‘‘පාර රාජ්‍යය පරාජය නොකළහොත් ලුමුම්බාගේ, සුකර්ණෝගේ, අයන්ඩේගේ ආණ්ඩුවලට වූ දේ මෙහිද වනු ඇත.’’
මේ මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සිය ෆේස්බුක් පිටුවේ කර ඇති සටනකි.
දේශප්‍රිය මහතා ජාතික ජන බලවේගය බලයට පත් කිරීම සඳහා මතවාදීමය වශයෙන් විශාල වැඩ කොටසක් ඉටු කළ අයෙකි. ඔහු මෙම සටහනෙන් පාර රාජ්‍යය යන්නෙන් කුමක් අදහස් කරන්නේ දැයි හරියටම කීම දුෂ්කරය. එහෙත් ඔහු ඇතුළු බොහෝ දෙනකු මෙම පදය භාවිත කරන්නේ ඉංග්‍රීසියෙන් Deep state යන පදය වෙනුවටය. යන්න නම් ඉතා පැහැදිලිය.
මෙම පාර රාජ්‍ය යන පදය භාවිත කරන වැඩි දෙනා පසුගිය කාලයේ ජාතික ජන බලවේගය බලයට පත් කිරීම සඳහා වඩාත් පැහැදිලිව කියන්නේ නම් පවතින දූෂිත සමාජ, ආර්ථික හා දේශපාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා මතවාදීමය වශයෙන් කටයුතු කළ හා කරන අයයි.
දේශප්‍රිය මහතාගේ ෆේස්බුක් සටහනට සිය ගණනක් දෙනා ප්‍රතිචාර දක්වා තිබිණි. එම සටහන අනුමත කරමින් ප්‍රතිචාර දක්වා තිබූ බහුතරයක් දෙනාද ජාතික ජනබලවේගයට පසුගිය මැතිවරණවල දී සහයෝගය දුන් බවත් පෙනෙන්නට තිබේ. ඔවුන්ගේ පොදු මතය වී ඇත්තේ ආණ්ඩුව තමන්ට එරෙහි පිරිස් සම්බන්ධයෙන් ‘‘තද මදි’’ බවය.
Deep state යන්නට අන්තර්ජාලයේ විවිධ නිර්වචන දන්නට ලැබේ. එහෙත් ඒ සියල්ලේ හරය වී ඇත්තේ රාජ්‍ය තුළම රාජ්‍යයේ දේශපාලන නායකත්වයට එරෙහිව තවත් රාජ්‍යයක් සේ කටයුතු කරන කණ්ඩායමක් යන්නය. විකිපීඩියාහි එක්තරා ලිපියක එය හඳුන්වා තිබුණේ ‘‘පාර රාජ්‍යය යනු තම න්‍යාය පත්‍ර හා ඉලක්ක සපුරා ගැනීමෙහිලා රාජ්‍ය දේශපාලන නායකත්වයෙන් ස්වාධීනව ක්‍රියා කරන රහසිගත හා අනවසරයෙන් ක්‍රියා කරන බලයේ ජාලවලින් සැදුම්ලත් එක්තරා ආකාරයක ආණ්ඩුවක්’’ යනුවෙනි.
මෙරියම්- වෙබ්ස්ටර් ශබ්ද කෝෂයේ මෙම පදය විස්තර කරනු ලැබ ඇත්තේ ‘‘ආණ්ඩුවේ ප්‍රතිපත්ති සම්පාදනයේ දී බලපෑම් කිරීම සඳහා අනීතිකව ක්‍රියා කරන්නාවූද, ජනතාව විසින් තෝරා පත් කර නොගත්තාවූ ද රාජ්‍ය නිලධාරීන් හා ඇතැම් විට පෞද්ගලික අංශයේ පිරිස්වලින් සැදුම්ලත් ජාලයකි.’’යනුවෙනි.
