පුරා විද්‍යා චක්‍රවර්තී, දේශනේතෘ ආචාර්ය එල්ලාවල මේධානන්ද නාහිමිපාණන් වහන්සේගේ අසූ හතර වැනි ජන්ම දිනය නිමිත්තෙන් පළවන ලිපියකි.
එල්ලාවල මේධානන්ද නායක හාමුදුරුවන් වහන්සේගේ ජීවිතයේ වැඩි කාලයක් ගත වූයේ මහා වනාන්තරවලය. වන වැදුණු ඒ කාලයේ රට පුරා මහා භයානක ත්‍රස්තවාදයක් ක්‍රියාත්මක විය. ගමන් බිමන්, නවාතැන්, සන්නිවේදන පහසුකම් අද මෙන් සුලභ නැති ජීවිත අවදානම පිරුණු කාලයකදීය.
උන්වහන්සේ මෙරට ඓතිහාසික ගවේෂණය සඳහා වන වැදී එම මහා කැපකිරීම් සිදුකරන ලද්දේ කිසිදු ලාභයක් අපේක්ෂාවෙන් නොවේ. දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා පැතිරුණු මෙරට භූමියේ ඇති සියලු මහා වනාන්තරවල උන්වහන්සේගේ පා සටහන් වැදී ඇත. ඒ සෑම වනාන්තරයකම සැඟවුණු පුරාවිද්‍යා උරුමය, ශිලා ලිපි ආදිය උන්වහන්සේගේ නෙතට හසුවන්නට ඇත. විටෙක මුලතිව්හිය. විටෙක පානම්පත්තුවේය. තවත් විටෙක කුමන මහ වනයේය. නැතහොත් නැගෙනහිර පළාතේ වනාන්තර තුළය. ගස් උඩ සහ ගස් මුල්හි ද ගල් තලා ද ඒ ගමන්වලදී නවාතැන්ය. රොටියක්, කහට කෝප්පයක් කුස ගිනි නිවුමට දායක වූ බව මම හොඳින් දනිමි.
දේශනේතෘ එල්ලාවල මේධානන්ද ස්වාමින්ද්‍රයන් වහන්සේ ශ්‍රී ලංකාවේ පුරා විද්‍යා හා ඉතිහාස විෂය ක්ෂේත්‍රයට සපයා දුන් නව දත්ත එකිනෙක මෙහිදී හඳුන්වාදීම කිසිසේත්ම කළ නොහැක්කකි. කළ හැකිව පවතින්නේ එම අප්‍රමාණ කැපකිරීමෙන් බිඳක් සිහිපත් කරදීම පමණි. විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්වලින් බොහොමයක් එතෙක් කිසිදු පර්ෙය්ෂණයකට හෝ අධ්‍යයනයකට ලක් නොවූ අභාවයට යමින් කාලයේ වැලි තලාව විසින් සඳහටම වසා ගනිමින් තිබුණු ඒවාය. යුද්ධය පැවැති කාලවලදීත් ඊට පෙර හා පසුවත් උක්ත ප්‍රදේශවල අපේ මේධානන්ද නායක හාමුදුරුවන් වහන්සේ සිදුකළ පුරාවිද්‍යා වැඩකටයුතුවලදී ජීවිත තර්ජන ද බොහෝ විය.
යුද්ධය දරුණු ලෙස ඇවිළෙමින් තිබුණු කාලයේ එල්ලාවල හාමුදුරුවන් වහන්සේ එම පළාතේදී මුහුණ දුන් අවදානම් සහගත සිද්ධියක් මෙසේය.
උන්වහන්සේ ගවේෂණ කටයුතුවලට නැගෙනහිර පළාතට ගොස් සිටියදී කොස්ගොල්ල ප්‍රදේශයේදී අතරමංව සිටියහ. ඒ අවස්ථාවේ පිල්ලුමලේ එල්.ටී.ටී.ඊ. කඳවුරේ නායකයා විසින් මුන් වහන්සේ යතුරුපැදියක නංවා ගෙන ආසන්නතම ජනාවාසයට ගෙනවුත් ඇරලවා ඇත. වන මැද බිහිසුණු අත්දැකීම් තවත් බොහෝ වූ බව පමණක් මෙහිදි කීමට කැමතිය.
උතුරු නැගෙනහිර ඓතිහාසික බෞද්ධ අනන්‍යතා ලක්ෂණ ප්‍රකට කරන පුරාවිද්‍යා ක්ෂේත්‍ර යටපත් කරමින් ඒවා මත වෙනත් නූතන සංස්කෘතික අනන්‍යතා ගොඩනැගීමේ ප්‍රජාතන්ත්‍ර විරෝධී, ශිෂ්ටාචාර විරෝධී මෙන්ම දේශයේ ජන කණ්ඩායම්හි හොඳ හිත පලුදු වන කටයුතුවලට විරුද්ධව උන්වහන්සේ කරුණු සහිතව, සාක්ෂි ඉදිරිපත් කරමින් වඩාත් ප්‍රශස්ත මාර්ගයක වැඩ හිඳිමින් තම විරෝධය පළ කළහ. ඒ හරහා උතුරු නැගෙනහිර බෞද්ධ නටබුන්හි රැකවරණය පිණිස සුවිශාල අරගලයක් කළහ. අද පවත්නා තත්ත්වයට හෝ ඒ පළාත්හි පුරා විද්‍යා ස්ථාන ආරක්ෂා වූයේ උන්වහන්සේගේ ගවේෂණ හා වාර්තාකරණය නිසා යැයි කීම අතිශයෝක්තියක් නොවේ.
