පසුගිය සමයේ ඉවත් කරගන්නා ලද විශ‍්‍රාම වැටුප් පනතට එරෙහි අරගලය රටේ ප‍්‍රධාන විපක්ෂය අතින් ගිලිහිණ. එය ඔවුන්ගේ පාර්ලිමේන්තු වාද විවාද ප‍්‍රකාශ හා ප‍්‍රවෘත්ති සාකච්ඡාවලට සීමා වුණා වාගේය. එහෙත් පාරට බැස සටන්කරන වෘත්තීය සමිති අරගලයක් ලෙස මේ පනත අතට ගත්තේ ආණ්ඩු විරෝධී වෘත්තීය සමිතිය. විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ වෘත්තීය සමිති සටන් මධ්‍යස්ථානය එහි පෙරමුණ ගෙන තිබුණි.
අවසානයේ කටුනායක වෙළෙඳ කලාපයේ සේවකයකු බිලි ගනිමින් කි‍්‍රයාත්මක වූ විවෘත වෘත්තීය සමිති කි‍්‍රයාමාර්ග අබියස ආණ්ඩුවට විශ‍්‍රාම වැටුප් පනත ඉවත් කර ගැනීමට සිදුවිය. එය හොඳ පනතක් වුවද වැඩ කරන ජනතාවගේ හඬට කන්දීමට ආණ්ඩුවට සිදුවිය. එසේ වූයේ අවශ්‍ය නම් තුනෙන් දෙකක බලයක් සහිත ආණ්ඩුවේ ව්‍යවස්ථාදායකයට ලෙහෙසියෙන්ම මෙම පනත සම්මත කර ගැනීමට ඉඩ තිබියදීය. ආණ්ඩු විරෝධී වෘත්තීය සමිති මෙය සලකන්නේ ඔවුන් ලැබූ ජයග‍්‍රහණයක් ලෙසය. ඊට නායකත්‍වය දීමට මේ රටේ ප‍්‍රධාන විපක්ෂයට නොහැකි වූ බව පොදු මතයයි.
විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ප‍්‍රශ්නය ද එවැනිම අරගලයක් දක්වා දුරදිග යෑමේ ලකුණු පහළ වුණි. එයද ප‍්‍රධාන විපක්ෂයේ බලපෑමෙන් තොරවය. ප‍්‍රධාන විපක්ෂයෙන් තොරව වෘත්තීය සමිති හරහා වෙනම සටන් මධ්‍යස්ථානයක් බිහි වීමේ ලකුණු පහළ වීම නිවැරැදිව ගණන් බැලූ ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ ඊට මැදිහත් විය. අවසානයේ ඔහු මෙහෙයවන ලද පලදායී සාකච්ඡාමය කි‍්‍රයාමාර්ගයක් මාර්ගයෙන් එම ප‍්‍රශ්නය නිරාකරණය කරගැනීමට රජයට හැකිවිය. අමාත්‍ය බැසිල් රාජපක්‍ෂගේ මැදිහත් වීම නිසා විශ‍්‍රාම වැටුප් පනතට සිදු වූ දෙය මෙතැන සිදුවූයේ නැත. දෙපාර්ශවයට ජය අත් පත්කර දෙමින් ප‍්‍රශ්නය නිරාකරණය විය. මේ ප‍්‍රශ්න දෙකම අබියස විපක්ෂය දැක් වූ අධි කුසීත උදාසීනත්‍වය හා සියල්ල සාම්ප‍්‍රදායයික වාග් මාලා විරෝධතාවයකට පමණක් සීමාවීම මෑත ඉතිහාසයේ විපක්ෂ කි‍්‍රයාමාර්ගයක දක්නට ලැබෙන සුවිශේෂී සිදුවීම් දෙකකි.
විපක්ෂයක් හැම කාරණයකදීම අවිචාරවත්ව ආණ්ඩුවට පෙරළා පහර දීම අදට නොගැළපෙන බව සත්‍යයකි. එහෙත් අනිවාර්යෙන්ම විපක්ෂයක් ලෙසින් ඉටුවිය යුතු කාර්යය මඟහැර සිටින්නේ නම් එය රටක ප‍්‍රජාතන්ත‍්‍රවාදය පැත්තෙන් යහපත් වන්නේ ද නැත. එය රටක විපක්ෂයට මෙන්ම ආණ්ඩුවට ද හොඳ නැත. ඊට හේතුව එම රික්තය පිරවීමට වෙනත් බලවේග කල්පනා කිරීමය. මේ නිසා හැමදාම විපක්ෂයට වී සිටිමින් ඊට අදාළ වරප‍්‍රසාද ටික භුක්ති විඳීම හෝ කල් යෑමේ දී ඉබේම ආණ්ඩුව තමන්ගේ ඔඩොක්කුවට කඩා වැටේදෝයි කල්පනා කිරීම දේශපාලන වශයෙන් අනුවණකමකි.
