රෑ මැද සිහිනයකට බියෙන් තිගැස්සී අවදි වූ ළදරියකගේ ඇස් දෙකත් ඇයට හිමිය. ඉමක් නොපෙනෙන සයුරේ ඒකේ - 47 රයිෆලය දෑතින් ගෙන ගිය නිමක් නැති ගමන් බිමන් ඇයට සිහිපත් වේ. වෙනම රාජ්‍යයක් උදෙසා ඇය උසිගැන්වූ දෙමළ තරුණයන්ගේ මළසිරුරු උඩින් පැන වෙල්ලමුල්ලිවයික්කාල්වලට පැමිණි අවසන් දිනය විදුලියක් සේම ඇයගේ මතකය හරහා ගමන් කරයි.
ඊළම අතහැර යළි උපන් තරුණ තරුණියෝ
|
ඇය තිගැස්සී මදෙස බැලූවාය.
”ආයෙමත් ජීවත් වෙන්න ලැබෙයි කියලා හිතුවේ නෑ.” ඇය කීවාය.
වව්නියාව පුන්තෝට්ටම් හි ආරක්‍ෂක නවාතැන් හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය ඇයට තමන්ගේම නිවහන බඳුය. එහි නිලධාරීන්ගේත් නිලධාරිණියන්ගේත් කාරුණික බව ඇයට අලූත් ජීවිතයක් නිර්මාණය කරදී තිබේ.
”අන්තිම දවස් ටිකේ මම කොහොමත් හිටියේ හමුදාවට බාර වෙන්නම තමයි. නමුත් බාර වුණොත් මරයි කියලා හිතුවා. ඒ නිසා දවසින් දවස ඒක පහු කළා. ඔය අතරෙ දි මගෙත් නායිකාවක් විදියට හිටපු අක්කා කෙනෙක් හමු වුණා. ඒ අක්කා කිව්වා ”අපි කොහොමත් මැරෙයි. බාර වුණත් මරයි. සමහර විට ජීවත් වෙන්න අවස්ථාවක් ලැබෙන්නත් පුළුවන්. ඒ නිසා අපි බාර වෙමු” කියලා. ඇත්තටම ජීවත් වෙන්න තියෙන එකම අවස්ථාව ඒක නිසා අවදානම හිතේ තියාගෙනම අපි හමුදාවට බාර වුණා.” ඇය කීවාය.
ඇගේ නම නාගන් පාසමලර්ය. යාපනයේ කරෙයිනගර්හි ජීවත් වූ ඇය වයස අවුරුදු 18 දී එල්.ටී.ටී.ඊ. සංවිධානයට එක් වූවාය. දැන් ඇයගේ වයස අවුරුදු 32 කි.
කොටි සංවිධානයේ මුහුදු කොටි බළකායේ ඉදිරිපෙළ නායිකාවක වූ නාගන් පාසමලර් කොටි සංවිධානයට එක් වූයේ කැමැත්තෙන්මය.
”මගේ තාත්තා 2003 වසරෙදි මිය ගියා. 2007 වසරෙදි අම්මා මිය ගියා. අප හිටියෙ කරෙයි නගර්වල. මට අයියලා හතර දෙනෙකුයි අක්කලා තුන් දෙනෙකුයි ඉන්නවා.”
යුද්ධය ඔවුන්ගේ ජීවිත වසා සැඩ සුළඟක්ව හමා ගියේය. උන්හිටිගමන් උන්හිටිතැන් නැති අනාථයන් බවට ඔවුන් පත් වූයේ යුද්ධය ගංවතුරක් සේම ගම්බිම් යට කරමින් ගලාගිය හෙයිනි.
”යුද්ධය දරුණුවට ඇවිළිලා යනකොට අපට අපේ ඉඩකඩම් අහිමි වුනා. අධි ආරක්‍ෂිත කලාප නිසා අපට ගමෙන් යන්න වුණා. අන්තිමට අපි මල්ලාවියට ආවා.”
මල්ලාවිය යනු ප‍්‍රභාකරන්ගේ රාජධානියකි. ප‍්‍රභාකරන් විදෙස් අමුත්තන් හමු වූයේ මල්ලාවි හි පිහිටි සුඛෝපභෝගී මන්දිරයකදීය. කොටි සංවිධානයේ දේශපාලන අංශ නායකව සිටි තමිල් සෙල්වම්ගේ ප‍්‍රධාන කාර්යාලය පිහිටා තිබුණේද මල්ලාවියේය. එහෙයින් මල්ලාවිය යනු කොටි බළකොටුවකි. නාගන් පාසමලර්ලා පදිංචියට ආවේ ඒ කොටි බළකොටුවටය.
