ආණ්ඩුකාරවරුන් පත්කිරීමේ නිධාන කතාව


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළාත් ආණ්ඩුකාරවරුන් තිදෙනකු එම ධුරවලින් ඉවත් කොට අලුතින් තිදෙනකු එම ධුරවලට පත් කිරීම පිළිබඳව ජනමාධ්‍ය ඔස්සේ කෙරෙන සංවාදය සාම්ප්‍රදායික දේශපාලන චෝදනා හා ප්‍රතිචෝදනා ලෙස විනා සැබවින්ම එය ජනතාවට බලපාන ආකාරයට සාකච්ඡා කිරීමක් නොවේ.

විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයෝත් නීති ක්ෂේත්‍රයේ ඇතැම් පුද්ගලයෝත් ජනාධිපතිවරයාට ආණ්ඩුකාරවරුන් ඉවත් කිරීමේ බලයක් නැතැයි කියති. එවිට අලුතින් ජනාධිපතිවරයකු පත් වූ විට ආණ්ඩුකාරවරුන් මාරු කිරීම සම්ප්‍රදායකැයි එක්සත් ජාතික පක්ෂයේ ඇතැම් පිරිස් කියති.

ජනාධිපතිවරයා ඉකුත් 15 වැනිදා වයඹ පළාත් ආණ්ඩුකාර, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, නැගෙනහිර පළාතේ ආණ්ඩුකාර අනුරාධා යහම්පත් හා උතුරු පළාත් ආණ්ඩුකාර ජීවන් ත්‍යාගරාජා යන තිදෙනා එම ධුරවලින් ඉවත් කළේය.

සාමාන්‍යයෙන් උසස් තනතුරු හොබවන්නන් තනතුරුවලින් ඉවත් කිරී​මේ දී බොහෝවිට කෙරෙන්නේ අදාළ බලධාරියා විසින් ඔවුන් ඉවත් කරනු ලැබීම නොව ඔවුනට ඉල්ලා අස්වන ලෙස දැනුම් දීමය. මෙහිදී ද මෙම තිදෙනාට ඉල්ලා අස්වන ලෙස දැනුම් දුන් බවත් එහෙත් ඔවුන් ඊට අවනත නොවූ හෙයින් ඔවුන් ඉවත් කරනු ලැබූ බවත් කියවේ.

ඒ තිදෙනා වෙනුවට ඉකුත් 17 වැනිදා උතුරු පළාත සඳහා ජ්‍යෙෂ්ඨ පරිපාලන නිලධාරිනියක වන පී.එස්.එම්. චාර්ල්ස්, වයඹ පළාත් සඳහා හිටපු ඇමැතිවරයකු වන ලක්ෂ්මන් යාපා අබේවර්ධන හා නැගෙනහිර පළාත සඳහා වෘත්තීය සමිති නායකයකු වන ලංකා කම්කරු කොංග්‍රසයේ සභාපති සෙන්දිල් තොන්ඩමාන් යන තිදෙනා පත් කරනු ලැබූහ. චාර්ල්ස් මහත්මිය මීට පෙර ද 2019 දෙසැම්බර් 30 වැනිදා සිට 2021 ඔක්තෝබර් 11 වැනිදා දක්වා උතුරු පළාතේම ආණ්ඩුකාරවරිය ලෙස කටයුතු කළාය.

ජනාධිපතිවරයාට පළාත් ආණ්ඩුකාරවරයකු ඉවත් කිරීමට නීතිමය ප්‍රතිපාදන නැතැයි ඇතැමුන් කරන ප්‍රකාශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව හා අතීත අත්දැකීම් අනුව පිළිගත නොහැකි තර්කයකි. ඒ පිළිබඳව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා​වේ වගන්තිය මෙසේය.

‘‘ජනාධිපතිවරයා විසින් සිය අත්සන යටතේ වූ අධිකාර පත්‍රයක් මගින් ආණ්ඩුකාරවරයා පත් කරනු ලැබිය යුතු අතර, ජනාධිපතිවරයාගේ ප්‍රසාදය ඇති තාක් කල් 4 (ආ) ව්‍යවස්ථාවට අනුකූලව ඔහු විසින් ධුරය දැරිය යුත්තේය.’’

මෙහි දී ජනාධිපතිවරයාගේ බලය ඉතා පැහැදිලිය. ආණ්ඩුකාරයාට ධුරයේ සිටිය හැක්කේ ‘‘ජනාධිපතිවරයාගේ ප්‍රසාදය ඇති තාක් කල්’’ පමණි. එසේ නම් ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ආණ්ඩුකාරවරයකුට ඉල්ලා අස්වන ලෙස දැනුම් දිය හැකිය. එය ඉටු නොවුවහොත් ඔහුට ආණ්ඩුකාරයා ඉවත් කළ හැකිය.