මේ සඳහා සිදුවිය හැකි එක් ප‍්‍රවණතාවක් වන්නේ ආණ්ඩුවෙන්ම විපක්ෂයක් බිහිවීමය. එය ප‍්‍රථමයෙන් ඇරඹෙන්නේ ආණ්ඩුව තුළ මතුවන සුරතල් මතවාදී අරගලයක් ලෙසිනි. එම අරගලය මෙහෙයවන අයට ආණ්ඩුවේම සිටින අනෙක් පාර්ශව දුර්වලයැයි හැඟුනොත් තම මතවාදයට පක්ෂපාතී අයගේ පෙරමුණක් නිර්මාණය කිරීම දක්වා ගමන් කිරීමට ද ඔවුහු පෙළඹෙති. එයද මුලින් මතවාදී පෙරමුණක් වී පසුව එක අත්තක ළගින එකම මතවාදයකට පක්ෂපාතී විවිධ ජාතියේ කුරුල්ලන්ගේ කණ්ඩායමක් විය හැකිය. මෙම කණ්ඩායමට රටේ පවතින දුර්වල විපක්ෂය අබියස විපක්ෂයේ කාර්යභාරයට වුවද අනුගත වීමට හැකියාවක් ඇතැයි කල්පනා වීමට ඉඩ තිබේ. ඊට හේතුව ආණ්ඩුවේ හිටියත් විපක්ෂයේ හිටියත් මේ සියල්ලම දේශපාලනය කරන පෘථග්ජන මිනිසුන් නිසාය.
අද ආණ්ඩුව තුළින් මතුවන 13 වැනි සංශෝධනයට එරෙහි මතවාදය ජනමාධ්‍ය ඔස්සේ දෙගොඩතලා යන්නේ මෙවන් පුළුල් අදහසකින් දැයි කියන්න දන්නේ නැත.
13 වැනි සංශෝධනයට එරෙහිව ”ආණ්ඩුව ඇතුළේ පුළුල් පෙරමුණක්”
සමහර මාධ්‍ය වාර්තා කරන්නේ එහෙමය. දැනට මෙය මතවාදී පෙරමුණක් වාගේය. එහෙත් හෙට දවසේ එය ස්ථිර පෙරමුණක් විය හැකිය. සමහර කාරණා සම්බන්ධයෙන් ආණ්ඩුව සමඟ මානසිකව විරසක වී සිටින අය හා දේශපාලන කණ්ඩායම්වලට ආණ්ඩුව තුළ සිටිමින්ම යම් පෙරළියක් කිරීමට 13 හොඳ උත්තේජකයක් වැනිය.
13 හා පළාත් සභා අහෝසි කිරීම ජන ආකර්ෂණීය සටන් පාඨයකි. බුද්ධියට වඩා හදවතින් තීරණ ගතහැකි අවස්ථාවකි. මේ සටන් පාඨය වටා පුළුල් ජනපි‍්‍රය පෙරමුණක් බිහිකර ගත හැකිය. විශේෂයෙන්ම එල්.ටී.ටී.ඊ.ය සන්නද්ධව නිහඬ කළ යුද ජයග‍්‍රහණයත් සමඟම 13 වැනි සංශෝධනය හා පළාත් සභා අහෝසි කිරීමට තටු ලැබීම ස්වාභාවිකය.
”යුද්ධය දිනුවනේ
දැන් මොන බම්බුවකටද බලය බෙදන්නෙ”
”සුදු අලියෙක් වගේ පළාත් සභා තියාගෙන වැඩක් නෑ. ‘‘මේක දැන් විශ‍්‍රාම යෑමට නියමිත දේශපාලඥයින්ගේ දරු මුණුපුරන් පුහුණු කරන මොන්ටිසෝරියක් වගේ.”