දේශප්‍රිය මහතා සඳහන් කරන ලුමුම්බා, සුකර්ණෝ හා අයන්ඩේ යන තිදෙනා දැනට මෙරට මිය යමින් සිටින පරම්රපාවේ තරුණ අවදියේ දී එනම් 1960/70 ගණන්වල කොංගෝවේ, ඉන්දුනිසියාවේ හා චිලියේ සිටි වමට බර නායකයෝ තිදෙනෙකි. ඒ තිදෙනාම බටහිර රටවල ආධාර ලැබූ දේශීය කණ්ඩායම්වල කුමන්ත්‍රණ හේතුවෙන් ඝාතනය කරනු ලැබුවෝය.
පැට්‍රිස් ලුමුම්බා ප්‍රජාතන්ත්‍රවාදී කොංගෝ ජනරජයේ පළමු අගමැතිවරයාය. එරට නිදහස් සටනේ නායකයාය. ඔහු බලයට පත්වූයේ 1960 වසරේය. ඔහුගේ පාලනයට එරෙහිව පැන නැගී හමුදා කුමන්ත්‍රණය හේතුවෙන් ඔහුට පලා යන්නට සිදුවිය. අතර මගදී බෙල්ජියම් හමුදා කණ්ඩායම්වල උපකාරය ඇතිව ඔහු අල්ලා ගත් ඔහු සතුරු වූ ඔහුගේම රටේ පිරිස් ඔහුට වද දී මරා දැමූහ. අපරාධය කොට කලෙකට පසුව සමාව ගැනීමේ බටහිර රටවල ප්‍රතිපත්තිය අනුව බෙල්ජියම 2002 දී මෙම සිද්ධියට නිල වශයෙන් සමාව ගත්තේය.
සුකර්ණෝ ඉන්දුනීසියානු නිදහස් සටනේ නායකයාය. 1945 දී දෙවැනි ලෝක යුද්ධයේ අවසානයේ දී ඔහු එරට නිදහස ප්‍රකාශයට පත් කළේය. එතැන් සිට ඔහු එරට ජනාධිපතිවරයා විය. ඔහු බටහිර විරෝධියෙක් විය. ඔහුගේ පාලනයට එරෙහිව කුමන්ත්‍රණ ගණනාවක් ක්‍රියාත්මක විය. අවසානයේදී 1965 සැප්තැම්බර් මස හමුදාපති සුහර්තෝ එරට බලය අල්ලා ගත්තේය. ඊට බටහිර රටවල සහාය ද ලැබිණි. සුකර්ණෝ නිවාස අඩස්සියට පත්විය. ඉන්පසු සුහර්තෝ විසින් ක්‍රියාත්මක කරන ලද මර්දනයේ දී ඇමෙරිකානු හා බ්‍රිතාන්‍යය ඔත්තු සේවාවල සහායෙන් ඉන්දුනීසියානු කොමියුනිස්ට් පක්ෂවලට හිතවත් පන් ලක්ෂයකටත් දස ලක්ෂයකටත් අතර පිරිසක් ඝාතනය කරනු ලැබූහ.
චිලියේ සැල්වදෝර් අයන්ඩේ බලයට පත්වූයේ 1970 දීය. ඔහු චිලි සමාජවාදී පක්ෂයේ ආරම්භකයෙකි. එහෙත් ඔහු ජනාධිපති ලෙස බලයට පත් වූයේ දේශපාලන සන්ධායකිනි. ඔහුගේ ද වාමාංශික නැඹුරුව නිසා ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල සතුරකු බවට පත්විය. ඔහු කියුබාව සමග සබඳතා ඇතිකර ගැනීම හා තඹ නිෂ්පාදන කම්හල් හා බැංකු ජනසතු කිරීම නිසා මෙම සතුරු බව උදාවිය. කෙසේ වෙතත් 1973 දී රටේ කර්මාන්ත හා ප්‍රවාහන ක්ෂේත්‍රවල වැඩවර්ජන රැල්ලක් ඇතිවිය. අවසානයේදී ඇමරිකානු මධ්‍යම ඔත්තු සේවයේ සහාය ඇතිව හමුදාපති ඔගස්ටෝ පිනෝචේ එම වසරේ සැප්තැම්බර් මස එරට බලය අල්ලා ගත්තේය. ජනාධිපති මන්දිරයට එල්ල වූ ප්‍රහාරයේ දී එහි සිටි අයන්ඩේ ද තුවක්කුවක් ගෙන සිනෝචේගේ හමුදාවට එරෙහිව සටන් කළ අතර පරාජය අනිවාර්ය බව දුටු විට ඔහු එම තුවක්කුවෙන්ම වෙඩි තබාගෙන මිය ගියේය.
