ආචාර්ය වික්‍රමසිංහයාණෝ


මහා ලේඛක මාර්ටින් වික්‍රමසිංහ සූරීන්ගේ 131 වැනි ජන්ම දිනය 2021 මැයි මස 29 වැනි දිනට යෙදී තිබුණි. මට එතුමන් මුලින්ම හඳුනා ගන්නට වාසනාව ලැබුණේ මා විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ අවසන් වසර ගත කරන සමයේය. විශ්වවිද්‍යාල දර්ශන අංශ සඟරාවේ ඒ වසරේ සංස්කාරක වූ මා ඊට ලිපියක් සපයන ලෙසට ආරාධනා කිරීමට මගේ විශ්වවිද්‍යාල සගයකු වූ සෝමරත්න දිසානායකයන් (පසුව නීතිඥ සෝමරත්න දිසානායක) සමග එතුමන්ගේ නාවල නිවසට ගිය දවසේය. ඒ ලිපිය හා බැඳුණ මන බඳන සිද්ධියක් ඇත.

සතියකට පමණ පසු එක්තරා හැන්දෑවක සෝමෙත් මමත් අර ලිපිය ගෙන ඒමට නාවල ගෙදරට ගියෙමු. අප දැක හඬ නඟා සිනාසුණ වික්‍රමසිංහ සූරීහු අපූරු පුවතක් හෙළි කළහ.

“මං අර ලිපිය ලියාගෙන ගියා. දන්නෙම නැතුව ඒක පොතකට දික්වුණා. ඒ වෙනුවට මං වෙන ලිපියක් දෙන්නං.”

පසුව එතුමන් විසින් පළ කරන ලද ‘භව කර්ම විකාශය’ එම ලිපියෙන් විකසිත පොතයි.

වික්‍රමසිංහ සූරීන් හට පාසැල් අධ්‍යාපනය ලබාගත හැකි වූයේ පස්වැනි පන්තිය දක්වා පමණි. වත්කම නොවූ හෙයිනි. එහෙත් එතුමන් ඒ සා ප්‍රාඥයෙක් වූයේ කෙසේද? පුරාතන පොත් අතරින් දැනට අප සතුව පවතින පැරණිම පොත වන ‘සියබස්ලකර’ කෘතියේ එන ගුරු උවදෙසක් සිහිවෙයි. ඒ උවදෙස ඇතුළත් ‘සිලබස්ලකර’ ගීය මෙයයි.

‘නිසඟ සිදු පිළිබන් - උගත් ගත් විමල් නේ
නොමඳ බියොවුදු හේ වේ - වෙසෙසින් මෙකව් සපුවට’

එහි ලිහිල් තේරුම මෙයයි.

“උපන් වැටහෙන නුවණද, ශාස්ත්‍රීය පොත පත හැදෑරීම්ද, නිතර ලිවීමෙහි යෙදීමද විශාරදයකු වීමට, ප්‍රාඥයකු වීමට හේතු වෙයි.”

මාර්ටින් වික්‍රමසිංහ සූරීන් සම්බන්ධයෙන් මේ ප්‍රකාශය පරම සත්‍යයකි. එතුමෝ පාසැලින්, පිරිවෙනින්, විශ්වවිද්‍යාලයෙන් නොව පොතපතින්ම මතුවුණු උගතෙකි. බුද්ධිමතෙකි. නිර්මාණාත්මක සාහිත්‍යකරුවෙකි.

එදා අපට ලියාදීමට පොරොන්දු වූ ලිපිය දික්වීමෙන් උපන් පොත වන ‘භව කර්ම විකාශය’ කෘතියෙහි ප්‍රස්තාවනාවෙහි දැක්වෙන වික්‍රමසිංහ සූරීන්ගේම අදහස්වලින් ඉහත සඳහන් නිගමනය ඉඳුරාම තහවුරු වෙයි. එහෙයින් එම අදහස් අන්තර්ගත ප්‍රස්තාවනා පාඨය උත්පාටනය කොට දැක්වීම මැනවැයි හඟිමි.

“මම සිංහල, පාලි, සංස්කෘත, ඉංග්‍රීසි යන බස් නොදනිමි. අභිධර්මය නොදනිමි. දර්ශනය නොදනිමි. මම පණ්ඩිතයකු නොවෙමි. කිසිම විශ්වවිද්‍යාලයකින් ඉගෙන උපාධි නොලැබූවෙක්මි. පර් යේෂණාත්මක නිබන්ධන ලියා විශ්වවිද්‍යාලයක මහ ඇදුරකු ඇතුළු පණ්ඩිත පර්ෂදයකින් පශ්චාද් උපාධි නොලැබූවෙක්මි. භාවනාවෙන් ලත් ප්‍රඥාවක් මට නැත. සාහිත්‍ය කලා හා විද්‍යාත්මක දර්ශනය මගේ භාවනාවට අරමුණු කරගැනීමෙන් ලැබූ අන්තර්ඥානයක් මට ඇතැයි මම සිතමි. එයත් මගේ බොරු මානය නිසා උපන් හැඟීමක් විය හැකිය. මම පොත්පත් කියවමින් උගන්නා අතර හැට අවුරුද්දකට නොඅඩු කාලයක් ස්වාධීනව සිතන්නට වෑයම් කෙළෙමි. ඒ සා දිගු කලක් දැනුම් ලැබීමෙන් හා සිතීමෙන් ලත් අත්දැකීම්වල පිහිටා සොයා බලා සෙමෙන් මම නිගමනයන්ට බැස ගතිමි.”

