රටේ කරුණු කාරණා සම්බන්ධයෙන් විවේචන බොහෝය. ආර්ථිකය දැඩිලෙස විවේචනයට ලක් වන්නකි. ඒ ඔස්සේ ගොඩනැගෙන දේශපාලනික විවේචනයක්ද සමාජයට කාන්දු වෙමින් තිබේ. පදනමක් ඇතුව හෝ නැතිව හෝ කෙරෙන මේ විවේචන සම්පූර්ණයෙන් බැහැර කළ නොහැක. දේශපාලන න්‍යාය පත්‍ර ඔස්සේ කෙරෙන විවේචනවලද අඩුවක් නැත. එහෙත් රටක පුරවැසියන් වශයෙන් කල්පනා කරද්දී දේශපාලන න්‍යාය පත්‍රවලට කොටුවී කතා කිරීමේ හෝ විවේචනය කිරීමේ හෝ ප්‍රතිඵලයක් නැත.
දේශපාලන න්‍යාය පත්‍ර මත පිහිටා කතා නොකළ අවස්ථා රටවල්වල නිර්මාණය වනු දැකගන්නට පුළුවන. ලංකාවේ ගතවෙන මේ මොහොත එවන් අවස්ථාවක් වශයෙන් හඳුන්වා දෙන්නට පුළුවන. ඒ වගේම ලෝකයේ බොහෝ රටවලට වර්තමානයේ මේ කාරණය පොදු සාධකයක්ව තිබිය හැකිය. ඒ යථාර්ථය මුලින්ම අවබෝධ කරගත යුතුය. කෙසේ වුවද මේ මොහොතේ දේශපාලන න්‍යාය පත්‍ර පෙරටුකරගත යුතු නොවන්නේ හේතු දෙකක් නිසාය. දැනට රටේ මැතිවරණයක් නොතිබීම ඉන් එකකි.
රටක ආණ්ඩු බලය වෙනස් වෙන්නේ ප්‍රධාන මැතිවරණ දෙකෙන් එකකිනි. ප්‍රජාතන්ත්‍රවාදී රටක එයින් මෙහා බල හුවමාරු සිදුවන්නේ නැත. කවුරු මොනවා ප්‍රකාශ කළද ලංකාව වසර 70 කට වැඩි ශක්තිමත් ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයක් හිමි රටකි. කැරැලි තුනකට මුහුණ දුන් රටකි. වෙනත් අර්බුද ගණනාවකට මුහුණදී ඒවායෙන් මිදුණු රටකි. ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණවලින් හැර මෙරට ආණ්ඩු බලය වෙනස්වීමේ හැකියාවක් නැත. එනිසා විපක්ෂයේ සිටියත් සම්පූර්ණ දේශපාලන න්‍යාය පත්‍රයක පිහිටා ආණ්ඩුව දෙස බැලීම යෝග්‍ය නැත.
මේ මොහොත රට අර්බුදයකට මුහුණදෙමින් සිටීම දෙවැන්නය. ආර්ථික අර්බුදය ප්‍රමුඛ උදාහරණයයි. එය බොහෝ විට ලංකා ඉතිහාසයේ දරුණුම අර්බුදය වන්නට පුළුවන.
අද පවතින එම අර්බුදය ගෙවුණු වසර දහයක පහළොවක වැරැදි පාලනයක ප්‍රතිඵලයකි. ඒ ඒ කාලවල පැවැති ආණ්ඩු කළ හොඳ වැඩ සමග ආර්ථික කළමනාකරණයේ අදූරදර්ශී තීරණ හේතුවෙන් මතුව ඇති තත්ත්වයකි.
ඉදිරියේදී ඇතිවිය හැකි තත්ත්වය සම්බන්ධයෙන් ඒ කාලවලදී ආර්ථික විද්‍යාඥයෝ අනතුරු ඇඟවූහ. එනිසා වත්මන් අර්බුදය අද දවසේ නිර්මාණය වූවක් නොවේ. එය අතීතයක් සහිත අර්බුදයකි. මෙවන් අර්බුදයකදී දේශපාලන න්‍යාය පත්‍රවලින් බැහැරව කටයුතු කළ යුතුය.