මේ සිද්ධි තුනේදීම ක්‍රියාත්මක විවිධ කණ්ඩායම්වල කුමන්ත්‍රණ හා කඩාකප්පල්කාරී ක්‍රියා ප්‍රධාන වැඩ කොටසක් ඉටු කළේය. දේශප්‍රිය මහතාත් ඔහුගේ ෆේස්බුක් සටහන අනුමත කළ බොහෝ දෙනකුත් එවැනි කඩාකප්පල්කාරි කටයුතු මෙහිද සිදුවන බවත් අදහස් කරන බව පෙනේ. එසේම ඇතැම් ප්‍රශ්නවල දී ආණ්ඩුව අසරණවූ ආකාරයෙන් කටයුතු කරන්නේය යන අදහස ද එම සටහනෙන් ගම්‍ය වේ.
කෙසේ වෙතත් දේශප්‍රිය මහතා තම සටහනේ සඳහන් කොට ඇති රටවල පැවැති තත්වය හා වර්තමානයේ මෙරට පවතින තත්වය සමාන නොවේ. විශේෂයෙන්ම ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බටහිර රටවල ආර්ථික අවශ්‍යතා සමඟ ගැටෙන ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නේ නැත. එය විදේශ ආයෝජනය දිරි ගන්වයි.
එසේම එම රටවල් තුනේ එකල දක්නට ලැබුණා සේ මෙරට ආරක්ෂක හමුදා දේශපාලනීකරණය වී නැත. මෙරට හමුදා මෙතෙක් කටයුතු කොට ඇත්තේ පවතින පාලනයට පක්ෂපාතීවය. වෙනෙකක් තබා හමුදාපතිවරයා හා ජනාධිපතිවරයා අතර (සරත් ෆොන්සේකා මහතා හා මහින්ද රාජපක්ෂ මහතා අතර) ගැටුම්කාරී තත්වයක් ඇතිවූ 2010 දී වත් මෙරට හමුදා මෙම තත්ත්වයෙන් වෙනස්ව කටයුතු කළේ නැත.
එහෙත් දේශප්‍රිය මහතා ඇතුළු සමාජ මාධ්‍ය තුළ ප්‍රබල ලෙස ක්‍රියාත්මක පිරිසක් සඳහන් කරන ආකාරයේ ඇතුළතින් බිඳ දැමීමේ කටයුතුවල නිරත රජයේ නිලධාරීන් නම් සිටිය හැකිය. අපට එම සටහන සාකච්ඡා කරන්නට තරම් වැදගත් වූයේ එහෙයිනි.
ජාතික ජනබලවේගයට සහය දුන් ජනතාව එම පක්ෂය බලයට පත්වීමෙන් පසු රට තුළ වේගවත් වෙනසක් අපේක්ෂා කළහ. වෙනත් පක්ෂ මෙන් නොව ජාතික ජනබලවේග නායකයන් බලයට පත් වූ වහාම ඔවුන් මැතිවරණයට පෙර ජනතාවට දුන් පොරොන්දු ඉටු කරනු ඇතැයි අපේක්ෂා කළහ. බඩු මිල අඩුවනු ඇතැයි, විශේෂයෙන්ම විදුලි බිල අඩුවනු ඇතැයි ද, දුෂිතයන් යැයි ප්‍රකට පුද්ගලයන් අත්අඩංගුවට පත්වනු ඇතැයි ද සිරගත කෙරෙනු ඇතැයි ද අපේක්ෂා කළහ. එසේ වූයේ නැත. එමඟින් තමන්ගේ අපේක්ෂා භංග වුවාට වඩා ඔවුනට දුෂ්කර වූයේ විපක්ෂයේ ඔච්චම්වලට මුහුණ දීමය.
