ආණ්ඩුවට අභියෝග තුනක්


ලංකාවේ ආර්ථික සහ දේශපාලන අර්බුදය උත්සන්න වී තිබේ. එනිසා ලාංකේය ජාතිය අද වන විට වේදනාවට පත්ව ඇත. දසක හතකට වැඩි කාලයක් මුළුල්ලේ මෙරට දේශපාලන නායකයන් අනුගමනය කළ වැරදි ප්‍රතිපත්ති සහ වැරදි ආර්ථික කළමනාකරණය හේතුවෙන් මෙවැනි අර්බුදයක් හටගෙන තිබේ. දූෂණය, වංචාව සහ නාස්තිකාර වියදම් ද ඊට ඇතුළත් විය යුතුය. මේ සියල්ලෙහි එකතුව 2022 දී ප්‍රකාශයට පත් විය. ඉන්ධන, විදුලි බලය සහ ගෑස් නොමැති තත්ත්වයක් රටේ ඇති වූයේත් ආහාරපානවල මිල ගණන් ශීඝ්‍ර ලෙස ඉහළ ගියේත් එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඉතාමත් වේදනාකාරී ජීවන රටාවකට ලාංකිකයෝ මුහුණ දෙමින් සිටිති.

තරුණ අරගලකරුවන් ඉල්ලා සිටියේ රටට අලුත් ආරම්භයකි. පවතින ක්‍රමය වෙනස් කිරීමේ අවධාරණය ද ඔවුන්ගේ අරගලයේ ප්‍රධාන ඉල්ලීමකි. එහෙත් නව අගමැතිවරයා පත් කළ ආකාරය සහ අලුත් කැබිනට් මණ්ඩලය පත්කරමින් සිටින ස්වභාවය අනුව පැහැදිලි වන්නේ ජනතා අරගලකරුවන්ගේ ඉල්ලීම් ගණනකට ගෙන නැති බවකි. ක්‍රමයේ වෙනසක් වෙනුවට පුද්ගලයන් වෙනස් කිරීමක් පමණක් සිදුව ඇත.

රටේ ආර්ථිකයේ උද්ගතව ඇති අර්බුදය විසඳීමට අවැසි දීර්ඝකාලීන විසඳුම් වෙනුවෙන් මේ පත්කිරීම මගින් සුදුසු පරිසරයක් නිර්මාණය නොවන බව පළමුව කිව යුතුය. එහෙත් ආර්ථිකය කඩාවැටීමේ වේගය අවම කිරීමටත් නැවත වතාවක් ආර්ථිකය ගොඩනැගීමටත් අදාළ කෙටිකාලීන ක්‍රියාමාර්ගයක් හැටියට මෙම පත් කිරීම සැලකිය හැකිය. කෙසේවෙතත් එය තීරණය වන්නේ පූර්ණ අමාත්‍ය මණ්ඩලය පත් කිරීමෙන් පසු මේ අර්බුදය විසඳීම සඳහා කොතෙක් දුරට අවංකව කටයුතු කරන්නේද යන්න මතය. ඩීල් දමමින් මිනිසුන් තවදුරටත් රැවටීමට කටයුතු කළහොත් රටත් ආර්ථිකයත් සම්පූර්ණයෙන්ම විනාශ වීම කිසිලෙසකවත් නතර කළ නොහැකි වනු ඇත.

ක්‍රමයේ වෙනසක් ගැන කතා කිරීමේ දී වඩාත් වැදගත් වන්නේ දේශපාලන ක්‍රමයේ කරන වෙනසකට වඩා පරිපාලන අංශයේ සිදුකරන වෙනසකි. ඒ, මෙරටේ දූෂණය සිදු වූ සෑම තැනකම දේශපාලනඥයන් මෙන්ම නිලධාරීන් ද සිටි හෙයිනි. එබැවින් දූෂණයට සම්බන්ධ විය හැකි නිලධාරීන්ට ඒ සඳහා ඇති ඉඩ අසුරා දැමීම අවශ්‍යයෙන්ම කළ යුතුය. බහුතරයක් ජනතාව විශේෂයෙන්ම තරුණ ප්‍රජාව ක්‍රමයේ වෙනසක් ඉල්ලා සිටින්නේ ද ඒ අරබයාය. අලුත් අගමැතිවරයා සහ අමාත්‍ය මණ්ඩලය පත් කිරීම තාවකාලික පැලැස්තර විසඳුමක් නොවිය යුතුය යන්න මගේ විශ්වාසයයි. එනිසා කෙටි කාලයක් ඇතුළත මහ මැතිවරණයක් පවත්වා සැබෑවටම මේ රට පාලනය කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කිරීමට රටේ ජනතාවට ඉඩ දිය යුතුය.