දේශපාලනික වශයෙන් අරාජික වූ සහ ආර්ථික වශයෙන් බිඳවැටුණු පරිසරයකට කාගේවත් කැමැත්තක් නැත. ප්‍රතිවිරුද්ධ දේශපාලනය කැමැති තමන්ගේ පැත්තට බලය ලැබෙනවා නම් ය. එහෙත් ඒ බලය ලැබිය යුත්තේ විශාල ව්‍යසන, විනාශ, ඛේදවාචක මැද්දෙන් නොවේ. රට ඉදිරියට යන ගමනකදීය. ඒ කෝණයෙන් බලනවිට තිබෙන්නේ ප්‍රශ්නයකි. එනිසා දේශපාලන පක්ෂග්‍රාහීත්වයෙන් බැහැරව මේ කාරණා දෙස බැලිය හැකිනම් එය වඩා ප්‍රායෝගිකය.
ආණ්ඩුව දෙස පිටින් සිට බලන්නකුට තහවුරුවන කාරණයක් තිබේ. ගෙවුණු දෙවසරක කාලයේදී දේශපාලනික වශයෙන් නම් අපරිණතභාවයක් ආණ්ඩුව පෙන්නුම් කළේය.
ආණ්ඩුව පැත්තෙන් වැරැදි රාශියක් සිදුවූවේය. ආණ්ඩුව සතු ඡන්ද බලය සහමුලින් විනාශ වී ඇතැයි ඇතැම්හු සිතති. මට නම් එවැන්නක් සිතෙන්නේ නැත. සිදුවෙමින් තිබෙන්නේ ආණ්ඩුවේ යුක්තිසහගතභාවය ක්‍රමයෙන් පිරිහෙමින් යාමය. බිඳවැටීමය. මේ යුක්තිසහගතභාවය ඇතැම් විට අනාගතයේ ඡන්ද බලය බිඳීයාමකට හේතුවන්නට පුළුවන.
එනිසා මේ කාරණය විපක්ෂයටද පණිවිඩයකි. ආණ්ඩුව කඩා වැටී තමන් අතට බලය ලැබේවියැයි විපක්ෂය සිතන්නේ නම් එය සිහිනයකි. විපක්ෂයට අවශ්‍ය නම්, කිරීමට දේශපාලන වැඩ සටහනක් තිබේ. ඔවුන් තවත් වෙනස්විය යුතුය. ආණ්ඩු බලය දරන පක්ෂයක් බවට පත්වීමට හැකි බව ජනතාව ඉදිරියේ සහතික කර ගැනීමට විපක්ෂය සමත්විය යුතුය. එය කරනවාද නැද්ද යන්න ඔවුන් මත පැවරී තිබෙන්නකි.
කෙසේ වෙතත් දේශපාලනිකව බලන කල වත්මන් ආණ්ඩුව කරගත් වැරැදි ගොඩකි. දේශපාලන පක්ෂවලට සම්බන්ධ නැති අයගෙන් අති බහුතරයක් එනම් සියයට අනූවක් අනූ පහක් පමණ ඡන්දය පාවිච්චි කළේ වත්මන් පාලනයටය. මේ ගමන අභ්‍යන්තරයේ යම් අපේක්ෂාවක් තිබුණි. එනම් යහපාලනය කළ වැරැදි නොකළ යුතුය යන අපේක්ෂාවය. ජාතික ආරක්ෂාව එයට එක් උදාහරණයකි. ඒ වගේම මේ පාලනය බලයට පත් කළේ යහපාලනයට විරුද්ධව පමණක් නොවේ. ඊට පෙර එනම් 2010-2015අතර කාලයේ පැවැති පාලනයටද එරෙහිවය. ජනතාව ඡන්දය භාවිත කළේ මේ කාලය පිළිබඳ විවේචනයක්ද සහිතවය. එය වත්මන් ආණ්ඩුවට අමතකව තිබෙන කාරණාවකි. එදාවූ වැරැදි සිදු නොවේය යන විශ්වාසයක් බලාපොරොත්තුවක් තිබුණි. මැදහත් ඡන්ද දායකයා ඡන්දය භාවිත කළේ වත්මන් ජනාධිපතිවරයා රාජපක්ෂ කෙනෙකු වීම නිසා නොව ඔහු වෙනස් රාජපක්ෂ කෙනකු වීම නිසාය.
එහෙත් මේ කාරණා බරපතළ ලෙස අමතක කර තිබීම කනගාටුදායකය.