‘“පාචීන පස්ස – උත්තර පස්ස – නැගෙනහිර පළාතේ හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය” පිටු 540කින් පමණ සමන්විත අගනා දත්ත වාර්තාකරණයකි. එය ආචාර්ය එල්ලාවල මේධානන්ද නාහිමියන්ගේ සිය ගණනක් කෘති අතුරින් 1ක් පමණි. පසු කාලයකදී එය ඉංග්‍රීසි භාෂාවට පරිවර්තනය විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය එම ඉංග්‍රීසි පිටපත කෙරේ සැලකිලිමත් වීම දෙමළ ඊළාම් නිජබිම සංකල්පය වැපිරූ උදවියට මරු පහරකි. එතෙක් එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් ජාත්‍යන්තරය තුළ වපුරවනු ලබමින් සිටි සිංහල – බෞද්ධ විරෝධී මිථ්‍යා මත ප්‍රචාරණයට මේධානන්ද හිමියන්ගේ මෙම පුරාවිද්‍යා වාර්තාවේ ඉංග්‍රීසි පිටපත විශාල බාධාවක් විය.
පුරාවිද්‍යා චක්‍රවර්තී එල්ලාවල මේධානන්ද නාහිමිපාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ ජාතික සමගිය සංස්ථාපනය වන ආකාරයට තම ජීවිතයේ වැඩි කාලයක් කැප කරමින් සොයා ගැනුණු තොරතුරු ග්‍රන්ථ සියයකට ආසන්න ප්‍රමාණයක් ලියා තැබූහ. පුවත්පත්වල පළවූ ලිපි විශාල සංඛ්‍යාවකි. විශ්වවිද්‍යාල, විවිධ ආයතන හා උත්සව සභාවල මෙරට ජාතික උරුමය පිළිබඳව පැවැත්වූ දේශන දහස් ගණනකි. විශ්වවිද්‍යාල කථිකාචාර්යවරයකු, අධ්‍යාපන අමාත්‍යාංශ උපදේශකවරයකු හා පිරිවෙන් ආචාර්යවරයකු හැටියට වචනයට පෙරළිය නොහැකි අනර්ඝ සේවාවක් කළ මුන්වහන්සේගේ වටිනා පොත්පත් අතර “සිංහල උරුමය, නැගෙනහිර හා උතුරු පළාතේ සිංහල බෞද්ධ උරුමය, අප්‍රකට බ්‍රාහ්මී ලෙන් ලිපි, මාගම රාජධානිය/ රුහුණේ යටගියාව හා සෙල්ලිපි, නවතම ශිලාලිපි ගවේෂණ, උතුරු නැගෙනහිර වනගත බොදු උරුමය, බුද්ධංගල තපෝවනය, ඓතිහාසික කුඩුම්බිගල” යනාදිය වේ.
එල්ලාවල මේධානන්ද නාහිමියන්ගේ අත්‍යුදාර, අසහාය සේවාව අගයමින් වර්ෂ 2002දී මල්වතු මහා විහාරයීය ගරුතර කාරක මහා සංඝ සභාවෙන් පුරාවිද්‍යා පර් යේෂණසූරී ගෞරව නාමයද, අමරපුර චූලවංශික නිකායෙන් පුරාවිද්‍යා සාහිත්‍යසූරී ශාසනජෝති ගරු නාමයද 2005දී සංස්කෘතික අමාත්‍යාංශය මගින් දේශනේතෘ සම්මානයද 2003 අමද්‍යප රණ මයුර සම්මානයද පිරිනමනු ලැබූහ. සිදුකරන ලද අප්‍රමාණ සේවාව අගයමින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් පුරා විද්‍යා චක්‍රවර්තී ගෞරව නාමයද උන්වහන්සේ වෙත ප්‍රදානය කරන ලදී.
ශ්‍රී ලංකාවේ ජාතික සංඝ සම්මේලනයේ සභාපතිත්වය උසුලමින් මෙරට ත්‍රෛනිකායික භික්ෂුන්ට නායකත්වය දෙමින් රටේ දේශපාලන නායකත්වයට අවශ්‍ය කාලෝචිත මාර්ගෝපදේශනයන් ලබාදීමෙහිද එල්ලාවල නාහිමියෝ ප්‍රෝත්සාහි වූහ.
අසූ හතරවිය සැපිරූ අපේ එල්ලාවල මේධානන්ද නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේට ශත වර්ෂාධික කාලයක් නිදුක්ව නිරෝගීව වැඩ සිටීමට සියලු ආශිර්වාද වේවායි ප්‍රාර්ථනා කරමු.
(***)
මල්වතු මහා විහාරවාසී,
පුරා විද්‍යා විශේෂවේදී,
මැදමහනුවර ධම්මසිරි හිමි