මේ ආදී කතා දැනටමත් පළාත් සභාවලට එරෙහිව සමාජ ගතවෙමින් පවතී. මේ නිසා ඒ ඇසුරින් ශක්තිමත් පෙරමුණක් ගොඩ නඟා ගැනීම පහසුය. මේ සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම්වරයාගේ මතය නව පෙරමුණට ශක්තිමත් උත්තේජනයක් වී තිබේ.
‘‘පළාත් සභාවලට පක්ෂ මතවාදයක් ආණ්ඩුවේ නැද්ද ?’’
‘‘තියනවා’’
ඒ අය නිහඬය. වමේ අයගේ පමණක් හීන් කෙඳිරියක් මතුවෙලාය.
එතකොට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සම්පූර්ණයෙන්ම වාගේ නිහඬය. හරියට ලමිස්සියක් ගෙට වූ ගානය.
සමහරු කල්පනා කරන්නේ මෙහෙමය.
අමාත්‍ය ඩිලාන් පෙරේරා ශී‍්‍ර ලංකා කාරයකු ලෙස පැරණි මතයේම ඍජුව සිටී. පුත්තලම් දිස්ති‍්‍රක්කයෙන් පැමිණි අරුන්දික ප‍්‍රනාන්දු වැනි ශී‍්‍ර.ල.නි.ප. තරුණ මන්තී‍්‍රවරුන්ට සිදුවීමට යන දේ පෙනෙනවා දැයි කියන්න දන්නේ නැත. දිගු නින්දක පසුවන ජ්‍යෙෂ්ඨයන්ගේ නිහඬතාව තුළ තරුණ මන්තී‍්‍රවරුන්ට ද කළහැකි දෙයක් නොමැති ගානය. එක අතකින් නිහඬතාවය ද අනියමින් පක්ෂපාතීවීමට සමානය. මේ නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය ඉවත්කර පළාත් සභා අහෝසි කිරීමේ මතවාදය රට පුරා ශීඝ‍්‍රයෙන් දළුලමින් පවතී. එසේම ඊට නායකත්‍වය දෙන නායකයෝද ඊට සමගාමීව ශීඝ‍්‍රයෙන් ඉදිරියට එමින් සිටිති.
මෙහෙම ගියොත් ආණ්ඩුවෙන් සුළු ජාතීහු ඉවත් වෙත්ද?
”ඉවත් වුණත් නැතත් ඒක ඉදිරි ඡන්දවලට ප‍්‍රශ්නයක් වෙන්නේ නැහැ.
‘‘2005 හා 2010දී සිංහල බෞද්ධ පදනමින් වුවද ඡන්ද දිනා තිබෙනවා.’’
13 අහෝසි කිරීමට කතා කරන අය තර්ක කරන්නේ එහෙමය. මේ නිසා ආණ්ඩුවට මැතිවරණ ජයග‍්‍රහණවල ප‍්‍රශ්නයක් නැත යන්න ඔවුන්ගේ නිගමනයයි.
‘‘ මෙහෙම කල්පනා කිරීම නිවැරදි ද ?’’
මධ්‍යස්ථව කල්පනා කරන කෙනකුට මතභේදාත්මක වුවත්, වැරදි වුණත්, පළාත් සභා අහෝසි කිරීමේ අදහසේ සිටින අයට නම් නිවැරැදිය. උතුරු නැගෙනහිර ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක ඇති අවශ්‍යතාව හෝ ”බලය බෙදීම” ඊට විසඳුමක් වශයෙන් හෝ මෙම මතවාදය දරන අය කවදත් පිළිගත්තේ නැත. එහෙත් මේ පිරිසේ සමහරු ඉඩම් හා පොලිස් බලතල නැති පළාත් සභාවකට මීට ඉහත තම කැමැත්ත ප‍්‍රකාශ කළෝය. දැන් ඒ කැමැත්ත ද අකුලාගෙන වාගේය.
