ආර්ථික අර්බුද විසඳීමට ප්‍රෙව්ශයක්


ලෝකයේ බොහෝ රටවල් මහ බැංකුවල ස්වාධීනත්වය තහවුරු කර තිබේ. ඒ අනුව යමින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර තිබෙන නව මහ බැංකු පනත් කෙටුම්පතෙහි ප්‍රධාන අරමුණ වන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනත්වය තහවුරු කිරීමයි. 1949දී සම්මත කළ මුදල් නීති පනතෙහි දැකිය හැකි අඩුපාඩු රැසකි.

මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා මුදල් මණ්ඩලය නියෝජනය කිරීම මහ බැංකුවේ ස්වාධීනතාව හීනවීමට ප්‍රධාන හේතුවකි. එබැවින් රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්තිය මත දැඩි රාජ්‍ය මූල්‍ය ආධිපත්‍යයක් දැක ගත හැකිවිය. ඒ ඔස්සේ මහ බැංකුව විසින් රාජ්‍ය මූල්‍ය හිඟය සඳහා පාලනයකින් තොරව අරමුදල් සපයනු ලැබ තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස අයවැය හිඟය පියවීම වෙනුවෙන් මුදල් මුද්‍රණය කිරීම සුලභව සිදුවිය. එනයින් පසුගිය වසරේදී රටේ අධිඋද්ධමනයක් ඇතිවිණි. කෙසේ වෙතත් මෙම නව පනත් කෙටුම්පතෙන් පිහිටුවීමට යෝජනා කර ඇති පාලක මණ්ඩලයට මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා පත් නොවිය යුතු බව දැක්වේ. එපරිදි මහ බැංකුව ස්වාධීන කිරීමට යෝජනා කර තිබෙන විධිවිධාන යහපත්ය.

එසේම 2023 වසර වෙනුවෙන් ඉදිරිපත් කරන ලද අයවැය ලේඛනයෙහිද මහ බැංකුවේ ස්වාධීනතාව ඇති කිරීම ගැන යෝජනා ඇතුළත්ව තිබිණි. ශ්‍රී ලංකා මහ බැංකුව ස්වාධීන කිරීමට අදාළව පනත් කෙටුම්පතක් 2018 වසරේදී ද ඉදිරිපත් කරන ලදී. ඒ සඳහා මුල් වී කටයුතු කළේ එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපතිවරයකු වශයෙන් ක්‍රියා කළ වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු කිහිපදෙනෙකි. එම පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට පවා ඉදිරිපත් කර ගැසට් පත්‍රයේද පළ කොට තිබිණි. එහෙත් 2018 වසරේදී ඇති වූ ව්‍යවස්ථා අර්බුදය හේතුවෙන් එම පනත් කෙටුම්පත සම්මත කිරීමට අදාළ ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගියේ නැත. වර්තමානයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන්නේ එම පනත් කෙටුම්පතෙහි හරයට සමාන එකකි.

මහ බැංකුවේ ස්වාධීනත්වය ඇති වන්නේ මහ භාණ්ඩාගාරයේ ලේකම්වරයා නියෝජනය නොකරන මුදල් මණ්ඩලයක් පිහිටුවීමෙනි.

රජයේ වියදම් වැඩි කිරීමට අදාළ පරිපූරක ඇස්තමේන්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගනු ලැබීමත් එයින් ප්‍රසාරණය වන අයවැය හිඟය අවම කරගැනීම වෙනුවෙන් වැඩි වශයෙන් මුදල් මුද්‍රණය කිරීමත් අපේ ආර්ථිකයේ පසුගිය කාලයේ දක්නට ලැබුණු ප්‍රශ්නයකි.

