ජනාධිපති තරගයෙන් රනිල් වික්‍රමසිංහ මහතා පරාජයට පත්විය. 2022 රට මුහුණදුන් ආර්ථික අර්බුදය අවස්ථාවේදී රට භාර ගැනීමට කිසිවකු නොසිටිය ද ඔහු එම අභියෝගය භාරගෙන රටේ සියලු ජන කොටස්වල ජීවත්වීමේ අයිතිය ඉතා කෙටි කලකදී තහවුරු කළේය.
මහජනතාව මෙම අසීරු අවස්ථාවේදී මුහුණ දී සිටි පීඩනය පිළිබඳ රනිල් වික්‍රමසිංහ මහතාගේ වේදිකාවේ සහ රටේ මාධ්‍යවල විවිධ තොරතුරු ඉදිරිපත් විය. සාකච්ඡා ඇතිවිය. ප්‍රචාර දියත් විය. එම අසීරු අවස්ථාව හා සසඳන විට ඔහුගේ පාලනයේ වසර දෙකක කාලය අවසන් වනවිට රට තරමක ස්ථාවරත්වයකට පත්ව තිබුණි. එහෙත් ඒ සියල්ල පසුගිය ජනාධිපතිවරණයේදී මහජනතාවට වැදගත් නොවීය. මහජනතාව තම ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ ගෙදර යැව්වේය.
මෙය රනිල් පමණක් මුහුණදුන් තත්වයක් නොවේ. මහජනතාව ඉතා බැරෑරුම් තත්වයේ පීඩනයන්ට මුහුණ දී සිටින අවස්ථාවලදී ඒවායින් බේරා ගැනීමට කටයුතු කළ නායකයන් පරාජයට පත්කළේ ශ්‍රී ලංකාවේ ජනතාව විසින් පමණක් නොවේ. දෙවැනි ලෝක සංග්‍රාමය අවදියේ බ්‍රිතාන්‍යයට නායකත්වය දෙනුලැබුවේ වින්සන්ට් චර්චිල් විසිනි. ඔහු පැසිස්ට් ජර්මනිය පරාජය කිරීම සඳහා ලෝකයට නායකත්වය දුන් දේශපාලන නායකයන් තිදෙනාගෙන් එක් අයෙක් විය. ඇමරිකාවේ ප්‍රෑන්ක්ලින් රූස්වෙල්ට් සහ රුසියාවේ ජෝසප් ස්ටාර්ලින් සමග එක්ව ඔහු දෙවැනි ලෝක යුද්ධයේ ප්‍රතිපාර්ශවය පරාජය කළේය. යුද්ධය හේතුවෙන් අතිශය පීඩාවට පත්ව සිටි, මහත් දුෂ්කරතාවලට මුහුණදුන්, ආර්ථික බිඳ වැටීමකට ගොදුරුව සිටි බ්‍රිතාන්‍යය නාසින්ගෙන් ආරක්ෂා කර ගත්තේය.
යුද්ධයෙන් පසු 1945 ජුනි මස 05 වැනි දා පැවැති මහ මැතිවරණයේදී බ්‍රිතාන්‍ය මහජනතාව ඔහුගේ කොන්සර්වේටිව් පක්ෂය අන්ත පරාජයකට පත්කර ඔහු අගමැති පදවියෙන් ගෙදර යැව්වේය. එම මහජනතාව විසින්ම වසර 06 කට පසු 1951 වසරේදී වින්සන්ට් චර්චිල් නැවත අග්‍රාමාත්‍ය ධුරයට පත් කරනු ලැබිණ. බ්‍රිතාන්‍යයේත්, ලෝකයේත් යුද විරුවා වූ ඔහුට රටත්, ලෝකයත් යුද බියෙන් බේරා ගැනීම වෙනුවෙන් බ්‍රිතාන්‍ය ජනතාව යුද්ධයට පසු පැවැත්වූ මුල්ම මැතිවරණයේදී ඔහු ගෙදර යැව්වේ ඒ ආකාරයටය.