එසේම අලුතින් ජනාධිපතිවරයකු පත් වූ විට ආණ්ඩුකාරවරුන් වෙනස් කිරීම සම්ප්‍රදායකැයි එජාපයේ ඇතැමුන් කරන ප්‍රකාශය ද පිළිගත හැක්කක් නොවේ. එය සත්‍යයක් නම් මෙතෙක් බලයට පත් වූ සෑම ජනාධිපතිවරයකු හෝ ඔවුන්ගේ වැඩි දෙනකු හෝ බලයට පත් වී ටික දිනකින් ආණ්ඩුකාරවරුන් වෙනස් කොට තිබිය යුතුය. එසේ සිදු වී ඇත්තේ එක් අවස්ථාවක දී පමණි. ඒ 2015 දීය. 2015 ජනවාරි මාසයේ බලයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එම මාසයේදීම පළාත් ආණ්ඩුකාරවරුන් නව දෙනාම ඉවත් කොට අලුතින් නව දෙනකු එම ධුරවලට පත් කළේය.

ඇතැම් ජනාධිපතිවරුන් බලයට පත් වී ටික දිනකින් ඇතැම් පළාත්වල පමණක් මෙම වෙනස සිදු වී ඇත.

ඉන් පෙනෙන්නේ එවැනි සම්ප්‍රදායක් තිබී නැති බවයි. එවැනි සම්ප්‍රදායක් තිබුණේ නම් ඉකුත් වසරේ ජූලි මාසයේ ජනාධිපති ධුරයට පත් වූ රනිල් වික්‍රමසිංහ මහතා එම සම්ප්‍රදාය ඉටු කිරීමට මාස දහයක් ගත වන තෙක් බලා සිටිය යුතු නැත.

පළාත් ආණ්ඩුකාරවරයා ඉටු කරන්නේ මධ්‍යම විධායකයේ (ජනාධිපතිවරයාගේ) නියෝජිතයා වශයෙන් කටයුතු කිරීමය. එය පළාත් සභා පිහිටුවීමේ අරමුණට ඇතැම් විට පටහැනි විය හැකිවුවද ඒ අර්ථයෙන් ද ජනාධිපතිවරයාට ඕනෑම අවස්ථාවක ආණ්ඩුකාරවරයකු ඉවත් කොට වෙනත් අයකු එම ධුරයට පත් කළ හැකිය.

කෙසේ වෙතත් දැනට කෙරී ඇති වෙනස පරිපාලනමය අවශ්‍යතාවක් අනුව නොව එජාපයේ දේශපාලන අරමුණු අනුව සිදු වූවක් බව පෙනේ. 2020 මහ මැතිවරණයෙන් එජාපයට දිස්ත්‍රික් මට්ටමින් එකදු ආසනයක් හෝ දිනා ගැනීමට නොහැකි වීම නිසා එහි නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂය විසුරුවා හරින්නට අදහස් කළ බව එම පක්ෂයේ ප්‍රධානියකු වන නවීන් දිසානායක මහතා පසුගිය දා පවසා තිබිණි. එහෙත් වික්‍රමසිංහ මහතා පසුගිය වසරේ මැයි මාසයේ දී අගමැතිධුරයටත් ජූලි මාසයේ දී ජනාධිපති ධුරයටත් පත් වීමෙන් පසු යළි ඔහු තුළ හා ඔහුගේ පක්ෂය තුළ බලය පිළිබඳ බලාපොරොත්තු ඇති වී තිබේ.

එජාප හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පිළිබඳව පසුගිය වසරේ ඇති වූ දැඩි මහජන අප්‍රසාදය  තවමත් පවතින තත්ත්වය යටතේ එම අප්‍රසාදයට හේතු වූ ආර්ථික අර්බුදයටම මුවා වී පළාත් පාලන මැතිවරණ කල් දැමීමට එජාප කටයුතු කළේ ද එම නව බලාපොරොත්තු නිසාය. එනම් තමන් ශක්තිමත් වූ දිනෙක මැතිවරණ පැවැත්වීමේ බලාපොරොත්තුව නිසාය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ආරම්භ කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වූ වැඩ පිළිවෙළ නිසා දැනට ඇති වී තිබෙන තාවකාලික ආර්ථික සහනදායි තත්ත්වයේ මුළු ගෞරවයම එජාප මේ වනවිට අත්පත් කරගෙන සිටින්නේ ද ඒ අපේක්ෂාව නිසාය. සිදුවී තිබෙන්නේ කුමක්දැයි කිසිදු අවබෝධයක් නැති නිසාදෝ පොදුජන පෙරමුණ ද එම සහනදායි තත්ත්වය එජාපය නිසා ඇති වුවකැයි සිතයි.

