමයක් පැවති සහ පවතින බවත් ඒ තුළ අනෙක් ආගම්වලට ඉඩදිමේ ගුණය හැමදාම තිබුණ බවත්ය. ඒ තුළින් කියන්නේ අපේ රටේ ඇති ආගමික නිදහස යනු වෙන දෙයක් නොව බෞද්ධයන්ගේ මේ අනුගතවීමේ ගුණය සමග බැඳී පවතින දෙයක් බවය. අනෙක් අතට බෞද්ධයන් බහුතරයක් ජීවත් වන හැම අස්සක් මුල්ලකටම අනෙක් ආගම්වලට එන්නට හැකියාව ඇත්තේ බෞද්ධයන් තුළ ඇති ඇතුළත්වීම්වාදී බව නිසා බව පිළිගැනීම මෙහිදි වැදගත්ම කාරණයක් බව මගේත් අදහසය. බෞද්ධ සිද්ධස්ථානයක ගොඩනැගිල්ලක් හදන විට එතැනට විත් ප‍්‍රශ්න කරන නැගෙනහිර පළාතේ සමහරුන් සිතිය යුත්තේ මේ රටේ බෞද්ධයන්ට ඔය කියන ආකාරයට ප‍්‍රශ්න කරන්නට ගියා නම් රටේ හුඟක් පළාත් තනිකරම බෞද්ධ ප‍්‍රදේශ ලෙසින් අදත් පවතිනවා කියාය. අද සමහරුන් කරන්නේ මේ කාරණය නොපිළිගන්නවා පමණක් නොවේ. එම මිත‍්‍රශීලිත්වයට අපහාස කිරීමය. විවිධ විදේශීය සංවිධානවලින් යැපෙන සමහරුන් රූපවාහිනි නාලිකාවල බොරු බේගල් ඇදබාමින් හාමුදුරුවරුන් පල්ලි කඩනවා වැනි ප‍්‍රකාශ කරන්නේ එවැනි අපහාසය. මේ පල්ලි කැඞීම ගැන කළ ප‍්‍රකාශයට ඒ මොහොතේම ගෙවිඳු කුමාරතුංග දුන් පිළිතුරුත් අගරදගුරුතුමාගේ පැහැදිලි කිරීම ජනාධිපතිවරයා විසින්ම පිළිතුරක් ලෙසින් පසුව ඉදිරිපත් කිරීමත් යන දෙකම ඉතාමත් වැදගත් බවද මෙහිදී කිවයුතුය.
තුන්වෙනුව මේ ප‍්‍රකාශය මා කියවා ගන්නේ මේ ආණ්ඩුව ගේන්න වැඩ කළා යැයි කියන සීමාසහිත සිවිල් සමාජ කණ්ඩායම පෙන්නුම් කරන බෞද්ධ විරෝධී මතවාදයට අස්ගිරි සංඝ සභාවෙන් ලැබුණු ප‍්‍රතිචාරයක් ද ලෙසින්ය. මේ සිවිල් සමාජකරුවන්ගේ මහා බෞද්ධ විරෝධයට භික්ෂූන් වහන්සේලාගේ ඇති අප‍්‍රසාදය මේ ප‍්‍රකාශයෙන් පෙන්නුම් කිරීම තේරුම් ගත යුත්තේ හුදු පුද්ගලයකුට එරෙහිව කරන ප‍්‍රකාශයක් ලෙසින් නොව ඒ අයගේ වැඩපිළිවෙළට ඇති විරෝධයක් හා විවේචනයක් ලෙසින්ය. මේ කියන සිවිල් සමාජ කණ්ඩායමට අයත් අය උජාරුවෙන් මෙන් පෙන්වන්නේ මේ රටට තියෙන ප‍්‍රශ්න ටික ඔවුන් හොඳටම දන්නා බවත් ඒ ප‍්‍රශ්නවලට පිළිතුරු ටිකත් තමන්ගේ ලැප්ටොප් එකේ තිබෙන බවත් වැනි අදහසක්ය. තමන්ගේ විසඳුම් ටික ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරන්නට මේ අය හැමවිටම උත්සාහ ගන්නේ මේ නිසා විය යුතුය. මේ අයගේ හිසේ තියෙන විසඳුම් මේ රටේ ජනතාවගේ ප‍්‍රශ්නවලට තිබෙන විසඳුම් ලෙසින් අන් කවරකු විශ්වාස කළත් මෙරට බෞද්ධයන් විශ්වාස කරන්නේ නැති බව වත් තේරුම් ගන්නේ නම් එය මේ ප‍්‍රකාශයට වටිනාකමක් දීමක් බව මගේ වැටහීමය. අපේ රටේ සමහර විද්වතුන් විදේශ රටවල සම්මානයට පත්වන්නට කියා කරන සමහර පර්යේෂණ පදනම් වන්නේම ලාබෙට බෞද්ධ සංස්කෘතියට පහර දීමය. අනෙක් අතට මේ හුඟක් උගතුන් කරන්නේ අනෙක් හැම දෙයක්ම විචාර න්‍යායෙන් බලන්න කියා අපට කියන ගමන් සිංහලකම හා බෞද්ධකම හරියට ටෙක්ස්ට් බුක් එකේ ගාණට බලන්නට කියා දෙන එකය. අස්ගිරි සංඝ සභාවේ ප‍්‍රකාශය ගැන කථා කළ එක් විශ්වවිද්‍යාල ආචාර්යවරයකු මට කීවේ එය බෞද්ධ විරෝධී (It is an anti-Buddhist) කියාය.