රනිල් වික්‍රමසිංහ මහතා මහ මැතිවරණයට තරග කරන්නේ හෝ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණීමට බලාපොරොත්තු වන්නේ නැති බව ප්‍රකාශ කර තිබේ. එවැනි තත්වයක් තුළ පසුගිය ජනාධිපතිවරණයේදී ඔහු රට වෙනුවෙන් ඉටුකළ සේවය පිළිබඳ ඡන්දයකදී නැවත සමාලෝචනයක් කිරීමට මහජනතාවට අවස්ථාවක් සැලසේ යැයි සැලකිය නොහැකිය. එසේ වුවද මැතිවරණයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරන ලද ප්‍රකාශයේ අඩංගු ‘‘රටට මා ඉටුකළ සේවය පිළිබඳව අනාගතය විසින් නිශ්චය කරනු ඇත’’ යන ප්‍රකාශය පිළිබඳ පමණක් සඳහන් කරනු කැමැත්තෙමි.
රනිල්ගේ පාලනය අවසන් කර දැමීම තුළ නැවත ආර්ථික අර්බුදයක් ඇතිවීමට ඉඩ නැති බව මහජනතාවගේ විශ්වාසය වූ බව පෙනේ. රනිල් වෙනුවට අනුර කුමාර දිසානායක මහතා පත් කිරීමට මහජනතාව තීරණය කළේ එම විශ්වාසය හේතුවෙනි. ව්‍යාපාරික ප්‍රජාව අතර ද, මධ්‍යම පාන්තික ජනතාව අතර ද, උගත් සහ බුද්ධිමතුන්ගෙන් සැලකියයුතු පිරිසකගේ අදහස් ද එය වූ බව ඡන්ද ප්‍රතිඵල නිරීක්ෂණය කරන විට පැහැදිලි වේ. අනුර අනුගමනය කරන්නේ රනිල්ගේම ප්‍රතිපත්ති නම් රනිල් වෙනුවට අනුර පත්කළේ කවර හේතුවක් නිසාදැයි විමසන ආකාරයේ පෝස්ටු සමාජ මාධ්‍යවල ප්‍රකාශයට පත්ව තිබුණි. දැන් ආර්ථිකය සම්බන්ධයෙන් වැදගත් වන්නේ දේශපාලනය තුළ සිදුව ඇති වෙනස්කම් නොව රටේ ආර්ථිකය ස්ථාවර තත්වයකින් සහ මහජනතාවට පීඩාවක් ඇති නොවන ආකාරයෙන් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයි.
රට මුහුණ දී සිටින ආර්ථික අර්බුදයේ ස්වරූපය අනුව තවමත් ශ්‍රී ලංකාව පවතින්නේ අනතුරුදායක තත්වයකය. රටේ අනාගත ආර්ථික ක්‍රියාකාරීත්වය පිළිබඳව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඒකඟතා රැසක් ඇතිකරගෙන තිබේ. ඒ ආකාරයටම රටේ සාර්ව ආර්ථික සමතුලිතතාව ගොඩ නැගීම අරමුණු කරගෙන ශ්‍රී ලංකාව විසින් ඉටුකළ යුතු ඉලක්ක ද සම්පූර්ණ කර ගැනීමට සිදුවේ. රටේ ජන ජීවිතයට අවම බලපෑමක් වන ආකාරයට සහ නැවත කඩා වැටීමකට ගොදුරු නොවන ආකාරයට ආර්ථිකය පවත්වාගෙන යෑම සඳහා රටේ සියලුම ජන කොටස්වලට සහ දේශපාලන නායකයන්ට ද විශාල වගකීමක් පැවරී තිබේ.