”අපේ පවුලේ කිසිම කෙනෙක් කොටි සංවිධානයට කැමති නෑ. අයියලා නිතරම කිව්වේ අපට මෙහෙම වුණේ කොටි සංවිධානය නිසා කියලයි. ඒත් මට තිබුණේ වෙනස් අදහසක්. මං හිතුවේ කොටි සටන් කරන්නේ අපේ ජාතිය වෙනුවෙන් කියලයි. ඒ නිසා ගෙදර අයට හොරෙන් මම කොටි සංවිධානයට බැඳුණා. එතකොට මගේ වයස අවුරුදු 18 යි.”
මල්ලාවියේම පිහිටි කොටි කඳවුරක දී ඇයට මූලික අවි පුහුණුව ලැබිණි. ඒ වසරක් පුරාය. ටී පනස්හය ගිනි අවියේ සිට නූතන තාක්‍ෂණයෙන් අනූන අවි දක්වා සෑම අවියක්ම ඇගේ සුරතට හුරුකර ගත්තාය.
”මට අත්දෙකෙන් එක පාර වෙඩි තියන්න පුළුවන්...” ඇය කීවාය. කිසියම් ආඩම්බර බවක් ඒ හඬෙහි ඇතැයි මම සිතුවද එහි එවැන්නක් නොවීය. ළතැවිල්ලක් එහි දැවටී තිබිණි.
”අපේ ජීවිතයේ හොඳම කාලය කාලකන්නි වෙලා ගියා” ඇය කීවාය.
”අපේ කඳවුරේ ගැහැනු ළමයි 150ක් විතර හිටියා. අපේ නායිකාව වුණේ අමරාවධී අක්කා. එයා හරිම සැරයි. එයා නිතරම කිව්වේ මම කවදාහරි දවසක සංවිධානය වෙනුවෙන් මරාගෙන මැරෙනවා කියලයි. ඒත් යුද්ධයේ අන්තිම දවස්වලදී මාත් එක්ක හමුදාවට බාර වුණේ ඒ අමරාවධී අක්කයි. කොහොමහරි පුහුණුවෙන් පස්සේ කණ්ඩායමේ හිටපු හොඳම තිස් දෙනා තෝරා ගත්තා. ඒ කණ්ඩායමට මාත් ඇතුළත් වුණා.”
වසරක යුද පුහුණුවෙන් පසු නාගන් පාසමලර්ට නිදර්ශනා යනුවෙන් නමක් ලැබිණි. නිදර්ශනාට බාර වූයේ යාපනයේ පුල්මුඬේයි හා පරන්තුරෙයි යන කලාපයන්ය. එහි කොටි නායිකාව වූයේ නිදර්ශනාය. ලාබාල කොටි නායිකාවක වූ නිදර්ශනා පෑ දස්කම් නිසාම උසස්වීමක් සමග මාරුවක් ද ඇයට ලැබිණි. ඇයගේ අලූත් නවාතැන වූයේ මුහුදු කොටි බළකායය.
”මුහුදු කොටි බළකායේ ප‍්‍රශ්න ගොඩක් තිබුණා. ඒ අයට සෙබළු අඩුයි. ඒ නිසා ගොඩබිම සටන් කරපු හොඳම කට්ටියක් මුහුදු කොටි බළකායට බඳවා ගත්තා. එතැන තිස් දෙනෙක් හිටියා. නායිකාව වුණේ උදයරාණි අක්කයි.
මුහුදු කොටි බළකායෙදිත් නිදර්ශනා විශේෂයෙන් කැපී පෙනෙන්නට විය. ඇය බොහෝ දෙනෙකුට වඩා කැපවීමෙන් පුහුණුවීම් කිරීම එයට හේතුවය. පුහුණුවීම් හි යෙදී සිටියදීම ප‍්‍රහාරවලට යාමේ අවස්ථාව ද ඇයට හිමි විය.