මහින්ද රාජපක්ෂ හිටපු අගමැතිවරයාගේ ආණ්ඩුව ගැන රටේ ජනතාවට විශ්වාසයක් නොතිබිණි. විශ්වාසයක් නැති තැන වෙළෙඳපොළ ආර්ථිකයක් ගොඩනැගිය නොහැකිය. විශ්වාසය සහ විශ්වාසනීයභාවය යනු සක්‍රීය වෙළෙඳපොළ ආර්ථිකයක් සඳහා පැවතිය යුතු කොන්දේසිය. ඒ අරබයා ලොව බොහෝ රටවල් අවැසි ක්‍රියාමාර්ග ගනියි. කාලයක් මුළුල්ලේ ශ්‍රී ලංකා රුපියල වේගයෙන් අවප්‍රමාණය වෙමින් තිබේ. එය පාලනය කිරීම සඳහා මහ බැංකුව ගනිමින් සිටින ක්‍රියාමාර්ග හේතුවෙන් රුපියල තවදුරටත් අවප්‍රමාණය වීමට පිළිවන.

ආර්ථිකයේ දරා ගැනීමට ඇති හැකියාවට අදාළ මූලික කරුණු තුනක් අපි අමතක කළෙමු. එය මෙවැනි ආර්ථික අර්බුදයක් ඇතිවීමට බලපෑ ප්‍රධාන හේතුවකි. පළමුවැන්න නම්, ආහාර සුරක්ෂිතතාවයි. දෙවැන්න, බලශක්ති සුරක්ෂිතතාවයි. තෙවැන්න, සෞඛ්‍ය සුරක්ෂිතතාවයි. ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නම් අප මෙම අංශත්‍රය ගැන සැලකිලිමත් විය යුතුය. ආහාර සුරක්ෂිතතාව තහවුරු කර ගැනීම වෙනුවෙන් ලොව කිසිදු රටක් භාවිත නොකරන ආර්ථික මූලධර්ම ලංකාව ක්‍රියාත්මක කළේය. ආහාර සුරක්ෂිතතාව අඩු වන පරිදි අපනයන වර්ධනය කරන්නේ නැත. රටේ කවර අර්බුදයක් හට ගත්තද මිනිසුන්ට ආහාරපාන අවහිරයකින් තොරව ලබා ගත හැකි ක්‍රමවේදයක් රටකට තිබිය යුතුය. අසල්වැසි ඉන්දියාව ඊට හොඳ නිදසුනකි. එරටේ කුමන ප්‍රශ්න තිබුණද නොකා නොබී මිනිසුන් මියැදෙන සිදුවීම් ඉතාමත් විරලය. එහෙත් ලංකාවේ ආහාර සුරක්ෂිතතාව තිබෙන්නේ ඉතාම අවදානම් තත්ත්වයකය. කොවිඩ් 19 වසංගතය හමුවේ ආර්ථිකය මන්දගාමී වී තිබියදී රසායනික පොහොර භාවිතය තහනම් කිරීමට ගත් තීරණය, මෙරටේ ආහාර සුරක්ෂිතතාව අවදානමේ හෙළීමට සෘජුවම දායක විය.

අපේ බලශක්ති සුරක්ෂිතතාව ද පතුලටම ඇද වැටී ඇත. එවැනි පසුබිමක ආයෝජකයන් රටට පැමිණෙන්නේ නැත. සෞඛ්‍ය සුරක්ෂිතතාව තිබෙන්නේ ද අර්බුදයකය. එබැවින් අලුත් ආණ්ඩුව වහාම ආහාර, බලශක්ති සහ සෞඛ්‍ය සුරක්ෂිතතාව ඇති කිරීම සඳහා අවැසි ක්‍රියාමාර්ග ගත යුතුය. ඒ, සැමවිටම රටේ අභ්‍යන්තර ආර්ථික ශක්තිය ආරක්ෂා කර ගත යුතු නිසාය. මානව සම්පත වර්ධනය කර ගැනීමද කළ යුතුය. මේ දෙඅංශය ශක්තිමත් කර නොගත හොත් විදේශ පාර්ශ්ව සමග එළැඹෙන ගිවිසුම් ඔවුන්ට වාසි වන පරිදි සකස් කිරීමට අපට සිදුවනු ඇත. විවෘත ආර්ථිකය වෙනුවට රටට වාසිදායක වන තර්කානුකූල විවෘත ආර්ථිකයක් ගොඩනැගීමද නව රජය හමුවේ ඇති අභියෝගයකි. පවතින සමාජ අසහනය අවසන් කිරීමට නම් දීර්ඝකාලීන වැඩපිළිවෙළකට යා යුතුය.