මෙම පනත් කෙටුම්පතෙන් එම ප්‍රශ්නයට ආමන්ත්‍රණය කර තිබේ. ඒ අනුව, මුදල් මණ්ඩලය අහෝසි කර ඒ වෙනුවට පාලක මණ්ඩලයක් සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයක් පිහිටුවීමට මෙම පනත් කෙටුම්පතෙන් යෝජනා කර තිබේ. එම ආයතන දෙකෙහිම සභාපතිවරයා විය යුත්තේ මහ බැංකු අධිපතිවරයා බවද දැක්වේ. පිහිටුවීමට යෝජනා කර ඇති පාලක මණ්ඩලය සඳහා මහ බැංකු අධිපතිවරයා සභාපතිවරයා වශයෙන් පත් විය යුතු අතර ආර්ථික විද්‍යාව, බැංකුකරණය, මූල්‍යය, ගිණුම්කරණය සහ විගණනය ආදී ක්ෂේත්‍ර පිළිබඳ විශේෂඥතාවක් සහිත තවත් 6 දෙනෙක් එහි සාමාජිකයන් වශයෙන් පත් වෙති. ඊට මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා පත් නොවේ.

මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සකස් කිරීමේ සහ දේශීය මිල ස්ථායීතාව අත්කර ගැනීම හා පවත්වා ගෙන යෑමේ අරමුණින් මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයක් පිහිටුවීමට යෝජනා කර තිබේ. මහ බැංකු අධිපතිවරයා එහි සභාපතිවරයා විය යුතු බවත් නියෝජ්‍ය අධිපතිවරුන් දෙදෙනකු, ආර්ථික විද්‍යාව හෝ මූල්‍යය යන ක්ෂේත්‍රයක විශේෂඥයන් දෙදෙනකු සහ පාලක මණ්ඩලයේ සාමාජිකයන් මෙහි සාමාජිකයන් විය යුතු බවත් පනත් කෙටුම්පතෙහි දැක්වේ.

මහ බැංකු අධිපති, නියෝජ්‍ය අධිපතිවරුන්, පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයන් යන තනතුරුවලට පත් වන්නන් සපුරා තිබිය යුතු සුදුසුකම් රැසක් දැක්වෙන අතර දේශපාලන පක්ෂයක නිලයක් දැරීම නුසුදුසුකමක් වන බවද සඳහන් කර ඇත. දේශපාලන පසුබිමක් සහිත මහ බැංකු අධිපතිවරුන් මීට පෙර පත් කරන ලද අවස්ථා ඇති හෙයින් මේ ආකාරයට සැපිරිය යුතු සුදුසුකම් නිශ්චිතව දක්වා තිබීම ඉතාම හොඳ දෙයකි.

මුදල් අමාත්‍යවරයා විසින් එකී ධුර සඳහා සුදුසු පුද්ගල නාම ජනාධිපතිවරයාට යෝජනා කරනු ලැබීමෙන් පසු ජනාධිපතිවරයා ඒවායෙහි යෝග්‍යතාව සලකා බලා අනුමැතිය සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට ඉදිරිපත් කළ යුතු බව පනත් කෙටුම්පතෙහි දැක්වේ. මුදල් අමාත්‍යවරයා විසින් මහ බැංකුවේ අධිපති ධුරය සඳහා නාමයෝජනාවක් නම් කරනු ලබන හෙයින් එම ධුරය සඳහා අමාත්‍යවරයාට හිතවත් අයකු පත් කිරීමට ඉඩ ඇතැයි යමෙකුට තර්ක කළ හැකිය. එහෙත් එසේ ඉදිරිපත් කරන නම් වෙනුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ලැබිය යුතු බැවින් අපක්ෂපාතී කෙනකු මහ බැංකු අධිපති ධුරයට නාමයෝජනා කර ඇති බවට ව්‍යවස්ථා සභාවට හැඟී ගියහොත් ඒ සඳහා අනුමැතිය නොදී සිටීමට එම සභාවට පිළිවන. එයින් මහ බැංකුවේ ස්වාධීනත්වයට හානි නොවන බව මගේ අදහසයි.