ජනතාව ප්‍රතික්ෂේප කළ ගජමිතුරුවාදය, පවුල්වාදය බලාත්මකය. පොල් තෙල්, සීනි, සුදු ලූනු යනාදිය හරහා යළිත් වරක් වංචාව පිළිබඳ මතයක් සමාජගතවී තිබේ. මේවායේ හරි වැරැද්ද අපි නොදනිමු. එහෙත් පාර්ලිමේන්තුව තුළත් ඉන් පිටතත් විවිධ තරාතිරම්වල අය කරුණු ගෙනහැරපානු පෙනෙන්නට තිබුණි. පැරැණි වැරැදි යළිත් සිදුවන බවට මතයක් සමාජයට කාන්දුවීමට ඉඩ හැරීම මේ පාලනය කරගත් ලොකු වරදකි.
මර්දනකාරී පාලනයක් සම්බන්ධව විපක්ෂ බලවේග මතයක් ගොඩනැගුවද එය එසේ වූවේ නැත. ගෙවුණු දෙවසර ඒ බව හොඳින්ම තහවුරු කර තිබේ. එහෙත් උද්ධච්ච ස්වභාවයක් වර්ධනය වෙමින් තිබේ. ගුරු සටන එවැන්නක ප්‍රතිඵලයකි. ගුරු සටනක් තිබුණේ නැත. ගුරුවරු මේ රටේ නිද්‍රාශීලී බලවේගයක්ව සිටියහ. කොතලාවල පනත සම්බන්ධයෙන් පැවැති කුඩාම උද්ඝෝෂණයක් මෙයට මූලික වූ බව පැහැදිලිය.
ඒ උද්ඝෝෂණයට සහභාගිවූයේ තිහකටත් අඩු ගණනකි. ස්ටාලින් ඇතුළු වෘත්තීය සමිති නායකයෝද ඊට එක්ව සිටියහ. නීතිය දෙවිධියකට ක්‍රියාත්මක කරමින් උසාවි නියෝගයට ද පටහැනිව යමින් වෘත්තීය සමිති නායකයන් නිරෝධායන කඳවුරුවලට දැම්මේය. මේ සම්බන්ධව ඇමැතිවරු කිහිප දෙනෙක් උද්ධච්ච ප්‍රකාශ නිකුත් කළහ. ගුරු අරගලය ඇරැඹුණේ මේ උද්ධච්චකමට, නීතිය දෙවිධියකට ක්‍රියාත්මක වීමට එරෙහිවය. එදා පැවැති උද්ඝෝෂණයට ආණ්ඩුවේ ප්‍රතිචාරය මීට වඩා වෙනස් මුහුණුවරක් ගත්තේ නම් පසුගිය කාලයේ ගුරු අරගලයක් නොතිබෙන්නට තිබුණි. ආණ්ඩුවට සියයට අසූවක් අනූවක් ඡන්දය දුන් ගුරුවරු ආණ්ඩුවට එරෙහිව දැවැන්තම උද්ඝෝෂණ මෙහෙයවන බලවේගය බවට හරවා ගත්තේ පාලකයන්ම නොවේද?
ඒ ඒ අංශ තම කාර්යභාරය හඳුනාගෙන කටයුතු කරනවාද සහ කළාදැයි තවත් ප්‍රශ්නයකි. දෙපාර්තමේන්තු සහ වෙනත් අංශවලින් කළයුතු කටයුතු වෙනස්ම අයට බාරදීම සිදුව තිබේ. ආරක්ෂක අංශවලට අදාළ නොවන රාජකාරි පැවරීම මෙයට එක් උදාහරණයකි.
සහල් මෝල් වැටලීම, වී ගබඩා පිරික්සීම යනාදී වෙළෙඳපොළ කටයුතුවලට පවා ආරක්ෂක අංශ සහ ආරක්ෂක අංශවලින් විශ්‍රාම ගිය නිලධාරින් යොදා ගැනීම මහත් උත්කර්ෂයට නැංවුණි. මේංවා අසාර්ථක වෙද්දී සිදුවන්නේ හාස්‍යයට ලක්වීමය.
ප්‍රජාතන්ත්‍රවාදී රාමුවකට මෙවන් ක්‍රියා පිළිවෙත් ගැළපෙන්නේ නැත. පාකිස්තානය, බුරුමය, ඇතැම් අප්‍රිකානු රටවල් යම් ඉරණමකට මුහුණදී සිටින්නේ වැරැදි ආදර්ශ නිසාය. ඒ කාරණාද අවබෝධයෙන් කටයුතු කළ යුතුය.