දැන් එජාප උත්සාහ කරන්නේ රාජ්‍ය යන්ත්‍රය ක්‍රමයෙන් පොදුජන පෙරමුණේ ග්‍රහණයෙන් මුදාගෙන තමන්ගේ අතට ගැනීමට හා සමඟි ජන බලවේගය දියකර එහි ශක්තිය තමන් තුළට උකහා ගැනීමටය. ආණ්ඩුකාරවරුන් වෙනස් කිරීම ද රාජ්‍ය යන්ත්‍රය වෙනස් කිරීමේ අවශ්‍යතාව අනුව සිදුවන්නක් බව පෙනේ. උතුරු පළාතට උතුරේ ජනතාව අතර ප්‍රසාදයක් ඇති පරිපාලන නිලධාරිනියක් පත් කරනු ලැබ සිටී. ඒ සමගම ජනාධිපතිවරයා ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම සඳහා යැයි දෙමළ පක්ෂ සමඟ සාකච්ඡා ආරම්භ කොට ඇත. එම සාකච්ඡා පිළිබඳව දෙමළ පක්ෂවලට එතරම් විශ්වාසයක් නැති වුවද මෙවැනි කටයුතු මගින් ඉදිරි දේශපාලන අවශ්‍යතා සඳහා දෙමළ  නායකයන් හා දෙමළ ජනතාවට සමීප වීමට ජනාධිපතිවරයා උත්සාහ කරනවා විය යුතුය.

ජනගහන විශාලත්වය අතින් නැගෙනහිර පළාතේ සිංහල, දෙමළ හා මුස්ලිම් ජනතාව ආසන්න වශයෙන් සමානය. මේ නිසා එහි ආණ්ඩුකාරවරුන් හා මහ ඇමැතිවරුන් පත් කිරීමේ දී සැමදාම පාහේ ගැටලු මතුවී තිබේ. මෙවර ජනාධිපතිවරයා එම පළාතේ ආණ්ඩුකාරවරයා වශයෙන් පත් කොට ඇත්තේ එම ජන කොට්ඨාස තුනටම අයත් නොවන වතුකරයේ  නායකයෙකි. එමඟින් නැගෙනහිර ජනතාවගේ අප්‍රසාදයෙන් ගැළවීම හා වතුකරයේ  ජනතාවගේ ප්‍රසාදය දිනා ගැනීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව විය යුතුය.

ජනාධිපතිවරුන්ගේ හා ආණ්ඩු පක්ෂයේ දේශපාලන අවශ්‍යතා අනුව ආණ්ඩුකාරවරුන් පත් කරනු ලැබූ නිසාත්, එසේ පත් කරනු ලැබූ ආණ්ඩුකාරවරුන් ආණ්ඩු පක්ෂයේ අවශ්‍යතා අනුව කටයුතු  කරන්නට යාම නිසාත් පළාත් ආණ්ඩුකාර තනතුරු බොහෝ විට මතභේදයට ලක්වී තිබේ. දකුණු හා වයඹ පළාත් ආණ්ඩුකාරවරුන්  1993  පළාත් සභා මැතිවරණයෙන් පසු ප්‍රධාන ඇමැතිවරුන් පත් කිරීමේ දී ඇති වූ අවුල එසේ ඇති වූ පළමු මත භේදයයි.

එම මැතිවරණයේ දී එම පළාත් සභා දෙකේම පොදුජන එක්සත් පෙරමුණ හා ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ හවුලේ දිනාගත් ආසන සංඛ්‍යාව එජාප දිනාගත් ආසන සංඛ්‍යාවට වඩා වැඩි විය. එහෙත් දකුණු පළාත් ආණ්ඩුකාර එම්.ඒ. බාකීර් මාකර්  මහතාත් දකුණු පළාතට එජාපයේ එම්.එස්. අමරසිරි මහතාත් වයඹ ආණ්ඩුකාර මේජර් මොන්ටේගු ජයවික්‍රම මහතාත් වයඹට ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතාත් මහ ඇමැතිවරුන් ලෙස පත් කළහ.