මහ බැංකුව සඳහා පත් කළ යුතු නියෝජ්‍ය අධිපතිවරුන් මහ බැංකුවේ සේවයේ නියුක්ත නිලධාරීන් අතරින් පත් කළ යුතු බවත් එක් අයකු පමණක් බාහිරින් පත් කළ යුතු බවත් මෙම පනත් කෙටුම්පතෙහි දැක්වේ. ප්‍රශ්නය තිබෙන්නේ එසේ මහ බැංකුවෙන් එපිට කෙනකු නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයා පත් කිරීමට අදාළ විධිවිධානවලය. දැනට ඒ සම්බන්ධව පවතින විධිවිධානවලට අනුව එම ධුර සඳහා මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය විසින් සුදුසුකම් සහිත අයගේ නම් යෝජනා කරනු ලබන අතර ඒවා අනුමත කරනු ලබන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසිනි. එහෙත් මහ බැංකුවේ සේවා නියුක්තිකයන් නොවන කෙනකු නියෝජ්‍ය මහ බැංකු අධිපතිවරයකු වශයෙන් යෝජනා කිරීමේ බලය මුදල් අමාත්‍යවරයාට පවරා තිබේ. එවිට මුදල් අමාත්‍යවරයාට අවැසි කෙනකු මෙම ධුරය සඳහා පත් කිරීමට අවකාශ ඇති හෙයින් අදාළ පත් කිරීමේදී මුදල් අමාත්‍යවරයා සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය සම්බන්ධ වී එය කළ යුතු බවට සංශෝධනයක් ඉදිරිපත් කරන්නේ නම් එය වඩාත් සුදුසුය. ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මෙම පනත් කෙටුම්පතට අදාළව සකස් කර ඇති සංශෝධනවලින් ද එය යෝජනා කර ඇත. ඒ ආකාරයේ සංශෝධනයක් මෙයට එක් කළහොත් එමගින් ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්වාධීනතාව තවදුරටත් ශක්තිමත් කළ හැකි වනු ඇත.

මෙම පනත් කෙටුම්පතට අනුව, මහ බැංකු අධිපති, පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ නියෝජිතයන්ගේ ධුර කාලය වසර 6 ක් වන අතර ධුර දැරිය හැකි උපරිම වාර ගණන දෙකකට සීමා කර තිබේ. මෙය නව පනත් කෙටුම්පතෙහි ඇතුළත් යහපත් ලක්ෂණයකි. එපරිදි වසර 12 ක මුළු ධුර කාලයක් දැරීමට අවකාශ හිමිවීම හරහා ඔවුන්ට මනා ලෙස සිය කාර්යභාරය ඉටු කළ හැකිය.

ඉහත සඳහන් කළ තනතුරු සඳහා පත්වන සාමාජිකයන් අත්තනෝමතිකව ඉවත් කිරීම වළක්වාලීමට අදාළ විධිවිධාන ද මෙයට එක් කර තිබේ. ඒ අනුව, මහ බැංකු අධිපති, නියෝජ්‍ය අධිපතිවරුන්, පාලක මණ්ඩලයේ සහ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ සාමාජිකයකු ඉවත් කරන්නේ නම්, ජනාධිපතිවරයා එය කළ යුත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය ඇතිවය. එය ද යහපත් විධිවිධානයකි. වෙසෙසින්ම මහ බැංකු අධිපති හෝ නියෝජ්‍ය අධිපතිවරයකු හෝ ගන්නා තීන්දු තීරණ ජනප්‍රිය නොවන සහ දේශපාලනඥයන්ට අවාසිසහගත වන විට ඔවුන් එම ධුරවලින් ඉවත් කිරීමට දේශපාලන අධිකාරිය පෙළඹේ. මේ ආකාරයේ විධිවිධානයක් අන්තර්ගත වන නිසා ඊට අවස්ථාව නොලැබේ. මෙහි ඇති අනෙක් වැදගත්කම නම්, මෙම නිලධාරීන් සිය රාජකාරී වගකීම නිසි පරිදි ඉටු නොකරන්නේ නම් එයද ප්‍රශ්න කළ හැකි වීමය.