රට රනිල් විසින් පාලනය කරනු ලැබුවද, දැන් ජනාධිපති ධුරයට අනුර පත්ව සිටිය ද රට දැන් මුහුණදී සිටින්නේ මැතිවරණ යුගයකටය. මැතිවරණ යුගයේදී දේශපාලකයන් අබිබවා රටේ පාලනය පිළිබඳ විවිධ මැදිහත්වීම් කිරීමට මැතිවරණ කොමිසමට ඉඩක් ලැබෙන බව එහි ක්‍රියාකාරකම්වලින් පැහැදිලි වේ. පළාත් පාලන මැතිවරණය පැවැත්වීම සඳහා නාම යෝජනා භාරගනු ලැබුව ද එය කල් තබනු ලැබීය. එහෙත් එම පළාත් පාලන මැතිවරණය අහෝසි කර නැත. එබැවින් සමහර අවස්ථාවලදී මැතිවරණ කොමිසම ප්‍රකාශ කළේ මෙය මැතිවරණ අවස්ථාවක් බැවින් ඒ අනුව රජයේ කටයුතු පවත්වාගෙන යා යුතු බවය.
ඉන්පසු ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්විය. මේ වනවිට එය අවසන් වී තිබේ. දැන් මහ මැතිවරණය ප්‍රකාශයට පත්වී තිබේ. ඉන් මැතිවරණ පෙරහැර අවසන් වන්නේ නැත. මහ මැතිවරණය අවසන් වූ වහාම මැතිවරණ කොමිසමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීමට සිදුවේ. ඒ අධිකරණය එසේ තීරණය කර ඇති බැවිනි. රට මේ ආකාරයට දිගු කලක් මැතිවරණ කාලපරිච්ඡේදයකට යොමුවී තිබීම හේතුවෙන් ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවන බව වටහා ගත යුතුව ඇත. ඊට හේතුව රාජ්‍ය යාන්ත්‍රණයෙන් වැඩි කොටසක් මැතිවරණය සඳහා යෙදවීමට සිදුවීමත් රජයේ යම් යම් ක්‍රියාකාරකම් පිළිබඳව සීමා පැනවී තිබීමත්ය.
රට ආර්ථික අර්බුදයකට මුහුණදී සිටි අවස්ථාවක දේශපාලනමය වෙනස්කම්වල බලපෑම ආර්ථිකයට අවම වශයෙන් දැනෙන පිළිවෙතක් වෙත යොමුවීමේ අවශ්‍යතාව ඉදිරියේදී අවධාරණය විය යුතුව ඇත. මැතිවරණ නාමයෙන් ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරණය යන බල බෙදීමේ මූලික අංශ තුන වෙනුවට තවත් ආයතනයක් බිහිවීමට ඉඩදිය යුතුද යන්න සාකච්ඡා විය යුතු කරුණකි. එසේම එවැනි ආයතන විසින් රජයේ කාර්යයන් පිළිබඳව සීමා පැනවීමේදී අනුගමනය කළ යුතු මූලික නිර්නායක පිළිබඳව ද නිශ්චිත තත්වයක් ඇතිවිය යුතුය.
නායකයන් පත්කර ගැනීමේ වගකීම මහජනතාවගේ අයිතියකි. ප්‍රතිපත්ති ප්‍රකාශනවල ද, දේශපාලන වේදිකාවල ද ඡන්දය දිනා ගැනීම සඳහා කොතෙකුත් ප්‍රකාශ, පොරොන්දු, ප්‍රතිපත්ති ඉදිරිපත්වීමට ඉඩ තිබේ. එසේ වුවද ආණ්ඩුවක් බලයට පත්වීමෙන් පසු පවතින දේශපාලන, ආර්ථික හා සමාජ ගැටලුවලට විසඳුම් ලබාදෙන ආකාරයේ ක්‍රියා පිළිවෙතකට නිශ්චිතව යොමුවිය යුතුව ඇත. කෙසේ වුවද වහාම මැතිවරණය ප්‍රකාශයට පත්වීමත් ඉන් පසුවද පළාත් පාලන මැතිවරණය පැවැත්විය යුතුව ඇති නිසාත්, දේශපාලන වශයෙන් සංකීර්ණ කාලපරිච්ඡේදයකට මුහුණදීමට සිදුවේ. දේශපාලනයේ ඉදිරි දිශානතිය පිළිබඳව පැහැදිලිව යමක් ප්‍රකාශ කිරීමට නොහැකි තත්වයකට රට පත්ව තිබේ.