මෙය නීති විරෝධී යැයි 1993 ඔක්තෝබර් 8 වැනිදා අභියාචනාධිකරණය තීන්දු කළේය. ඉන්පසු ජනාධිපති ඩී.බී. විජේතුංග මහතා එම වසරේ දෙසැම්බර් 31 වැනිදා බාකීර් මාකර් මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කළේය. මෙය ආණ්ඩුකාරයා නෙරපීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ බලය පෙන්වන උදාහරණයකි. ඊළඟට එදිනම පත්වූ ආණ්ඩුකාර මර්වින් ජයරත්න මහතා දකුණු පළාත් සභාව විසුරුවා හැර 1994 මාර්තු 24 වැනිදා යළිත් පළාත් සභා මැතිවරණය පැවැත්වීය. එයද එජාප දේශපාලන අරමුණෙන් ආණ්ඩුකාරවරයකු යොදා ගැනීමකි. එහෙත් එමඟින් එදා  සිදු වූයේ පොදුජන එක්සත් පෙරමුණේ ස්ථාවර පාලනයක් ඇතිවීමය.

1993 මැයි 21 වැනිදා පොදුජන එක්සත් පෙරමුණේ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ද බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමැතිනිය බවට පත් වූයේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණේ සහාය ඇතිවය. 1994 මැද භාගය වනවිට එම පක්ෂ දෙක අතර මතභේද ඇති විය. ඒ අනුව පළාත් සභාවේ බලය තමන්ට අහිමි වනු ඇතැයි සිතූ කුමාරතුංග මහත්මිය පළාත් සභාව විසුරුවා හරින්නට ආණ්ඩුකාර එස්. ෂර්වානන්ද මහතාට උපදෙස් දෙනු ඇතැයි රාවයක් පැතිර ගියේය. එවිට පළාත් සභාව විසුරුවා හැරීම වළක්වා සභාවේ බලය එජාපයට ලබා ගැනීමට ජනාධිපති ඩී.බී. විජේතුංග මහතා 1994 ජූනි  10  වැනිදා ෂර්වානන්ද මහතා ආණ්ඩුකාර ධුරයෙන් ඉවත් කොට තම පක්ෂයේ අයකු වූ ඩී.එම්. ස්වාමිනාදන් මහතා පසු දිනම එම ධුරයට පත් කළේය. මෙයද පක්ෂ දේශපාලනය වෙනුවෙන් ආණ්ඩුකාර පදවිය පාවිච්චි කිරීමකි. කුමාරතුංග මහත්මීයද කරන්නට ගියේ ද එවැන්නකි.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 2009 සිට 2015 තමන් බලයෙන් ඉවත් වන තෙක්ම සිවිල් පුද්ගලයකු උතුරු පළාත් ආණ්ඩුකාර ධුරයට පත් කරන ලෙසට  දෙමළ පක්ෂ කළ ඉල්ලීමට එකඟ නොවුයේ ද එමඟින් දකුණට පණිවිඩයක් දී දේශපාලන වාසි ගැනීමටය. මෙසේ බලයේ සිටි සියලු ජනාධිපතිවරුන් ආණ්ඩුකාර පදවි පක්ෂ දේශපාලනය වෙනුවෙන් යොදා ගත්හ. දැන් රනිල් වික්‍රමසිංහ මහතා කරන්නේද එයමය. දැනට පළාත් සභා යාන්ත්‍රණය තිබෙන්නේ ආණ්ඩුකාරවරුන් යටතේය. ආණ්ඩුකාර තනතුරුවලට එජාපයේ පුද්ගලයන් පත්කර ගත් විට ඉදිරි මැතිවරණවලදී එම යාන්ත්‍රණය එජාපයට වාසිදායක ලෙස යොදා ගත හැකිවනු ඇතැයිද ඇතැම්හු තර්ක කරති.

ආණ්ඩුකාරවරුන් මධ්‍යම ආණ්ඩුවේ යහපතට වඩා එම ආණ්ඩුවේ ආණ්ඩු පක්ෂයේ යහපත වෙනුවෙන් කටයුතු කිරීම පළාත් සභාවල අරමුණ වූ බලය බෙදීමට එරෙහි තත්ත්වයකි. පළාත් සභාවලින් ප්‍රකාශිත බලය බෙදීමේ සංකල්පය අනුව ආණ්ඩුකාරයාගේ කාර්ය භාරය වන්නේ රටේ භෞමික අඛණ්ඩතාවත් නීතියේ සීමාව තුළ උපරිම බලය බෙදීමත් අතර තුලනයක් පවත්වාගෙන යාමය. එහෙත් එම තනතුරු  බොහෝ විට ඒ වෙනුවට ආණ්ඩු පක්ෂවල දේශපාලන මෙවලමක් බවට පත්වේ.

(***එම්.එස්.එම්.අයුබ්)