මුදල් මුද්‍රණය කිරීම හරහා රජයට ණය ලබා දීමට මහ බැංකුවට තිබූ අවස්ථාව මෙම පනත් කෙටුම්පතෙන් ඉවත් කර තිබේ. මහ බැංකුවේ මූලික කර්තව්‍යය වන්නේ දේශීය මිල ස්ථායීතාව ඇති කිරීමය. එහිදී ආණ්ඩුවේ ණය කළමනාකරණය කිරීම, සේවක අර්ථ සාධක අරමුදල කළමනාකරණය කිරීම ආදී කටයුතු ද මහ බැංකුව සිදු කරයි. මේ කාරණාවලදී යම් ගැටලුකාරී තත්ත්වයක් ඇති වීමට ඉඩ තිබේ. මේ පසුබිමේ ශ්‍රී ලංකා වාණිජ්‍ය මණ්ඩලය ද යෝජනා කර සිටින්නේ ණය කළමනාකරණය මහ බැංකුවේ විෂය පථයෙන් ඉවත් කර එය මුදල් අමාත්‍යාංශය යටතට පත් කිරීම සුදුසු බවය. ණය කළමනාකරණය මහ බැංකු විෂය පථයෙන් ක්‍රමානුකූලව ඉවත් කිරීමට අදාළ ප්‍රතිපාදන මෙයින් ඉදිරිපත් කර තිබෙන බවද කිව යුතුය.

මහ බැංකුව විසින් ළඟා කර ගනු ලැබ යුතු උද්ධමන ඉලක්ක දැක්වෙන මුදල් ප්‍රතිපත්ති රාමුව පිළිබඳ ගිවිසුමක් මුදල් අමාත්‍යවරයා සහ බැංකුව අස්සන් කළ යුතු බවත් මාස 6කට වරක් උද්ධමනය පිළිබඳ වාර්තාවක් මහ බැංකුව විසින් ප්‍රසිද්ධ කරනු ලැබිය යුතු බවත් මෙම පනත් කෙටුම්පතෙහි දැක්වේ. මුදල් ප්‍රතිපත්තිය සලකා බලන්නේ උද්ධමන අනුපාතය අනුවය. එහිදී මහ බැංකුව තමන්ගේ උද්ධමන ඉලක්ක පැහැදිලි කරන අතර එයට අනුරූපීව පොලි අනුපාත පහළ හෝ ඉහළ හෝ නැංවීම පිළිබඳව තීරණය කෙරේ. එපරිදි මහ බැංකුවේ උද්ධමන ඉලක්ක මුදල් අමාත්‍යාංශය හා පාර්ලිමේන්තුව විසින් විමසිල්ලට බඳුන් කරනු ලැබීම යහපත් වේ. ඒ අර්ථයෙන් ගත් විට ශ්‍රී ලංකා මහ බැංකුවේ කටයුතු පාර්ලිමේන්තුවේ වගකීමට යටත් කර තිබේ. එය වැදගත්ය. උද්ධමන අනුපාතය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ හා මහ බැංකුවේ අපේක්ෂා අතර පරස්පරයක් පැවතියහොත් එම දෙපාර්ශවය එකඟ වන්නේ කෙසේද යන්න ගැන දැනට මෙම පනත් කෙටුම්පතෙහි විධිවිධානයක් ඇතුළත් නොවේ. ඊට අදාළව සංශෝධනයක් ඉදිරිපත් කළ හැකි නම් එය සුදුසුය.

මෙම පනත 2018 දී සම්මත කරන ලද්දේ නම්, ආර්ථික අර්බුදයේ බලපෑම අවම කිරීමට හැකියාව තිබිණි. කොවිඩ් 19 වසංගතය සහ 2019 අගභාගයේ සිදු කළ බදු කප්පාදුව නිසා වෙළෙඳ හිඟය ඉහළ ගියේය. වසර දෙකක් පමණ යන තෙක් එම හිඟය පියවා ගනු ලැබුවේ මුදල් මුද්‍රණය කිරීමෙනි. මහ බැංකුවේ ස්වාධීනතාව තහවුරු කිරීමෙන් ඉදිරියේදී ඇති විය හැකි ආර්ථික අර්බුද අපට කළමනාකරණය කිරීමට හැකි බව මගේ අදහසයි.

 

(*** සාකච්ඡා සටහන උපුල් වික්‍රමසිංහ)