එම පොරොන්දු ඉටුවීම පිළිබඳ ප්‍රශ්නයට අමතරව පසුගිය පාලනය විසින් සිතා මතා හෝ නොසැලකිල්ල නිසා හෝ අටවනු ලැබූ ‘‘කාල බෝම්බ’’ කිහිපයක් ද පුපුරා යාමෙන් ආණ්ඩු පාක්ෂිකයෝ වඩ වඩාත් දුෂ්කරතාවට පත් වූහ. සහල් හිඟය හා මිල ඉහළ යාම බිත්තර හිඟය හා මිල ඉහළ යාම (එම ප්‍රශ්නය දැන් විස ඳී ඇත.) පොල් හිඟය හා මිල ඉහළ යාම කොළඹ වරාය ආශ්‍රිතව දිර්ග බහාලුම් පෝලිමක් සති ගණනාවක් තිස්සේ පැවතීම විදේශ ගමන් බලපත්‍ර හිඟය නිසා ඇති වූ පෝලිම ආදිය මේ කාල බෝම්බයි.
සහල් ප්‍රශ්නය පිළිබඳ පළමු ජනමාධ්‍ය වාර්තාව පළවුයේ ඉකුත් සැප්තැම්බර් මාසයේ අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධුරයට පත්වී පළමු සතිය තුළදීය. බිත්තර හා පොල් ප්‍රශ්නය ද වාර්තා වූයේ වත්මන් ආණ්ඩුවට බලයට පත්වී සති කිහිපයකිනි. ඒ අනුව ඒවායේ මුල ඇත්තේ පසුගිය පාලනයේ කාලය තුළ බව පැහැදිලිය. එහෙත් වත්මන් පාලනයේ ආධාරකරුවන්ට මේ ප්‍රශ්න නිසා එම පසුගිය පාලනයේ ආධාරකරුවන්ගේම ඔච්චම්වලට ලක්වීමට සිදුවී තිබේ.
මෙම ප්‍රශ්න විසඳීමට යම් කාලයක් අවශ්‍ය බව සැබෑය. එහෙත් ඒ ප්‍රශ්න විසඳීම සඳහා ආණ්ඩුව කරන්නේ කුමක්ද යන්නද පැහැදිලි නැත. මේ නිසා ජාජබ ආධාරකරුවෝද අන්ද මන්ද වී සිටිති. පසුගිය දිනෙක ප්‍රසිද්ධ රැස්වීමක කතාකළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද තම අධාරකරුවන්ද විපක්ෂයේ ප්‍රචාරය නිසා අන්ද මන්ද වී සිටින බව පැවසීය.
මෙම ප්‍රශ්න විසඳිමේදී ආණ්ඩුව කටයුතු කරන්නට සිදුව ඇත්තේ මෙතෙක් පවත්වා ගෙන යනු ලැබූ යාන්ත්‍රණයක් තුළ හා මෙතෙක් ඒවා තුළ සිය බල පරාක්‍රමය පතුරුවාගෙන සිටි නිලධාරී තන්ත්‍රයක් සමඟය. ඔවුන්ගෙන් ආණ්ඩුව අපේක්ෂා කරන සහාය ලැබෙන්නේ ද යන්නද ප්‍රශ්නයකි.
මේ සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් මාසයේ දී ආණ්ඩුවේ ඇමැතිවරු දෙදෙනෙක් සිය කනස්සල්ල පළ කළහ. තම පරණ පුරුදු අත් හැරීමට අකැමැති නිලධාරීන් රට ඉදිරියට ගෙන යාමට බාධා කරන බව කෘෂිකර්ම ඇමැති ලාල් කාන්ත මහතා ප්‍රකාශ කොට තිබිණි. පසුගිය පාලනයන්හි දේශපාලන බලධාරීන්ගේ දූෂිත ක්‍රියාවලට නිලධාරින්ගෙන් ද සෑහෙන පිරිසක් දායක වී ඇති බවත් ඔවුන් තවමත් ක්‍රියා කරන්නේ ඒ ආකාරයෙන්ම බවත් ඊළඟ සුනාමිය එන්නේ ඔවුන්ට එරෙහිව බවත් ඔහු එහිදී පවසා සිටියේය.