”සාමාන්‍යයෙන් බෝට්ටුවක දොළොස් දෙනෙක් විතර යනවා. ඇත්තටම කියනවානම් මට ගොඩාක් හොඳට සටන් කරන්න පුළුවන් වෙන්නේ රාති‍්‍රයේදියි. මොකද මගේ පුහුණුවීම් කෙරුණේ රාති‍්‍ර කාලවලදී විතරයි. ඕනෑම අන්ධකාරයක දී හරියටම ඉලක්කය අරගෙන වෙඩි තියන්න මට පුළුවන්. ඒ නිසා රාති‍්‍ර සටන්වලට මාව නිතරම වගේ කැඳෙව්වා. පුල්මුඩෙයිවල දී සටන් තුනකට සහභාගි වුණා. පරතුරෙයිවලදි සටන් පහ හයකට විතර සහභාගි වුණා. ඒවා එකක්වත් පුංචි සටන් නොවෙයි. සවස 7ට 8ට විතර පටන් අරගෙන එළිවෙනකම් ගහගත්ත සටන්. සමහර සටන්වල දී අපි පැරදුණා. එක සටනක දි නාවික හමුදාවේ ඩෝරා එකක් පුපුරවන්න අපට පුළුවන් වුණා. ඒ සටන් හරිම අමාරුයි. අපේ බෝට්ටුවලට වෙඩි වැදිලා පුපුරලා මුහුදේ පාවෙනවා. මුහුදට වැටිච්ච අපේ අය බේරාගන්නත් ඕනෑ. නාවික හමුදාවත් එක්ක සටන් කරන්නත් ඕනෑ. ඔය විදියට එක දවසක් සටන් කරනකොට මම හිටපු බෝ්ට්ටුව පිපුරුවා. අපි ඔක්කොම මුහුදට වැටුණා. මේ කාලය වෙනකොට නාවික හමුදාවට තිබුණෙත් අපේ වගේම පුංචි බෝට්ටු විශේෂයක්. ඒ නිසා අපේ බෝට්ටුයි... නාවික හමුදාවේ බෝට්ටුයි හඳුනා ගන්නත් අමාරුයි. මාව මුහුදට වැටිලා ඉන්නකොට දිගට හරහට මට වෙඩි තියනවා. හුස්ම ගන්න ඔළුව වතුරෙන් උඩට ගන්න බෑ. ඒ තරමට වෙඩි තියනවා.
ඊට පස්සේ මා වතුර යටින් හුඟාක් ඈතට පිහිනලා ගියා. සාමාන්‍යයෙන් මට කිලෝමීටර දහයක් වුණත් මුහුදේ පීනන්න පුළුවන්. ඒ වාසිය මට තිබුණා. මම ගොඩාක් දුර පීනලා ගිහින් මතු වුණා. ඊට පස්සේ මම දැක්කා අපේ බෝට්ටුවක් ඈත යනවා. මම එතැනට පීනලා ගිහින් එල්ලූනා. එදානම් අපට ලොකු අලාභයක් වුණා. අපේ බෝට්ටු දහයක් විතර විනාශ වෙලා. සටනට ගිය අයගෙන් බේරුනේ කීප දෙනයි.”
කොටි සංවිධානයේ මුහුදු කොටි බළකායේ නායක සුසෙයි හා නිදර්ශනා අතර විශාල සම්බන්ධයක් තිබී ඇත. මුහුදු කොටි බළකායේ සිටි පිරිස් අතර සුසෙයි විසින් තමාට ඉතාම හිතවත්ම කණ්ඩායමක් තෝරාගෙන ලැබ සිටි අතර නිදර්ශනා ඒ කණ්ඩායමේ සිටියාය.
”අපි සැලසුම් කරලා ප‍්‍රහාරයකට යනවානම් එදාට අනිවාර්යයෙන්ම සුසෙයි එනවා. එයා ලේ රත්වෙන කතාවක් කරනවා. අපි යන්නේ මරාගෙන මැරෙන්න බලාගෙන. ඒ සුසෙයිගේ කතාව හින්දා. එයා තරමක් අමුතුයි. හරිම ඉක්මනට හිතවත් වෙනවා. පි‍්‍රයමනාපයි. නායකයෙක් කියල ඔළුව උදුම්මාගෙන හිටියෙ නැ. ඒ වගේ නායකයෙක් යටතේ වැඩ කරනකොට පහසුයි. හුඟාක් සටන්වලට මම ගියේ කැමැත්තෙන්. මොකද මටත් ඉක්මනට ජයග‍්‍රහණ ලබන්න අවශ්‍ය වෙලා තිබුනා. පැරදුණ සටනකට මම ගියේ නැත්නම් මම එදාට අඬනවා. මම හිතනවා මම ගියානම් කොහොම හරි දිනනවා කියලා.”