ප්‍රාථමික අධ්‍යාපනයෙන්ද අතරමඟ දී හැලුණු මාර්ටින් වික්‍රමසිංහ දරුවාට කවර උසස් අධ්‍යාපනයක්ද? එහෙත් එතුමන් තරුණ වියේ සිටම යොමුවූයේ විද්‍යාත්මක චින්තනය දෙසටය. එසේ එතුමන් තුළ විද්‍යාත්මක ආකල්පයක් හැඩ ගැස්වීමට ඒකාන්ත වශයෙන්ම උපස්තම්භක වූයේ පොතපත පරීශීලනය මිස පාසැල් පන්ති කාමරය නොවේ. එතුමන්ගේ ලේඛන ජීවිතයේ ප්‍රාරම්භක අවධියේ සිටම එතුමන් විද්‍යාත්මක චින්තනය දෙසට නැඹුරුව සිටි බව සසාධකව සකාරණව සනාථ කරන පොතකි ‘ග්‍රාමීය විද්‍යා ප්‍රවේශනය’ නමැති කෘතිය. බෝවෙන රෝග අරබයා එතුමන් එහි දක්වා ඇති උපදෙස් එදාට නොව අදට වඩාත් වලංගු වන බව ඔබට ඉඳුරා වැටහෙනු ඇත.

“වසංගත රෝග භූතයන් විසින් පමුණුවනු ලැබේ යයි මුලදී කල්පනා කරන ලදී. ඊට ප්‍රතිකාර ද යකුන්ටත් ප්‍රේතයන්ටත් දොළ දී ඔවුන්ගේ උදහස සංසිඳවීම විය. මේ ළාමක මතය ඇතැම් රටවල තවමත් පවතී.”

මාර්ටින් වික්‍රමසිංහ සූරීන් 1937 පළ කළ පොතකින් එසේ ප්‍රකාශ කළේ 2021 අපේ රට ගැන සිතා දැයි නොදනිමි.

1972 ජනරජ ව්‍යවස්ථාව අනුව බිහිවුණු ආණ්ඩුව විසින් පළමු ජනාධිපති සම්මාන උළෙල පවත්වන ලදී. එම උළෙලේ දි ජනාධිපති සම්මානයෙන් පුද ලද පළමු ලේඛකයා වූයේ මාර්ටින් වික්‍රමසිංහ සූරීන් ය. සම්මාන තිළිණය සමඟ පිරිනැමුණු දහසින් බැඳි පියල්ල එහිදී එතුමා දිළිඳු සිසුවකුට ශිෂ්‍යත්වයක් පිහිටුවනු පිණිස යළි බාර කළේය.

එකල වූ විශ්වවිද්‍යාල තුනම වික්‍රමසිංහ සූරීන්ට සම්මාන ආචාර්ය උපාධිය පිරිනැමුවේය. ආචාර්ය නාමය තම නමට මුලින් නොදමන ලෙස දන්වමින් එතුමා සියලුම පුවත්පත් කතුවරයන්ට ලිපි යැවූ බව මා දැනගත්තේ එතුමන්ගෙන්ම ය. ආචාර්ය මාර්ටින් වික්‍රමසිංහ යන නාමය කිසිදා අප ඇස නුදුටුවේ එහෙයිනි.
තමා උපන් කොග්ගල නිවස ආණ්ඩුව විසින් යළි පිරිනමන දින පැවති උත්සවයේදී එතුමන් පැවසූ මේ වදන් මගේ මතකයෙන් කිසිදා නොමැකේ.

“ඔබ මට කරන මේ ගෞරවය හිමිවිය යුත්තේ මට නොවෙයි. මගේ සිංහල භාෂාවටයි. ඒ මොකද කියතොත්, මම දුකක් දැනුණ වෙලාවෙදිත් මගේ සිංහල භාෂාවෙන් ලිව්වා. සන්තෝෂයක් දැනුණ වෙලාවෙදිත් මගේ සිංහල භාෂාවෙන් ලිව්වා. ඒ නිසයි මම සිංහල ලේඛකයෙක් වුණේ. ඒක හින්දයි මේ සියලු ගෞරවය මගේ සිංහල භාෂාවට හිමිවිය යුත්තේ.“

කොළඹ හා පේරාදෙණි සාහිත්‍ය ගුරු කුල අතර පැවති නොනවතින සාහිත්‍ය කෝලාහලවලින් ඒකකෝලාහල වුණු හයවැනි දශකය තවමත් මගේ මතකයේ ඒකකෝලාහල වෙයි. නව නගර ශාලාවේ දවස පුරා පැවැති සාහිත්‍ය සම්මන්ත්‍රණයකි. හවස් වරුව වෙන්වූයේ ‘කෙටිකතා’ වෙනුවෙනි. මූලාසනයේ මාර්ටින් වික්‍රමසිංහ සූරීහුය. දේශකයා කේ.බී. සුගතදාස සූරීන්ය. මූලාසන සමාලෝචනයේදී වික්‍රමසිංහ සූරීන්ගෙන් මෙවදන් පිටවුණි.

“සුගතදාස මහත්තයා ‘කෙටිකතා’ ගැන කළේ මහා වල්බූත කතාවක්.”
කොළඹ ගුරුකුල දෙබරයට ගල වැදුණි. වියරුව ගිය කොළඹ ගුරුකුල දෙබරුන්ගේ විෂ දළ පහරින් පේරාදෙණි ගුරු කුලයට කවර ගැලවීමක්ද? මයික්‍රෆෝනයෝ බිම බදා ගත්හ. පුටුහු අහසට පිනූහ. නව නගර සභා ශාලා ජන සාගරය ආලෝළනය කළ ගුරුකුල ලෝල කල්ලෝල පාලනය කර ගත හැකි වූයේ අප්‍රමාණ ආයාසයකිනි.

(***)