එහෙම නම් නව පෙරමුණක් හෝ විකල්ප විපක්ෂයක් බිහි කරලීමේ පෙරහුරුවකට ආණ්ඩුවේම කණ්ඩායමක් 13 වැනි සංශෝධනය උපයෝගී කර ගැනීමට සැරසෙනවාදැයි කෙනකුට තර්ක කළ හැකිය. එසේ නම් මෙම මතවාදය නිදැල්ලේ වැඩෙන්නට ඉඩදීම එය දරන්නන්ගේ ජයග‍්‍රහණයකි. මෙමඟින් පළාත් සභා අහෝසිකර ගත හැකි වන්නේ නම් එය ඔවුන්ගේ විජයග‍්‍රහණයක් වනු ඇත. අවසානයේ විකල්ප විපක්ෂයක් හදනු කෙසේ වෙතත් මෙම කණ්ඩායම අන් සියල්ල නැටවිය හැකි ආණ්ඩුවේ ගාමක බලවේගය වීමට ඉඩ තිබේ. එය ඔවුන්ගේ හැකියාව මෙන්ම අන් අයගේ නොහැකියාවද වේ.
13 වැනි සංශෝධනය යම් විධියකින් පළාත් සභා අහෝසි කිරීමට නොහැකි වුවහොත් එම මතවාදය ගෙනගිය කණ්ඩායමට අත්වන්නේ පසුබෑමකි. එවන් පසුබෑමක් සහිතව මෙවන් කි‍්‍රයාශීලී කණ්ඩායමක් කුමක් කරන්නේ දැයි කියන්න දන්නේ නැත. සමහර අය විපක්ෂ මෙහෙය වීමේ සිහින මතුකරගන්නේ එවන් පසුබෑම් ඇසුරෙනි. එයද ආණ්ඩුවට හෝ පවතින විපක්ෂයට යහපත් වන්නේ නැත.
මේ අතර රටේ ප‍්‍රධානම විධායකයා වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු පක්ෂයේ සිටින දේශපාලන අත්දැකීම් ඇති පැරණිතම තිදෙනාගෙන් එක් අයෙකි. මින් ප‍්‍රායෝගික දේශපාලන අත්දැකීම් සහිත ජනතාව අතර ප‍්‍රචලිතම නායකයා ජනාධිපති මහින්දය. මේ නිසා ඔහුට සවන්දීම දේශපාලනය කරන ආණ්ඩුවේ අයට විශේෂයෙන්ම වැදගත්ය.
ඔහු උතුරු - නැගෙනහිර ප‍්‍රශ්නයට අදාළ දේශපාලන විසඳුම, බලය බෙදීම හා පළාත් සභා සම්බන්ධයෙන් දරන මතය විවිධ අවස්ථාවලදී මෙසේ දක්වා තිබේ.
”මා ජනතාව අතර බලය වඩාත් විමධ්‍යගත වනු දැකීමට කැමැතියි. එය ඉතා පළල් මට්ටමක් දක්වා යා යුතුයි.”
”දේශපාලන ප‍්‍රශ්නවලට යුදමය විසඳුම් නැහැ. මා සෑම අවස්ථාවකදීම එ් බව අවධාරණය කරනවා. යුදමය විසඳුම ත‍්‍රස්තවාදීන් සඳහායි. දේශපාලන විසඳුම මේ රටේ ජීවත් වන ජනතාව සඳහායි.”
(ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හින්දු පුවත්පත සමඟ පැවැති සාකච්ඡාව උපුටා ගැනීම 3. 11. 08 සිළුමිණ)
”දේශපාලන විසඳුම සම්බන්ධයෙන් මම බොහොම කැමැත්තෙන් ඉන්නේ දිය යුත්තේ මොනවද කියලත්, නොදිය යුත්තේ මොනවද කියලත්, මම දන්නවා. ජනතාව මට අවශ්‍ය බලය දීලයි තියෙන්නේ. ඉතින් මං ඒක පාවිච්චි කරනවා.”
”13 වැනි සංශෝධනය එහි ආරම්භක ලක්ෂය බව මම විවෘතව කියා තිබෙනවා. එය ඉන්දියාවටත් පිළිගත හැකියි. ලංකාවත් එය පිළිගෙන තිබෙනවා.”
(ඉන්දියාවේ තෙහෙල්කා සඟරාව සමඟ කළ සාකච්ඡාවඋපුටා ගැනීම 2. 08. 2009 - ලංකාදීප)
”ශී‍්‍ර ලංකා මොඩලය උපරිම අන්දමින් බලය බෙදා හැරීමේ අපට ගැළපෙන අපේම ක‍්‍රමයක් සැකසීමයි.”
(රිවිර 21. 05. 2006)
වසන්තප‍්‍රිය රාමනායක