මුහුදු කොටි බළකායේ මරාගෙන මැරෙන පිරිස්වලට හිමිවන්නේ සුවිශේෂි ස්ථානයකි. සාමාන්‍යයෙන් පුහුණු කළ අය සාමාන්‍ය කොටි සාමාජිකයන් අතර රඳවා තබන්නේ නැහැ. එමෙන්ම සාමාන්‍ය කොටි සාමාජිකයන්ට මරාගෙන මැරෙන කොටි සාමාජිකයන් සමග කතා බහ කිරීමේ අවස්ථාව හිමිවන්නේද නැත. එහෙයින් නිදර්ශනාට සිතුනේද තමන් එවැනි විශේෂිත අයකු බවට පත්විය යුතු බවය.
එහෙත් ඒ සිතිවිලිවලට පණ ලැබුණේ නැත. ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවෝ හී ගසක වේගයෙන් කොටි කඳවුරු බිමට සමතලා කරමින් ඉදිරියට පැමිණියහ. කොටි සාමාජිකයන්ට උන්හිටිතැන් අහිමි විය.
මුහුදෙන් ගොඩට ආ නිදර්ශනාට මුලතිව් හා නයාරු ප‍්‍රදේශවල ඉදිරි ආරක්‍ෂක වළල්ලේ වගකීම් පැවරිණි. දළ රළ පෙළක් සේ උස්ව නැගෙන හමුදාවන්ගේ ගමන නතර කිරීම ඇයගේ අරමුණ වුවත් එල්ල වූ ෂෙල් වෙඩි ප‍්‍රහාරයකින් යුද අගලකට ඇද වැටීමට ඇයට සිදුවිය.”වම් අතට තමයි ෂෙල් වෙඩිල්ල වැදුණේ. මාව යුද අගලකට වැටුණා. මම බඩ ගාගෙන ඉස්සරහට ගියා. අපේ කට්ටිය මාව පුදුකුඩුඉරුප්පු රෝහලට අරගෙන ගියා. මාසයක් විතර මම එතැන හිටියා. හමුදාව පුදුකුඩිඉරුප්පුවලට එනකොට කොටි සංවිධානය මාව එතැනින් ඉස්සරහට අරගෙන ගියා. මේ වෙනකොට මට ටිකක් හොඳයි. මට ඕනැ කළේ ආපසු සටන් බිමට යන්නයි. අපේ අය සටන් බිමෙන් පලා යද්දිත් මම ආපසු සටන් බිමට ගියා. ඒත් වැඩි කාලයක් සටන් කරන්න බැරි වුණා. අන්තිමට අපට තේරුණා අප කළේ බොරු සටනක් කියලා. ඒ නිසා හමුදාවට බාරවෙන්න තීරණය කළා.” නිදර්ශනා කීවාය. දැන් අප ඉදිරිපිට සිටින්නී නිදර්ශනා නොව නාගන් පාසමලර්ය.
”අපට ජීවිතය විඳින්න ලැබුණේ නෑ. ආදරය වගේ දෙයක් මගේ ජීවිතයට කවදාවත් ළං වෙලා නෑ. අපි හිතුවෙත්, අපට කිව්වෙත් ඒක මහා බොරු දෙයක් කියලයි. ඒ නිසා මං කවදාවත් කාටවත් ආදරේ කරලා නෑ. කවුරුවත් මට ආදරය කරලත් නෑ. ඒත් ඒ ජීවිතය මොන තරම් බොරුවක්ද කියලා දැන් හිතෙනවා. ජීවිතය වැරදුණා තමයි. ඒත් වැරදුණ ජීවිතය නිවැරදි කරගෙන අනාගතය ජයගන්න මම හීන දකිනවා.” නාගන් පාසමලර් කීවාය. ඇගේ සිහිනය දකින්න අපි ඇයට ඉඩ දෙමු.
තව කොටසක් ලබන සතියේ...
සටහන - ප‍්‍රසන්න සංජීව තෙන්නකෝන් / සේයාරූ - ඇලෙක්සැන්ඩර් බාලසූරිය