පවත්නා අර්බුදයට ආණ්ඩුව මුහුණ දෙන්නේ වැරැදි ප්‍රවේශයකිනි. තමන් විශාල ආර්ථික අර්බුදයක සිටින බව මුලින්ම ජනතාවට පහදා දිය යුතුය. රට සාමාන්‍ය පරිදි ඉදිරියට යනවා කීම මේ වෙලාවේ ප්‍රායෝගික නැත. ඇත්ත පහදා දෙන අතරම තාර්කික පියවරවලට යොමුවීම අත්‍යවශ්‍යය. බැංකුවට යාමට ඇති අවස්ථාවකදී පොලී මුදලාලි ළඟට යනවා හා සමාන වැඩ කිසි විටෙකත් නොකළ යුතුය. බැංකුවට යාමට සිදුව ඇති අවස්ථාවක දේපළ විකිණීමකින් හෝ වෙනත් ක්‍රියාකාරකම්වලින් හෝ ප්‍රශ්නය විසඳන්නට යාම ප්‍රායෝගික නැත. එමගින් විසඳුමක් ලැබෙන්නේ නැත. අර්බුදවලට මුහුණදීම සම්බන්ධව අතීත උදාහරණ බොහෝය. ආර්ථික විද්‍යාඥයන්ට, දේශපාලන විද්‍යාඥයන්ට මේවා සම්බන්ධ අත්දැකීම් බහුලය. එහෙත් ඔවුන් සමග සාකච්ඡාකර ප්‍රමාණවත් පරිදි පියවර ගැනීමක් පෙනෙන්ට නැත.
වසංගතයක් සහ ආර්ථික අර්බුදයක් මැද්දේ ආණ්ඩුව ගන්නා ඇතැම් තීන්දු තීරණ පුදුමාකාරය. රසායනික පොහොර තහනම එයට හොඳම උදාහරණයයි. ලෝකයේ කිසිදු රටක් කර නොමැති ආකාරයේ අත්හදා බැලීමක් කිරීමට යාම ම උභතෝකෝටිකයකි.
වසංගතය සහ ආර්ථික අර්බුදය සම්බන්ධව කිසිදු සිතා බැලීමක් කර නොමැති බව මේ තීන්දුවෙන් ප්‍රකට කරන්නකි. රසායනික පොහොර තහනමේ ප්‍රතිවිපාක කවරාකාරදැයි අමුතුවෙන් පැහැදිලි කිරීම අවශ්‍ය නැත. ගොවීන් වගාකටයුතු යම් යම් ප්‍රතිශත වලින් හෝ නවතා දැමුවහොත් සමාජයක් වශයෙන් මුහුණදීමට සිදුවන්නේ බරපතළ ඉරණමකටය. වැරැදි නිවැරදි කර නොගන්නේ නම් එය දේශපාලනිකවද අවාසිදායකය.
විද්‍යාව වෙනුවට මිථ්‍යාව ජාතිකවාදයෙන් ඉදිරියට ගැනීම පසුගිය කාලයේ කළ වරදකි. කොරෝනාවට ප්‍රතිකාර ලෙස රාජ්‍ය අනුග්‍රහයෙන් මිථ්‍යාව සමාජගත කළේ ලංකාව සහ අප්‍රිකානු රටක් පමණි. මේවා බලපාන්නේ අදට නොවේ. අනාගතයටය. සැක සංකා සමාජගත කිරීම එක් පැත්තකින් අනතුරුදායකය.
මෙවන් වැරැදි රාශියක් ආණ්ඩුවෙන් සිදුවූ බව පිළිගත යුතුය. එයට පක්ෂ විපක්ෂ භාවයක් අවශ්‍ය නැත.
මේ පාලනය කඩා වැටීමක් හෝ විනාශවී යාමක් ඇතැම්විට විපක්ෂයේ අපේක්ෂාව විය හැකිය. එහෙත් විය යුත්තේ එය නොවේ. එක් ආණ්ඩුවක් වෙනුවට තවත් ආණ්ඩුවක් බලයට පැමිණිය යුත්තේ එක් පාලනයක් යටතේ රට සම්පූර්ණයෙන් විනාශව යෑමකින් නොවේ. එකී පාලනයට යාහැකි උපරිම දුර ගමන් කළ පසුවය. එක් ආණ්ඩුවක් බලයට පැමිණ රට විනාශ කළ පසු ඒ මතින් තවත් පක්ෂයක් බලයට පැමිණෙන්නේ නම් රට සැමදාම පවතින්නේ එක තැනය. වියයුත්තේ එය නොවන බව යළිත් කිව යුතුය. යම් පාලනයක සුබ සාධක වැඩ වැඩි නම් එම පාලනය අවසන්වූ පසු පැමිණිය යුත්තේ ජාතිකවාදයට බර තබන පාලනයකි. ජාතිකවාදය ඕනෑවට වඩා ක්‍රියාත්මක වූ විට නැවත පැමිණෙන්නේ ලිබරල්වාදයට බර පාලනයකි. ලෝකයේ ක්‍රමය වන්නේ එයයි. මේ කාරණය හොඳින් අවබෝධ කරගත යුතුය.