පවතින තත්ත්වය හමුවේ විදේශ විනිමය වැඩිකර ගැනීම සඳහා අනුගමනය කළ හැකි ක්‍රම දෙකක් තිබේ. එකක් නම්, මෙතෙක් කළ පරිදි ණය ගැනීමය. දෙවැන්න, ව්‍යාපාර දියුණු කිරීමය. එයින් පළමුවැන්න, එනම්, ණයට ගැනීම යටතේ ශ්‍රී ලංකාව මේ වන විටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටියි. රටවල ආර්ථික කඩාවැටුණු පසු ණය ලබා දීම මගින් ඒවා යළි යථා තත්ත්වයට පත් කරන්නේ කෙසේද යන්න ගැන එම අරමුදල නිදසුන් සපයා ඇත. එහෙත් එවැනි ණය ලබා දීමකදී මූල්‍ය අරමුදල අභ්‍යන්තර වශයෙන් කළ යුතු ප්‍රතිසංස්කරණ පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කරයි. බදු ඉහළ නැංවීම, අනවශ්‍ය වියදම් කපා හැරීම සහ සහනාධාර කප්පාදු කිරීම එවැනි සුප්‍රකට නිර්දේශ අතර කිහිපයකි. මෙහිදී කෙටිකාලීන විසඳුමක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන අතරතුර බහුපාර්ශ්වීය ණය ගැනීම වෙනුවෙන් රටවල් සමග සාකච්ඡා කළ යුතුය. ඒ අරබයා මේ වන විටත් ජපානය, කොරියාව, සිංගප්පූරුව සහ චීනය වැනි රටවල් සමග සාකච්ඡා ආරම්භ කර තිබේ. එහිදී ආහාර බලශක්ති සහ සෞඛ්‍ය යන අංශවල සුරක්ෂිතතාව වෙනුවෙන් වෙන් වෙන් වශයෙන් ණය ගැනීමට පිළිවන.

අපට ණය දෙන සෑම රාජ්‍යයක්ම ඔවුන්ට වාසිසහගත වන ව්‍යාපාරික පරිසරයක් සකසා ගැනීම අපේක්ෂා කරයි. මන්ද, එම රටවල පුරවැසියන් වෙහෙස මහන්සියෙන් ඉපයූ ධනය අපට ණය වශයෙන් ලබා දෙන නිසාය. එබැවින් එවැනි ණය ගනුදෙනුවලදී උපක්‍රමශීලී වීමට අප වග බලාගත යුතුය. රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා ලංකා ආර්ථිකයේ දරාගැනීමේ ශක්තිය අමතක කරමින් තීන්දු තීරණ ගත් අවස්ථා තිබිණි. එහෙත් දැන් පවතින තත්ත්වය හමුවේ ඔහුට එසේ කිරීමට හැකියාවක් නැත. එසේම අප මේ අවස්ථාවේදී ලෝකයට පණිවුඩයක් දිය යුතුය. එනම් ලංකාව ව්‍යාපාර කටයුතු සඳහා විවෘත බවත් එබැවින් ව්‍යාපාර ආරම්භ කිරීමට පැමිණෙන ලෙසත්ය.

ව්‍යාපාර සඳහා හොඳ පසුබිමක් ගොඩනැගීමට අදාළව සම්පූර්ණ කළ යුතු පළමු කොන්දේසිය නම්, දේශපාලන ස්ථාවරත්වය සහතික කිරීමය. දෙවැන්න, මෙරටේ ආයෝජනය කිරීමට ඉදිරිපත් වෙන ආයෝජකයන්ට ඒ වෙනුවෙන් ලැබෙන ලාභය ආකර්ෂණීය එකක් විය යුතුය. ඒ සඳහා නිෂ්පාදන පිරිවැය අඩු විය යුතුය. ඒ අරබයා උද්ධමනය පාලනය කිරීම අත්‍යවශ්‍යය. උද්ධමනය පාලනය කිරීමට නම් යට කී ආහාර ඇතුළු අංශත්‍රයේ සුරක්ෂිතතාව තහවුරු කළ යුතුය.

ආර්ථික කළමනාකරණ උපදේශක සභාවක් පිහිටුවිය යුතුය යන ඉල්ලීම ද ඉදිරිපත් වෙයි. එය නොකර පෙර පරිදි පැලැස්තර විසඳුම් යොදමින් මේ අර්බුදය විසඳීමට යොමු වුවහොත් නව ආණ්ඩුව පත්කර ගැනීමේ අරමුණු බිඳවැටිය හැකිය.