ඒ ආචාර්යවරයාට අනුව ‘බුඩිස්ට්’ කියන්නේ ඔහු හිතේ තියාගෙන ඉන්න තේරුම එයට ආදේශ කිරීම පමණක්ය. මේ කාරණය තරමක් ශාස්ත‍්‍රීයව කියනවා නම් මේ උගතුන් කියන්නේ අනෙක් හැම දේම විචාර න්‍යායෙන් (Critical theory) බලන ගමන් බෞද්ධ කියන එක පොසිටිව්ස්ටික් (positivistic) තේරුමකින් පමණක් ගත යුතු බවය. මෙය හරියට සමාන වන්නේ උද්භිද විද්‍යාවට අනුව අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ තියෙන සියලූම ගස්වලට ඇති තේරුමෙන් මහමෙවුනාවේ තියෙන ශී‍්‍ර මහ බෝධියටත් සමාන අගයක් දෙන්න කීවා වැනි කථාවකටය. උද්භිද නාමය හෝ ඒ විද්‍යාවෙන් කුමක් කීවත් ශ‍්‍රී මහා බෝධිය යනු බෞද්යන්ගේ කථා විශ්වය තුළ ආගමික ආධ්‍යාත්මික හා ඓතිහාසික අර්ථ (meanings) ගණනාවක් ගොඩ නඟන සංකේතයක් මිස අනෙක් අයට පෙනෙන ගස නොවන බව පිළිගැනීම වැදගත්ම කාරණයයි. එය විචාරාත්මකව තේරුම් ගන්නේ නැතිව සියලූ ගස් සමානයි කියා ව්‍යවස්ථා හැදුවාට ඒවා සමාජයේ පිළිගැනීමකට ලක්වන්නේ නැත්තේ මේ සමාජ විද්‍යාව නොපිළිගන්නා නිසාය. ඒ ඒ ජන කණ්ඩායම්වල (ශ‍්‍රී මහා බෝධියට එවැනි අගයක් දෙන්නේ නැති අනෙක් භක්තිකයකුට බලෙන් එය කරවන්නට යාමක් කිසිම දිනක බෞද්ධයන් සිදු කර නැති බවද මෙහිදි පැවසිය යුතුය.
මේ රටේ ජනතාවට සිය වගකීම් ඉටු කළ ඉතිහාසයක් අස්ගිරියේ විහාර පාර්ශවයට හැමදාම තිබූ බව උන්වහන්සේලාට ගෞරවයක් ලෙසින් සඳහන් කළ යුතුය. යාපනයේ සිරගත කොට යටපත් කරන තුරුම ඉංග‍්‍රීසි පාලනයට එරෙහිව සටන් කළ වාරියපොළ සුමංගල හිමියන් යනු මේ අස්ගිරි සංඝ සභාවේ සිටි ගෞරවනීය වීරවරයකු බව බොහෝ අය නොදන්නවා විය හැකිය.
මා සිතන්නේ අස්ගිරියේ සංඝ සභාවේ මේ මැදිහත්වීම ආණ්ඩුව භාරගත යුත්තේ එන්.ජී. ඕ. කාරයන් ඉදිරියට දමා නොව යම් වැදගත්කමක් සහිතවය. රට වෙනුවෙන් පෙනී සිටීන බෞද්ධ සමාජයට අපහාස උපහාස කරන ආණ්ඩුවේ සිටින බෞද්ධ විරෝධීන්ට එරෙහිවීම මේ යෝජනාවට ප‍්‍රතිචාර දැක්වීම හරහා සිදු කිරීම ජනාධිපතිතුමන් කථානායකතුමන් වැනි අයගේ යුතුකම විය යුතුය.