එනිසා නොබියව රට හමුවේ ඇත්ත ප්‍රකාශ කිරීම පාලකයන්ගේ වගකීමය. රසායනික පොහොර තහනම තමන් අතින්වූ වැරැද්දක් බව පිළිගැනීමට නිහතමානී විය යුතුය. කරන්නට ගිය අත්හදාබැලීම අසාර්ථක බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන්නට පුළුවන. ඒ වෙනුවට උද්ධච්ච ප්‍රකාශ කිරීමෙන් හෝ බොරු කීමෙන් ගැටලුව නිරාකරණය වන්නේ නැත.
වරද පිළිගෙන ඉදිරියට යන්නේ නම් ජනතාව අතර දැන් පවතින මතයට වඩා වෙනස් මතයක් නිර්මාණය වන්නට පුළුවන. එනිසා ආණ්ඩුව තම වැඩසටහනට නව ආරම්භයක් දිය යුතුය. එසේ කිරීමට නොහැකි වුවොත් ආණ්‍ඩුව කෙරෙහි ජනතා විශ්වාස තවත් බිඳවැටෙන අතර රට අර්බුදයට ගමන්කරනු ඇත. මින් පසු තවත් පක්ෂයක් බලයට පැමිණියද ඒ අර්බුදයෙන් රට ගොඩගැනීමට නොහැකි වනු ඇත. කුමන ආණ්ඩු බලයට පැමිණියත් ගොඩගත නොහැකි රටවල් ලෝකයේ තිබේ. ඇෆ්ගනිස්ථානය උදාහරණයකි. මේ රටවල් එකතැන හිරවී තිබේ. එනිසා සිදුවිය යුත්තේ පවත්නා පාලනය වැරැදි හදාගෙන ඉදිරියට යාමය.
විපක්ෂයද අධි තක්සේරුවකට නොයා යුතුය. අධිතක්සේරුවල සිටින ආණ්ඩු අසාර්ථක වන්නා සේම අධිකත්සේරුවල පිහිටා කටයුතු කරන විපක්ෂද බලය ගැනීමට අසමත්ය. මේ කාරණයට ලෝකයේ උදාහරණ ඇති තරම්ය. එනිසා ආණ්ඩු අසාර්ථකවන සෑම අවස්ථාවකදීම තමන්ට බලය ලැබෙනවා කියන ස්ථාවරයට විපක්ෂය යායුතු නැත. විපක්ෂයක් ආණ්ඩුවට එරෙහි බලවේගයත් වැඩ සටහනත් යන දෙකම ඉදිරිපත් කළ යුතුය.
දේශපාලන ගේම්වලින් බලය ගැනීමෙන් අත්වන්නේ යහපාලනයට අත්වූ ඉරණමය. අශුද්ධ සන්ධාන වෙනුවට ප්‍රතිපත්ති වශයෙන් වඩා නිවැරැදි කණ්ඩායමක් ගොඩනැගිය යුතුය. විශේෂයෙන්ම අධිතක්සේරුවෙන් මිදිය යුතුය. මෙය ජ.වි.පෙ. ට ද අදාළය. ගෙවුණු දශක දෙකේදී සෑම මැතිවරණයකටම පෙර ජ.වි.පෙ. අධිතක්සේරුවක සිටියද ඉන් පසු තමන් විසින්ම ගොඩ නැගූ සිහිනය බිඳ වැටීමෙන් දුකට පත්වීමක් පෙන්නුම් කළේය. එනිසා අනම්‍ය අදහස් වෙනුවට දේශපාලන ගේම් වෙනුවට ප්‍රතිපත්තිමත පෙළගැස්මක් අවශ්‍යය.
(*** සටහන - චමින්ද මුණසිංහ)