ඉදිරි මහ මැතිවරණයේදී ජනාධිපති අනුර දිසානායක මහතා නායකත්වය දරන ජාතික ජනබලවේගය තනි දේශපාලන පෙරමුණක් ලෙස එම ඡන්දයට ද ඉදිරිපත් වන බව පෙනේ. සමගි ජනබලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකතුවී කටයුතු කිරීමෙන් ජයග්‍රහණයට මග පාදාගත හැකි බව ජනාධිපතිවරණයට පෙර සිටම ප්‍රබල ලෙස හඬක් නැගුණද එම පක්ෂ දෙක එකතු වන බවක් පෙනෙන්නට නැත. රනිල් වික්‍රමසිංහ මහතාට ඇති ප්‍රධානම වගකීමක් වන්නේ පොහොට්ටුව සහ විවිධ දේශපාලන පක්ෂ අතහැර දමා ඔහුට එකතු වූ පිරිස්වලට ශක්තියක් වීමයි. එසේ වුවද නාමල් රාජපක්ෂ මහතාට තවදුරටත් පොහොට්ටු පක්ෂය ආරක්ෂා කර ගැනීමට අවශ්‍යනම් කළ යුතුව ඇත්තේ රනිල්ට සහ සජිත්ට උදව්වට ගිය සියලු දෙනා කොන්දේසි විරහිතව එකතු කරගෙන පොහොට්ටුව නැවත ගොඩ නැංවීමයි. එවැනි වෙනස්කම් ඇතිවීම තුළ රටේ දේශපාලන ප්‍රවාහයේ පෙළගැස්ම නිශ්චය වනු ඇත.
කෙසේ වුවද ජනාධිපතිවරණයේ නිශ්චිත තීන්දුව වන්නේ ජාතික ජන බලවේගයට රටේ ආර්ථික සහ දේශපාලන ගමන් මගේදී මෙම යුගය පිළිබඳව තීන්දු ගැනීමේ වගකීම පැවරී ඇතැයි යන්නයි. වගකිව යුතු දේශාපලන පක්ෂ හා නායකයන් මෙම තීරණාත්මක අවස්ථාවේදී සමාජ මාධ්‍යවල සමහර පුද්ගලයන් ප්‍රකාශ කරන ආකාරයට මාස හයකින් ඇන ගන්නා තුරු බලා සිටින තත්වයකට පත්විය යුතු නැත. ආණ්ඩු පක්ෂය රට පාලනය කළ යුතුය. විපක්ෂය ඵලදායී විවේචන ඉදිරිපත් කරමින් වැරැදි පෙන්වාදිය යුතුව ඇත. මේ තීරණාත්මක අවස්ථාවේදී රට තවදුරටත් අස්ථාවර කෙරෙන තත්වයක් උදාවිය යුතු නැත. ආණ්ඩුවේ වගකීම වන්නේ දැනටමත් ඇති කරගෙන ඇති සම්මුති ක්‍රියාත්මක කරන අතරම ආර්ථික වර්ධනය ඉහළ නැංවෙන ආකාරයට නිෂ්පාදනය ඉහළ නැංවීමටත්, දූෂණය සහ නාස්තිය අඩු කිරීමට කටයුතු කිරීමත් ය.
(***)
කැලණිය විශ්වවිද්‍යාලයේ
ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ
හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය
සුනන්ද මද්දුමබණ්ඩාර