අපනයන ආදායම් වැඩිකර ගැනීමට අවශ්‍ය පියවර ගැනීමද වැදගත්ය. ඒ අරබයා ගත හැකි පහසුම සහ අමතක නොකළ යුතු ක්‍රියාමාර්ගයක් වන්නේ සංචාරකයන් ගෙන්වීම ඉහළ නැංවීමය. ලොව පුරාම මේ වන විට සංචාරක ව්‍යාපාරය වර්ධනය වෙමින් තිබේ. මාලදිවයින, වියට්නාමය, ඉන්දුනීසියාව සහ මලයාසියාව වැනි රටවල තිබූ තත්ත්වයටත් වඩා සංචාරක කර්මාන්තය දියුණු වී ඇත. එබැවින් මේ අවස්ථාවේදී වඩාත් වැදගත් වන්නේ ලංකාව ද හැකි පමණින් සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට කටයුතු කිරීමය. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පිණිස ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න ඉතාමත් තර්කානුකූල ප්‍රවේශයකින් සාකච්ඡා කළ යුතුය. ඒ යටතේ සංචාරක ගමනාන්ත සුරක්ෂිත කිරීමට අදාළ පියවර ගැනීම වැදගත්ය. සංචාරකයන් වියදම් කරන මුදල්වලට සරිලන ආකාරයේ වටිනාකමක් ඔවුන්ට ලැබෙන ආකාරයේ නිෂ්පාදන සහ ක්‍රියාකාරකම් ගොඩනැගිය යුතුය. ගුණාත්මක බවින් යුතු සත්කාරක සේවා ලබා දීමද වැදගත්ය.

ලංකාව යනු විදේශ විනිමය මත යැපෙන රටකි. ඒ, කෘෂිකර්මය, බලශක්තිය ආදී බොහෝ අංශවල අභ්‍යන්තර සුරක්ෂිතතාවක් ගොඩනගා ගැනීමට අප අපොහොසත් වී ඇති නිසාය. මෙපරිදි අපට අනිවාර්යයෙන්ම විදේශ විනිමය මත රඳා පැවතීමට සිදුව ඇති සන්දර්භයක සංචාරක කර්මාන්තය වෙනුවෙන් ආයෝජනය කිරීම අවශ්‍යයෙන්ම කළ යුතුය. එහෙත් එය ඵලදායක අයුරින් කළ යුතුය. විදේශ ව්‍යාපාරිකයන් ආකර්ෂණය කර ගැනීමද අවැසිය. එසේම දේශීය කෘෂිකර්මය දියුණු කිරීමත් කෘෂිකර්මය කේන්ද්‍ර වූ අපනයන වර්ධනය කිරීමත් කළ යුතුය.

ප්‍රතිපත්ති සම්පාදනයට අප දක්ෂ ජාතියක් වුවත් එසේ හදන ප්‍රතිපත්ති නිශ්චිත සැලසුම් සහිතව ක්‍රියාත්මක කිරීමට දක්ෂතාවක් නැත. හොඳ ආර්ථික සහ සංවර්ධන ප්‍රතිපත්ති සකස් කළ ලෝකයේ හොඳම රටවල් අතර ලංකාව ද සිටියි. වරෙක අපි ප්‍රතිපත්ති සම්පාදනය සඳහා නොබෙල් ත්‍යාගය දිනූ ආර්ථික විද්‍යාඥයන් ද ගෙන්වූයෙමු. එහෙත් ඒ කිසිවක් නිවැරදිව ක්‍රියාත්මක නොකළෙමු.

පවතින ආර්ථික අර්බුදය විසඳීම සඳහා පළමුව සැලැස්මක් සකස් කළ යුතුය. ඊට මා පූර්වයෙන් සඳහන් කළ ආහාර, බලශක්ති සහ සෞඛ්‍ය යන අංශත්‍රයේ සුරක්ෂිතතාව සහතික කිරීමට අදාළ ක්‍රියාමාර්ග ඇතුළත් කළ යුතුය. එසේම රටේ ශක්තිමත් ආයෝජන පන්තියක් නිර්මාණය කළ යුතුය. ඔවුන් රටට ආදරය කරන සහ රටේ සංවර්ධනය ඉලක්ක කරගත් පිරිසක් වීමද වැදගත්ය. එම පන්තිය නියෝජනය කරන්නන් දේශපාලනඥයන් සමග එකතු වී සොරකම් කරන පිරිසක්ද නොවිය යුතුය. පාලනය කෙරෙහි වන ජනතා විශ්වාසය ඇතිකර ගැනීමත් ඒකාධිකාරයක් ඇති වීම වැළැක්වීමත් හොඳ වෙළෙඳපොළ ආර්ථික ක්‍රියාකාරීත්වයකට අවශ්‍යය. තරගකාරී වෙළෙඳපොළක් බිහි කිරීම ද රජයේ වගකීමකි.

(*** සකච්ඡා සටහන - උපුල් වික්‍රමසිංහ)