කර්මාන්ත ඇමැති සුනිල් හඳුන්නෙත්ති මහතා ද ඒ දිනවල ප්‍රකාශ කොට තිබුණේ ඇතැම් නිලධාරීන් තම පරණ පුරුදු අත්හරින්නට සූදානම් නැති බවය. දැන් ආණ්ඩුවට සිදුවී ඇත්තේ එම නිලධාරීන්ට එරෙහිව අරගල කරන්නට යැයි ද ඔහු පවසා තිබිණි.
එදිනම ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේත්, රේගුවේත්, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා අධිකාරියේත් නිලධාරීන් හමුවේ කතා කළ ජනාධිපතිවරයා ද රේගුවේ පවතින ඝෘණාත්මක ආකල්ප අවසන් කළ යුතු යැයි පවසා තිබිණි. මේ සියල්ලෙන් පෙනෙන්නේ ආණ්ඩුවේ කටයුතු නිලධාරීන් ළඟ සිරවී ඇති බවයි. සමහර විට ආණ්ඩුව කිසිවක් නොකරන බවක් පෙනෙන්නේත් දේශප්‍රිය මහතා වැනි අයට ලුමුම්බා සුකර්ණෝ හා අයන්ඩේ ආදීන් මතක් වන්නේත් ඒ නිසා විය යුතුය.
ජනතා විමුක්ති පෙරමුණේ නායකයකුව සිට 1999 දී එම පක්ෂයේ ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස තරග කොට පසුව එක්සත් ජාතික පක්ෂයට එක්වී 2018 දී පානදුර නගරාධිපති වූ නන්දන ගුණතිලක මහතා දේශප්‍රිය මහතාගේ සටහනට දක්වා තිබූ ප්‍රතිචාරය ද සලකා බැලීමට තරම් වැදගත්ය. ඔහු මෙසේ පවසයි.
‘‘විප්ලවීය නොවන බලය ඇල්ලීමක් තුළ පවතින සිස්ටම් එක තුළ වැඩ කරනවා මිස ඊට වඩා යමක් කළ නොහැකිය. යෝජිත (Clean Sir Lanka වැනි) සංස්කෘතික විප්ලව කළ නොහැකිය.
‘‘එහෙත් ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීම සඳහා විප්ලවීය වෙනස්කම් කළ යුතුව ඇත.
‘‘මෙකී පාර්ශ්ව දෙක අතර ප්‍රතිවිරෝධය දිනෙන් දින වර්ධනය වෙමින් ඇත.
‘‘විප්ලවීය වෙනස්කම්වලට යාමට පවතින සිස්ටම් එක බාධා කරමින් පැවතීම තුළ මේ වර්ධනය වන ප්‍රතිවිරෝධය දිනෙන් දින උත්සන්න වනු ඇත. ’’
‘‘මේ තුළ රාජ්‍ය ඇතුළතින් පටන් ගන්නා නොවැළැක්විය හැකි ප්‍රහාරය පිටත සහායෙන් උත්සන්න වේවි. ආණ්ඩුව කුණු වන තරමට ඉන්දු - බටහිර අක්ෂය හෝ චීනයට වෙනස් වන්නට බල කෙරෙනු ඇත. අයන්ඩේට වූයේ මෙයයි.’’
මෙහි අවසාන ජේදයෙන් ගුණතිලක මහතා කුමක් අදහස් කරන්නේදැයි පැහැදිලි නැතත් එහි මුල් කොටස දැනට ආණ්ඩුව මුහුණ දී ඇති ගැටලුව පිළිබඳ සාධාරණ නිරීක්ෂණයක් බව පෙනේ. එහෙත් ඔහු ඉඟි කරන ආකාරය මිට විසඳුම් නැතැයි යන්න පිළිගත නොහැකිය.
(*** එම්.එස්.එම්. අයුබ්)